2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

නාසා විද්‍යාඥයන් - වෛද්‍යවරුන් - ඉංජිනේරුවන් වෙන්න සිහින දකින පහේ හපන්නු

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 295

තවත් කඩයිම් විභාගයක ප්‍රතිඵල පසුගිය ඉරුදින මධ්‍යම රාත්‍රියේදී නිකුත් වුණි. ඒ ඔක්තෝබර් මස 11 වැනිදා පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයන්ය. මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 326264 දෙනෙක් පෙනී සිටියහ.
වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර විභාගයට පෙනී සිටි දරුවන්ට අමතක නොවුණ විභාග පෙනී සිටීමක් වුණි. දෙවතාවක්ම පැවැත්වීමට නියමිතව තිබුණු මෙම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට සිදුවුණි. ඒ කොවිඩ් වසංගතය හේතුවෙනි. මේ නිසාම පහ ශ්‍රේණියේ හපන්නුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද පසුවූයේ දැඩි කනස්සල්ලෙනි. කෙසේ වුවද මෙවර පැවැත්වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි දරුවන් අවසන් කාලයේදී අධ්‍යාපනය ලැබීමට හැකිවූයේ අන්තර්ජාලය ඔස්සේය. එසේත් නැත්නම් Online ක්‍රමයටය.

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී සම්පූර්ණ ලකුණු වූ ලකුණු 200 ලබාගැනීමට දිවයිනේ විවිධ පළාත්වලින් විභාගයට පෙනී සිටි සිසුන් දස දෙනකුට හැකියාව ලැබුණි. මේ නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ටයෝ දහදෙනෙකි. මොවුන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය වූයේ කොළඹින් දුරබැහැර පළාත්වල පදිංචි සිසුන්ය. මීට වසර 13කට පෙර හොරණ තක්ෂිලා මහා විදුහලේ දරුවකු ලකුණු 200 ලබා ඇත. මෙම විශිෂ්ටයන්ගෙන් හය දෙනකු සිසුවන් වූ අතර සිසුවියෝ හතර දෙනෙකි.
පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තේනුජ මනුමිත බණ්ඩාර මෙම විශිෂ්ටයන් දසදෙනා අතර සිටිනා සිසුවෙකි. මෙය පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වූ පාසලකි.

තෙනුජ පවුලේ බාල දරුවාය. පද්මා අයිරාංගනී තෙනුජගේ මවය. එච්.එම්. විජේරත්න ඔහුගේ පියාය. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරති. ඉගෙනීමට මෙන්ම තෙනුජ පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට දස්කම් දක්වන සිසුවෙකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයම ලබාගත් තෙනුජගේ අනාගත බලාපොරොත්තුව වන්නේ වෛද්‍යවරයකු වීමය.

තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ. තසිඳු කවිෂාන් ලකුණු දෙසීයම ලබාගත් තවත් විශිෂ්ටයෙකි. ගොවිතැන් කටයුතුවල නිරතවන ජයලත් සිසිරගේත් දිනුෂා සෙව්වන්දිගේත් වැඩිමහල් පුතුණුවන් වන්නේ තසිඳුය. තසිඳුගේ ප්‍රියතම විෂය වන්නේ විද්‍යාවය. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ නාසා ආයතනයේ විද්‍යාඥයකු වීමය.

චෙස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගත් යෙහාරා යෙත්මිණි ද මෙවර පහ ශ්‍රේණියේ විභාගයෙන් ලකුණු දෙසීයක් ලබාගත් සිසුවියකි. ඇය මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබයි. චෙස් ක්‍රීඩාවට මෙන්ම ඇය ඉංග්‍රීසි විෂයට සහ ගායනයට දස්කම් දක්වන්නීය. ඇය පවුලේ වැඩිමහල් දියණියයි. මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක වන සංජානිගේත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වන සරත්ගේත් වැඩිමහල් දියණිය වන සෙත්මිනිගේ අනාගත බලාපොරොත්තුව වන්නේ වෛද්‍යවරියක වීමය.

ලකුණු දෙසීයක් ලබාගනිමින් දිවයිනේ දසදෙනා අතරට තේරුණ තවත් සිසුවියකි සෙනුදි දම්සරා සිසුවිය. ඇය ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යාවකි. පාසලේදී එදිනට ලබාදෙන වැඩ කටයුතු එදිනම කර අවාසන කරන බවත් තම ජයග්‍රහණය පිළිබඳව ඇයට ඇත්තේ අසීමිත සතුටක් බවත් සෙනුජි කියන්නීය. ඇගේ අනාගත බලාපොරොත්තුව වන්නේද වෛද්‍යවරියක වීමය.

දොවිඳු චිරන්ජිත් ශිෂ්‍යයා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ තවත් හපනෙකි. බුලත්වැල්කන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පී.කේ. සංජීව දෙවිඳුගේ පියා වන අතර දීපිකා ප්‍රියංගනී දෙවිඳුගේ මවයි. පවුලේ වැඩිමහල් පුතණුවන් වූ දෙවිඳුද ඉගෙනීම් කටයුතුවලට මෙන්ම ක්‍රීඩා කටයුතුවලටද එකසේ කැමැත්තක් දැක්වූ ශිෂ්‍යයෙකි. ඔහුගේද අනාගත බලාපොරොත්තුව වන්නේ වෛද්‍යවරයකු වීමය.

බණ්ඩාරගම, අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රදේශයේ පදිංචි හිනුද සස්මිත ශිෂ්‍යයාද මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයක් ලබාගත් තවත් හපනෙකි. ඔහු අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරගම ජාතික පාසලෙනි. පාසලේ විදුහල්පති ඇතුළු තමන්ට ඉගැන්වූ සියලුම ගුරු මණ්ඩලය නිසාවෙන් තමන්ට මෙම ජයග්‍රහණය හිමිවූ බව සස්මිත පවසන්නේය. ඔහුගේ අනාගත බලාපොරොත්තු වන්නේද බොහෝ ශිෂ්‍යත්ව හපනුන්ගේ බලාපොරොත්තුව සේ වෛද්‍යවරයකු වීමය.

දකුණු පළාතෙන් ශිෂ්‍යත් කඩඉම ජයග්‍රහණය කළ තවත් පුංචි හපනෙකි සියති විතුම්සා සඳුන්දි ශිෂ්‍යාව. ඇය ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ශිෂ්‍යාවකි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය සියතිය. ව්‍යාපාරිකයකු වන ඉන්දික කරුණාතිලකගේත්, නිලන්ති දීපිකාගේත් දියණිය වූ සියති සංඝමිත්තා බාලිකාවට ආඩම්බරයකි. පාසැලේදී ඇය ඉගෙනීමට මෙන්ම දක්ෂ චෙස් ක්‍රීඩිකාවකි.

හොරණ අධ්‍යාපන කලාපයේ ඇති ඉංගිරිය සුමනජෝති ප්‍රාථමික විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න ශිෂ්‍යාවද මෙවර ලකුණු දෙසීයම ලබාගත් පුංචි හපන්නුන්ට එකතු වූ තවත් පුංචි හපන්නියකි. පවුලේ වැඩිමහල් දියණිය වූ දෙව්ලිගේ මව ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ගුරැවරියකි. ඇගේ පියා ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරනා නිලධාරියෙකි. ඇයගේ අනාගත බලාපොරාත්තුව වන්නේද වෛද්‍යවරියක වීමයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹ ප්‍රදේශයෙන් ලකුණු දෙසීයම ලබාගත් ශිෂ්‍යයා වන්නේ මරදාන සහිරා විදුහලේ මොහොමඩ් තර්සාන් මොහොමඩ් අමර් ශිෂ්‍යයාය. ඔහු පෙනී සිටියේ සිංහල මාධ්‍යයෙන්ය. පාසලේදී අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ඔහු හොකී, පිහිනුම්, වෙඩි ආදී ක්‍රීඩා කටයුතුවලද නිරත වූවේය. රක්ෂණ සමාගමක සේවය කරන මොහොමඩ් ෆර්ජාන් සහ ෆාතිමා රිස්මිලා අමර්ගේ දෙමව්පියෝ වෙති. තමන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේද වෛද්‍යවරයකු වීම බව ඔහු කියයි.
ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ඒ.එම්. සිහන් සත්දිනු ශිෂ්‍යයාද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු දෙසීයක් ලබාගත් තවත් හපනෙකි. ගුරුවරියක් වන තම මවගෙන්ද පෞද්ගලික අයාතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන තම පියාගෙන්ද මේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලැබුණු බවත් එමෙන්ම මෙම ජයග්‍රහණය පිටුපස තම පාසල මෙන්ම තමන්ට ඉගැන්වූ තම ගුරු මණ්ඩලයේ ආශීර්වාදය හිමි බවද සිහන් පවසයි. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගගනගාමියකු වීමය.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්ක විසින් ලබාගන්නා ලද කඩඉම් ලකුණුද පසුගියදා නිකුත් වුණි. මේ අනුව සිංහල මාධ්‍ය සිසුන් සඳහා ඉහළම කඩඉම් ලකුණ වන්නේ ලකුණු 169කි. එමෙන්ම දෙමළ මාධ්‍ය සිසුන් සඳහා ඉහලම කඩඉම් ලකුණ වන්නේ ලකුණු 162කි. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් 169 කඩඉම් ලකුණ වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්ය. එම දිස්ත්‍රික්කයන් සඳහා දෙමළ මාධ්‍යයන් සඳහා නිකුත් කර ඇති කඩඉම් ලකුණ වන්නේ ලකුණු 162කි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ 165ක් වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය සඳහා කඩඉම් ලකුණ වන්නේ 158කි. හම්බන්තොට දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය ලකුණ 164 වන අතර දෙමළ මාධ්‍ය සඳහා ලකුණ 160කි. අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය සඳහා කඩඉම් ලකුණ 163 ලෙස සඳහන්ව ඇති අතර එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය සඳහා කඩඉම් ලකුණ වන්නේ පොළොන්නරැව, බදුල්ල 159ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලකුණු 158කි. සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ ලෙස 162 මොණරාගල, අම්පාර යන දිස්ත්‍රික්කවල සඳහන්ව ඇති අතර එහිදී දෙමළ මාධ්‍ය ලෙස කඩඉම් ලකුණ වන්නේ අම්පාර 160 වන අතර මොණරාගල ලකුණ 155කි. මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද කඩඉම් ලකුණ නිකුත් කර ඇත.

මේ අතර මෙවර පහ ශ්‍රේණියේ  ශිෂ්‍යත්ව විභාගය සමත් වූ හපනුන් 20000කට ශිෂ්‍යාධාර හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250ක්ද සිටිනා බව එහි වැඩිදුරටත් සඳහන්ය.

විශේෂ අවශ්‍යතා දරුවකුගේ විශිෂ්ට දස්කමක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුණ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ දෙහිවල කරගම්පිටිය විජය විදුහලේ රමල් ක්‍රිස්ටෝපර් සහබන්දුය. ඔහු ලකුණු 99ක් ලබා තිබුණි. අඩු පහසුකම් සහිත ඉතා දුෂ්කර පාසලක් වන විජය විදුහලේ ඉගෙනුම ලබන දරු සංඛ්‍යාව වන්නේ පනහකටත් අඩු සංඛ්‍යාවකි. මෙවර එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට දරුවන් පස්දෙනෙක් මුහුණ දුන්හ.

“මේ මගේ පළමු ගුරු පත්වීමයි. මම ගුරුවරිය ලෙසින් මේ පාසලේ පත්වීම බාරගත්තේ 2019 ජනවාරි මාසයේයි. ඒ වනවිට ශිෂ්‍යත්ව විභාගයට ගුරුවරියක් පාසලේ හිටියේ නැහැ. රමල් කියන්නේ විශේෂී දරුවෙක්. රමල්ට කතාකිරීමේ, කථන ලිවීමේ හැකියාව නැහැ. නමුත් පන්ති කාමරය තුළ හැමදේකදීම, හැම ක්‍රියාකාරකමකටම අංක එකට ඉදිරිපත්වන දරුවා තමයි රමල් කියන්නේ. මගේ හොඳම ශිෂ්‍යයා. මම පන්තිකාමරය තුළ උගන්වද්දි එයාගේ අවධානය පිට යන්නේ නැති තරම්. හරි අවබෝධයෙන් පාඩමට ඇහුම්කන් දෙනවා. කතාකරන්නට, ලියන්නට බැරි වුණත් මම ප්‍රශ්නයක් කළු ලෑල්ලේ දමද්දී ඒ පිළිතුරට රමල් අත උස්සලා ඉවරයි.”යැයි රමල්ට ශිෂ්‍යත්වයට ඉගැන්වූ රූපිකා චාන්දනී අරන්දර ගුරුතුමිය දේශයට පැවසුවාය. රමල් ඉගෙන ගන්නේ සාමාන්‍ය දරුවන් ඉගෙන ගන්නා පාසලකය. රමල්ගේ මවත් පියාත් ඔහුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පමණක් ඉගෙන ගන්නා පාසලකට ඇතුළත් කරන්නට මැලිකමක් දැක්වූහ.

“මේ මගේ දෙවැනි දරුවා. පුතා ඉපදිලා පුතා ගැන මට වෛද්‍යවරුන් කියද්දී මමත් මගේ සැමියාත් රෝහල්වලින් ඒ තෙරපි වෛද්‍ය ක්‍රම නිසි පරිදි කරගත්තා. මම ක්‍රිස්තියානි බැතිමතෙක්. මම දෙවියන් වහන්සේව දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ කරුණාව මත මට ඒ දියුණුව ලැබුණා. මම පුළුවන් තරම් මගේ පුතාට දැනුම ලබාදුන්නා. මම ගෙදර මගේ දරුවට ඉගැන්වූවා. දරුවාගේ නිසි වයසේදී සාමාන්‍ය දරුවන් ඉගෙනගන්නා ළදරු පාසලකට මම දරුවා ඇතුළත් කළා. දරුවාට කතා කරන්න, ලියන්න බැරිනිසා පුතාව ලොකු ඉස්කෝලවලින් ගත්තේ නැහැ. මම හැම ඉස්කෝලෙකටම ගියා. ඒ හැමෝම කිව්වේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉගෙනගන්නා පාසලකට දරුවාට යොමුකරන්න කියලයි. මම දරුව තුළින් ඊට වඩා දෙයක් දැක්කා. දවසක් මම මගේ සැමියාට “අද මම පුතාට ඉස්කෝලයක් හොයාගෙන මිසක් ගෙදර එන්නේ නැහැ.” කියල ගෙයින් එළියට බැස්සා. මම ඇතිතරම් ඉස්කෝලවලට ගියා. අවසානයේදී කරගම්පිටිය විජය විදුහලට මම ඇවිත් පාසලේ විදුහල්පති ස්වාමීන්වහන්සේ මුණගැසී මගේ දරුවා ගැන කිව්වා. පුතා කරපු පොත්පත් දැකපු ස්වාමීන් වහන්සේ “දරුවව අපි බාරගන්නම් දරුවත් සමග අම්මත් පන්තියේ ඉන්න.” යැයි කීවා. ඒක දරුවාට ලොකු හයියක් වුණා. එදා ඉඳන් මාත් පුතා එක්ක පන්තියේ හිටියා.” යැයි රමල්ගේ මව වර්ණා සහබන්දු දේශයට පැවසීය.

සාමාන්‍ය දරුවන්ගේ දෙමව්පියන්ට මෙන්ම රමල්ගේ මවගේ හිතේද ශිෂ්‍යත්ව ඉලක්කයක් තිබුණි. පාසලේ විදුහල්පති බී.කේ. ශාන්තිදේව හිමිපාණන්ගේත්, අරන්දර ගුරුතුමියත්, මඟ පෙන්වීම මත අද රමල් ජයග්‍රහණය ලැබූ දරුවෙකි. විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ලෙස සමාජය පිළිගත්තද මනුස්සකම් ඇති මිනිසුන් හමුවේ රමල් සුවිශේෂී හැකියාවන් ඇති දරුවකු ලෙස මේ සමාජයට ඔප්පු කර පෙන්වා තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න