කොවිඩ් 19 රෝගී පොකුරු රටපුරාම තවදුරටත් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පසුගියදා අනතුරු අඟවා තිබුණි. ලංකාවේ දැනට පැතිර යන SARS-Cov-19 වෛරස මාදිලිය මුල් චීන වෛරසයට වඩා සියුම් වෙනසකට ලක්ව ඇති බවත් එය භයානක පැතිරීමකට අනුබල දෙන වෙනසක් බවත් දැනට මේ වෛරස ගැන පර් යේෂණයන්හි නිරතව සිටින මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර් යේෂකයන්ද අනතුරු අඟවා තිබුණි. රටේ තැනින් තැන වසා දමා නිරෝධායන කලාප ඇති කළත්, අප වෙත අදහස් දැක්වූ බොහෝ වෛද්‍ය පර්යේෂකයන්ද තහවුරු කළේ සමහර පුද්ගලයන් තවමත් වසංගත වළක්වන සෞඛ්‍ය ආරක්ෂණ නිතී-රීති නොසලකා කටයුතු කෙරෙන තත්ත්වයක් තුළ, රටවටා තවමත් නව පොකුරු නිර්මාණය වීම සඳහා වාසිදායක පරිසරයක් පවතින බවය.
මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර් යේෂක කණ්ඩායම සිදුකළ සොයා ගැනීම් තහවුරු කර තිබුණේ දැනට ලංකාව තුළ පැතිර යන මිනුවන්ගොඩින් මෙන්ම, පෑලියගොඩින්ද වාර්තාවූ 33 සහ 34 වැනි පොකුරු සඳහා මූලික වූ වෛරසයේ කැපී පෙනෙන විපරීත ලක්ෂණයක් ඇති බවයි. එය වෛරස විද්‍යාඥයන් D614G ලෙස හැඳින්වෙන ජාන සැකසුමයි. මේ සැකසුම මගින් එය සහිත වෛරසයට තිළින කරන ලක්ෂණය වන්නේ නිපදවෙන වෛරස ප්‍රමාණය වැඩිකර ගැනීමේ හැකියාවයි. මේ නිසා මෙම විපරීතයට ලක්වූ වෛරස ශරීර ගතවූ අයෙක් තුළ පවතින වෛරස තොගය ඉතා ඉහළ මට්ටමක පවතියි. එවැන්නකුගෙන් වැඩි පිරිසකට රෝගය බෝවීමේ අනතුරද වැඩිය. නව වෛරසය වේගයෙන් පැතිර යාමට මේ ලක්ෂණය ප්‍රධාන හේතුවක් ව තිබේ.
මහාචාර්ය නිලීකා ඇතුළු පිරිස මේ පර්යේෂණ ප්‍රතිඵල අනුව අනතුරු අඟවා තිබුණේ නුදුරු අනාගතයේ වෛරසයේ සිදුවිය හැකි තවත් වෙනස්කම් අනුව නිසි සෞඛ්‍යමය පූර්ව ආරක්ෂණ පිළිවෙත් එදිනෙදා ජීවන රටාවේ අංගයක් ලෙස අප භාවිතයට හුරුපුරුදු නොවුණහොත්, රට තුළ භයානක මට්ටමේ පැතිර යාමක් සිදුවිය හැකි බවටය. එය නව පොකුරු ගණනාවකට මුල්වෙනු පමණක් නොව භයානක තුන්වැනි රැල්ලකටද ඉඩසලසනු ඇත. රට තුළ ඇති වෛරසයේ දක්නට ලැබෙන D614G ජාන විපරීතය මේ වනවිට දැඩිහානි ඇති කර තිබෙන ඇතැම් යුරෝපීය වෛරස මාදිලිවලද අන්තර්ගත කැපී පෙනෙන ලක්ෂණයක් වන නිසා යුරෝපයේ මේ වනවිට පැතිර යන ආකාරයේ භීෂණාත්මක රෝග ව්‍යාප්තියක් සහ පාලනය කරගත නොහැකි මට්ටමේ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් මේ රටින්ද වාර්තා වීමේ ඉඩකඩක් පවතී.
මේ වනවිට රටේ දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්තාවේ. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ආසාදිත පිරිස 21,500+ පන්නා තිබුණි. මරණ සංඛ්‍යාව 100+ ට ආසන්නය. මේ පැතිර යන වේගය සහ මරණ සිදුවන වේගය රෝගයේ අවදානම පිළිබඳ දැනට ඇති අවධානයට වැඩි තියුණු අවධානයක අවශ්‍යතාව අවධාරණය කරනා බව හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව අප හා කළ කතාබහකදී පෙන්වා දුන්නේය.
මේ වනවිට රටේ පැතිර යන රෝගයේ තවත් විශේෂත්වයක් වන්නේ රෝග ලක්ෂණ වැඩිදෙනෙක් තුළ දක්නට නොලැබීමයි. සාමාන්‍යයෙන් රටේ ලක්ෂ 20ක් පමණ මෙලෙස රෝග ලක්ෂණ නොමැතිව වෛරස ශරීරයේ දරා නිදැල්ලේ පසුවේ යැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි. ඒ හේතුවෙන් රටම අවදානමක රැඳී තිබේ.
වෛද්‍ය චමල් සංජීව පවසන්නේ නුදුරු අනාගතයේදී අප සැමට දැන් පළඳින සාමාන්‍ය මුහුණ ආවරණ වෙනුවට මුළු මුහුණම වැසෙන්නට පළඳින ප්ලාස්ටික් ආවරණය සහිත මුහුණු වැස්මක් භාවිත කරන ලෙස නිර්දේශ කිරීමට සිදුවිය හැකි බවය. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල විශේෂත්වය වූයේ ඒවායේ ආසාදිතයන් මෙන්ම පළමු පෙළ සහ දෙවෙනි පෙළ ආසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවල පුළුල්ව විසීරි ගොස් තිබීමය. එසේම නව වෛරසයේ විපරීතයට අනුව එය තොග වශයෙන් ආසාදිත පුද්ගලයන් තුළ ගබඩාව ඇති නිසා ප්‍රජාව තුළ වැඩි පුද්ගල සංඛ්‍යාවකට වෛරසය දානය කිරීමට මේ පිරිස නොදැනුවත්වම දායක වීමය. දැන් පළමු පෙළ ආශ්‍රිතයන්ද සොයා බොහෝ අය නිරෝධායනට ලක්කර ඇති බව සැබෑ වුවද, ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස සැලකිය හැකි සුවිශාල පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වා ඒ නිසාම තමන් තුළ වෛරසය ඇති බව නොදැනම සමාජය පුරා නිදැල්ලේ සැරිසරමින් රෝග වාහකයන් ලෙස කටයුතු කරමින් සිටීමේ අවදානම පවතින බව වෛද්‍ය චමල් පෙන්වා දෙයි.
මෙලෙසම කල් පසුවී නිරෝධායනයට ලක්වන රෝග ලක්ෂණ ඇති හෝ නැති ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දැනට විවෘතව පවතින විවිධ ආයතන සේවා සඳහා පොදු ප්‍රවාහනය ඔස්සේ සිදුකරන අපරික්ෂාකාරී සෞඛ්‍ය රීති රහිත අනාරක්ෂිත ගමනාගමනය හේතුවෙන් ගණනය කිරිමට අපහසු තරම් පිරිසකට වෛරසය දානය කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි. පිරිස වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතව රැකියාවේ යෙදෙන තමන් ආසාදිතයෙක්ගේ ආශ්‍රිතයෙක් හෝ ආශ්‍රිතයෙක්ගේ ආශ්‍රිතයෙක් හෝ බව නොදන්නා රෝග ලක්ෂණ රහිතව වෛරස් දරන්නකු මගින් මෙතෙක් වෛරස ආක්‍රමණය වාර්තා නොවූ පාසල් දරුවන් වැනි සංවේදී සමාජ කාණ්ඩ අතරටද වසංගතය පැතිර ගොස් නව පොකුරු බිහිවීමේ අනතුර පවතින බව ඔහුගේ අදහසයි.
වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කලින්ම අනතුරු අඟවා තිබුණේ දැනටත් එවන් නව පොකුරැ ඇතිවීමේ අවදානම් ඉඟි පොලිසිය, බන්ධනාගාරය, නාවික හමුදාව වැනි ආයතන තුළින් මතුවෙමින් ඇති බවටය. දැන් රට විවෘතව ඇති නිසා ඕනෑම ආයතනයක එක් සේවකයකු ආසාදිත වූ පසු ආයතනයේ සෙසු කාර්යය මණ්ඩලය විශාල වශයෙන් ආසාදිත වීම සිදුවිය හැකි බවද එවන් පොකුරු ආයතන තුළ නිර්මාණය වීම වළක්වා ගැනීමට ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ඒවාට එන-යන අයටද විශාල වගකීමක් ඇතැයිද ඔහු පෙන්වා දී තිබුණි.
වෛද්‍ය චමල් සංජිව පෙන්වා දෙන්නේ මේ මතුව ඇති අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම නියමිත බරකින් යුතුව තවමත් සිදු වී නොමැති බවය. ඒ නිසාම සැඟවී පවතින මාරක අවදානම ගැන නිසි අවබෝධයක් සහිතව ජනයා තවමත් ක්‍රියා නොකරන බවය. නිරොධායනයට ලක්වූ පවුලක දරුවෙක් පාසලට පැමිණීමෙන් මතු වූ හා හෝව එබඳු අනවබෝධය සහ නොසැලකිල්ල සඳහා නිදසුනක් ලෙස ඔහු දක්වයි. දැනටමත් පොල් පටවා යන ප්‍රවාහන සේවා තුළ මතුව ඇති ගැටලු නිසා වෛරස ව්‍යාප්තියට ඇති ඉඩකඩ ඉහළය. ඉකුත් කාලයේ අවසන් සති කිහිපය තුළ වසා දැමීමට පෙර වැඩි අවදානමක් ඇති බස්නාහිර පළාත තුළ සංචරණය කළ පිරිස බොහෝවිට තමන් ආසාදිත බව නොදැනම විවිධ පළාත් තුළ දැන් නිදැල්ලේ සේවා සැපයීම්වල යෙදෙනු ඇති අතර මේ නිසා එම පළාත්වල විවිධ ආයතන තුළින් නව පොකුරු බිහිවිය හැකි අවදානම ඉහළ බව ඔහු පෙන්වා දෙයි. මේ වනවිට මතුව ඇති එන්නත් පිළිබඳ අඬහැරය නිසා පැතිර ඇති වැරදි අවබෝධයද ඒ නිසා මතුවන නොසැලකිල්ලද භයානක ප්‍රවනතාවකි. එන්නත් ගැනීමෙන් රෝගය බෝවීම පාලනය කළ හැකි බවට වැරදි මතයක් බොහෝදෙනා තුළ පැතිර තිබේ. නමුත් එන්නත දෙන්නේ රෝගයට ගොදුරු වූ අවදානම් සහිත පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමටය. එසේම මේ නව එන්නත් අපහට ලැබෙන්නට නියමිත තව බොහෝ කාලයකට පසුවය. එසේ ලැබුණත් ඒ ලැබෙන සීමිත එන්නත් බෙදාදෙන්නේ ඉහළම අවදානම් සහිත අයහටය. මේ නිසා එන්නත එනවා යැයි සිතා එදිනෙදා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු නොසළකා හැර අවදානම් ලෙස හැසිරීම තව තවත් රෝගී පොකුරු රොත්තක් රට තුළ බිහි කිරීමට දායක වීමක් බව වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.
සුගත් පී. කුලතුංගආරච්චි