2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

රුසියානු අගමැතිටත් නීති පැනවූ ලංකා තානාපති මහඇදුරු මලලසේකර

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, චීන, රුසියන්, ජර්මන්, ඉතාලි, ප්‍රංශ වැනි අපරදිග භාෂා මෙන්ම සිංහල, පාලි, සංස්කෘත, ප්‍රකෘත ආදී පෙරදිග භාෂා ඇතුළු භාෂා දොළහක් ලියන්නට කියවන්නට හා කතා කිරීමට දැන සිටි මහා වියතකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා හමුවීමට ගිය පුවත්පත් කලාවේදියෙක් ඔහුගෙන් මෙසේ විමසීය.

ඔබතුමා භාෂා කීයක් පමණ දන්නවාද? මොනවද ඒ භාෂා?

මම දන්නේ එකම භාෂාවක් පමණයි. ඒ සිංහල. ඒත් ඒකත් හරියට දන්නෙ නෑ. ඔහු නිහතමානීව පිළිතුරු දී ඇත.

මලලසේකර කී පමණින් ලෝකයක් දැන සිටියේ සුදු ජාතික ඇඳුමින් සැරසී ජගත් ලෝක සමුළුවට පැමිණ සුද්දන්ටත් වඩා ඉංග්‍රීසි බසින් සුපැහැදිලි ලෙස කතාකරන පුංචි මිනිසා ලෙසය. ලෝකයේ බලගතු රටවල්වල ලංකා තානාපති ලෙස ඔහු කීර්තිය, ගෞරවය, ආදරයට ලක්වූයේ මේ වාග් චාතූර්යය නිසාමය. ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියෙන් ඉවත්ව 1957 රුසියාවේ තානාපති ලෙස පත්විය. රුසියාවට ගිය එතුමා ඒ අත්දැකීම් තමාගේ වචනවලින් විස්තර කර තිබුණේ මෙසේය.

ලෝකයේ මෙතෙක් (1957 දී) ජීවත් වූ ඉතාමත් විශ්මයජනක පාලකයන් කිහිපදෙනාගෙන් එක් අයකු ලෙස බොහෝදෙනා පිළිගන්නා කෘෂෆ් මහතා එවකට රුසියාවේ අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටියා. කලින්ද ඔහු ගැන විවිධ තොරතුරු අසා සිටි මට එහි ගිය පසු ඒ කතාවල නිරවද්‍යතාවය මැනවින් පැහැදිලි පෙනුණා. ඇත්ත වශයෙන්ම කෘෂෆ් නැත්නම් කෘෂව්^ පුදුම මාදිලියේ පුද්ගලයෙක්. ලෝකයේ ප්‍රබලතම කඳවුරු දෙකින් එකක අධිපති ධුරය දැරීම සඳහා පාසලේ 4 වැනි පන්තිය පමණක් සාමාර්ථය ලත් අයකු තෝරා ගැනීම මවිතයට කරුණක් වුවද රුසියානු පාලක මණ්ඩලයට එය නොකර බැරිවූයේ ඔහුගේ දක්ෂතාවය අවිවාදයෙන් පිළිගන්නට සිදුවූ බැවින්. කෘෂෆ්ගේ දක්ෂතාවය මා මැන ගත්තේ විවිධ කරුණු අළලා ඔහු විසින් දේශන පැවැත්වූ සමහර අවස්ථාවන්හිදීයි. එකද ලිපි ගොනුවක් හෝ සටහනක් අසළකටවත් කිට්ටු නොකරම ඔහු පැය දෙක තුනක් එක දිගට කතා කළේ කිසිම ඇණහිටීමක් නැතිවය. එකම දේ දෙවරක් සඳහන් නොකරය. මෙහි රහස මම සෙව්වා. ඔහු යම්කිසි සාකච්ඡාවකට හෝ දෙසුමකට යන්නට කලින් එයට අදාළ සියලුම කරුණු ගැන පැය ගණනක් සූදානම් වීම පුරුද්දක් කරගෙන සිටියා.

රුසියාවේ තානාපතිව සිටි කාලයේ මහාචාර්ය මලලසේකරට මුහුණ දෙන්නට වූ තවත් අපූරු අත්දැකීම් ඔහු විසින් විස්තර කොට තිබිණි.

ප්‍රතිපත්තියක් වශයෙන් මගේ කාර්යාලයේ පවත්වන උත්සවයකට මත්පැන් ගාව ගත්තේ නෑ. සෙසු විදේශ තානාපතිවරුන් මේ තත්ත්වය අවබෝධ කරගෙන තිබුණත් අග්‍රාමාත්‍ය කෘෂෆ්ට මේ ගැන දැනගන්නට ලැබුණොත් ඔහු මගේ නිල උත්සව වර්ජන කරනු ඇතැයි මට සැකයක් තිබුණා. කෘෂෆ් සාමාන්‍යයෙන් එවැනි උත්සව අවස්ථාවන්හි හොඳට වොඩ්කා ගන්නා බව මම දැන හිටියා. මේ වෙනුවෙන් මම දිනක් ඔහු හමුවීමට ගියා.

මගේ රට බෞද්ධ රටක්. බෞද්ධාගමට අනුව මත්පැන් පානය වැරදියි. ප්‍රතිපත්තියක් හැටියට මගේ නිල උත්සවවලට මත්පැන් නොගැනීමටයි මා තීරණය කරගෙන ඉන්නේ මම කිව්වා.

හා ඒ ගැන සැක හිතන්න එපා. මම ඔබේ උත්සවවලට එනවා. අපේ මිනිස්සු බොනව වැඩියි. ඔබ මත්පැන් දෙන්න එපා. ඔබ මගේ උත්සවවලට එන්න ඕනෑ. නොබිව්වට කමක් නෑ. ඔහු කීවා.

මගේ මත්පැන් නැති උත්සව වලට කෘෂෆ් එනවිට විදේශ තානාපතින්ටත් ඒවා වර්ජනය කිරීම අපහසු වුණා. මේ අතින් මහාචාර්යවරයා සැබෑ සොඳුරු ආඥාදායකයකු වී ඇත. 

මලලසේකර මහාචාර්යතුමා ඇමෙරිකාවේ ලංකාවේ තානාපතිව සිටි අවධියේ එවකට සාමාන්‍ය මන්ත්‍රීවරයකුව සිටි ඉතාමත් ජනප්‍රිය පුද්ගලයකු වූ ජෝන් එෆ්. කෙනඩි හා මැතිනිය පෞද්ගලික සාදයකට ඔහුට ආරාධනාවක් කළහ. සාදය අවසානයේ ඔහුට කතාවක් කරන ලෙස ආරාධනයක් ලැබී ඇත.

මගේ රටේ විශ්වාසයක් තියෙනවා, යම්කිසි කෙනෙකුගේ වාසනාව උදාවන්නේ ඔහුගේ විවාහයෙන් පසුවය කියා. එහෙම නැත්නම් කෙනෙකු බැඳගන්නා කාන්තාවගේ පිංවන්තකමින් ඔහුගේ වාසනාව උදාවෙනවා. (ගෘහනී සච්චසකි... යන ගාථාව කියයි) ඒ අනුව කෙනඩි මහතා වාසනාවන්ත මැතිනියක් ඇතිව සිටිනවා. කෙනඩි මහතාගේ දියුණුව අත ළඟයි.

හෙතෙම එසේ කීවේ කෙනඩි යුවළට සුබපැතීමේ සාමාන්‍ය සිරිතක් අනුවය. එහෙත් මාස කිහිපයකින් කෙනඩි ඇමෙරිකාවේ ජනාධිපති වීමෙන් පසු තානාපතිවරයා කී කතාව ඉටු වී තිබේ යැයි කියා ඔහු ස්තූති කොට ලිපියක් එවා ඇත.

මලලසේකර මහතා භාෂා 12ක් දැන සිටියත්, ලෝකයේ ප්‍රකට තානාපතිවරයකු වුවද විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරයකු, මහා ප්‍රාඥයකු වුවද ඔහු බෞද්ධ නායකයකු ලෙස කළ භූමිකාව දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ නෙම්සිරි මුතුකුමාර හඳුන්වා තිබුණේ මෙසේය.

මලලසේකර යන අකුරු හය කන වැකුණු විට හෝ නෙත ගැසුණු විට හෝ එකවරටම සිහියට නැගෙන්නේ බෞද්ධ ලෝකයේ ඔටුනු පලන් චක්‍රවර්ති රාජයෙක්ව විරාජමානව සිටි මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මහෝපාසකතුමන්ය.
මලලසේකර මහතාගේ වචනයෙන්ම කියා ඇති පරිදි කුඩා කාලයේ එතුමාගේ ජීවිතය රෝස මල් යහනාවක් වී නැත. 1899 නොවැම්බර් 09 වැනිදා පානදුරේ මාලමුල්ලේදී මලලගේ සියදෝරිස් පීරිස් මලලසේකර සෙනෙවිරත්න වෙදආරච්චිගේත්, දෝන සෙලෙස්තිනා ජයවර්ධන කුරුප්පුහාමිනේගේත් පස් දෙනෙකුගෙන් යුත් දරුවන්ගෙන් දෙවැනියා වූ ඔහුගේ මුල් නම  ජෝර්ජ් පීරිස්ය.

තම කුඩා කාලය ගැන ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදක ආචාර්ය පාලිත සමරසිංහ විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් ලියන ලද අමතක නොවන මතක සටහන්^ ග්‍රන්ථයේ මෙසේ මලලසේකර මහාචාර්යතුමා අදහස් දක්වා තිබුණි.
මගේ ළමා කාලය ගැන කථා කරනවා නම් මට මතක අවුරුදු පහක පමණ කාලේ ඉඳලායි. මගේ පියා ඔය කාලයේදී මා එක්කරගෙන යනවා පානදුරේ උයන් කැලේ තිබුණු පියාගේ බෙහෙත් සාප්පුවට. මට හොඳට මතකයි, එය තිබුණෙ මුහුදු වෙරළ අයිනට වෙන්නයි. ඉතින් දවාලට කෑම එහෙම කාලා මුහුදු වෙරළට මා එක්කරගෙන යන සිරිතක් පියාගේ තිබුණා වැල්ලේ මට ටිකක් සෙල්ලම් කරන්න දෙන්න. එක දවසක් පියා දවාලට කෑමට හදාගෙන ආවේ කිරිබත්. ඉතින් මම පියාගෙන් ඇහැව්වා මොකද අද මේ කිරිබත් කියලා. එතකොට පියා කිව්වා, අද මඟුල් කටයුත්තක් ආරම්භ කරන්න යනවා, ඒකයි මේ වෙනස කියලා. කිරිබත් කෑවට පස්සේ දවල් දෙකට විතර මම වෙනද වාගේම දුවලා පැනලා රුල්ල එහෙම පාගලා ටිකක් සෙල්ලම් කළාට පස්සේ පියා මට කතා කරලා, ගහක් යට වාඩිකර ගත්තා. පියත් වාඩිවෙලා වැල්ලේ වැලි ටිකක් සමතලා කරලා පළමුවෙන්ම අ යන්න ලියලා ආ යන්න කියන්නත්, ලියන්නත් පියා මට ඉගැන්නුවා. ඔන්න ඔය විදිහට තමයි පළමුවෙන්ම පියා මට පානදුරේ මුහුදු වෙරළේ පොල්ගහක් යට වැල්ලේ සිංහල ඉගැන්නුවේ.

පියාගේ බලවත් ආසාව තිබුණේ කුඩා ජෝර්ජ්ට සිංහල ආයුර්වේද වෙදකම ඉගැන්වීමටය. මේ නිසා කුඩා ජෝර්ජ්ට සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගෙදරදී උගැන්වූ පියා ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමේ අදහසින් පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලයට යවා ඇත. ගෙදරදී ශතක පොත, ගණදෙවි හෑල්ල, වදන් කවි මෙන්ම සංස්කෘත භාෂාවත් ඉගෙන, ගමේ පන්සලට ගොස් සිංහල, පාලි, බුද්ධ ධර්මය ඉගෙනගත් ජෝර්ජ් තුළ ආගමික හා ජාතික හැඟීම් ජනිත විය. 1917දී කොළඹ වෛද්‍ය විද්‍යාලයට බැඳුණු ඔහු පියාගේ අභාවයෙන් පසු එයින් ඉවත් වී වයස අවුරුදු දහ හතේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබාගැනීමට සූදානම්ව සිටියේය.

ජෝර්ජ් පීරිස්ගේ ජීවිතය වෙනස් මඟකට හැරෙන්නේ අනගාරික ධර්මපාලතුමා සමඟ ලිපි හුවමාරු කර ගැනීම නිසාත්, සිංහල බෞද්ධයා පුවත්පත කියවීමත් හේතුවෙනි. වරක් ජෝර්ජ් අනගාරික ධර්මපාලතුමා හමුවීමට ගියේය. ඒ අවස්ථාව නෙම්සිරි මුතුකුමාරණ විසින් ලියූ සිහිවටන කෘතියේ එන්නේ මෙසේය.

උඹේ නම මොකක්ද? ධර්මපාලතුමාගේ මුල්ම පැනය විය.

ජෝර්ජ් පීරිස්.

ඔය පිටරට නම උඹ වෙනස් කරන්න ඕනෑ. අද ඉඳල උඹ ගුණපාල පියසේන තේරුණාද?

එහෙමයි.

උඹ ඉගෙනගෙන තියෙනවා. ඔය ඔක්කොම අතහැර ඇවිල්ලා උගන්වපන්. මහාබෝධි කොලීජියේ ප්‍රින්සිපල් වෙලා. උඹ ඉන්ටර්මීඩියටි පාස්කරලා තියෙනවානේ. දැන් ඉතින් ලන්ඩන් බී.ඒ. දක්වා ඉගෙන ගන්න ඕනෑ.

මට බී.ඒ. විභාගයට ඉගෙන ගන්න සල්ලි නෑ. පොත්පත් ගන්න ඕනෑ. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගැනීමට නම් කොරෙස්පොන්ඩන්ස් කෝස් එකක් ගන්න ඕනෑ.

1917 ලංකාවේ විශ්වවිද්‍යාලයක් නොතිබුණේය. මම සල්ලි දෙන්නම් කී ධර්මපාලතුමා රුපියල් දාහක් මලලසේකර තරුණයාට දුන්නේය.

1917 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබාගනිමින් ඉතා අඩු වයසෙන් එම උපාධිය සමත්වීමේ ගෞරවය හිමිව ඇත්තේ ගුණපාල මලලසේකර ශිෂ්‍යයාටය.

මලලසේකර තරුණයා තම පියා කියාදුන් ඉගෙනීමේ උපක්‍රම අනුව වයස අවුරුදු 11 දී කේම්බ්‍රිජ් ජූනියර් විභාගයද, වයස 13 වනවිට කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන්ද වයස 14 දී මැට්රික් විභාගයෙන්ද, වයස 16 දී ඉන්ටර් මීඩියට් විභාගයෙන් ජයගෙන වයස අවුරුදු 19දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගෞරව බී.ඒ. උපාධිය ද ලබා ගත්තේය.

මේ ඔක්කොම හපන්කම් කළේ තාත්තා නිසා. තාත්තා උගන්වන්නට යෙදූ උපක්‍රමය තමයි එතුමා Play way in Education කියන එක හොඳට දැන හිටියා. තාත්තාට ඕනෑ කළේ මාව මිනිහෙක් කරන්න. යයි වරක් මහාචාර්ය මලලසේකර 1966දී පමණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මු. අරුක්ගොඩට කියා තිබුණි.

මලලසේකර මහාචාර්යවරයාගේ පියා වෙදආරච්චි අධ්‍යාපනය හා සෙල්ලම් කරන්න යන උපක්‍රමය මුලින්ම යොදාගෙන ඇත්තේ තම පුතාත්, දුවත් අහල පහල සම වයසේ දරුවන් කැඳවා බුදුගුණාලංකාරය, ගුත්තිලය, වදන් කවි පොත ආදී කවි පොත් එකින් එක ගෙනැවිත් දී කටපාඩම් කිරීමට සැලැස්වීමෙනි. එදිනට ඔහු ලොකු ලොසිංජර් බෝතලයකුත් ගෙන එයි. කවි 100ක් පාඩම් කිරීමට මාසයක් කල් දෙයි. මසකට පසු කවි 100 කට පාඩම් කළ ළමයාට ලොසිංජර බෝතලය ලැබෙයි. තෑගි ලැබෙන ලොසිංජර බෝතලය කවුරුත් එක්ක බෙදාගෙන කති. ඊළඟට තවත් ලොසිංජර බෝතලයකට තව කවි 100ක් නියම වේ.

මලලසේකර මහතා 1921දී සුදු රෙද්ද බැනියම ඇඳීමට පටන්ගෙන ඇත්තේ අපේ ජාතික ඇඳුම ලෙස එය මුලින්ම හඳුන්වා දුන් පී. ද එස්. කුලරත්න මහතා නිසාය. පී.ද.එස්. කුලරත්න සහ ගුණපාල මලලසේකර මුල්ම ජාතික ඇඳුම්කාරයෝ වූහ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස මලලසේකර මහතා සේවයට බැඳෙන්නේ විදුහල්පති කුලරත්න මහතාගේ ඉල්ලීම නිසාය. ටික කලකින් නියෝජ්‍ය විදුහල්පති වූ හෙතෙම ආනන්දයේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස රටපුරා කොඩි විකිණීමට පුරෝගාමී විය. මෙහිදී වූ සුවිශේෂ සිද්ධිය නම් පානදුරේ කොස් මාමා නමින් ප්‍රකට ආතර් වී. දියෙස් මහතාගෙන් ආනන්දයේ කොඩියක් මිලදී ගන්නා හැම කෙනෙකුටම කොස් ඇටයක් ලැබීමය. මෙසේ ලැබුණු මුදල්වලින් මලලසේකර මහතා ආනන්දයේ නව මන්දිර ගොඩනගා 1925 වසරේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා විය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ. උපාධියත්, පී.එච්.ඩී. උපාධියත් ලැබූ හෙතෙම තම ආචාර්ය නිබන්ධනය සඳහා ලියූ ලංකාවේ පාලි සාහිත්‍යය කෘතිය උගතුන්ගේ සම්භාවනාවට ලක්විය. එතුමා ලියූ පොත් අතර සිංහල ජන සම්මත කාව්‍ය සංස්කෘත චන්ද්‍රිකා ග්‍රන්ථ විශේෂය. මේ පිළිබඳ වැඩි තොරතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමසිරි කස්තුරිආරච්චි විසින් ලියූ ඉතිහාසයේ මලලසේකර ලකුණ පොත් පිංචේ  එයි.

1948 වසරේ මහාචාර්ය මලලසේකර විසින් සම්පාදිත ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය පමණකින් වුවත් ඔහුගේ නම සදාකල් පවතිනු ඇති. ඉංග්‍රීසි ඉගෙනීමට ආශා ඇත්තවුන්ගේ ප්‍රයෝජනය සඳහා අංගසම්පූර්ණ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් කරන ලද්දේ එතෙක් පැවති බලවත් පාඩුව නිසා යයි කියා එතුමා සංස්කරණය කළ ශබ්ද කෝෂය එතෙක් මෙතෙක් තිබූ අලෙවි වාර්තා බිඳ දමමින් අලෙවි කොට ඇත. මේ පිළිබඳ තොරතුරු මහැදුරු ගුණපාල මලලසේකර පුනරුදයේ පෙරගමන්කරු කෘතියේ සඳහන් වෙයි.

මලලසේකර මහාචාර්යතුමාගේ වැඩිමහල් දියණිය චිත්‍රා රණවක මලලසේකර ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය (වැඩසටහන්) ලෙස කටයුතු කළාය. බටහිර පියානෝ වාදනය හා සංගීතයේ විශාරදවරියක වූ ඇය සමඟ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ පුෂ්පා ඉලංගන්තිලක කළ සංවාදයක මෙසේ මලලසේකර මහදුරුතුමා ගැන මෙසේ කියා තිබුණාය.

අපේ තාත්තා තරම් කඩිසර කෙනෙක් මා දැකලා නෑ. අපේ තාත්තා තරම් කරුණාවන්ත කෙනෙක් මා තවමත් දැකලා නෑ. මගේ අම්මා ඉංග්‍රීසි ජාතික මාග්‍රට් හෙලේනා රසල්. තාත්තා, ඇය හමුවී තිබෙන්නේ කුලරත්න මහතාත් ඔහුගේ ඉංග්‍රීසි ජාතික බිරිඳ හිල්ඩා වෙස්ට්බෘෘක්, ලන්ඩනයේ ඇගේ ඥාති පවුලකට තාත්තා හඳුන්වාදීමක් මත ඇතිවූ සම්බන්ධයකින් තාත්තා අම්මා සමඟ විවාහ වුණා. අම්මා සාරි ඇන්ඳා. සිල් ගත්තා. සිංහලකමට හුරුවෙන්න ඇයට ලොකු වුවමනාවක් තිබුණා. ඒත් මා ඉපදී මාස පහකට පසු අම්මා මියගියා. තාත්තා නැවත විවාහ වුණා. පුංචි අම්මාගේ නම ලියිලි විජේවර්ධන. ඇය ඉතාම කාරුණිකයි.

මලලසේකර මහාචාර්යවරයාගේ දෙවැනි විවාහයෙන් අනෝමා, ඉන්ද්‍රජිත්, විජය, අර්ජුන, කාන්තා නමින් දරුවෝ පස් දෙනෙක් වූහ.

චිත්‍රා රණවක මලලසේකර නම් මලලසේකර පවුලේ පළමුවැනි දියණිය තම පියා ගැන ප්‍රවීණ මාධ්‍යවේදී පුෂ්පා ඉලංගන්තිලකට පවසා තිබුණේ කොළඹ ලොන්ඩන් ටෙරස් (අද මලලසේකර මාවත) පෙදෙසේ පදිංචිව සිටි කාලයේ කොළඹ මැද වුණාට තම ගෙදර ගැමි ගෙදරක ස්වරූපය ගත් බවය. තම පියාට මුල් බැසගත් ගැමිකම එහි තිබූ බවය. ඔහුට ලිවීම, කියවීමට ගෙදර ලොකු පුස්තකාලයක් තිබූ බවය. එහි පොත් හැටදාහක් පමණ තිබූ බවත්, ගෙදර පන්සලක සිල් සුවඳ පැතිරුණ බවත්, තාත්තා වැඩකරන ඕනෑම තැනක බුදු පිළිමයක් තබාගැනීම සිරිතක් බවත් දියණිය කියා තිබුණාය.

තාත්තා කතා පවත්වනවා අහන්න මාත් ඉස්සර හරි ආසයි. ඉතින් තාත්තා දේශනයකට යන්න ලෑස්ති වුණාම මමත් එනවා කියලා ලෑස්ති වෙනවා. එතකොට තාත්තා කියනවා... නෑ ඕනෑ නෑ... කියලා. නෑ... නෑ... මාත් එනවා... මම බලෙන්ම යනවා. නෑ චිත්‍රා ඒ කතාව හෙට රේඩියෝ එකේ යනවා. එතකොට අහන්න. ඒ වාගේ මොකක් හරි කියලා තාත්තා මාව වළක්වනවා. ඒ නිසා තාත්තා එවූ ලියුමක්වත් අපි පරෙස්සම් කරනවාට කැමති වුණේ නෑ. මට පසුව කල්පනා වූ විදිහට තාත්තාත් අප අතර ලෞකික බැඳීම වැඩිවෙන දේවලටයි තාත්තා එසේ අකමැති වී තිබෙන්නේ.

තම පියා දරුවකුට පවා හිත රිදෙන අන්දමට කතාකර නැති අතර තමා නොකැමැති දෙයක් දරුවන් අතින් සිදුවන බව දුටු අවස්ථාවක වුවත්, එකපාරට කලබල කර නැත. ඒක එහෙම කළා නම් වඩා හොඳයි කියලා ඔහු අසා ඇත. චිත්‍රා දියණිය පාසල් යන කාලයේ සංගීතය ඉගෙනීමට එංගලන්තයට යාමට ශිෂ්‍යත්ව හිමිවූ අවස්ථාවේ පියා කියා ඇත්තේ සංගීතයත් හොඳයි, දැනට ඉගෙන ගෙන ඉවර කරලා සංගීතය පටන් ගන්නවා නම් ඊටත් වඩා හොඳයි කියාය. දියණිය පියාට අවනතව ශිෂ්‍යත්වය ඊළඟ වසරට ලබාදෙන ලෙස ලියා යැව්වාය.

1959 අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු හිස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරත් අගමැති අපේක්ෂකකමත් බාරගන්නැයි මලලසේකර මහතාගෙන් කළ ඉල්ලීම් ඔහු කාරුණිකව පිළිගෙන නැත. එතුමාගේ ලොකුම සිහිනය වූයේ බෞද්ධ කොමිෂන් සභා නිර්දේශ රජය ලවා ක්‍රියාත්මක කරවීමය. රජයේ ඉහළ තනතුරු, තානාපතිකම් දැරුවද ඔහු තෘප්තියෙන් හා සතුටින් වැඩ කර ඇත්තේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති (1957) පදවියත්, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති (1950-1958) හැටියටත් කටයුතු කළ කාලයේ බව පවසා තිබුණි.

භාෂා 12ක් දැන සිටියත්, ලෝක පූජිත වුවත් මේ මහා වියතා මියයන විට ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 800ක් බව දියණිය පවසා තිබුණාය.

තාත්තා මිය ගියාම පකිස් පෙට්ටියක දාලා ආදාහනය කරන්න කියලා අපට කිව්වා. 1973 වසරේ මිය යනවිට තාත්තාගේ වයස 73යි. අවසාන කාලේ මුත්‍රා අමාරුවක් තිබුණා. කකුල ඉදිමීමක්ද තිබුණා. ඒත් ඔහු එතරම් ගණන් ගත්තේ නෑ. කකුල ඉදිමුණාට මගේ ඔළුව ඉදිමෙන්නේ නෑනේ කියලා විහිළුවකින්ම අසනීපය වසන් කර සිටියා.

මහාචාර්ය මලලසේකර 1973 අප්‍රේල් මස 23 වැනි සඳුදා රාත්‍රී 8.45ට කොළඹ කුරුඳුවත්තේ විචර්ලි සාත්තු නිවාසයේදී අභාවයට පත්විය.

 ඒ.ඩී. රන්ජිත් කුමාර