
| ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරයේ අතරමැදි කන්නය ලෙස ඉපනැල්ලේ මුංඇට වගාව නිදැල්ලේ හැසිරෙන ගවයන් නිසා කර ගැනීමට නොහැකි වී ඇති බව ගොවීහු පවසති. සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි මෙම මුං වගාවට ගව පට්ටි හිමියෝ විරුද්ධ වන්නේ ද නිතරම ගැටුම් ඇතිකර ගන්නේ ද ඉපනැල්ලේ මුංඇට වගාව නිසා බව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්තලේ අග්බෝපුර ඩී-1 තුන බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති කේ. රම්‍යලතා මහත්මිය පවසන්නේ කන්තලේ ගොවිජන ව්‍යාපාරය වාන්ඇල හා කන්තලේ කොටසක හැර අනෙක් ප්‍රදේශවල ඉපනැල්ලේ මුං වගාව ගව පට්ටි නිසා කර ගැනීමට නොහැකි බවයි.
වී ගොවිතැන කරන්න ගියාම ණයවෙලා තමයි වගා කරන්න ඕන. කන්න දෙකක් අතර අතරමැදි කන්නයේ කරන ඉපනැල්ලේ මුං වගාවට ආයෙත් ණයවෙන්න ඕන නැහැ. හරියට කරාම ලාභගන්න පුළුවන් වගාවක් තමයි මේ වගාව. ගවපට්ටි හිමියෝ ගවයෝ නිදැල්ලේ ඇතෑරියාම අපේ මුං වගාව විනාශ කරනවා. හැමදාම ගැටුම්. ඒ නිසා කවදාවත් අපිට අපේ යායේ ඉපනැල්ලේ මුං වගාව කරගන්න බැරිවෙලා තියෙනවා. සාර්ථක වෙච්ච තැන්වල අක්කර දෙකක මුං වගාකරලා රුපියල් 164,000ක් ලාභ ගත්ත ගොවියෝ ඉන්නවා. මට අක්කරයක් වගාකරලා රුපියල් 100ක් ලාභ ගන්න බැරිවුණා මේ ගවයෝ නිසා. අපේ යායේ හැමෝටම තියෙන එකම ප්‍රශ්නය තමයි මේ ගවයො නිදැල්ලේ යෑමට ඉඩහැරීම යැයි රම්‍යලතා මහත්මිය පැවසුවාය.

| ගල්ගමුව නිහාල් ජයවීර
රිදීගම ප්‍රාදේශීය සභාවේ පවතින පක්ෂග්‍රාහී පරිපාලනය නිසා බොහෝ පිරිසකට සාධාරණ සේවයක් සිදු නොවන බව ජනතාව කියති.
රිදීගම, කරඳගොල්ල, අඹකොටේ පදිංචි එන්.ජේ. උඩගම මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි.
රිදීගම කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන දෙවැනි දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. මාර්ග, විදුලිය, නිවාස, ගමනාගමන, සෞඛ්‍ය, රැකියා ඔය වාගේ ප්‍රශ්න රැසක් තියෙනවා. මේ ප්‍රශ්නවලින් බොහොමයක් ප්‍රාදේශීය සභාවට විසඳන්න පුළුවන්. පාරක් නැති ගමකට පාරක් හදන්න, ජලය බැසයන කාණු පද්ධතියක් හදන්න, වීදි පහනක් සවි කරන්න වාගේ කටයුතු කරන්න පුළුවන්. ඒත් සභාවේ තියෙන්නේ අධිකාරි පාලනයක්. එක කොට්ඨාසයකට මුදල් වැඩිපුර වෙන්කර ගන්නවා. ඒ කොට්ඨාසයට වඩා අති දුෂ්කර කොට්ඨාස තියෙනවා. නමුත් ඒවාට වැඩ කරන්නේ නෑ.
ගම්මාන පාරවල් කොන්ක්‍රීට් කරනවා. කිසිම ප්‍රමිතියක් නෑ. අවුරුද්දක් යනකොට කැඩෙනවා. අනික මේ සභාව කටයුතු කරන්නේ පළාත් පාලන පනත් නීතියටත් පටහැනිව. එහෙම කරලා ජනතාවගේ බදු මුදල් එකතු කරලා ගන්න මුදල් නඩු කියන්න වියදම් කරනවා. වෙන උදාහරණයක් ඕන නෑ. වැසි ජලය බැසගිය අපේ ගමේ කාණුවක් අවහිර කරමින් පුද්ගලයකු ඉඩමක් ගොඩකළා. තාප්ප බැන්ඳා. මුල් අවස්ථාවේම සභාව දැනුවත් කළත් ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ. පසුව සභා මුදල් වියදම් කරලා නඩු කීවා. නඩුවෙන් තීන්දුව දුන්නා ප්‍රාදේශීය සභාවේ මුදල් වියදමින් මගේ ඉඩම හරහා වැසි ජලය ගලායාමට බට හෝ කාණුවක් බැඳලා දෙන්න කියලා. නඩු තීන්දුව දුන්නේ 2018 අගෝස්තු 13 වැනිදා. ඒත් තාම ඒ කටයුතු සිද්ධ කරලා නෑ. අධිකරණ තීන්දුවලටත් ගරු නොකරන පාලනයක් තමයි තියෙන්නේ. මේ ගැන ඇහුවාම කියන්නේ සභාවට සල්ලි නෑ කියලා. ඒත් එක කොට්ඨාසයකට හා දෙතුන් දෙනකුගේ යෝජනා ක්‍රියාත්මක කරන්න මුදල් තියෙනවා. ඒ ගැන සභාවේ මන්ත්‍රිවරු වැඩිදෙනෙකු දන්නවා*යි එන්.ජේ. උඩගම මහතා කීය.

| රෝවන් පෙරේරා - පුත්තලම
පුත්තලම කල්අඩිය 607 අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී වසමේ පවුල් දෙසීයක් තුන්සීයක් පමණ ජීවත් වන අට්ටවිල්ලුව උස්බිම් ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය හරහා ඉදිකර ඇති පාලම පසුගිය ගංවතුරට කැඩීගොස් වසර දෙකක් ගතවුවද තවමත් ප්‍රතිසංස්කරණය කර නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
පුත්තලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කල්අඩිය ප්‍රදේශයට අයත් මෙම මාර්ගය විශාල පිරිසක් භාවිතා කරති. කල්අඩිය සිට පුත්තලම නගරවලට ගමන් කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මාර්ගයට පිවිසීමට ඇති එකම කෙටිදුර මාර්ගය මෙයයි. බෝක්කුව කැඩී යාම නිසා ප්‍රදේශවාසීන් විකල්ප මාර්ග භාවිත කරමින් කිලෝමීටර් කිහිපයක් දුර ගෙවා තම දෛනික කටයුතු කර ගැනීමට යෑමට සිදුවී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කාන්තාවක් වන දිමන්ති ප්‍රනාන්දු මහත්මිය.
දැනට වසර දෙකක් වෙනවා මෙම මාර්ගය කැඩිලා. කියන්න තියෙන ඔක්කොටම කිව්වා ඒත් පලක් වුණේ නෑ. අපිට ප්‍රධාන මාර්ගයට යන්න හරිම අපහසුයි කැලේ තියෙන වතුර පාරට මෙම මාර්ගයේ බෝක්කු සියල්ලම කැඩීගොස් තිබෙනවා. කාට කිව්වත් මේ හදලා දෙන්නේ නැහැ. ඡන්ද කාලේ නම් මන්ත්‍රීවරු ඇවිල්ලා දිගට හරහට මෙන්න මේක හදනවා කියල අද නම් එකෙක්වත් හතර මායිමටවත් නෑ. අපි ඉල්ලන්නේ මේ කැඩිච්ච බෝක්කුව වෙනුවට ස්ථිර පාලමක් හදලා අපිට අපේ කටයුතු කරගෙන යන්න අවස්ථාව උදාකරලා දෙන්න කියලයි.

| වන්නි රොමේෂ් මධුෂංඛ
දිවයිනේ වෙනත් පළාත්වල සිට මන්නාරම් මුහුදේ ධීවර කටයුතුවල නිරතවන සංචාරක ධීවරයින් ධීවර කටයුතුවල නිරතවීමේදී ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම් නිසා උතුරු ධීවරයන්ට ඇති වන ගැටලුවලට වඩා ගැටලු රැසකට තමන්ට මුහුණපෑමට සිදුවන බවට මන්නාරමේ සිටින සංචාරක ධීවරයෝ කියා සිටිති.
සෑම වසරකම මාස 6ක පමණ කාලයක් තමන් සිටින මුහුදු සීමාවන්හි මුහුද රළුවීම නිසා මන්නාරම, මුලතිව් හා යාපනය යන ප‍්‍රදේශවල ධීවර කටයුතු සඳහා දිවයිනේ බොහෝ පළාත්වල සිට සංචාරක ධීවරයින් විශාල ප‍්‍රමාණයක් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන අතර උතුරැ මුහුද රළු වනවිට ඔවුහු නැවතත් සිය මුහුදු සීමාවන් වෙත ගමන් කරති.
නමුත් මන්නාරම් මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන සංචාරක ධීවරයන් කියා සිටින්නේ තමන් මන්නාරම් දිස්ත‍්‍රික්කයට පැමිණියද තමන්ට මන්නාරම් ධීවරයන්ගේ නොයෙකුත් හිරිහැරවලට හා වෙනස්කම්වලට මුහුණපෑමට සිදුවන බවයි. එමෙන්ම අල්ලන ලද මාළු කලතබා ගැනීමටද පහසුකම් නොමැති වීමෙන් තමන් දැඩි සේ පීඩා විඳින බවට මන්නාරමේ සංචාරක ධීවරයෝ කියති.
මන්නාරම සිලාවතුර ප‍්‍රදේශයට පැමිණ මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටින ධීවරයෙකු වන එම්. නිමල් ප‍්‍රනාන්දු මෙසේ කියයි.
අපේ ගම් පළාත්වල මුහුදු සීමාව අවුරුද්දට මාස 6ක් විතර රළු වෙනවා. ඒක නිසා අපි බෝට්ටුඑවලින් උතුරට ඇවිත් දහදුක් විඳලා මාළු අල්ලනවා. ධීවර බලධාරීන් මේ වෙනකම් කතාකරන්නේ උතුරේ ධීවරයන් ගැනයි. ඉන්දීය ධීවරයන් ගැනයි. නමුත් උතුරේ දහදුක් විඳින සංචාරක ධීවරයන් ගැන මේ වෙනකම් කිසිම කතාවක් නැහැ.
අපි මන්නාරමේ මිනිස්සු නොවෙයි. අපේ උපන්ගම් පළාත මීගමුව ප‍්‍රදේශය. ඒත් මීගමුව පැත්තේ මේ දවස්වල සරු මාළු අස්වැන්නක් ලැබෙන්නේ නෑ. අවුරුද්දේ මුල් කාලයේ මන්නාරම, තලෙයිමන්නාරම, මුලතිව්, ප‍්‍රදේශවලට අපේ ගම් පළාතේ බෝට්ටු මඟින් ඇවිත් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් වගේ මාසවල උතුරු පළාතට ඇවිල්ලා අපේ ධීවර රස්සාව කරනවා. අපිට ජීවත්වෙන්න වෙනත් රස්සාවක් කරන්න නැති හින්දා අඹු දරුවෝ ගමේ තියලා ඇවිල්ලා බෝට්ටු මගින් තැනින් තැනට ගමන් කරලා ධීවර රස්සාව කරනවා. තැනින් තැනට ගිහිල්ලා ධීවර රස්සාව කෙරුවේ නැත්නම් අඹු දරැවෝ බඩගින්නේ. ඒ හින්දා මොන කරදරයක් විඳගෙන හරි අපි රස්සාව කරනවා. අපි හැම අවුරැද්දේම වාගේ මාස හයක් අපේ ගම් පළාතේ මාළු අල්ලනවා. ඉතිරි මාස හයක කාලය උතුරැ පළාතේ මුහුදේ මාළු අල්ලනවා.
වෙනත් පළාත්වලින් ඇවිල්ලා මන්නාරමේ මාළු අල්ලනවාට මන්නාරම් ධීවරයෝ කැමති නෑ. වෙනත් පළාතක ධීවරයෝ තමන්ගේ පළාතේ මුහුදේ මාළු අල්ලනවාට කවුරැත් කැමති නෑනේ. අපි වෙනත් පළාතක මාළු අල්ලන්න එනකොට නොසෑහෙන්න කරදරවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. අපි ඔක්කෝම ධීවර රස්සාව කරලා ජීවත්වෙන්නේ කියලා හිතන හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒත් තවත් පිරිසක් ඉන්නවා පිට පළාත්වලින් පැමිණෙන ධීවරයින්ට නොයෙක් ආකාරයේ පීඩාවන් සිදුකරන. ඒවාගේ කණ්ඩායමකට අහුවුණොත් පිට පළාත්වල ධීවරයින්ට වැල්ලේ වාඩියක්වත් ගහගන්න දෙන්නේ නෑ.
බෝට්ටු මගින් තැනින් තැනට ගොස් රැකියාව කරන අපිට හරියට කෑමක්, බීමක්, නෑ. නිදියගන්න ක‍්‍රමයක් නැතුව විඳින කරදර කියලා නිමක් කරන්න බෑ. සංචාරක ධීවර කර්මාන්තයේ යෙදිලා ඉන්න ධීවරයින් ගැන අදාළ ප‍්‍රදේශයන් භාර වගකිව යුතු නිලධාරීන් සොයා බලන්නේ නෑ.

| රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
තේ පොහොර හිඟවීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන්ගේ සුබසාධක සංගමයේ කැඳවුම්කරු එල්. කැමිලස් මහතා පැවසීය.
උද්ගතව පවතින තේ පොහොර ගැටලුව ගැන ඔහු මෙසේද කීවේය.
ලංකාවේ වැඩිම කුඩා තේ වතු හිමියන් එනම් ලක්ෂ තුනකට වැඩි පිරිසක් සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. තේ වගාවට අවශ්‍ය සෑම පොහොර වර්ගයකම හිඟයක් මේ අවුරුද්ද පුරාම තිබෙනවා. මේ වනවිට තේ ගොවීන් කොපමණ මහන්සි වුණත් කලට වේලාවට නිසියාකාරව පොහොර දැමීමට නොහැකි නිසා තේ දළු අස්වැන්නට මෙන්ම තේ ගසේ වර්ධනයටත් එය බලපාලා. සමහර පොහොර සමාගම් යම් ප්‍රමාණයක් පොහොර නිකුත් කරනවා. කොළඹ හුදෙකලා කිරීම නිසා මේ ගැටලුව තවත් උග්‍රවෙලා. අපි එම පොහොර සමාගම්වලට කතාකළත් ඔවුන් කියන්නේ රටේ දැන් පවතින තත්ත්වය නිසා පොහොර සීමාසහිතව නිකුත් කරන බවයි. මේ සම්බන්ධව රජය මැදිහත්ව නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. තේ වලට මේ අවස්ථාවේදී හොඳ මිලක් ලැබෙනවා. තවත් අස්වැන්න වැඩිකරගත හැකි වුවහොත් කුඩා තේ වතු හිමියන්ගේ ආදායම ඉහළ යනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ආදායම් මාර්ග රුකියා ගැටලුවලට ලක්වී තිබෙන මේ කොරෝනා අර්බුදය අවස්ථාවේදී තේ පොහොර ටික නිසියාකාරව ලැබුණොත් දෙයියනේ කියලා බොහෝ දෙනෙකුට ආර්ථික හයියක් ලැබෙනවා.
පසුගිය කොරොනා රැල්ලට කලින්ද පොහොර හිඟය තදින්ම තිබුණා. පසුගිය වසරේ තද නියඟය නිසා තේ අස්වැන්න අඩුවුණා වාගේම තේ ගස්වලට හානිවුණා. ඒ තත්ත්වයෙන් මිදෙමින් එද්දි තමයි කොරොනා දෙවැනි රැල්ල නිසා පොහොර හිඟයක් ඇතිවුණේ.