අභිනවයෙන් ඉදිකළ රවින්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාව සහ රුහුණු විශ්වවිද්‍යාල භූමිය වෙන්වන්නේ මාතර කොළඹ ප්‍රධාන මාර්ගයෙනි. එකී මාර්ගයෙන් වෙරළ දෙසට යන අඩිපාරකි. මෙය කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාව වෙරළට ආගිය මගකි. විශේෂයෙන් ගම්මුන් පොල්ලෙලි තැලීම වැනි ස්වයං රැකියා වෙත යන එන පටු අඩි පාරකි.
ප්‍රදේශයට සම්පතක් වූ රවින්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාව ඉදිකරන සමයේද එම අවශ්‍යතා වෙනුවෙන් මේ පාර හා ඉඩම කරදරයකින් තොරවම භාවිතයට ගත් එකකි. එය තාවකාලිකව සිදුකළ එකක් වුවද විශ්වවිද්‍යාලය අවට ගම්වාසීන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලනඥයකු මැදිහත් කරගෙන පෙර කී අඩිපාර අඩි අටක් තරම් වන පරිදි පුළුල් කොට සිමෙන්ති ගල් ඇල්ලීමට සූදානම් වී ඇත. ඒ සඳහා වැඩකටයුතු කඩිනමින් කිරීමටත් පාර පුළුල් කිරීම සඳහාත් බැකෝ යන්ත්‍රයක් යොදවා ඇති බවටද වාර්තා විය.
මේ සමඟ සිදුකරන්නට යන ක්‍රියාවට එරෙහිව විශ්වවිද්‍යාලය පාර්ශ්වයෙන් විරෝධතාවක් දක්වා තිබිණ. ඊට හේතුව නීත්‍යානුකූලව විශ්වවිද්‍යාලයට අයත් ඉඩම තුළ අනවසර හා නීතිවිරෝධී අයුරින් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කිරීමය. විශ්වවිද්‍යාලයට අයත් ඉඩම හරහා වැටී තිබූ වෙරළට යන අඩිපාර එසේම තබා තිබුණේ විශ්වවිද්‍යාලයට හානියක් නොවූ නිසාය. එම අවසරයෙන් ගම්මු සිය අවශ්‍යතා වෙනුවෙන් පාර භාවිත කළෝය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල භූමිය හරහා වන අඩිපාර අනවසර මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමඟ ගම්වාසීන් ආරවුලක් ඇතිකොටගෙන ඇතැයි වාර්තා විය.
එම ගැටලුව කිසිවකුට අසාධාරණ නොවන පරිදි විසඳා ගැනීම සඳහා ප්‍රථමයෙන් පිරිස පොලිසියට පැමිණිලි කොට තිබිණ. අනතුරුව අදාළ පාර්ශ්ව වන විශ්වවිද්‍යාලය, නගරාධිපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා, හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු පිරිස ඒකරාශි කොටගෙන ආරවුල නිරාකරණය කරගැනීමට බලධාරීන් පියවරගෙන ඇත. ඒ අනුව වාර්තාවන්නේ ඉදිරියට එම අඩිපාර සංවර්ධනය නොවන බවත් පැවති ආකාරයටම ගම්මුන්ට සිය අවශ්‍යතා වෙනුවෙන් අඩිපාර භාවිතයට ගත හැකි බවය.
රුහුණු විශ්වවිද්‍යාලය දකුණු පළාතේ පිහිටි එකම සරසවියයි. ප්‍රධාන මණ්ඩපය මාතර, මැද්දවත්තෙහි පිහිටා තිබෙන අතර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය, උපකුලපති කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණය, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරයද මෙහි පිහිටා ඇත. 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතින් ආරම්භ කරන ලද මෙහි දකුණු පළාත ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පීඨ දහයක් පමණ ස්ථාන ගතකර පවතී. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කාර්යාලය අක්කර 72ක භුමියක් පුරා පැතිරෙන අතර මාතර වැල්ලමඩම පිහිටා ඇත. ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ ගාල්ලේ පිහිටා ඇති අතර, කෘෂිකර්ම පීඨය සහ තාක්‍ෂණ පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කොට තිබේ.
උද්ගත වූ ගැටලුව පිළිබඳව මාතර නගර සභාවේ නගරාධිපතිවරයා කීවේ මෙවැන්නකි.
ගම්වාසීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එකතුවෙලා මාර්ගයක් සංවර්ධනය කරන්න කටයුතු කොට තිබුණා. එතැනදී සරසවිය පාර්ශ්වයෙන් යම් විරෝධතාවක් මතුවෙලා තියෙනවා. මේ නිසා ගම්වාසීන්ගේ හිතේ විරසකයක් ඇතිවෙලා. නමුත් සියලු පාර්ශව එකතුවෙලා සාකච්ඡා කරලා ගැටලුව නිරාකරණය කරගත්තා.
පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බැවින් වැඩිදුර විමසීමේදී මාතර පොලිස් ස්ථානාධිපතිවරයා, මෙසේ කීය.
විශ්වවිද්‍යාලයට අයත් ඉඩම හරහා සාමාන්‍ය අඩිපාරක් විදිහට වෙරළට පිවිසුම් මාර්ගයක් තිබුණා. ඒක ගමේ මිනිස්සු වෙරළට ආව ගියපු පාරක්. මේක ටිකක් ප්‍රතිසංස්කරණය කරලා හදන්න සූදානම් වෙලා තියෙනවා. ගම්මුන් ඒකට නගර සභාවෙන් උදව් ඉල්ලලා තියෙනවා. මේකට විශ්වවිද්‍යාලය පාර්ශ්වයෙන් විරුද්ධ වී තියෙන්නෙ ඉඩම ඔවුන් සතු නිසා. ඔවුන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පස්සේ විශ්වවිද්‍යාලය නගරාධිපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුවෙලා සාකච්ඡා කරලා ගැටලුව විසඳාගෙන තියෙනවා යැයි පැවසීය.
මේ පිළිබඳව විමසීමට දුරකතනය ඔස්සේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් යම් මාධ්‍ය වාර්තා පළකෙරුණද සියලු පාර්ශ්ව මැදිහත්ව කටයුතු කර තිබීම ආදර්ශයකි.
සමන්ත ප්‍රදීප් විල්තෙර