පරිසරයට හානි කරන පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නතර කරන පිළිවෙල ගැන නොයෙක් අවස්ථාවල සාකච්ඡා කර තිබේ. නැවත වතාවක් එක වතාවක් පමණක් භාවිත කරන පොලිතීන් හා ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කිරීම තහනම් කෙරෙනු ඇත. ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මත කරන බව රජය ප‍්‍රකාශ කර ඇත. මෙයට කලින් එනම් 2018 ජනවාරියේ සිට තෝරාගත් විශේෂ ගණනාවකට අයත් පොලිතීන් වර්ග ආනයනය, ඒවායෙන් කරන නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කරන ලදී.
පරිසරයට බලපාන බරපතළ තත්ත්ව සලකා ප්ලාස්ටික් හා පොලිතීන් තහනම් කිරීමට අදාළ නීති සම්මත කරන්නේ 2007 වසරේය. අවුරුදු දහයක් තහනම් නීති බලපවත්වන අතරතුර රට තුළ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කරන ලද බව මතක් කළ යුතුය. එයින් පසු පවා නීතිය පනවන්නේ ඝනකමින් වැඩි පොලිතීන් සඳහාය. එයින් අදහස් කළේ නැවතත් භාවිත කරන්නට දිරිමත් කිරීමය. එය එපමණ සාර්ථක නොවූ බව නොරහසකි. එයින් ද වසර දෙකකට පසු එක වතාවක් පමණක් භාවිත කරන පොලිතීන් හා ප්ලාස්ටික් ඇසුරැම් පරිහරණය නතර කරන පියවරකට ගමන් කරන බව පෙනේ. ලෝක ප‍්‍රජාව අලුතින් හිතන්නට හා හැඩගැසෙන්නට අවධානය යොමු කර ඇති වකවානුවක පරිසරය වෙනුවෙන් තීරණ ගැනීම වැදගත්ය.
පරණ ක‍්‍රමයට ඇතුළු වෙන්නට කලින් තීරණ ගැනීම
ශ‍්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයම කොවිඩ් වසංගතය හමුවේ නිසොල්මන් වී සිටී. සමාජ දුරස්ථභාවය ක‍්‍රියාත්මක කරයි. සමහර රටවල් ලොක්ඩවුන් කර ඇති අතර තවත් රටවල් අඩ වශයෙන් සංචරණය පාලනය කර ඇත. ශ‍්‍රී ලංකාව ද ආසාදිතයන් විසි දහස ඉක්මවන හා ජීවිතක්ෂයට පත් පිරිස අනූ හතරක් යන සීමාවට පැමිණ ඇත. එක වතාවක් එනම්, පළමු වටයේ වයිරසය පැතිරෙන විට මුළු රටම වසා දැමුණු අතර දෙවැනි රැල්ල සමඟ තෝරාගත් ප‍්‍රදේශ ලොක්ඩවුන් කරන පියවරකට අවතීර්ණ වී තිබේ. මෙකී පියවර සමඟ ජනජීවිතයේ ස්වභාවය වෙනස් වී ඇත. ගෝලීයකරණයේ විවිධ පැති කරා තරගකාරීව ගමන් කළ රට සෑහෙන වෙනස්කම්වලට භාජනය වී තිබේ. ආනයන පාලනය එයට එක ප‍්‍රබල හේතුවකි. ජනතාව යළිත් සකී‍්‍රය වී ජනසමාජය තිබුණු තත්ත්වයට පත්වෙන්නට කලින් රටට ගැලපෙන වෙනස්කම් කිරීම සුදුසුය. පොලිතීන් හා ප්ලාස්ටික් තහනම එවැනි එක පැත්තකි.
2007 අවුරුද්දේ කැලණිය විශ්වවිද්‍යාලය සහ මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද පර්යේෂණයකට අනුව දිනකට මෙරට භාවිත වන ලන්ච් ෂීට් ප‍්‍රමාණය මිලියන දහයකි. එයින් අදහස් කරන්නේ ආහාර පාර්සල් කිරීමට භාවිත කරන ප‍්‍රමාණය බව නිසැකය. මෙයින් වැඩිම ප‍්‍රමාණයක් බස්නාහිර පළාතේය. දැන් කෑම පාර්සල් මිල දී ගැනීම අඩු වී ඇති අතර නගරයට එන පිරිස නිවෙසින් ආහාරයට යමක් රැගෙන එන පුරුද්දකට නැඹුරු වෙමින් තිබේ. එය දිරිමත් කරන පියවරක් අවශ්‍යය. අඩුම තරමින් ආහාර පැකට් කරන පොලිතීන් සහ කෘත්‍රිම ද්‍රව්‍ය වලින් තැනූ එකවරක් ප‍්‍රයෝජනයට ගෙන විසි කරන දිරාපත් නොවන ඇසුරුම් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. අනාවරණයකට අනුව කොවිඩ් වසංගතය එන්නට කලින් මෙරට දිනකට භාවිත වන ෂොපින් බෑග් ප‍්‍රමාණය මිලියන විස්සක් බව ප‍්‍රකාශ විණි. මෙයින් කොටසක් දිරාපත් වන පොලිතීන් විශේෂයක් බව සඳහන් කළ යුතුය. කුඩා ජනගහණයක් ජීවත් වන ප්‍රදේශයක දිනක පොලිතීන් භාවිතාව කොපමණ දරුණු එකක්ද?
පොලිතීන් හා ප්ලාස්ටික් අවම කරන තීරණයක අවශ්‍යතාව
පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 200කට වඩා වසරකට ආනයනය කරන බව රේගු වාර්තා දක්වයි. මධ්‍යම පරිසර අධිකාරියට අනුව 2019 වසරේ මෙරට ඒකපුද්ගල පොලිතීන් භාවිතය වසරකට කිලෝග‍්‍රෑම් 6.2කි. සමහර පොලිතීන් විශේෂ දිරාපත් වීමට වසර දහසකට වඩා කල් ගතවන බව දැක්වෙයි. සාමාන්‍ය ආයු කාලය වසර සියයක් සේ සැලකුවහොත් මුල් පරම්පරාව පරිසරයට එකතු කළ පොලිතීන් දිරාපත් වන්නට කලින් තවත් පරම්පරා දහයක් තමන් නිතිපතා භාවිත කරන පොලිතීන් තවත් දස ගුණයකින් මහ පොළොව මත අතුරනු ඇත. එය අති විශාල ප‍්‍රශ්නයක් බව ඉතාම පැහැදිලිය. ඉක්මනින් සහ සම්පූර්ණයෙන් දිරාපත් කළ හැකි ක‍්‍රමයක් මෙතෙක් සොයාගෙන නැත. ප‍්‍රතිචක‍්‍රීයකරණය ගැන විශාල වශයෙන් කතා කරන නමුත් මුළු ලෝකයේම තවමත් භාවිත කරන පොලිතීන් හා ප්ලාස්ටික් තොගයෙන් සියයට පහළොවක්වත් ප‍්‍රතිචක‍්‍රීයකරණය නොකෙරේ. අප සියලු දෙනාට තමන් මිල දී ගන්නා දෙයක ඇති ඇසුරැම දෙස බලා එය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි වාර ගණන සටහන්ව ඇති බව නිරීක්ෂණය කළ හැකි නමුත් කිසිම වගවිභාගයකින් තොරව කසළ ගොඩට විසි කෙරේ. ප‍්‍රතිචක‍්‍රීයකරණයට දරන්නට සිදුවන පිරිවැය ඉතා ඉහළය. එකතු කිරීම හා නිසි තැන්වලට ප‍්‍රවාහනය සඳහා යන වියදම සලකන කිසිම නිෂ්පාදකයකු තමන්ගේ ඇසුරැම් ආපසු එකතු කරන්නට වැඩි උනන්දුවක් දක්වන්නේ නැත.
2017 ජූලි මාසයේ සිට රටට ගෙන්වන පොලිතීන් හා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍යවලින් සියයට පහළොවක සෙස් බද්දක් අය කෙරේ. සෙස් බද්දෙන් උපයා ගන්නා ආදායම ක්ෂේත‍්‍රයේ උන්නතියට වෙන් කළ යුතුය. ජනතාවගෙන් එකතු කර ගන්නා පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාමාර්ග සඳහා මෙහි එකතු වන මුදල් යෙදවිය හැක. පනත එයට ප‍්‍රතිපාදන සපයා තිබේ. නොයක් රටවල් පොලිතීන් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා දියුණු තාක්ෂණය සහිත නවතම මෙවලම් භාවිත කරයි. මෙරට ව්‍යවසායකයන් කිහිප දෙනකු එයට මුල් වී තිබේ. එහෙත් මධ්‍යම ප‍්‍රමාණයේ ප‍්‍රතිචක‍්‍රීයකරණ වැඩපිළිවෙළකට පවා මෙරට එකතුවෙන පොලිතීන් හෝ ප්ලාස්ටික් ප‍්‍රමාණවත් නැත. ලෝකයේ වෙනත් රටකින් ඒවා ගෙනැවිත් මෙරට තෝරාගත් තැනක පරිසරයට හිතකර අන්දමට ව්‍යවසායක් ආරම්භ කළ හැකිය. ජාත්‍යන්තර සංවිධාන පවා එවැනි ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍ය සහ තාක්ෂණික උපකාර කරන්නට සූදානම්ය. අමෙරිකාව, චීනය හා ඔස්ට්‍රේලියාව එකතු වී එවැනි ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. රටවල් තුන සම්බන්ධ වී පිහිටුවන ලද කම්හල එම රටවල්වල ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් නැවත භාවිත කළ හැකි මට්ටමට ගෙන එයි. නමුත් මෙරට අන්තවාදී සංවිධාන එවැනි පියවරකට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බව සහතිකය.
මිල අඩු කරන පියවර රටට වැඩිම හානිය ගෙන එන හැටි
ඇසුරැම් හෝ දවටනවලට පාවිච්චි කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප‍්‍රමාණය ගැන හිතන්නට අවශ්‍යය. අවුරුදු ගණනකට කලින් කුඩා බෝතල්වල තිබුණු දියර වර්ග දැන් ප්ලාස්ටික් ඇසුරුම්වලය. අනෙක ලොකු ඇසුරුම්වලට වඩා කුඩා ඇසුරුම් වැඩි හානියක් කරයි. ජෙල්, ෂැම්පු හා සේදුම්කාරක කුඩු වර්ග එයින් විශේෂය. එසේම කිරිපිටි වර්ග පවා කුඩා ප‍්‍රමාණයකින් පොලිතීන් කවරයක බහා වැල් වශයෙන් වෙළෙඳසල්වල එල්ලා විකිණීමට තබා තිබේ. සුළු ප‍්‍රමාණයකින් මිල දී ගැනීමට හුරු වී තිබෙන ප‍්‍රජාවට එය වාසියකි. එදිනෙදා වියදම පමණක් හිතන අය අත ඇති සුළු මුදලට මෙම පැකට් වර්ග මිල දී ගනිති. එවැනි ඇසුරුම්වල ඇති ද්‍රව්‍යවලට ගෙවන මිල ද වැඩි අතර ඒවා පරිසරයට එකතු වීමෙන් කරන හානිය ද වඩාත් නරක එකක් බව පෙන්වා දිය යුතුය. කෘත්‍රිම පාන වර්ග පවා නැවත ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි බව දක්වන කුඩා ප‍්‍රමාණයේ සිට ලීටර දෙක දක්වා බෝතල් වෙළෙඳපොළේ ඇති අතර ඒවායෙන් බහුතරයක් එකතු වෙන්නේ පරිසරයටය. වසර පහ හයකට කලින් බෝතල් වතුර භාවිතයක් තිබුණේ නැත. රට තුළ පමණක් පානීය ජලය බෝතල් කරන සමාගම් දෙසිය ගණනක් තිබේ. මෙම සමාගම් පානීය ජලය විකිණීමට දැන්වීම් පවා පළ කරන අතර එය ඉතා තරගකාරී වෙළෙදාමකි. මෙම සමාගම් භාවිත කරන ප්ලාස්ටික් ඇසුරැම් ප‍්‍රමාණය මෙරට පරිසරයට ඉතාම විනාශකාරී අත්දැකීමක් එකතු කර තිබේ.
මයික්‍රෝන විස්සකට අඩු පොලිතීන් භාවිතය තහනම් කරන නීතිය පනවන්නේ ඒවා නැවත ප‍්‍රයෝජනයට ගැනීම හෝ ප‍්‍රතිචක‍්‍රීයකරණයට පහසු වනු පිණිසය. එම නීතිය පනවන්නට කලින් ඉතාම තුනී පොලිතීන් ස්ථරයකින් යුත් ‘‘ලන්ච් ෂීට්’’ ඉවත දැමූ ජනතාව අද ඝනකම වැඩි පොලිතීන් ෂීට් පරිසරයට මුදාහරිමින් තිබේ. එයින් සිදුවන වාසියක් නැත. මෙරට තොරතුරු දක්වන අන්දමට පොලිතීන් හා ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය ඉතාම සීමිතය. භාවිත කරන ප‍්‍රමාණයෙන් සියයට 3.15ක කොටසක් පමණක් 2016 වසරේ දී ප‍්‍රතිචක‍්‍රීයකරණය කර තිබේ. 2017 වසරේ දී ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ප‍්‍රතිශතය සියයට 4.27කි. එය ගැන සොයා බැලීම වැදගත්ය. පොලිතීන් හා ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කරන නිෂ්පාදකයන්ට ඒවා නැවත එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණයට පෙළඹවීම අවශ්‍යය. සෑම වෙළෙඳසලකම ඉවත දමන පොලිතීන් හෝ ප්ලාස්ටික් එකතු කරන තැන් සකස් කරන්නට නියම කළහොත් ඒවා රුගෙන යාමට නිෂ්පාදකයන්ට හැකියාව තිබේ. වායුගෝලයට ඉතාම අහිතකර වන අන්දමට පොලිතීන් ගිනි තැබීම ද එයින් වළකාගත හැකිය. කොවිඩ් කාලයෙන් පසු නැවත රට යථා තත්ත්වයට එන විට එවැනි හොඳ පුරුදුවලට පොළඹවන පියවරක් රටට අවශ්‍යය.
විකල්ප ක‍්‍රම භාවිතය ගැනත් අවධානය සුදුසුය
සාගර කලාපය ප්ලාස්ටික්වලින් දූෂණය කරන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන සිටියේ ඉන්දුනීසියාවය. දැන් එය වෙනස් වෙමින් තිබේ. ටොන් මිලියන ගණනක ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතුවීම වළක්වන දීර්ඝකාලීන වැඩසටහනක් අරඹා ඇති ඉන්දුනීසියාව පසුගිය 2018 වසරේ අමෙරිකානු ඩොලර් බිලියනයක් එයට වෙන් කළේය. දිරාපත් නොවන ප්ලාස්ටික් භාවිතය අඩු කරන ලෙස ජනතාව දැනුම්වත් කිරීමට යොදවන්නට මුදල් අඩු ඉන්දුනීසියානු බලධාරීහු ඒ වෙනුවට ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය නංවන්නට සැලසුම් කළහ. මුහුදු පැළෑටි වගා කරන ඉන්දුනීසියාව ඒවා භාවිත කර ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය අරඹා ඇත. ඉන්දුනීසියාව දූපත් දහ හත් දහසකින් සමන්විත අතර අති විශාල වෙරළ තීරයක් හිමිය. හොඳින් හිරු රැස් වැටෙන නොගැඹුරු මුහුදේ වගා කරන මුහුදු පැළෑටි නිෂ්පාදනයට එරට කාන්තාවන් නැඹුරු කර තිබේ. ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අදහසයි. සියයට තිහකින් පමණ මිල වැඩි නමුත් දිරාපත් නොවන ප්ලාස්ටික්වලට උත්තරයක් වනු ඇතැයි සැලකේ.
නෝර්වේ රට අනුගමනය කරන පිළිවෙල එයට වෙනස්ය. භාවිතය දුර්මුඛ කරන අරමුණෙන් පොලිතීන්වලට අධික බදු පනවන නෝර්වේ රාජ්‍ය සාර්ථකව ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලියට ඇතුළු වන නිෂ්පාදකයන් එයින් නිදහස් කර තිබේ. සෑම ප්ලාස්ටික් මෙවලමකම පරිගණක කේතාංක මුද්‍රණය කර ඇති අතර භාණ්ඩ පරිහරණය කිරීමෙන් පසු ප්ලාස්ටික් ඇසුරුම්, විශේෂයෙන් බෝතල් වැනි දේ නැවත ප‍්‍රතිචක‍්‍රීයකරණයට හැර එම නිෂ්පාදනයට අයකරගත් බදු නැවත ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. ඇසුරුම් ප්ලාස්ටික්වලින් සියයට අනූ පහක් ආපසු එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණයට බාරදීමෙන් පසු එම ක‍්‍රියාවලිය දිගටම අනුගමනය කරන බව තහවුරු වුවහොත් ආයතනයට පනවා ඇති පොලිතීන් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ඇත.
ශ‍්‍රී ලංකාව පොලිතීන් හා ප්ලාස්ටික් හුරුවට නැඹුරු වෙන්නට කලින් හොඳ පුරුදු ඇති කරගෙන සිටියේය. යෝගට් පවා කඩදාසි කෝප්පවල ඇසුරුම් කර තිබුණි. ලී හැන්දක් තිබුණි. අලුතින් වැඩ ආරම්භ කර ඇති මෙරට කඩදාසි කම්හල මෙවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. ආනයනික කඩදාසිවල ප‍්‍රමිතිය ගන්නට හෝ මිල සමඟ ගැටෙන්නට නොහැකි අවස්ථාවක අතුරු නිෂ්පාදනවලින් පොලිතීන්වලට විකල්ප හැදීම වටිනා අවස්ථාවකි. ලබන වසරේ එක වරකට වඩා භාවිත නොකරන පොලිතීන් හෝ ප්ලාස්ටික් තහනම් කරන විට විකල්ප කඩදාසි ඇසුරුම් හඳුන්වා දිය හැකි නම් එය රටට කරන මහඟු මෙහෙවරකි.
ගාමීණී සරත් ගොඩකන්ද