2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

රුසියානු එන්නත ටක්කෙටම හරිලු!

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

කොරෝනා වෛරසයට එරෙහි ලෝක සටනට මේ වන විට නව බලාපොරොත්තු රැසක් එක්ව හමාරය. ලෝකය පුරා සිදු කළ එන්නත් අත්හදා බැලීම් අතරින් 03ක්ම සියයට 90ක් ඉක්මවා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙන බව ඉකුත් සතියේ දී වාර්තා වීමත් සමඟිනි. නමුත් මේ එන්නත් නිපදවීමේ ලෝක ව්‍යාපෘතිය තුළ ද ගෝලීය භූ දේශපාලනික පුහු බෙදීම මෙන්ම යාදෙක නොරත - රත,  සීතල ගැටුම ද හොඳින්ම ඉස්මතුව පෙනුණි. ඒ අමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය ලොව රතු විරෝධී කල්ලියේ එන්නත් සමඟ කරට කර සටනට රුසියාව සහ චීන රතු කල්ලියේ එන්නත් ද සාර්ථකව ඉදිරිපත්ව  තිබීමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ බලවතුන් ඒවා නිසි අගැයීමකට ලක් නොකිරීමත් හේතුවෙනි.

කොරෝනා වෛරසය සඳහා මේ වන විට ලොව පුරා එන්නත් 200කට වැඩි ප්‍රමාණයක් නිපදවා අත්හදා බලා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අතර ජර්මනියේ “බයෝ ඇන් ටෙක්" සහ අමෙරිකාවේ ‘ෆයිසර්’ යන සමාගම් එක් වී සියයට 90ක් සාර්ථක එන්නතක් නිපදවා ඇති බව සතිය මුල ආරංචි විය. මේ අතර රුසියාව  ලොවට කීවේ ඔවුන් නිපදවා ඇති ලොව පළමු කොවිඩ්-19 එන්නත සියයට 92ක් සාර්ථක බවය.

ඊට පසු වාර්තා වූයේ අමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම ද සියයට 95ක් සාර්ථක එන්නතක් නිපදවා ඇති බවය. අමෙරිකාවේ සහ ජර්මනියේ සමාගම් එක් වී නිර්මාණය කළ එන්නතට වඩා මෙම එන්නත සාර්ථක බවත්, එය පහසුවෙන් ගබඩා කර තැබිය හැකි බවටත් දැන් කරුණු ඉදිරිපත්ව තිබේ. නමුත් ලොව පළමු කොවිඩ්-19 එන්නත ලෙස ඉතිහාසගතව ඇති රුසියාවේ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද නිසි අවධානයට මෙතෙක් ලක් වී නැත.
පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමිවූ අතර, එන්නත නම්කර ඇත්තේ ‘ස්පුට්නික් v’ ලෙසය.

ලෝක බලවතුන් අතර සීතල යුද්ධය පැවති අවධියේ මුලින්ම උඩුගුවන ජය ගනිමින් 1957 වසරේ දී සෝවියට් දේශය විසින් අභ්‍යාවකාශ ගත කළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව ස්පුට්නික් සිහිවීම පිණිස ‘ස්පුට්නික් v’ ලෙස තමන් සැදූ ලොව ප්‍රථම කොවිඩ් එන්නතට රුසියාව නම තැබීම ලොව රතු විරෝධී බටහිර කල්ලියට එල්ල කළ ඓතිහාසික කණේ පහරක් බඳු විය. එම නිසාමදෝ පසුගිය අගෝස්තු මාසයේ දී රුසියානු සෞඛ්‍ය බලධාරීන් එම එන්නත ලියාපදිංචි කළ බව පැවසූ විට අමෙරිකාව ඇතුළු බටහිර බලවත්තු එය විවේචනය කළේ අවඥාවෙනි. 

සිය එන්නතේ අදියර එක සහ අදියර දෙක සායනික අත්හදා බැලීම් සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 11 වැනි දින එය ලියාපදිංචි කරනු ලැබූයේ   කොරෝනා වෛරස් එන්නතක් නිල වශයෙන් හඳුන්වා දුන් පළමු රට බවට රුසියාව පත් කරමිනි. ලෝකයේ මුල්වරට තවමත් පර්ෙය්ෂණ මට්ටමේ පැවති එන්නතක් ප්‍රතිකාර සඳහා භාවිතයට ගත් අවස්ථාව ද එය විය.

රුසියාව සිය ‘ස්පුට්නික් v’ එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් මෙතෙක් නිකුත් කර නොමැත. ඒ වෙනුවට තමන්ගේ පළමු එන්නත් තොගය මහජන ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කෙරුණු අතර මේ වන විට එය ජනතාව අතර යහපත් ප්‍රතිඵල ලබාදෙමින් සංසරණය වන බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය කියා තිබුණි.

මොස්කව් අගනුවර වසංගත රෝග සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලෙයා පරුයේෂණ ආයතනය සහ රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය එක්ව නිපදවන ලද මෙම එන්නත “ගුණාත්මකභාවය පිළිබඳ සියලු පරීක්ෂාවන් සම්පූර්ණ කොට ඇති බවත්”, එය “මහජන භාවිතය සඳහා ඉදිරිපත් කොට ඇති බවත්”, රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. එරට ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් පවසා තිබෙන්නේ එම එන්නත කොරෝනා වෛරසයට එරෙහි “ස්ථිර ප්‍රතිශක්තිකරණයක්” සපයන බවත් “අවශ්‍ය සියලුම පරීක්ෂණවලින් සමත්” වූ බවත්ය. ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ වාර්තාවක් ද පවසන්නේ රුසියාව විසින් නිෂ්පාදනය කර එරටෙහිදීම අත්හදා බැලූ කොවිඩ්-19 එන්නත මගින් එය එන්නත් කෙරුණු පුද්ගලයන්ගේ සිරුරේ සාමාන්‍ය උණ තත්ත්වයක් වාර්තා වුවත් එමගින් වෛරස සමනය කෙරෙන ප්‍රතිදේහ නිර්මාණය වන බව පර්ෙය්ෂණ මගින් සනාථ වී ඇති බවය.

එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වන විට පුද්ගලයන් 40,000ක් පමණ සහභාගි වී සිටින අතර කොරෝනා වෛරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බව රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් ද උදම් අනා තිබුණි. ලෝක මතය කුමක් වුවද එන්නත ලබාදීම ලබන මස මුල සිට ආරම්භ කරන බව එන්නත නිපදවූ පර්ෙය්ෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් අනාවරණය කර තිබෙන අතර ඒ අනුව වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට එන්නත ප්‍රථමයෙන්ම ලබා දීමට නියමිතව තිබේ.  

මාස දෙකකට අඩු කාලයක් තුළ මිනිසුන් යොදා අත්හදා බලන ලද මෙම එන්නතෙහි සාර්ථකත්වය හා ආරක්ෂාව පිළිබඳව දැනට ලැබී තිබෙන ලෝක සමාජ ප්‍රතිචාරය   විවිධාකාරය.  

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව ක්‍රියා කරන බව දැනටමත් තහවුරු වී තිබෙන එන්නතක් පාදක කර ගනිමින් මෙය නිපදවා තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි වසර දෙකක් දක්වා කොවිඩ්-19 වැළඳීමට හේතු වන SARS-CoV-2 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇතිකිරීමට මෙම නව එන්නතට හැකියාව තිබේ. මෙම එන්නත මාත්‍රා 2ක් වශයෙන් ලබා දෙන අතර මෙය වෛරස් දෛශික එන්නතක්  ලෙස හැඳින්වෙයි. එනම් අවශ්‍ය කරන ‍ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය උත්තේජනය කරන  ඩී.එන්.ඒ. කේතය මිනිස් සෛලය තුළට ගෙන යෑම සඳහා එහිදී වෙනස් කරන ලද  වෙනත් වෛරසයක් යොදා ගනියි. රුසියාව මෙහිදී භාවිත කර ඇත්තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකි. එමගින් මිනිස් සිරුර තුළ ප්‍රතිදේහ ජනනයට උත්තේජනයක් ලබා දෙයි. 

එන්නත නිපදවීම සඳහා පාදක කරගත් මෙම තාක්ෂණය අවුරුදු 20කට වැඩි කාලයක් පුරා රුසියානු විද්‍යාඥයන් විසින් ලද සාර්ථක අත්දැකීම් මත ගොඩනගා ඇත. එය මීට පෙර නිපදවන ලද ඉබෝලාවලට එරෙහි එන්නත ඇතුළු එන්නත් කිහිපයක් නිපදවීම සඳහා ද පාදක කරගෙන ඇත. ගැමේලෙයා ආයතනයෙන් නිපදවන ලද මෙම එන්නත  සඳහා පාදක කරගත් තාක්ෂණය, කැන්සිනෝ නම් චීනයේ එන්නත් නිපදවීමේ ආයතනය මගින් සකස් කරන ලද එන්නත් මූලාකෘතියට සමානකම් කියන බව වාර්තා වේ. මේ නිසා බටහිර ලෝකයේ නිර්ණායකවලට අනුව මෙය රතු කල්ලියේ එන්නතකි. මේ නිසා එහි සාර්ථකත්වය පිළිගැනීම පිළිබඳ සැක සංකා මතුව තිබේ.

නමුත් මේ වන විටත් රුසියානු එන්නතට ලොව රටවල් 20කින්, බිලියනයක පමණ වූ ඇනවුමක් ලැබී ඇති අතර එරට සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් මහතා පවසා තිබෙන්නේ සිය විදේශීය හවුල්කරුවන් සමඟ වසරකට එන්නත් මාත්‍රා මිලියන 500කට අධික ප්‍රමාණයක් රටවල් පහක නිෂ්පාදනය කිරීමට දැනටමත් සූදානම් බවය. එසේම ඔහු සඳහන් කර ඇත්තේ ඕනෑම පාර්ශ්වයක් සමඟ එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට තම රට කැමැති අතර නිෂ්පාදන ධාරිතාව තවත් වැඩි කිරීමට ද කටයුතු යොදා තිබෙන බවය. මේ වන විට ලතින් අමෙරිකා, මැදපෙරදිග සහ ආසියානු රටවල් සමඟ එන්නත මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින බවද ඔහු කියා තිබේ.

► සුගත් පී. කුලතුංගආරච්චි