2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

ලෝක සම්මානයකින් පිදුම් ලත් ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Sante Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්, ඇය සඳහන් කළාය.

පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි.

ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි.
ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව,* ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.

• පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය
සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි %සැබෑ වීරවරියන්^ පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය.
එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය,* යනුවෙන්ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ. ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ.
මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා.

• සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ
වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේදී හැකි උපරිම ලෙසින් එම සතුන් රුක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය.


මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ, ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය.
මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ.

ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම්වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමුකරයි.