2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

සෙල්ලක්කාර සමාජයේ ඇරෙන වැහෙන නගර

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

කොරෝනා තත්ත්වය බරපතළ බව කිසිවකු තවමත් නිශ්චිතවම කියන්නේ නැත. සෞඛ්‍ය අංශත්, සෞඛ්‍ය බලධාරීනුත් මෙහෙමයි මෙහෙමයි කීවාට ඇත්ත එළියට එන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකටය. මේ නිසා තවමත් මිනිස්සුන්ට මේ අවදානම ගැන හදවතට දැනෙන්නේ නැත. එය කොතරම් කීවත් තවමත් මිනිසුන් ජීවත් වන්නේ සුපුරුදු ජීවන ක්‍රමය තුළය. කොවිඩ් වෛරසය සමඟ වෙනස් වුණු ජීවිතයක් තවමත් ඔවුන්ට නැත.

රටේ පාලනයට, සෞඛ්‍ය අංශවලට ඇඟිල්ල දිගුකරන බොහෝ අය තවමත් ජීවිත ගෙවන්නේ සුපුරුදු ජීවන ක්‍රමය තුළය. ඒ නිසා ප්‍රථමයෙන්ම කිවයුත්තේ රට හදන්න පෙර තමන්හේ ජීවන ක්‍රමය දැන්වත් වෙනස් කරගන්නා ලෙසය.

කොළඹ දිනෙන් දින වැඩිවීම

කොළඹ නගරය සිසාරා පැතිරෙන කොවිඩ් වසංගතය සෞඛ්‍ය බලධාරීන්ට පවා මේ වනවිට ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව වී ඇත්තේ කොළඹ නගර සභා අභ්‍යන්තරයේ ජීවත්වන බොහොමයක් දෙනකුට කොවිඩ් වෛරසය ආසාදිත වී තිබීමය. එපමණක් නොව මේ ලියන විට මෙරට සිදුවී ඇති මරණ 73න් වැඩි ප්‍රමාණයක් කොළඹ නගරයේ වීමද විශේෂත්වයකි. මේ නිසා කොළඹ නගරයේ තත්ත්වය ඉතාම බරපතළ බව සෞඛ්‍ය අංශයේ බොහෝදෙනා පවසන කරුණකි.

පසුගියදා වසංගත රෝග විද්‍යාඥයන් පැවසුවේ කොළඹ නගරයේ භෞතික පෘෂ්ඨ මත කොවිඩ් වෛරසය තිබිය හැකි බවය. ඒ නිසා කොළඹ නගරයට එන යන ඕනෑම කෙනෙක් අත් පිරිසිදුව තබාගන්නා ලෙස දැනුම්වත් කෙරිණි. මේ පණිවිඩය කොළඹ නගරයේ අවදානම තක්සේරු කළ හැකි හොඳම අවස්ථාවකි. එනම් මතුපිට පෘෂ්ට මත කොවිඩ් වෛරසය තිබෙන්නට තරම් කොළඹ නගරය පුරාම වසංගතය පැතිරී ඇති ආකාරය කෙතරම් දරුණුදැයි සිතාගත හැක.

කොළඹ නගර සීමාව සති දෙකක් වහන්න

කොළඹ මහ නගර සීමාව සති දෙකක් වසාදමන ලෙස පසුගියදා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කළාය. ඇය සඳහන් කළේ තවත් කොළඹ නගරය විවෘතව තිබුණහොත් තත්ත්වය බරපතළ විය හැකි බවය. කෙසේ වෙතත් මේ වනවිටත් කොළඹ නගරයේ තුනෙන් එකක්ම වසා දමා ඇත. ඒ අවදානම් තත්ත්වය නිසාමය. එම අවදානම් කලාප තුළ නිවාස සංකීර්ණ, වැඩබිම්, ආයතන රුසක් විය. ඒ නිසාම එම ප්‍රදේශ දමා තිබිණි .එහෙත් එලෙස වසා දැමුවත් මේ වනවිට එම ප්‍රදේශවල කොවිඩ් රෝගීන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එපමණක් නොව අසාධ්‍ය සහ මරණ සංඛ්‍යාවද වැඩිය.

එහෙත් පුදුමය නම් තවමත් ඒ පිළිබඳ අවදානමක් ජනතාවට නැති වීමය. ලියුම්කරු රුකියාව නිමවී මාලිගාවත්ත මාර්ගයේ යනවිට නිතර දකින්නට ලැබෙන්නේ නිවාස සංකීර්ණවල තරුණයන් ඔවුන්ගේ නිවාස ඉදිරිපිට ක්‍රීඩාවේ යෙදෙන අයුරුය. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් පවා විමසීමේදී පැවසුවේ ඔවුන් කෙතරම් එසේ නොකරන්නැයි පැවසුවත් එය සිදුකරන බවය.

ඩ්‍රෝන මෙහෙයුම

මේ අතර යුද හමුදාවේ ඩ්‍රෝන බළකාය යොදාගනිමින් ඩ්‍රෝනා යානා ඉහළ යවා මෙහෙයුම් සිදුකිරීමද මේ වනවිට ආරම්භ කර ඇත. මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නිරෝධායන නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමය. ඒ අනුව ඩ්‍රෝන කැමරා යවමින් අදාළ ස්ථානවල වීඩියෝ පට, ඡායාරෑප පවා ලබාගන්නා බව ඔවුහු සඳහන් කරති.

මේ අතර තවත් වැඩපිළිවෙළක් මේ හරහා ආරම්භ කර ඇත. එනම් ඒ පිරිස් අතර සිටින ජනතාවගේ උණ පරීක්ෂා කිරීමය. එකවර පිරිස් රුසක් සිටින ස්ථානයක් වෙත ඩ්‍රෝන යානා යවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද මේ හරහා සිදුකරමින් පවතී. යම් අයකුගේ උෂ්ණත්වය වැඩිනම් අදාළ ඩ්‍රෝනා යානාව හරහා ඔහුට පණිවිඩයක් ලබාදී වෙන් කිරීමද සිදුකරනු ලබයි. මේ වනවිට කොළඹ නගරය පුරා මෙය ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන් වේ. ඒ හරහා විශාල වශයෙන් සැකකෙරෙන රෝගීන් හඳුනා ගැනීමට හැකි බවත් යුද හමුදාව සඳහන් කරයි. කෙසේ වෙතත් මේ මෙහෙයුමෙන් නිරෝධායනය නීති කඩකළ 120 පමණ පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වර්ධනයක්

බ්‍රුන්ඩික්ස් පොකුරේ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යාමත් සමඟ මෙරට සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ පොකුර සම්පූර්ණයෙන් මර්දනය කර ඇති බවය. කෙසේ වෙතත් බ්‍රුන්ඩික්ස්, පෑලියගොඩ පොකුර ඒ වනවිටත් 15,000 ක් ඉක්මවා ගොස් තිබුණි. එහෙත් පුදුමය නම් එය පාලනය කළ බව කියූ දවසෙම තවත් රෝගීන් 111ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවීමය. එය එකවර වැඩිවීමකි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ ආශ්‍රිතයන් බවය.

මේ අතර ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ දැඩි සීමා පමුණුවමින් සංචාරක බාධාවන්ද පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක විය. මේ නිසා ඇතැම් ප්‍රදේශ දැන් දැඩි සීමාවලය. එසේම ඇතැම් ප්‍රදේශවලින් එකින් එක රෝගීන්ද හමුවන්නට පටන් ගෙන ඇත. ඒ නිසා ගම්පහ දිස්‍ත්‍රික්කයේ ජනතාවට නැවතත් යම් බලපෑමක් එල්ලවෙමින් පවතින බව පෙනෙන්නට ඇත. එහෙත් වාසනාවකට එම ප්‍රදේශ දැනටම තිබෙන්නේ සංචරණ සීමාවලට ලක් වෙමිනි.

පිට මළොත් පී.සී.ආර්. එපා

පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව වෙත චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණේය. එහි සඳහන් වූයේ මින්පසුව රෝහලක, නිරෝධායන මධ්‍යස්ථානයක, හුදකලා කළ ප්‍රදේශයකින් හැර පුද්ගලයකු මියගියහොත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකරන ලෙසය.

එය බරපතළ අවුලකි. මේ හරහා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නත් පුදුමයකි. එනම් මේ වර්තමාන තත්ත්වය මත මේ ආකාරයෙන් මරණයකට පී.සී.ආර්. නොකළොත් මේ හරහා ඇතිවන ඉරණම බරපතළය. එම මරණය රැගෙන ගොස් නිවාසවල තබාගෙන මළගෙවල් කරන්නට ගියහොත් තවත් කොවිඩ් රෝගීන් අලුතින් වාර්තාවනු ඇත. විශේෂයෙන් රෝග ලක්ෂණ නොමැති අයට පවා කොවිඩ් රෝගීන් නම් එම මරණය වුණු පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු නොවන බව දැනගතයුතු නොවේද? එසේම අනෙකුත් මිනිසුන්ගේ ජීවිත අවදානම ගැන කවුරුන් වගකියන්නේද යන්න ගැටලුවක් ඇත. 

කෙසේ වෙතත් මෙකී අවදානමක් ඇති මොහොතක තව තවත් අවදානමක් ගැනීමට සෞඛ්‍ය අංශ සූදානම් වන්නේ ඇයිද යන්න ගැටලුවකි. මෙහි හැබෑ තීරණය පී.සී.ආර්. කට්ටල හිඟ නිසාද? නැතිනම් ලංකාව මරණ අතින් ඉදිරියෙන් සිටිනවා කියන්නද?

පොලිස් පොකුර ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ කොවිඩ් වෛරසය ආසාදිත පිරිස 800කට ආසන්නය. ඔවුන්ගෙන් බහුතරයක් පොලිස් ස්ථානවල රාජකාරි කළ අයය. ඒ නිසා බොහොමයකට රෝගය වේගයෙන් ව්‍යාප්ත වී ගොස් ඇත. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ පවුල පිටින්ම කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත. ඒ ඇතැම් නිලධාරීන් නිවාඩු නිමවී නිවෙස්වලට ගොස් ඇති නිසාය. ඒ නිසා ඔවුන්ගේ සමීපතමයන් මෙන්ම ආශ්‍රිතයන් බහුතරයක්ම මේ රෝගයේ ගොදුරු වී ඇත. මේ නිසා පොලීසිය සිසාරා පැතිරෙන කොරෝනා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමක් දකින්නට ඇත. එහෙත් පොලීසියේ උසස් නිලධාරීන් සඳහන් කරන්නේ මේ හමුවන්නේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් අතරින් බවයි. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් එය ව්‍යාප්ත වුවහොත් පොලීසිවල පොලිස් නිලධාරීන්ගේ මදිපාඩු විය හැකි බවය.

හුදෙකලා ප්‍රදේශය මේ සතියේ විවෘත කෙරෙයිද?

මේ සතියේ සිට ඇතැම් හුදෙකලා ප්‍රදේශ විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා සිදුකරමින් පවතී. එහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් හුදෙකලා වූ ප්‍රදේශ විවෘත විය හැකි බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කීය.
එහෙත් කොළඹ තත්ත්වය තවමත් දරුණු නිසා එතුළ වසා ඇති ප්‍රදේශ විවෘත කිරීම තරමක ප්‍රශ්න සහගත වී තිබේ. යම් සීමා පමුණුවමින් කොළඹ නගරයේ ඇතැම් පොලිස් බල ප්‍රදේශත් විවෘත කිරීමට කතාබහ කර ඇත. මේ වර්තමාන තත්ත්වය තුළ කොළඹ නගරය විවෘත කරනවා නම් දහස් වතාවක් සිතා බැලීම අවශ්‍ය වෙයි.

යාචකයන්ට කොක්කක්

යාචකයන් හරහා කොරෝනා රෝගය පැතිරෙන බවට දැනගැනීමත් සමඟ කොළඹ නගරයට පැමිණෙන බොහෝදෙනාට අවවාද කෙරුණේ සංඥා කුලුනු අසල යාචකයන් හට මුදල් ලබා නොදෙන ලෙසයි. එසේම වීදුරු විවෘත නොකරන ලෙසත් දන්වා තිබේ. එසේ කළහොත් අදාළ වාහනයේ රියදුරුට එරෙහිව ක්‍රියාත්මක වීමත් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් කන්න නැති බොන්න නැති අන්ත අසරණ මිනිසකු අත පෑ පසු අහක බලාගෙන යාමට මිනිස්සු පුරුදු වී නැත. විශේෂයෙන්ම මේ සමයේ ඇති මිනිසුන් පවා නැති මිනිසුන් වී ඇති මොහොතක නීතියත් මනුස්සකමත් මැද මිනිස්සුන් ජීවත් වන්නේ කෙසේද යන්න සිතාගත නොහැක.

මේ වනවිට කොළඹින් රෝගීන් 6,000 කට අධික ප්‍රමාණයක් හමුවී තිබේ. මිනුවන්ගොඩ පෑලියගොඩ පිරිස 11,000 පන්නා ඇත. මේ සියල්ල මැද මිනිසුන් ජීවත් වෙන්න සටන් කරමින් කොළඹට පැමිණෙති. ඒ දැඩි අවදානමක් රැගෙනය. එවන් මොහොතක රජයක් මිනිස්සු වෙනුවෙන් යම් ඇඟට දැනෙන ආර්ථික සහනයක් හෝ ලබාදිය යුතුය. ඒ අවස්ථාව අයවැයෙන් පවා මිනිස්සු බලා සිටියහ. එහෙත් එහි එය තිබුණේ නැත. ඒ නිසා දැන් ඉස්සර වගේ අපි හම්බකළොත් අපි කනවා තියරියේ සිටිය නොහැක. හේතුව අපිට හම්බකරන්නත් දැන් හරියට තැනක් නොතිබීමය. එවන් මොහොතක මිනිස්සු කන්නේ කෙසේද යන්න රජය මීට වඩා සෙවිය යුතුය. එසේ නොවුවහොත් කොවිඩ් වසංගතයෙන් පමණක් නොව සාගින්නෙන්ද මිනිසුන් මියයාමට ඉඩ තිබේ.

 ගයාන් ගාල්ලගේ