

දිනය පසුගිය 04 වැනිදාය. එදින 11.30ට පමණ ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටි නැවකින් නාවික හමුදා සමුද්‍රීය ගලවා ගැනීමේ මධ්‍යස්ථානයට පණිවිඩයක් ලැබුණේය. එම පණිවිඩයට අනුව කියවුණේ එම නැවේ එක් කොටසක් ගිනිගන්නා බවත් එය නිවාදැමීමට සහාය ලබාදෙන ලෙසත්ය. ඉහත කී ගලවාගැනීමේ මධ්‍යස්ථානය වෙරළ ආරක්ෂක බළකාය මගින් ක්‍රියාත්මක විය යුතු වුවත් මෙරට ක්‍රියාත්මක වන්නේ නාවික හමුදාව හරහාය. ඒ අනුව නාවික හමුදාව ඒ අවස්ථාවේ ගත යුතු ඉක්මන්ම සහ අවස්ථානෝචිත ක්‍රියාමාර්ගය ගනු ලැබුවේය. ඒ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් නැව තිබෙන දිශාවට යැවීමය.
සැබවින්ම එයින් නාවික හමුදාව උත්සාහ කළේ නැවේ ගින්න දරුණු තත්ත්වයක ඇත්නම් එහි වූ කාර්ය මණ්ඩලය බේරාගෙන පැමිණීමයි.
ඒ අනුව නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා දෙක මුහුදු සැතපුම් 120ක් පසුකරමින් නැව තිබෙන ප්‍රදේශයට ගියේය. එසේ යනවිටත් නැවේ පිටුපස කොටසෙහි බහාලුම් අතරින් ගිනිජාලා ඉහළ නංවමින් අහසට ඇදීයන අයුරු දැකගත හැකි විය. මේ නිසා එම ස්ථානයට ගිය නාවික නිලධාරීන් නාවික හමුදාවට සඳහන් කළේ ඔවුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ නැව කොළඹ වරායට රැගෙන එන බවය. එසේ රැගෙන එන අතරතුර ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදිය යුතු බවත් ඔවුහු දැනුම් දුන්හ.
මෙම නැව පැනමා ධජය යටතේ යාත්‍රාකරමින් තිබුණේය. ඒ සිංගප්පූරුවේ සිට ඊජිප්තුව දෙසටය. මෙහි කාර්ය මණ්ඩලය 21 දෙනෙක්ද සිටියහ. මෙය (ඩැනිලා) නැමැති බහාලුම් නෞකාව විය.
කෙසේවෙතත් එම නෞකාවේ බහාලුම් ප්‍රමාණය අධික නිසාත්, ගින්න එන්න එන්නම ඉහළ යන නිසාත්, නාවික හමුදාව ගින්න නිවීම සඳහා සූදානම් විය. කෙසේවෙතත් ගින්න නිවීමේ හැකියාව තිබුණේ නාවික හමුදාවේ එක් නැවකට පමණි. ඒ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ ආරක්ෂාවට යොදවා ඇති සාගර නෞකාවටය. ඒ අනුව ඒ අවස්ථාවේ සාගර නෞකාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා කැඳවනු ලැබිණි. එහෙත් එයින් සෑහීමකට හැකියාවක් නොවීය.
ඒ වනවිටත් එදින උදෑසන සුහද සංචාරයක් සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් නැවක් කොළඹ වරායට සේන්දු වී තිබුණේය. ඒ (ශූර්) නම් නෞකාවයි. කෙසේ වෙතත් ඒ වනවිට ගිනිගනිමින් සිටි නෞකාව මුහුදු සැතපුම් 33ක් දක්වා මෙරට මුහුදු සීමාවට ගෙන එමින් තිබුණේය. ඉතිරිය රැගෙන ඒම සඳහා නාවික හමුදාව මගින් වරාය අධිකාරියට මේ පිළිබඳ දැනුම් දීමක් කෙරිණි. ඒ අනුව නැව කොළඹ ප්‍රදීපාගාරයේ තිබී මුහුදු සැතපුම් 10ක් දක්වා දුරට රැගෙන ආවේය.
ගින්න අධික වීම නිසා නාවික හමුදාවත් ශ්‍රී ලංකා වරායත් එක්ව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මෙම ගින්න නිවීම සඳහා සහාය පැතුවේය. ඒ සුහද සංචාරයක් සඳහා පැමිණ තිබෙන (ශූර්) නැව ලබාදෙන ලෙස ඉල්ලමිණි. ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඊට අවසරය ලබාදෙමින් ශූර් නැව ගින්න නිවීමේ මෙහෙයුම සඳහා නිදහස් කළේය.
ඒ වනවිටත් වරාය අධිකාරිය මගින් මගී යාත්‍රා දෙකක් මේ සඳහා යොමුකර තිබුණි. රාවණා සහ මහවැව නැමැති මෙම මගී යාත්‍රා නැව අසලට ගොස් විශාල වශයෙන් ජලය ගින්න ඇති ප්‍රදේශයට පොම්ප කළත් ගින්නෙහි අඩුවක් දකින්නට හැකිවූයේ නැත. එන්න එන්නම ගින්න පැතිර යන්නට විය.


ඒ අනුව එම මගී යාත්‍රා දෙකට අමතරව නාවික හමුදාවට අයත් සාගර නෞකාවත් ශූර් නෞකාවත් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් දියත් කෙරිණි. මුහුදු ජලය ගැලුම් ගණනින් නැවට යොමුකළත් ගින්නෙහි අඩුවක් පේන්නට වූයේ නැත.
කෙසේවෙතත් තව තවත් සහාය දීම සඳහා ඉන්දියානු රජය විසින් දර්ශක් සහ ගැරියර් යන නෞකා දෙක මෙහෙයුම සඳහා යොමුකරන්නට විය. එපමණක් නොව, හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක්ද මේ වනවිට එම නැව වටා රඳවනු ලැබ තිබිණි.
එසේම ගිනි නිවීමට ගුවන් හමුදාවට අයත් බෙල් 212 යානයද සහායට ආවේය. ගුවනින්ද සහාය දැක්වීම සඳහා ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායට අයත් චෙකක් හෙලිකොප්ටර් යානයද යොමුවිය.
05 වැනිදා උදෑසන වනවිට ගුවනිනුත් මුහුදෙනුත් ගින්න නිවීම සඳහා විශාල ජල ප්‍රමාණයක් යොදවා තිබුණි. එහෙත් ඒ වනවිටත් ගින්න නිවී තිබුණේ නැත. එන්න එන්නම ගින්න පැතිර යමින් තිබුණු අතර ඒ වනවිටත් නැවේ තිබූ බහාලුම් තොගයක් අළු වී හමාර වී තිබිණි.
කෙසේවෙතත් 06 වැනිදා උදෑසනද ගින්න එසේම පැවතිණි. නාවික හමුදාවත් ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකායත් එක්ව නොයෙකුත් උත්සාහ දැරුවත් ගින්න පාලනය කරගැනීමට හැකිවූයේ නැත. එක් විටක ගින්න අඩු වී ගියත් මඳ වේලාවකට පසු නැවත ගින්න ඇවිලී යන ආකාරය දැකගැනීමට හැකි විය.
එහෙත් 06 වැනිදා සවස් වනවිට ගින්න ක්‍රමක්‍රමයෙන් පාලනය කරගැනීමට මෙහෙයුමේ සිටි පිරිසට හැකිවිය. විශේෂයෙන් ගින්න පැතිරී යාම අවම වූ අතර එහෙත් විවිධ අවස්ථාවලදී බහාලුම් අස්සෙන් කළු දුම් රොටු ඉහළට නැඟුණේය. ඒ නිසා 07 වැනිදා උදෑසනද ශූර් නෞකාවත්, සාගර නෞකාවත් නැව ආසන්නයෙන් නැංගුරම්ලා සිටියේය. කෙසේවෙතත් මේ ලිපිය ලියන මොහොත වනවිට ඇතැම් අවස්ථාවල ගින්න හටගත් අවස්ථා තිබුණි.
♦ ගයාන් ගාල්ලගේ