2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කොළඹ වරායේ මොකද වුණේ?

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ කොටසකි. අපට තනිව ජීවත්වීමට නුපුළුවන. ඒ නිසා ගෝලීය ආර්ථිකයේ බලපෑම් අපටද කාන්දුවෙයි. ඒ අනුව මේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම අපටද සෘජුවම යටත්වීමට සිදුවේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වරාය තුළ කන්ටේනර් පෙට්ටි 50000කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තාවල පළවිය. මේ තත්ත්වය හේතුවෙන් ආනයන අපනයන කටයුතුවලට බාධා ඇතිවී තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවල තිබිණි.

වරායේ සේවකයන් අඩු වීම අදාළ තත්ත්වයට හේතුව බව පැවසෙන අතර එලෙස සේවක අඩුවක් ඇතිව ඇත්තේ වරායේ සේවක පිරිසකට කොවිඩ් 19 රෝගය ආසාධනය වීම හේතුවෙන් හා තවත් සේවක පිරිසක් නිරෝධායනයට යොමුකර සිටීම මත හුදෙකලා කර ඇති ප්‍රදේශවල සේවකයන් සේවයට ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා බවද පැවසේ.

ආණ්ඩුවට කන්ටේනර් මුදාහරින වැඩපිළිවෙළක් නැහැ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි

කොවිඩ් 19 රෝගය මෙරට පුරා ව්‍යාප්ත වීමත් සමඟම වරාය තුළ භාණ්ඩ සමඟ විශාල කන්ටේනර් පෙට්ටි තොගයක් හිරවුණා. නමුත් රජය එම කන්ටේනර් පෙට්ටි නිදහස් කරන්න කිසිදු වැඩපිළිවෙළක් යෙදුවේ නැහැ. මෙවැනි තත්ත්වයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙද්දී ඒ සඳහා අපි වැඩපිළිවෙළක් සැකසුවේ නැත්තම් අපේ ආර්ථිකය කඩාවැටී වරාය පාඩු ලබන ආයතනයක් බවට පත්වීම වළක්වන්න බැහැ.

ගොඩගැසුණු කන්ටේනර් ඔක්කොම මුදාහැරියා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක

කොවිඩ් 19 රෝගය රටපුරාවටම පැතිර යාමට පටන්ගත් නිසා මේ විදියට කන්ටේනර් පෙට්ටි හිරවෙලා තිබුණා. ඒකට හේතුව තමයි මේ කන්ටේනර් පෙට්ටිවල හිමිකරුවන්ට ඇඳිරිනීතිය නිසා එන්න බැරිවී තිබීම. නමුත් අපි දැන් මේ වනවිට ඒ කන්ටේනර් පෙට්ටි නිදහස් කරලා තිබෙනවා. ඒ වගේම වරායේ සේවකයන් කිහිපදෙනෙකුට කොවිඩ් රෝගය වැළඳීම නිසාත් ඇඳිරිනීතිය පනවා තිබෙන පොලිස් බල ප්‍රදේශවල සිටින සේවකයන් සේවයට කැඳවීමට නොහැකි වී තිබෙන නිසාත් වරාය තුළ සේවකයන්ගේ අඩුවක් තිබුණා. නමුත් අපි වරායේ කටයුතු අඩපණ වීමට නොදී වරායේ සේවයේ නියළී විශ්‍රාම ගිය සේවකයන් කිහිප දෙනෙකු සේවයට කැඳවූවා. වරාය තුළ වෙනත් කිසිදු අර්බුදයක් නැහැ. ඒ කන්ටේනර් පෙට්ටි ගොඩගැසී තිබුණේ බස්නාහිර පළාතට එන්න බැරි නිසා දැන් එහෙම තත්ත්වයක් නැහැ. වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

කොවිඩ් නිසා වරාය වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

කොවිඩ් රෝගයේ දෙවැනි රැල්ල රටපුරා පැතිරෙන්න ගත්ත නිසා රජය විසින් දිවයිනේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකටම ඇඳිරිනීතිය පැනවූවා. ඒ නිසා මේ කන්ටේනර් පෙට්ටි හිමිකරුවන්ට කොළඹට එන්න බැරිවුණ නිසා තමයි මේ කන්ටේනර් පෙට්ටි හිරවුණේ. නමුත් දැන් වරාය අධිකාරිය එය නිදහස් කරලා ඉවරයි. මේ වනවිට අපි වරාය කටයුතු අඩපණ වෙන්නේ දෙන්නේ නැහැ.  වරාය සේවකයන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වුණා. එය ආසාදනය වීමත් එක්ක වරායේ කටයුතුවලට සේවක හිඟයක් ඇතිවුණා. නමුත් අපි දැනට විශ්‍රාම ගියපු කිහිපදෙනෙකු සේවයට කැඳවූවා. දැන් ගැටලුවකින් තොරව වරාය කටයුතු සිදු කරනවා.

 සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04