ඔබ නිර්මාණ කරන්නේ කෙසේදැයි දිනක් මම සම්මානනීය නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු, නවකතා රචකයකු, පරිවර්තන රචකයකු වූ සුගතපාල ද සිල්වාගෙන් ඇසුවෙමි.
1977 වසරේ එක්තරා දිනක ගුවන්විදුලි සංස්ථා ආපනශාලාවේ වඩේ කමින්, විටින් විට උණු උණු ප්ලේන් ටී බොමින් අප කතා කරමින් සිටි හවස් යාමයකි, ඒ.සෑම මිනිසකුටම කිවයුතු කතාවක් තියෙනවා. එහෙත් සෑම මිනිසකුටම ඒ කතාව කියාගන්න බැහැ. ප්‍රකාශන මාධ්‍ය ඇත්තෝ මේ කතාව කියනවා. නැත්තෝ ජීවිතය පුරාම මුණිවත රකිනවා. මගේ ප්‍රකාශන මාධ්‍ය නාට්‍යයයි, නවකතාවයි. ප්‍රකාශන මාධ්‍යයක් කියන්න කතාවක් තිබුණු පමණින් කාර්යය සපිරේ යැයි මා සිතන්නේ නැහැ. කීමට තරම් වැදගත් යමක් ඒ කතාවේ තිබිය යුතුයි. කිසියම් කෘතියක දෘෂ්ටිය ලෙස අපි දකින්නේ ඒ මේ කිවයුතු දෙයයි. දෘෂ්ටියකින් තොර කෘතීන් ඇස් බඳින වෙසක් කූඩුවක් පමණයි කියලා මම හිතන්නේ.
සුගතපාල ද සිල්වා වසර 25ක් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ නාට්‍ය නිෂ්පාදක ලෙස කටයුතු කොට නව මඟක යන අලුත් නාට්‍ය රචකයන් මෙන්ම හඬ රංගන ශිල්පීන්ගේ කුසලතා රටට හඳුන්වා දුන්නේය. ඒ අතර වේදිකා නාට්‍ය ද නිෂ්පාදනය කළේය. සම්මාන පිට සම්මාන දිනුවේය. මේ නිර්මාණ කාර්යයට තමා යොමු වූ පසුබිම ඔහු විස්තර කළේ මෙසේය.
එකල ගම්පොළ දුම්රියපොළ පාරේ කොස්ගහමුල කඩේ නමින් හැඳින්වූ වෙළෙඳසල මගේ පියා චාල්ස් ද සිල්වා සතුව තිබුණා. එම කඩපෙළේම මගේ මාමාට අයත් පොත් සාප්පුවකුත්, මුද්‍රණාලයකුත් තිබුණා. මගේ මව වූ මනික්කු බඩතුරුගේ කුසුමාවතී පදිංචිව සිටියේ පියාගේ වෙළෙඳසලේ සොල්දරයේ අපි එක්ක. මාමාට හිමි රෝහණ මුද්‍රණාලයෙත් බේකරියෙත් පාසල් ගොස් ඇවිත් කලක් කළමනාකාරකම් කළ මම බිත්ති හතරකට කොටු වුණා. මට මගේම ගුවන්විදුලි සේවයක් තිබුණා. වෙළෙඳසලේ උඩු මහලේ මුල්ලක පරණ පබිලියන් ඇඳක් තිබුණා. පාසල ඇරී ඇවිත් දවල් කෑම ගැනීමෙන් පසු ඇඳට වදින මම එම ඇඳ ගුවන්විදුලි මැදිරියක් කරගෙන නිවේදන කටයුතුවල යෙදුණා. ගාමිණී ළමා සමාජය නම් මනඃකල්පිත සංගමයක් හදාගෙන ඒ සංගමය මගින් මගේ ගුවන්විදුලිය ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් කළා. මුද්‍රණාලයේ ඉතා හොඳ සුදු බෑන්ක් කඩදාසියේ කළ පරණ බිල් පොත්වල කාබන් පිටපත වැදී තිබුණේ එක පැත්තක විතරයි. මම බිල් පොත්වල අනික් පැත්ත ප්‍රයෝජනයට ගනිමින් ගාමිණී ළමා සමාජයේ සඟරාව සකස් කළා.
සුගතපාල කියන ආකාරයට මාමාගේ මේ වෙළෙඳසලේ කොළොම්බියා සහ එච්.එම්.වී ගීත තැටි අලෙවි කරන අංශයක් ද විය. එක තැටියක් විකුණා ගැනීමට පාරිභෝගිකයාට තැටි විස්සක් තිහක් පමණ වාදනය කොට අසන්නට සලස්වනු ලබයි. මේ නිසාම බොහෝ ගීත සුගතපාලට කටපාඩම් තිබුණි. නිතර නිතර එකම තනුව හිසට වැදී පැළපදියම් වූ නිසා එවන් තනුවකට ගීත ගැටගැසූ ඔහු ඒ ප්‍රබන්ධ කළ ගීත තමාගේ සඟරාවට ඇතුළත් කොට පබිලියන් ඇඳේ ගුවන්විදුලියට එවීය. එතැනදී ගුවන්විදුලි නිවේදකයකු හා විචාරකයකු බවට පත්වන සුගතපාල සඟරාවට එවීම ගැන ස්තූති කරයි. මේ සිහිනය අවුරුදු ගණනකට පසු සැබෑ විය. සුගතපාල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාට්‍ය නිෂ්පාදකයා වුවත් සැබෑ ගුවන්විදුලිය සිහිනය තරම් සුන්දර එකක් නොවූ බව එදා පැවසුවේය.
වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය, උණවටුනේ ගාල්ල විද්‍යාලය, ගම්පොළ ජිනරාජ විද්‍යාලය හා කොළඹ පෙම්රොක් විද්‍යාලවලින් ඉගෙනුම ලැබූ සුගතපාල පාසල් වියේදී පහළ පන්තිවල සිටම පාඩම් පොත්වලට අමතරව කියවා ඇත්තේ A.L. Readers නම් පොත් විශේෂයකි. ඊසොප්ගේ උපමා කතාවල සිට චාල්ස් ඩිකන්ස් ගේ, සර් වෝල්ටර් ස්කොට්ගේ සහ අයිවන් හෝ ගේ කෘතීන් කියවූ ඔහු නොතිත් ආසාවෙන් තවත් පොත් සොය සොයා වන්දනාවේ ගොස් ඇත.
දෙවැනි ලෝක මහා සංග්‍රාම අවසාන දිනවල ගම්පොළ විගුලවත්ත පිට්ටනියේ සිංගප්පූරුව බලා යන ඔස්ට්‍රේලියානු සෙබළුන් ලැඟුම් ගන්නා අතරමැදි කඳවුරක් තිබුණා. එතැන පොත් දහස් සංඛ්‍යාවක පුස්තකාලයක් ඇතැයි සැල වුවද ඒ පැත්ත බලාගෙන හුස්ම ගැනීම පවා පාසලින් අපට තහනම් වුණා. කඳවුර පිහිටියේ පාසලට යාර දෙසීයක් පමණ දුරින්. යුද්ධය හමාර වීමත් සමඟම මේ පොත් ගම්පොළ කඩවීදියේ පදිකයට ගියා. මේ අතර බෙහෙවින් දකින්නට තිබුණේ රහස් පරීක්ෂක කතා, ගුප්ත කතා සහ ගොපළු කතායි. එහි පොත් අලෙවි වූයේ අපට ඔරොත්තු දෙන සත පනහක් වැනි මුදලකටයි සුගත් කීය.
පාසල් වියේදීම සුගතපාල ප්‍රේම මායා නම් නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත. පස් දෙනකුට පෙම් කළ ගැහැනියක පිළිබඳ මේ නාට්‍ය පාසල් සිසුන්, නළු නිළියන් වශයෙන් යොදා ඔහු නිෂ්පාදනය කළේය. මේ නාට්‍ය ලිවීමට ඔහුට බලපෑවේ පියදාස සිරිසේන විසින් ලියූ නවකතා බව මේ ලියුම්කරුට (1977) කියා තිබුණි. ඒ ඇසුරින් අප නව යුගය සඟරාවට ලිපියක් ද සම්පාදනය කර තිබුණි.
මේ නාට්‍ය කරන කාලේ සුගතපාල ටවර් හෝල් නාට්‍ය ද මිනර්වා නාට්‍ය ද අපමණ දැක තිබුණි.
බොහෝ දෙනකු නොලද වාසියක් පාසල් වියේදී මට තිබුණා. කොතෙකුත් චිත්‍රපට හා නාට්‍ය නැරඹීමට සහ නවකතා කියවීමට ලැබූ නිදහසයි. හත්වැනි පන්තියේ සිට මම මාසයකට ද්‍රවිඩ චිත්‍රපට අඩු තරමින් දහයක්වත් නැරඹුවා. අධම ද්‍රවිඩ චිත්‍රපටය විසින් මගේ රසඥතාව විනාශ නොකළේ එක වැදගත් අත්දැකීමක් නිසායි. මා චිත්‍රපට නැරඹුවේ කූඩාරමක. ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට බැලීමට නොලැබුණු හැම දිනයකම ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍රපට දහයෙන් එකක් සේ සැලකෙන ක්ලියිව්සොගේ ද වේජස් ඔෆ් ෆියර්^ නම් චිත්‍රපටය තිරගත වුණා. මෙම චිත්‍රපටය මම විසි තිස් වරක් නරඹා තිබුණා. මේ සිද්ධිය කීමට මා අදහස් කළේ හපන්කමක් හැටියට නොව නිර්මාණයෙහි යෙදෙන්නකු විසින් ආරම්භයේදී රස නීරස හඳුනා ගැනීමේ පුරුද්දක් වගා කළ යුතු බව මම විශ්වාස කරන නිසායි. ද වේජස් ඔෆ් ෆියර් සෙසු චිත්‍රපට අතර කැපීපෙනෙන සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීමට මම උත්සාහ කළා. රක්ෂා විරහිත පුද්ගලයන් තිදෙනකු පිළිබඳ වූ මේ චිත්‍රපටය තුළින් මම ජීවිතයේ හා සමාජයේ යථාර්ථය දුටුවා.
සුගතපාල 1958 වසරේ එක වල්ලේ පොල්^ රචනය කළේය.
සුගතපාලගේ මුල්ම රුකියාව වූයේ නිල්දණ්ඩාහින්න එගොඩකන්ද මිශ්‍ර පාසලේ ඉංග්‍රීසි උපගුරු තනතුරය. සුගතපාල එක රැකියාවක දිගටම ඉඳ නැත. කලක් %සිංහල ජාතිය^ පත්‍රයේ පරිවර්තක හා උප කර්තෘ ලෙස කටයුතු කළ ඔහු බම්බලපිටියේ කේ.වී.ජී. ද සිල්වා පොත් සමාගමේ වෙළෙඳ සේවක හා ගිණුම් ලිපිකරු ලෙස ද සේවය කිරීමට තරම් හිතුවක්කාර විය.
මම පොත් ගුල්ලෙක්නේ. පොත් සාප්පුවේදී මට විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට පොත් කියවන්න ලැබුණා. පොත් විකුණුවා. විශිෂ්ට සිංහල ලේඛකයන්ට මම අලුත එන පිටරට පොත් හඳුන්වලා දුන්නා. සුගතපාල කීවේය.
පොත් සාප්පුවෙන් ලැබුණු රුපියල් හයසීය ගැන සුගතපාල තෘප්තිමත් වී ඇති කාලයක ඔහු බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ පරිවර්තක හා සඟරා සංස්කාරක ලෙස ද රුකියාව තෝරාගත්තේ මිත්‍රයකු වූ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ රෙකමදාරුව නිසාය.
සුගතපාල දවල් බත ගත්තේ තම කාර්යාලය අසලම තිබූ කොල්ලුපිටියේ ඉන්දු - සිලෝන් සයිව හෝටලයෙනි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියකු ලෙස කටයුතු කළ සිරිල් බී. පෙරේරා ද සුගත් සමඟ තෝස කෑමට එන මිතුරෙකි. ඔවුන්ගේ කතාවට මාතෘකාව වූයේ වේදිකා නාට්‍යයය. නාට්‍යයක් බලන්න ගිය සුගත් එහි අඩුපාඩු නිර්දය ලෙස විචාරය කළේය. සිරිල් අසා සිටියේය.
හොඳයි එහෙනං උඹ හොඳ නාට්‍යයක් කරලා පෙන්නපං සිරිල් සුගතපාලට අභියෝග කළේය.
අභියෝගය බාරගත් සුගතපාල බෝඩින්කාරයෝ නාට්‍ය පිටපත ලියා එම්.ඒ. සිමියොන්ගේ Press club එකේදී සිරිල් හමුවිය. සිරිල් නාට්‍ය පිටපත කියවා සුගතපාලව වැළඳ ගත්තේය.
මචං අපි මේ නාට්‍ය කරමු. මේ පාර නාට්‍ය උත්සවයටත් ඉදිරිපත් කරමු.
සිරිල්ගේ දිරිගැන්වීමෙන් පසු කොටුවේ බ්‍රිස්ටල් හෝටලයට සුගත්ගේ හිතුවතුන් කිහිප දෙනෙක් පැමිණියහ. රුලෙක්ස් රණසිංහ, ඔගස්ටස් විනායගරත්නම්, පියසිරි නාගහවත්ත, විපුල ධර්මවර්ධන ඒ අතර වූහ. සුගතපාලගේ නාට්‍ය ගැන ඔවුහු කතා කළහ. නාට්‍ය සංවිධානය ගැනත් අදහස් දැක්වූහ.
මේකේ නම අපේ කට්ටිය. මේකේ සභාපතිල නෑ. ලේකම්ල නෑ. කවුරුහරි නාට්‍යයක් කරනවා නම් ඒ කාලය තුළ නායකයා එයා. අනිත් අය ඔක්කොම එයාගේ නාට්‍යයට උදව් කරනවා. සිරිල් නීතියක් දැම්මේය.
අපි බෝඩින්කාරයෝ නොවැ. අපි නාට්‍යයට බෝඩින්කාරයෝ කියලා කියමු. සුගතපාලගෙන් යෝජනා විය. එය සම්මත එසේ විය.
සුගතපාල සල්ලි පොලියට දෙන බායියකුගෙන් රුපියල් 100ක් ණයට ගෙන නාට්‍යයේ වැඩ පටන් ගත්තේය. ජී.ඩ්බ්ලිව්. සුරේන්ද්‍ර, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, කාන්ති වීරරත්න, ප්‍රේමා විජේවර්ධන, ධර්මසිරි වික්‍රමරත්න නාට්‍යයේ රඟපෑහ. 1962 රාජ්‍ය නාට්‍ය උත්සවයේ හොඳම රචනය (තාත්වික) සඳහා රු. 750ක් හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ තෑග්ගත්, හොඳම නිෂ්පාදනය (තාත්වික) සඳහා ජාතික නාට්‍ය කලා සංස්ථා තෑග්ග බෝඩින්කාරයෝ නාට්‍ය වෙනුවෙන් ලබාගත්තේ ඒ.ජී. සුගතපාල ද සිල්වාය. හොඳම නළුවා වූ, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ලකිසිරුතුමාගේ තෑග්ග දිනීය. ඒ සුගතපාල ද සිල්වා නම් සොඳුරු ආඥාදායකයාගේ ආරම්භය විය.
තට්ටු ගෙවල්, හරිම බඩු හයක්, හෙලේ නැග්ග ඩෝං පුතා, නිල් කට්රොල් මල්, හිත හොඳ අම්මණ්ඩි, දුන්න දුනුගමුවේ, මුතු කුමාරි, තුරග සන්නිය, නන්දිවිසාල, සත සහ සත, ඇසළ සඳ අවන්හල, මරාසාද්, සාන්තුවර සෙබලාණෝ, තෙක් සුගතපාලගේ නාට්‍ය දිගු විය.
1948 දී ඔහු අනූ නවය නමින් රහස් පරීක්ෂක නවකතාවක් රචනා කර තිබුණි. ඊට පෙර කිහිප දෙනකු සමඟ සයිබු නානා නමින් රසකතා පොතක් ලියා තිබුණි. සුගතපාල ද සිල්වාගේ නාට්‍ය ගැන පැහැදුණු ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහු සමඟ සිනමාව, සාහිත්‍ය ගැන කතා කළේය. සුගතපාලගේ මිතුරන් වූ තිස්ස අබේසේකර, සිරිල් බී. පෙරේරා මේ කතාබහට ගියහ. ලෙස්ටර්ගේ විශ්ව සිනමාව ගැන ලියූ පොතපතින් පිරුණු මහා පුස්තකාලයෙන් ඔවුහු පොතපත පරිහරණය කළහ. සිනමාව ගැන වාද කර ගත්හ.
මේ අතර සුගතපාල හැට ගණන්වල සමනලයෝ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එහි සම අධ්‍යක්ෂවරයා හා කැමරා ශිල්පියා වූයේ ඩී.බී. නිහාල්සිංහය. එය අවාසනාවකට මෙන් දර්ශන කිහිපයක් රූපගත කිරීම් කර තිබුණද, අතරමග ඇනහිටියේය. සුගතපාල රචනා කළ මුල්ම කලාත්මක නවකතාව 1963 ලියූ බිත්ති හතර නවකතාවය. එය පරාක්‍රම ද සිල්වා 1982 දී අධ්‍යක්ෂණය කළේය.
හැටේ දශකයේ දී සිළුමිණ විශේෂාංග කර්තෘව සිටි බෙනඩික්ට් දොඩම්පෙගම විසින් කළ ඉල්ලීමකට සුගතපාල අසුරනිකාය නවකතාව කොටස් වශයෙන් ලිවීය. 1958 එය නවකතාවක් ලෙස මුද්‍රණය විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සුගතපාල ලියූ චිත්‍රපට තිරනාටකයක් වියැකී ගිය අන්දම ඔහු අපට විස්තර කර තිබුණි.
1960 දී පමණ මම චිත්‍රපටයකට තිරනාටකයක් ලිව්වා. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන්. ඒක කැමරාගත කිරීමට අපි සුබ මොහොතක් ද සුද්ද කර ගත්තා. ඒත් මේ දිනවල මාත් ඔහුත් පොඩි පණ්ඩිතකමක් කළා. සිංහල චිත්‍රපට කර්මාන්තය රජයට ගන්න ඕනෑ. නැත්නම් සිංහල චිත්‍රපටයේ අනාගත කලදසාව එතරම් හොඳ වෙන්නේ නෑ. කලාත්මක කෘතියක් බිහිවෙන්නේ නෑ. ඔහේ නිකං වැනි වැනී කර්මාන්තයක් පමණක් තියෙන්න පුළුවන්. අපි පත්තරවලින් ඔය විදිහට මුරගෑවා.
ඒත් මේ මොරගෑම හරියටම ඇසුණේ අප චිත්‍රපටයට අර්ථපතිකම් කළ සිනමා සමාගමට විතරයි. හොඳයි එහෙනම් රජයටම කියලා තමුසෙලාගේ චිත්‍රපටය හදාගන්නවකො. ඔවුන් කීවා, චිත්‍රපටය තවමත් එනවා.
සුගත් උත්සාහය අතහැරියේ නැත. මේ නොකෙරුණු චිත්‍රපට තිරනාටකය ඇසුරෙන් අපූරු නවකතාවක් රචනා කළේය. 1970 මාර්තු මාසයේ දිනයක ගුවන්විදුලි සංස්ථාවේ කොරිඩෝවේදී සුගතපාල මෙම ලියුම්කරුට හමුවිය. ඒ වන විට ලියුම්කරු පොත් කවර නිර්මාණයේ ද යෙදී සිටියේය.
උඹව හම්බවුණු එක හොඳයි. යමු කැන්ටිමට. මම ලියපු නවකතාවේ පිටකවරය ඇඳගන්න තියෙනවා.
සුගතපාල අදහස කීවේය. තේමාව ගැන විස්තරයක් ද කළේය. ලියුම්කරු දින දෙක තුනකින් පිටකවරය නිමකොට ඔහු වෙත යොමු කළේය. ඔහු අපමණ සතුටකින් කාර්යාලයේ සිටි සුනන්ද මහේන්ද්‍රට මඩවල රත්නායකට එය පෙන්නුවේය. සුගතපාල කවදත් කටට එන දේ කෙළින් කියන, කුහකකමින් තොරව අව්‍යාජව කියන චරිතයකි.
බලමු. උඹේ පිටකවරයද? මගේ නවකතාව ද හොඳ වෙන්නේ කියලා. සුගතපාල පුංචි විහිළුවක් කළේය.
1971 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී සුගතපාල ද සිල්වා විසින් ලියූ ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ. නම් නවකතාව හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මාන ලැබීය. ලියුම්කරුට ඇතිවූ සතුට නිමක් නැත. එදා හවස සුගතපාල ගානේ බීර පාටියකි.
බල්ලෝ බත් කති, එසේ නම් මිනිසුනේ අසව්, හිට්ලර් එල්ලා මරයි, පවර නිරිඳෙක් විය බඹදත් නවකතා ලියූ සුගත්, ඇට මැස්සා, හතරවැනි තට්ටුව, දෙයියම්පා සහතික ඇත්ත යන පරිවර්තන කෘති ද, අනේ දෙව්දත් නොදිටි මොක්පුර කවි පොත ද, තුන්වැනි ඇහැ චිත්‍රපට තිරනාටකය ද, ඉසුරුගිර, යුග විලක්කුව යන ටෙලිනාට්‍ය රචනා ද කලා ලොවට දායාද කළේය. හඬ නළුව හෙවත් ගුවන්විදුලි නාට්‍ය ඔහු විසින් ලියූ ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය ගැන අත්පොතකි.
ඒ හැමටම වඩා නාට්‍ය නිෂ්පාදනය ගැන මෙතෙක් ලියා ඇති අගනා, වටිනා, උසස්ම කෘතිය ඔහු විසින් ලියූ සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක^ නම් කෘතිය ලෙස විචාරකයෝ හඳුන්වා දුන්හ.
වැලිගම, දේදුනුවල මිරිගම දී 1928 අගෝස්තු 04 වැනිදා උපන් අවලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා තම සෙවණැල්ල මෙන් සිට තමාව රකින මාතෘ භාර්යාවක් වූ ශීලාවන්ට අසීමිත ලෙස ආදරය කළේය. සුගතපාල ලියූ සෑම පොතකම තම බිරියගේ උතුම් ගතිගුණ ගැන කෘතඥතා පූර්වකව මතක් කළේය. ඔහු තම දූ පුතුන්ට මෙන්ම නැගී එන නව පරපුරට සම මෙත් දැක්වීය. ඔවුන්ගේ හපන්කම් දැක සතුටු විය. ඔවුනට පොතපත මෙන්ම දැනුම නොමසුරුව දායාදය කළ මානව හිතවාදී මිනිසෙකි. තමා වැඩි කලක් පදිංචිව සිටි රත්මලානේ කල්දෙමුල්ල පාරේ මහල් නිවාස පොකුරේ සිටි හැම අසල්වාසියකුටම තරාතිරම නොබලා උදව් කළ හිතමිතුරෙකි. මැඳුරට එන ඕනෑම කෙනකුට තේ කෝප්පයක් වරදින්නේ නැත. විටින් විට තමා සමඟ කිහිප දෙනකුගේ අයිතිවාසිකම් පිණිස දින 121ක් මුළුල්ලේ ගුවන්විදුලි සංස්ථාවේ ලංකා වෙළෙඳ සේවක සංගම් ශාඛාවේ සහෝදර සහෝදරියන් සමඟ විරෝදාර සටනක යෙදුණේ රැකියාව පරදුවට තබමිනි.
බිරිය ශීලා සුගතපාලගේ සෙවණැල්ලය. ඔහු සැමවිටම උත්සාහ ගත්තේ තම දූ දරුවන් ලොකු මිනිසුන් කිරීමට නොව හොඳ මිනිසුන් කිරීමටය. දුක් විඳින පන්තියට ආදරය කරන හැටි කියා දීමටය.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සොඳුරු ආඥාදායකයකු වූ සුගතපාල ද සිල්වා නම් සොඳුරු මිනිසා 2002 ඔක්තෝබර් 28 වැනිදා ජීවිත වේදිකාවෙන් සමුගත්තේය. වරක් ගිලන්ව සිටි සුගතපාල වෙනුවෙන් සහෝදර නාට්‍යවේදී හෙන්රි ජයසේන ලියූ සෙත් කවියක කව් දෙකකින් මේ ලිපිය අවසන් කරමි.
ගුවන් විදුලියේ ගෙරවිලි කෙණහිලි මැද සිටිය එකා
අරන් ගොහින් ඒ සියල්ල වර්ජන වැඩ කරපු එකා
රුවන් රිදී කාසි පනම් තුට්ටුවකට නොතැකු එකා
පහන් ටැඹක් වාගෙයි නුඹ සුගත් අපේ යකඩ යකා
සුගත් නුඹේ නමටය මේ සෙත්කවි පදවැල් ගොතන්නේ
අදත් හෙටත් අපේ පැතුම් නුඹ අසලින්මය සිටින්නේ
පහත්වෙලා නුඹේ කණට කොඳුරා මේ බස කියන්නේ
සුගත තථාගත සරණින් සුවපත් වේවායි පතන්නේ
සොඳුරු ආඥාදායකයෝ
- ඒ.ඩී.රංජිත් කුමාර