රටක තිබෙන විශාලතම වත්කම නම් එම රටෙහි ජීවත්වන නිරෝගී ජනතාවයි. යනුවෙන් වරෙක වින්සන් චර්චිල් ද පවසා තිබේ. මෙය සමාජ දාර්ශනික ආකෘතිය තුළ ප්‍රබල පිළිගැනීමක් පමණක් නොව මිනිසා සහ සමාජය පොළඹවන ප්‍රබල ඉගෙනුමක් බවට ද පත්කොට ඇති ආකාරය දැකිය හැකිය. මිනිසා යනු භෞතික සජීවී උපකරණයක් පමණක් නොවේ. ඔහු මානව විඤ්ඤාණික ක්‍රියා පදනම් වූ ප්‍රබල සමාජයීය එළඹුම් සහිත වූ මානව සම්පතකි. මිනිසා භෞතික සම්පත් තමාගේ වටිනාම සම්පත් යැයි සලකමින් මිනිසාට වඩා භෞතික සම්පත් වටා ගොනුවෙන ආකාරය පමණක් නොව ඒවාට ප්‍රබල වටිනාකම් දෙන ආකාරය ද දැකිය හැකිය. මිනිසා භෞතික සම්පත් කොතරම් වටිනා ලෙස සැලකුවත් මිනිසා තරම් වටිනා සම්පතක් ලොව තුළ තිබේද යනු ගැටලුවකි. බොහෝ මිනිසුන්ට මෙය තේරුම් ගැනීමේ අපහසුවක් තිබෙන බව පැහැදිලි වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළිනි.
ඒ අනුව සෑම මිනිසකුම තමන්ගේ ඉදිරියේ සිටින අනෙක් මිනිසා පිළිබඳව සිතිය යුතු අතර ඔහුව ආරක්ෂා කරමින් මිනිසකු ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම් නිර්මාණය කිරීම ද මිනිසාගේ කාර්යභාරයක් පමණක් නොව යුතුකමක් බවට ද පත්වනු ඇත. බොහෝ මිනිසුන් තමන්ගේ අනෙක් මිනිසා වෙනුවෙන් තම කාර්යය පමණක් නොව යුතුකම් ද මඟහැර ඇති බව පැහැදිලි වන්නේ නොදැනුවත්කම පමණක් නිසාම නොව එයට ද වඩා ආත්මාර්ථකාමී හැඟීම් ඔහු තුළ කේන්ද්‍රගත වීමත් සමගිනි. එම ආත්මාර්ථකාමීත්වය මිනිසාගේ ප්‍රබලතම සාධකය බවට පත්වී ඇති ආකාරය වර්තමාන ගෝලීය සමාජයම අධ්‍යයනය කරන විට පැහැදිලි කරගත හැකිය.
මිනිසාට මිනිසාගේ කායික හැකියාව සහ මානසික හැකියාවන් පිළිබඳව නිවැරදිව තවම තේරුම්ගත නොහැකි බව ද පැහැදිලිය. එසේම ඔහු ඔහුගේ මානසික හැකියාවන් සහ චින්තන හැකියාවන් ප්‍රබල ලෙස වර්ධනය කොටගෙන ද නොමැත. ඔහුට එම කායික සහ මානසික දියුණු ලෝකය පිළිබඳව අවබෝධය ගොඩනඟාගත හැකිව තිබේ නම් ඔහු ඒ සඳහා මෙයට වඩා වේගයෙන් ළංවීමට සූදානම් වනු ඇත. එම අවබෝධයට ළංවීමට සමාජය තුළ දියුණු ආදර්ශ තිබිය යුතුය. එය කර ගැනීමට අදාළ නිවැරදි මඟපෙන්වීම් අප සමාජයෙහි ද නොමැති බව පැහැදිලිය. තවමත් මිනිසාගේ මානසික සහ කායික හැකියාවන් දියුණු කරගෙන ඇත්තේ සියයට දශම ගණනිනි. මිනිසාගේ කායික සහ මානසික දියුණුව ගොඩනැගෙන්නේම ඔහුගේ ඉදිරියේ සිටින මිනිසා සහ භෞතිකයෙහි ස්වරෑපත් සමඟය. ඒ අනුව දියුණු මිනිසුන් සිටින සමාජයක ඔහුගේ ඉදිරියේ සිටින අනෙක් මිනිසාගෙන් දියුණුවීමට අවශ්‍ය ආදර්ශ සහ මඟපෙන්වීම් නිරන්තරයෙන්ම ඔහුට ලැබෙන ආකාරය දැකිය හැකිය. එහෙත් එම ආදර්ශ පිළිබඳ ගැටලුව අප සමාජයන් තුළ නිරන්තරයෙන් පවතී.
මිනිසාගේ පැවැත්ම නිරන්තරයෙන්ම ගොඩනැගෙන්නේ ඔහු ඉදිරියේ සිටින අනෙක් මිනිසා පදනම්වය. ඒ අනුව මිනිසා නිරන්තරයෙන් සිතිය යුත්තේ ද මිනිසා පදනම් කොටගෙනය. වර්තමාන ලෝකයෙහි මිනිසාට මිනිසාගෙන් එල්ල වන තර්ජන සුළු පටු නොවන බව පැහැදිලි වේ. වෛරස ඒ සඳහා ප්‍රබල නිදසුනකි. ඉතිහාසයෙහි වෛරස නිෂ්පාදනය වුවත් වර්තමානයෙහි මිනිසා ආර්ථිකය සහ බලය අරමුණු කරගෙන ඒවා රසායනාගාර තුළ නිෂ්පාදනය කරති. ඒවා ජීව විද්‍යාත්මක අවි ලෙස භාවිත කරමින් තමන්ගේ අරමුණු දක්වා ගමන් කරති.
ඒ අනුව Covid හෙවත් කොරෝනා වෛරසයෙහි නිර්මාණාත්මක හිමිකරුවා පමණක් නොව එහි ව්‍යාප්තියෙහි රෝග කාරකයා ද මිනිසාය. වර්තමානයෙහි මිනිසාව මිනිසාගේ මරණය දක්වා ද රැගෙන යන්නේ මිනිසාමය. ඔහු ඉදිරියේ සිටින මිනිසාව රෝගී කරවන්නේ ද මිනිසා විසින්මය. එහෙත් මානව හැකියාව පමණක් නොව මිනිසත්කම ද මිනිසා තුළ මිය යැවීමට බටහිර ආර්ථික සහ බල කේන්ද්‍රීය ක්‍රමවේද උත්සාහ ගෙන ඇති බව පැහැදිලි වේ. එහි මෑත කාලීන ප්‍රබලතම ක්‍රමවේදය බවට පරිවර්තනය වන්නේ කොරෝනා වෛරසයයි. කොරෝනා වෛරසයට සමස්ත ආර්ථික ක්‍රියාදාම පමණක් නොව සමස්ත දේශීය චර්යා පද්ධතීන්ගේ ද නිෂ්ක්‍රියතා ගොඩනැගිය හැකි බව පැහැදිලිය. බෝවන රෝග යනු ලෝකයට අලුත් දෙයක් ද නොවේ. බෝවන රෝග පිළිබඳ ඉතිහාසය ද ඉතා දිගුය. එහි ඉතිහාසය පෙරදිගට වඩා බටහිර ප්‍රබල බැව් පැහැදිලි වේ. බෝවන රෝගයක දී එය වළක්වා ගැනීම සඳහා නිරන්තරයෙන්ම ප්‍රබල වන්නේ සමාජ සංරක්ෂණ උපක්‍රමයන්ය. ඒත් ඒ පිළිබඳ බියගැන්වී පලා යාම නම් නොවේ. බිය සහ පලා යාමට නැවතත් අපේ භෞතික උපකරණ පමණක් නොව සමාජ සම්බන්ධතා ද අහිමි කිරීමට හැකියාව තිබේ. බියට සහ පලා යාමට තමාට තමාව ද අහිමි කළ හැකිය. බිය යන්න ද කායික ප්‍රතිශක්තිය පමණක් නොව මානසික සහ සමාජයීය ප්‍රතිශක්තිකරණය ද අහිමි කරන්නකි.
ඒ අනුව ඉතිහාසයෙහි මිනිසා බෝවන රෝග වැළඳෙන විට ඔහු වෙන්වී ස්වයං ලෙස නිරෝධායනයට පත්වූයේ අනෙකාව ඝාතනය කිරීම හෝ මානසිකව බිය වැද්දවීම තුළ මිනිසාගේ යුතුකම් බිඳවැටීම නිසා පමණක් නොව අනෙක් මිනිසාව පීඩනයට සහ ඝාතනයට ලක්වීම් තුළ පර පණ නැසීමෙහි බිය ද තිබූ නිසාය. බිය යන සංකල්පය එතරම් මානව සහ සමාජ දියුණුවට හිතකර නොවූවත් අපේ සමාජ සංස්කෘතිය තුළ මෙවන් අවස්ථාවල බිය යන සංකල්පය නිරන්තරයෙන්ම ගොඩනැංවූයේ අනෙකාගේ සුරක්ෂිතතාව ද පදනම් කර ගනිමිනි.
එහෙත් වර්තමානයෙහි බිය යන්න ගොඩනැගෙන්නේම තමාගේ සහ අනෙක් පුද්ගලයාගේ සුරක්ෂිතතාවය සඳහා නොවන බව පැහැදිලිය. මෙම බිය තුළ සමස්ත චර්යා පද්ධතීන්ගේ බිඳවැටීම සිදුවීම තුළ සමාජයට ප්‍රබල ගැටලු සහ අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇත. වර්තමානයෙහි නිර්මාණය කොට ඇති බිය මිනිසාව සමස්තමය අයුරින් දූෂණය කිරීමට හේතුවනු ඇති බැව් පැහැදිලිය. Corona බිය තුළ මිනිසා සමස්ත චර්යා පද්ධතියෙන්ම ඉවත් කරන බව ද අපට පැහැදිලි කරගත හැකිය.
අනෙක් අතට පරිසරය දූෂණය කරන්නේ ද මිනිසාය. දෘශ්‍ය දූෂණය කරන්නන්ගේ නියම හිමිකරුවා ද මිනිසාය. ශ්‍රව්‍ය දූෂණය කරන්නේ ද ඔහුමය. නාසය පමණක් නොව චර්මය හෙවත් සම දූෂණය කරන්නේ ද මිනිසාමය. මේ අනුව මිනිසාගේ සමස්ත පසිඳුරන්ගේ දූෂකයා බවට පත්වන්නේ ද මිනිසාය. ඒ අනුව කොරෝනා යනු ද කය පමණක් නොව සිත් ද දූෂණය කරන ප්‍රබල මෙවලමක් බවට වර්තමානයෙහි පත් වී තිබේ. මේ තුළ ප්‍රබල බියක් මිනිසා තුළ නිර්මාණය කොට තිබේ. මෙම භීතිය මිනිසාගේ දෛනිකත්වයට එල්ල කරන ලද ප්‍රබල මරු පහරකි.
මාධ්‍යය ද තරගකාරී ස්වරෑප තුළ දෛනික පුද්ගල සහ සමාජ ක්‍රියාකාරකම් සඳහා විවිධ පණිවුඩ ගෙන එමින් දෛනික කටයුතු පාලනය කරන්නේ ද පුද්ගල දෛනික ක්‍රියාකාරී මනස බිය ගන්වමිනි. මෙම භීතිය නිෂ්පාදනය කොට ඇති බව ද පැහැදිලිය. මෙම භීතිය සමස්ත සමාජය පුරාම සජීවීකරණය කොට ඇති බව ද පෙනේ. මෙම භීතිය සරල ක්‍රමවේදයක් තුළ පැහැදිලි කර ගැනීම දුෂ්කර වන්නේ මෙය ගෝලීය මෙහෙයුමක් බවට ද පරිවර්තනය වන නිසාය. මෙම දෛනික සමාජ විඥානය බිඳවැටීමත් සමගින් රටෙහි බලය ද ප්‍රබල තර්ජනයකට ලක්වන බව පැහැදිලිය. මෙලෙස අර්බුදයකට ලක්වන පාලනය නැවත පුද්ගල සහ සමාජ ක්‍රියාකාරී මනස බිඳවැටීමට හේතුවෙමින් සමස්ත සමාජ දේහයෙහි බිඳවැටීම සඳහා ප්‍රවේශය සම්පාදනය කරනු ඇත.
රටක් හෝ සමාජයක පැවැත්මෙහි ප්‍රබලතම සාධක තුනක් අපට හඳුනාගත හැකි වේ. එනම් රාජ්‍ය සහ ආණ්ඩුව මෙන්ම රටෙහි ආර්ථිකය ද ඒ අතර ප්‍රබලය. එයටත් වඩා ප්‍රබලතම සාධකය බවට පත් වන්නේ ජනතාව සහ ඔවුන්ගේ චින්තන මෙන්ම දෘෂ්ටිවාදී කාරණාවන්ය. මෙය යම් ආකාරයකින් බිඳවැටෙන තැන රාජ්‍ය සහ පාලන තන්ත්‍රයේ බිඳවැටීම මෙන්ම ආණ්ඩුවෙහි බිඳවැටීම ද දැකිය හැකි වනවා පමණක් නොව සමස්ත ආර්ථික කලාපයන්ගේ බිඳවැටීම් ද ප්‍රබල බවට පත් වේ. ඕනෑම ගැටලුකාරී අවස්ථාවක සමාජයෙහි චර්යා පද්ධතිය අතිශය වැදගත් වේ. නිවැරදිව මෙහෙයවිය යුත්තේ මෙය වන අතර එය බියගැන්වීමෙන් අර්බුදයට ලක් නොකළ යුතුය. පුද්ගල දෛනික කටයුතු සඳහා ඉඩ ලැබිය යුතු අතර එය නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.
ආණ්ඩුවෙහි සහ අනෙකුත් සෑම ආයතනයකම ප්‍රබල කාර්යභාරය විය යුත්තේ සමාජය සහ මිනිසාගේ චින්තනය නිරන්තරයෙන් සංස්කරණය කරමින් ඔහුව ඉදිරියට රැගෙන යාමය. මිනිසාගේ චින්තනය නිවැරදිවත් අඛණ්ඩවත් අනාගත සංවර්ධන ඉලක්ක වෙනුවෙන් සංස්කරණ සිදුවිය යුතුය. මෙය පුළුල් සහ විවිධ ක්ෂේත්‍ර මූලිකව සිදුවිය යුතු වේ. පුළුල් සැලසුම්සහගත ප්‍රවේශ මිනිසා සංවර්ධනය අරමුණු කරගෙන ගොඩනැගිය යුතු කාලය පැමිණ තිබුණත් බිය මූලිකව මිනිසා සීමාවන් ගොඩනගා ගැනීම තුළ ආර්ථික සාධක පමණක් නොව ඔහුට ඔහු අහිමිවීමේ සාධක නිර්මාණය කරගනු ලබයි. ප්‍රබල ලෙස ගොඩනැගෙන මානසික අර්බුද ද මේ කාලය තුළ අපට දැකිය හැකි වන්නේ මිනිසා බිය අරමුණු කරගෙන ජීවත්වීම නිසාය. ජීවිතයට අවශ්‍ය වන්නේ නිවැරදි සැලසුම් ක්‍රම ගොඩනැගීම සහ එම අභියෝගයන්ට මුහුණ දීමය. ඕනෑම ගැටලුවක් හෝ අර්බුදයක් තුළ සාධනීය ලක්ෂණ තිබේ. නව චින්තන නිර්මාණයන්ගේ ගොඩනැංවීම සිදුවන්නේම අර්බුද සහ ගැටලුවලට මුහුණ දීමත් සමඟින්ය. අර්බුදය සහ ගැටලුව තුළ බොහෝ පාඩම් ඉගෙනුම සඳහා පවතී. එය කළමනාකරණය කර ගැනීමට ශක්තිමත් චින්තනයක් සහ නිවැරදි මගපෙන්වීමක් ද අවශ්‍යය. ලෝකය තුළ ක්‍රියාවෙන් තොර කිසිවක් දැකිය නොහැකි අතර කිසිවක් ගොඩනැගෙන්නේ ද නැත. ලෝකයෙහි මූලිකම ශක්තිය ක්‍රියාව තුළ ගොඩනැංවී තිබේ. ඒ අනුව ක්‍රියාව නිවැරදිව කළමනාකරණය කළ යුතුමය. මිනිසාගේ දියුණුව නිරන්තරයෙන්ම ගොඩනැඟෙන්නේ ක්‍රියාව කළමනාකරණය වූ තැන පමණි.
විනයගරුක වීම ජීවිතයෙහි අත්‍යවශ්‍ය කරුණක් වන අතර මෙවැනි අවස්ථාවක එය තවද විශේෂ වනු ඇත. ඒ අනුව විනයගරුක කැපකිරීම් අත්‍යවශ්‍ය වේ. මිනිසුන් නිර්මාණශීලී විය යුතුය. ජීවිතය වෙනස් කිරීමට බොහෝ දෙනකුට නොහැකි වන්නේ නිර්මාණශීලීත්වය බිඳවැටෙන විටය. නිර්මාණශීලීත්වය බිඳවැටෙන සමාජයක අසහනය නිරන්තරයෙන් දැකිය හැකි වේ. අසහනයෙන් ගැලවීමට ද නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍ය වේ. මානව සහ සමාජ ඛේදවාචක පැමිණි විට සමාජ ආර්ථික ක්‍රමවේද දෙදරා ගිය ද එහි නව ප්‍රවණතා ඒ තුළින්ම ගොඩනැගෙන බවට ඉතිහාසය ද සාක්ෂි දරයි. බියෙන් පලා යාම තුළ ගැලවීමක් ද නොලැබෙනු ඇත. සමාජයෙහි සෑම අංශයක්ම නිර්මාණශීලීව සැලසුම් කළ යුතුය. ඒ අනුව Covid යනු අපට නිර්මාණශීලීව ගොඩනැගීමට ලබා දුන් අභියෝගයකි.