2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

පැරීසිය හඳුන්වාදෙන විනාඩි 15 නගරය

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

කොවිඩ් වසංගතයට වැහෙන නගර නැවත ජනාකීර්ණ වන අවස්ථාවේ අලුත් මුහුණුවරක් ලැබෙන අවස්ථා වාර්තා වෙයි. පැරිස් නගරය එවැනි එක් තැනෙකි. ප‍්‍රංශය වරක් නොව දෙවරක් ෙෙවයිරස ෙයන් පීඩාවට පත් රටකි. පැරිස් නගරය ගැන ලෝකවාසීන් තුළ තිබුණ විස්මය වෙනත් තැනෙකට හරවන්නට එහි පාලකයෝ පියවර ගනිමින් සිටිති. සුන්දර පැරීසියේ තිබුණ ලක්ෂණ ආරක්ෂා කරගනිමින් හරිත භූමියක් බවට පරිවර්තනය එහි අරමුණ බව පෙනේ. එක පැත්තකින් සොබා සොඳුරු බව ඇති කරන අතර අනෙක් පැත්තෙන් විනාඩි පහළොවක් තුළ නගරයේ එහා මෙහා ගමන් කරන පහසුව ඇති කරන්නට පියවර ගනිමින් සිටිති. අතිශය ජනාකීර්ණ හා වාහන තදබදය වැඩිම වශයෙන් තිබුණ පැරිස් නුවර දැන් විනාඩි පහළොවක නගරය වශයෙන් නැවත හඳුන්වන්නට අවස්ථාවක උදා වී ඇත. 

පසුගිය දශක දෙක තුළ ප‍්‍රංශ රජය වාහන තදබදය අඩුකර ජනජීවිතය සුරක්ෂිත කරන්නට පියවර ගණනාවක් අනුගමනය කළේය. ජනජීවිතය සුරක්ෂිත කිරීම යන්නෙන් අදහස් කරන්නේ වාහනවලින් නිකුත්වන දුම ආශ්වාස කිරීමෙන් සිදුවන විපත අවම කිරීමය. විශේෂයෙන් අවස්ථා හතරකදී වාහන ඇතුළු කිරීම නතරකළේය. එක වතාවක් තෝරාගත් අංක සහිත වාහන ඇතුළු කිරීම තහනම් කළ අතර තවත් වතාවක් සතියකට දිනයක් සහමුලින්ම වාහන ගමනාගමනය අත්හිටුවීය. මහා මාර්ගයේ පා පැදිවලින් පමණක් ගමන් කරන්නට ඉඩ දී තිබුණි. පැරණි කාර්වලට ඉඩ නොදෙන සහ විදුලිය කාර්වලට පමණක් ඇතුළු වීමට දෙන පියවර ගත්තේය. එයට සමාන්තරව පෞද්ගලික වාහන භාවිතය දුර්මුඛ කළේය. පොදු ප‍්‍රවාහනය සඳහා විශාල ආයෝජනයක්ද කර ඇත. ප‍්‍රංශ රජය පා පැදිවලට විශාල අවස්ථා දෙන අතර කිලෝමීටර් හාර සියයක් දුර පා පැදි මංතීරු සකස් කර තිබේ. වැය කරන ලද මුලද ඇමරිකානු ඩොලර් මිලියන 170 ඉක්මවන බව පැරිස් නගරය එක වතාවක් නිවේදනය කර තිබුණි. 2010 වසරේ සිට අද දක්වා වාහන තදබදය සියයට හතළිහකින් අඩු කර ගන්නට පැරිස් නගරය සමත් වූ බව ප‍්‍රකට බ්ලූම්බර්ග් පර් යේෂකයෝ අනාවරණය කළහ.

කොවිඩ් වසංගත වාතාවරණය අතරතුර වාහන භාවිතය අඩුකර පාපැදියට හුරු කරන අතර අඩුම කාලයකින් නගරය තුළ එහා මෙහා ගමන් කරන්නට පහසුකම් සැපයීමට යයි. මෙකී සංකල්පය සොබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාර්ලෝස්ගේ බව සඳහන්ය. ඔහුගේ සිතැඟි අනුව මහ පාරට එන වැසියකුට විනාඩි පහළොවක් තුළ වෙළඳසලට යා හැකිය. වැඩකරන තැනට ගමන් කරන  පහසුව ඇතිවෙයි. දරුවා පාසලට ඇරලවා ආපසු එන්නට ගතවන කාලය පැය භාගයකි. වඩා වැදගත්ම කාරණය ආසන්නට රෝහලට විනාඩි පහළොවක් ඇතුළත ළඟාවීමට හැකියාව ලැබීමය. ඉතා අධික වාහන තදබදයක් සහිත අවස්ථාවක වාහනයකට වී පැය ගණන් නොඉවසිල්ලෙන් සිටින නගරයක හැඩරුව වෙනස් කරන්නට මහාචාර්ය කාලෝස් සිහින මැවීය. ඡන්දයෙන් පත් වූ පැරිසියේ අලුත් නගරාධිපතිවරයා වැඩ ආරම්භ කළේ මෙම වැදගත් කාරණය සාක්ෂාත් කරන අදහස සහිතවය. හෙතෙම ඉරිදා වාහන නතර කළේය. නගරය තුළ තිබුණ වාහන ගාල් කරන ස්ථාන හැට දහසක් වහාම අවලංගු කළේය. ඒවා හරිත කලාප බවට හරවන ලද අතර පා පැදිවලින් නගරයට එන ජනතාවට සුව පහසුවෙන් වාඩි වී ගිමන් හරින්නට සුදුසු තැන් බවට පත් කළේය. එයින් නතර වූයේ නැත. පාසල් හා පොදු කාර්යාල වැනි තැන් බහුකාර්ය ස්ථාන කරන පියවර ගත්තේය. ඒ අනුව සති අන්තය එම තැන්වල මිනිසුන්ට නොයෙක් ක‍්‍රියාකාරකම් සහිතය. ඇවිදින්නට හෝ ආහාරපාන ගන්නට නිදහස් අවකාශ බවට හැරේ. දරුවන්ගෙන් හිස් වූ පාසල නිකරුණේ තැබෙන්නේ නැත. අනෙක ප‍්‍රධාන මහා මාර්ගවල පවා පාපැදිවලට මංතීරු සලකුණු කෙරිණි. වාහනයට වඩා පාපැදියට ඉඩ දෙන අතර පැරිස් නගරය තුළ පමණක් පා පැදිවලට පමණක් වෙන් වූ කිලෝමීටර් පනහක් දුර අලුත් මංතීරු තනා නිමකර ඇත. 

මෙම තීරණ සමග නගර අලුතින් ප‍්‍රතිනිර්මාණය වෙයි. ගොඩනැගිලි සැලසුම් වෙනස් කෙරේ. පාපැදිවලට ඇතුළු විය හැකි සහ පා පැදිවලින් ගමන් කරන ජනයාට පිරිසිදුවන පහසුව ගැන කල්පනා කර ඇත. මෙම පියවර ගැනීම පහසු තීරණ නොවේ. සමහර පිරිසක් එරෙහිය. වාහන රියැදුරන්ගේ සංවිධානයක් බලවත් විරෝධය දක්වා ඇත. ඔවුන්ට අනුව එය තම අයිතිය පැහැර ගැනීමකි. කෙසේ වෙතත් විනාඩි පහළොවක නගර සංකල්පය පැරීසියට පමණක් නොව එයින් ඔබ්බටද බෝ වෙන සූදානමක් ඇත. අලුත් වාර්තා පෙන්වා දෙන පරිදි ආශ‍්‍රිත නගර මෙම සංකල්පයට ඇතුළු වෙමින් තිබේ. ජනයා ගේ පහසුව පමණක් නොව පරිසර හිතකාමීබව ඉහළින් සලකන බව වාර්තා වෙයි.  

ඉන්ධන භාවිතය අධිකවීම හා එයින් පරිසරයට සිදුවන හානිය සලකා බලන ලද ලෝකයේ නොයෙක් රටවල් ප‍්‍රධාන බලශක්තිය වශයෙන් පොසිල ඉන්ධන භාවිත කිරීම අවලංගු කරමින් සිටී. එය මෙම වසංගත තත්ත්වය සමග අවස්ථාවක් බවට හරවා ගෙන ඇත. පසුගිය කාලයේ ඇමැස්ටඩෑම් නගරය ඉන්ධන භාවිතා කරන වාහන නගරයට ඇතුළු කිරීම තහනම් කළ අතර වසර 2030 සිට සම්පූර්ණයෙන්ම ඩීසල් හෝ පෙට‍්‍රල් භාවිතය නතර කරන අදහසක් ඇතිව කටයුතු කරමින් සිටී. එරට වැසියන්ගේ දෛනික ප‍්‍රවාහනයෙන් සියයට තිස් හයක් පමණ පාපැදිය උපයෝගී වෙයි. පෞද්ගලික ප‍්‍රවාහන භාවිතය සියයට 45ක් පමණ වන අතර පොදු ප‍්‍රවාහන සේවා සියයට 11 පමණ ප‍්‍රතිශතයකින් උපයෝගී කර ගනිති. මෙම පෞද්ගලික වාහන හා පොදු ප‍්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඉන්ධන භාවිතයෙන් තොර තත්ත්වයකට පත් කිරීමෙන් ඉතාම පිරිසිදු වාතය සහිත පරිසරයක් නිර්මාණය කර ගැනීම අපේක්ෂාවයි. 

පරිසරය පිරිසිදු තැනක් කරන උවමනාවෙන් ඉන්ධන අත්හැර පැපැදිය හා විදුලිය වාහන හඳුන්වා දෙන රටවල් ජනතාව වෙනුවෙන් විවිධ සහන හඳුන්වා දෙන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. එස්ටෝනියාව එයින් එකකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ ධාවනය කරන පොදු ප‍්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ගාස්තු වලින් තොරය. එයින් කොටසක් විදුලියෙන් ධාවනය වන අතර නොමිලේ හෙයින් පෞද්ගලික වාහන පරිහරණය ඉතාම අවම කරන තීන්දුවක් වී තිබේ. ලක්සම්බර්ග් පාලකයන් විශේෂ නිවේදනයක් අනුව 2018 ග‍්‍රීස්ම සෘතුවේ සිට එරට පොදු ප‍්‍රවාහන සේවා නොමිලේ සපයන බව මෙහිදී මතක් කළ යුතුය. පොදු ජනතාවට නොමිලේ ප‍්‍රවාහන සේවා සපයන ලෝකයේ පළමු රට වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය එම තීරණය හඳුන්වා තිබුණි. ඉන්ධන භාවිතය අත් හැරීම, විදුලිය බලයෙන් ධාවනය වන වාහන තදබදය අඩු කරන පියවර හා විනාඩි පහළොවක නගර සහ යනාදි වශයෙන් ජගත් ප‍්‍රජාව ප‍්‍රවාහනයේ අලුත් රාමු හඳුන්වා දෙමින් සිටී. මේවායෙන් අත්පත් කරගන්නා අවස්ථා ජන සමාජයේ පැවැත්මට ඉතා සහ සංචරණයේ අලුත් පැති ගැන හිතන්නට පටන්ගෙන තිබේ.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

 මිලින්ද මොරගොඩ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04