2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවේ පළඹු අයවැයේ පක්ෂ-විපක්ෂ අදහස්

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ මංගල අයවැය ලේඛනය පසුගිය 17දා මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2019 වසරේ අයවැය ලේඛනයක් නොමැතිව ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ මුදල් වැය කිරීම සිදු වූ අතර නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසුව අයවැය ඉදිරිපත් කිරීම සුවිශේෂ වෙයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 75 වැනි අයවැය ලේඛනය වන අතර, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර අනාවරණය කරමින් ඉදිරිපත් කරන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම අගමැතිවරයා මෙය හැඳින්වූයේ කඩාවැටුණු ආර්ථික නගාසිටුවීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් ලෙසටය.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් හෙතෙම පැවසුවේ දේශීය ආර්ථිකය තරගකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම වෙනුවෙන් ඉදිරි වසර තුන තුළ රටේ සෑම තරාතිරමකම නිෂ්පාදකයන් මේ සඳහා කැපවිය යුතු බවයි. එසේම මුදල් ඇමැතිවරයා ඉල්ලා සිටියේ බදු හෝ විනිමය පාලන නීතිවලින් මිදීම සඳහා සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධිය සඳහා යොදවන ලෙසටය. ඒ සඳහා සියයට එකක බද්දක් අයකිරීමට නීති සංශෝධනය කරන බවද කීවේය. දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් සහ ආයෝජකයන් දිරිගැන්වීම සඳහා බදු සහන සහ බදු විරාම යෝජනා ද මෙහි අඩංගු වේ.

2021 අයවැය ලේඛනය අනුව ආදායම රුපියල් බිලියන 1961 සහ වියදම බිලියන 3525ක් වන අතර අයවැය හිඟය රුපියල් බිලියන 1564ක් වෙයි. මෙම හිඟය පියවීම සඳහා දෙස් විදෙස් ණය රුපියල් බිලියන 2900ක් සහ රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මෙන්ම වෙනත් අරමුදල්වලින් ද මුදල් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම අයවැය ලේඛනයේ සුවිශේෂ බදු යෝජනා වන්නේ කෘෂිකර්මයෙන් ලබන ආදායම බදුවලින් නිදහස් කිරීම, තෝරාගත් ආයෝජකයන්ට වසර 10ක බදු විරාම ලබාදීම, රාජ්‍ය ආයතනවල වාහන අලුත්වැඩියා කිරීම සඳහා ආයෝජකයන්ට බදු සහන ලබාදීම ආදියයි.

තවද අයවැය මගින් සියලුම සමෘද්ධිලාභීන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් ඇතිකර ඔවුන්ගේ අරමුදල් බැංකුවල තැන්පත් කිරීමට දිරිගැන්වයි. ස්වයංරුකියාලාභීන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුපක් ඇතිකිරීම, ගල්අඟුරු වායු බලාගාර දෙකක් අලුතින් ඉදිකිරීම, දිස්ත්‍රික්කයකට එක බැගින් නාගරික විශ්වවිද්‍යාල ඇතිකිරීම, කැලෑ අක්කර 15,000ක් වගා කිරීම, ක්‍රීඩා ආයෝජනය ද ජාතික සංවර්ධනයක් ලෙස ගැනීම අයවැයේ ඇතුළත් වන වැදගත් යෝජනා වෙයි. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000ක් සංවර්ධනය කිරීම හා ග්‍රාමීය පාලම් 10,000ක් තැනීම ද ග්‍රාමීය සංවර්ධනයට ඉවහල් වන යෝජනාය.

එසේම එකවරක් පමණක් පාවිච්චි කරන පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීම වැදගත් යෝජනාවක් වන අතර, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමද සුවිශේෂ වෙයි. ඒ අතර රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මාණ්ඩලික නොවන සේවකයන් සඳහා රාජකාරි වේලාවන් පසුව වෙනත් රුකියා කිරීමට අවස්ථාව සැලසීම, රාජ්‍ය සේවක නිවාස පොලී අනුපාතය සියයට 7 දක්වා පහළ හෙළීම, රාජ්‍ය සේවක පත්වීම් හා ස්ථාන මාරුකිරීම් මින් පසු ඒ අයගේ ගම්ප්‍රදේශවලට පමණක් සීමා කිරීම මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම ද වැදගත් වේ.

මේක කළුගල් මිරිකලා වතුර ගන්න හදන අයවැයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ මෙම අයවැය ජනතාවගේ ගැටලු තේරුම් නොගෙන තනා ඇති අයවැයක් බවයි. ඔහු මෙසේ පවසයි.

&ජනතාවගේ සැබෑ ප්‍රශ්න තේරුම්ගෙන නැහැ. ඒවාට විසඳුම් දිය යුතු නමුත් ඒ ගැන සලකා බලා නැති බවයි අයවැය ගැන විශ්ලේෂණයක යෙදීමේදී පෙනෙන්නට තියෙන්නේ. ජීවන වියදම අධික වීම, විරැකියාව, ආදායම සෙවීමේ දුෂ්කරතා ආදී දැවෙන ප්‍රශ්න ගැන මෙහිදී කතා කර නැහැ. බොහෝදුරට අනාගතයට බාරදුන් දීර්ඝකාලීන විසඳුම් තමා තියෙන්නේ. ඒවා හරියන තුරු මිනිසුන්ට බලා ඉන්නයි කියන්නේ.

පසුගිය අවුරුදු සමඟ සංසන්දනාත්මකව විග්‍රහයක් ඉදිරිපත් කර නැහැ. 2020 අයවැයේදී 2019 වසර සමඟ සංසන්දනය කිරීම ද 2021 අයවැයේදී 2020 අයවැය සමඟ සංසන්දනාත්මකව විග්‍රහයක් කර නැහැ. අයවැය තුළින් බිලියන 500ක අසාමාන්‍ය වියදමක් පෙන්නුම් කරන නමුත් එය වැය ශීර්ෂ අනුව පෙන්නුම් කර නැහැ. 2021 ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1961ක් වූ අතර වියදම බිලියන 3525ක්. ඒ අනුව අයවැය පරතරය බිලියන 1564 ක් වැනි සුවිශාල මුදලක්. එසේ තිබියදී 2021 දී ජාතික ආදායමෙන් සියයට 9කට අඩු අයවැය හිඟයක් ඇතිකරන බව කියනවා. මෙය විශ්මකර්ම වැඩක්. කිසිසේත් ප්‍රායෝගික නැහැ.

ආදායම වර්ධනය කර ගන්නේ කෙසේද යන්න ගැටලුවක්. අද රටේ පවතින තත්ත්වය සහ ඉදිරිය ගැන බැලූවිට බදු ආදායම වැඩිකර ගැනීම සිහිනයක් පමණයි. ජනතාවගේ ආදායම ජනනය නොකර වැඩි බදු ආදායමක් ලබාගන්න බැහැ. කළුගල් මිරිකලා වතුර ගන්න බැහැ. ආණ්ඩුව ආනයන තහනම් කිරීම නිසා ආනයනවලින් අපේක්ෂිත පිරිවැටුප බදු ආදායම ගිලිහිලා තියෙන්නේ. විදේශ වෙළෙඳාමට ඇති බාධක ඉවත් කළ යුතු වෙනවා.

නව ලිබරල්වාදී ආර්ථිකය ලොව අසාර්ථක වී තිබියදී මෙම අයවැයෙන් උත්සාහ කර ඇත්තේ එය පණගැන්වීමයි. මේ අයවැය මුළුමනින්ම මූල්‍ය වෙළෙඳපොළ දෙස බලාගෙන තැනූ එකක්.

කළු සල්ලි සුදු කිරීමට සූදානම් වීම රටට ඉතාම අහිතකරයි. කළු සල්ලිවලින් සියයට 1ක බද්දක් අරගෙන ඒවා සුදු සල්ලි බවට පත්කිරීම සාධාරණීකරණය කළ නොහැකියි. මෙලෙස කළු සල්ලිවලින් බදු අයකර ඒවා සුදු කිරීමට ගන්නා උත්සාහය නිසා දූෂිතයන්ට, වංචාකාරයන්ට, හොරුන්ට, ජාවාරම්කරුවන්ට පාරාදීසයක් මවා තිබෙනවා. අපරාධකරුවන්ට ජවයක් දී තියෙනවා. උඹලා ඕනෑ හැටියට සල්ලි හොයලා අපට බදු ගෙවපං කියා තමයි ආණ්ඩුව කියන්නේ. බදු ගෙවනවා නම් මුදල් ආ හැටි හොයන්නේ නැහැ. මේවා රටේ ආර්ථිකයට මෙන්ම සදාචාරයට හා සංස්කෘතියට විශාල ලෙස හානියක් ගෙන දෙන යෝජනා වෙනවා.

එසේම මෙහි දැක්වෙන වියදම් ද ප්‍රායෝගික නැහැ. ඒ සඳහා උදාහරණ දෙක තුනක් දෙන්න පුළුවන්. කිලෝමීටර් 50,000ක පාරවල් තැනීමට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 20,000ක්. මෙය අසාමාන්‍ය ඇස්තමේන්තුවක්. මේ මුදලින් කිලෝමීටර් 50,000 තබා 10,000වත් තනන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. එසේම පාලම් 10,000ක් තැනීම සඳහා රුපියල් මිලියන 7000ක් වෙන් කිරීමද ඒ හා සමාන මවාපෑමක්. මේ අනුව රුපියල් ලක්ෂ 7කින් පාලමක් හදන්න පුළුවන්ද? වැල් පාලමක් නම් හදන්න පුළුවන්. තවද විශ්වවිද්‍යාල හතරක් තැනීමට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1000ක් පමණයි. එක විශ්වවිද්‍යාලයක් තැනීමට මේ අනුව වැය වන්නේ රුපියල් මිලියන 250ක්. මේවා කළ හැකි දේවල් නොවේ. මේ මුදල්වලින් පුළුවන් වන්නේ වැඩ ආරම්භ කිරීම පමණයි. ජනතාව රැවටීමට තැනූ යෝජනා ක්‍රම මිස වැඩ කිරීමට කිසිදු සැලසුමක් දක්වා නැහැ.

අනිත් යෝජනාව තමා සමෘද්ධිලාභීන්ට තැන්පතු මත සියයට 90ක මුදලක් සියයට 8ක පොලියට ණයට ලබාදෙන බව පැවසීම. සමෘද්ධිලාභීන්ගේ ජීවනාධාර බැංකුවල තැන්පත් කළ හැකි නොවෙයි. ඒවා එදිනෙදා පාවිච්චි කිරීමයි කරන්නේ. කිසිදු සමෘද්ධිලාභියෙක් තම මුදල් බැංකුවල තැන්පත් කරනවාද? සමෘද්ධි බැංකු විසින් සමෘද්ධිලාභීන්ට ඉතුරු කිරීම් ගිණුම් විවෘත කිරීම ද කළ හැකි දෙයක් නොවෙයි. සමෘද්ධිලාභීන් පවසන්නේ තමන්ට ලැබෙන සමෘද්ධි දීමනාව පවා ප්‍රමාණවත් නොවන බවයි.

වැඩ කරන ජනතාවට ලැබෙන වැටුපෙන් ජීවත්වන්න බැරි තරමට ජීවන වියදම ඉහළයි. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට ආණ්ඩුව කරන්නට යන්නේ ඔවුන් වෙන රස්සාවලට යොමු කිරීමයි. පැය 8ක් සේවය කරලා ඊළඟට වෙන රුකියාවක යෙදී මුදල් ඉපැයිය යුතුයි. පැය 8 සේවය හෝ හරිහැටි නොකර වෙන රස්සාවල් හොයන්නයි වෙලා තියෙන්නේ. කෙනකුට වැඩ කරන කාලයට අමතරව සංස්කෘතික ජීවිතයක් තිබිය යුතුයි. වැඩ කරන ජනතාව යනු මැෂින් නොවෙයි. රස්සාවට පසු ඒ මිනිහාට තව කරන්නට කොපමණ වැඩ තියේද? පවුලේ කටයුතු, යුතුකම් ඉටුකිරීම්, සමාජසේවා, ලිංගික කටයුතු, ආගමික කටයුතු ආදියට ඔහු යොමුවෙනවා. මේ තත්ත්වය මත ජනතාව මැෂින් බවට පත් කළාම ඔවුන්ගේ මුළු ජීවිතයම කඩා වැටෙනවා. ලොව දියුණු රටවල් උත්සාහ කරන්නේ වැඩ කරන කාලය අඩු කිරීමටයි. ඒ රටවල මිනිසුන්ගේ වැඩි ඉපැයීම් අඩු කිරීම සඳහා කරන්නේ ඒ අමතර ආදායම්වලට වැඩියෙන් බදු ගැසීමයි. එහෙත් අප කරන්න යන්නේ එහි ප්‍රතිවිරුද්ධ පැත්තයි.

2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙත් සඳහන් වෙනවා ලෝක ඉන්ධන මිල පහළ බැසීමෙන් ලැබෙන අධික වැය අඩුවීම යොදාගෙන හය මාසයක් තුළ කෝටි 2000ක අරමුදලක් තනා එයින් ජනතාවට සහන දෙන බව. ඒ මුදල් ගැන මේ අයවැයේ වචනයක්වත් කියන්නේ නැහැ. ඒ මුදල්වලට මොකද වුණේ?

මහ බැංකු අධිපති පවා ඉදිරියේ ඍණ ආර්ථිකයක් ඇතිවන බව ප්‍රකාශ කර සිටියදී අයවැය කතාවේ සියයට 6ක ආර්ථික වර්ධනයක් ගැන පැවසීම සුරංගනා කතාවක් වගෙයි. එසේම සියයට 9.7 සිට 14.1 දක්වා ආදායම වර්ධනය කරන බව පැවසීම ද එසේම සිදුවිය නොහැක්කක්. තවද මෙවර අයවැය හිඟය ජාතික ආදායමට බොහෝ සේ සමාන ලෙස තිබියදී 2021 දී ජාතික ආදායමෙන් සියයට 9කට අඩු අයවැය හිඟයක් ඇතිකිරීම ද සිහිනයක් පමණයි.

සෑම ජනකොටසකටම සහන දී තිබෙනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල්

මෙය ඉදිරි දැක්මක් ඇති අයවැයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ අයවැය තුළින් කෙටිකාලීන හා මධ්‍යකාලීන සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම වැදගත්. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිවලට යමින් ජනතාවට බරක් නොවන අයුරු ආදායම් මාර්ග වැඩිකර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අලුත් බදු පැනවීම වෙනුවට බදු කළමනාකරණය කරමින් දැනට පවතින බදු කාර්යක්ෂමව එකතු කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. බදු ගෙවීම පැහැර හරින්නන් පිළිබඳ සොයා බැලීමට වෙනම අංගයක් ස්ථාපිත කිරීම සහ ව්‍යාජ බදු වාර්තා සපයන අයට විරුද්ධව ක්‍රියා කිරීම තුළින් එවැනි වාර්තා සකස් කිරීම අකර්මණ්‍ය කර තිබෙනවා. ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ඇතැම් නිලධාරීන් බදු උපදේශකයන් වශයෙන් කටයුතු කරමින් බදු ගෙවිය යුතු අයට ලිස්සා යාමට කටයුතු කිරීම වැළැක්වීමට මෙමගින් හැකිව තිබෙනවා.

එසේම අයවැය පරතරය සියයට 8ක මට්ටමේ පවත්වා ගැනීමට ද අපේක්ෂිතයි. මෙය ඇතැමුන්ට කළ නොහැකි දෙයක් ලෙස පෙනුණ ද ජාතික ආදායම වර්ධනය කර ගැනීමෙන් සහ අනවශ්‍ය වියදම් අඩුකර ගැනීම තුළින් මෙය කළ හැකියි. තවද රුපියල් මිලියන 2900ක් දේශීය හා විදේශීය ණයවලින් පියවා ගැනීමට බලාපොරොත්තු වන බව දැක්වෙයි. මෙහිදී ණය ලබාගැනීම පහළ මට්ටමකට ගෙන ඒම අපේක්ෂිතයි.

සියයට 6ක අපේක්ෂිත ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු නොවිය යුතු යැයි විරුද්ධවාදීන් කියනවා. එහෙත් අපි මෙයට පෙර ද බැහැය කියූ දේවල් සාර්ථකව ඉටුකර තිබෙනවා. එය තමා දැනට ඇතිවී ඇති රහස. අප කවදත් අභියෝග මැද ඉදිරියට ගියා. පසුගිය ජේ.වී.පී. අර්බුද කාලයේ ද අපේ ආර්ථික වර්ධනය පහළ ගියේ නැහැ. ඒ ආකාරයට සැලසුම් සහගතව කටයුතු කිරීම අපි යථාර්ථයක් කරගෙන තිබෙනවා. ඒ අනුව පවතින අර්බුදකාරී වාතාවරණය තුළ සියයට 6ක මට්ටමට ආර්ථික වර්ධනයක් ඇතිකිරීම අපේ උත්සාහයයි. ඒ සඳහා ගන්නා පියවර අයවැයෙන් නිර්දේශ කර තිබෙනවා.

දැනට පොලී අනුපාත සාමාන්‍යයෙන් සියයට 14 සිට 8 දක්වා අඩු වී තිබෙනවා. ඒ අනුව උද්ධමනය සියයට 5ක මට්ටමකින් පහළට යැවීම අපේක්ෂා කරනවා. ජනතාවගේ ජීවන බර අඩු කිරීමට මෙමගින් අපේක්ෂිතයි.

රටේ ප්‍රධානම අවශ්‍යතාවලට මෙම අයවැයෙන් ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කිරීමට සමත් වී තිබෙනවා. ආරක්ෂක කටයුතුවලට රජයේ මුළු වියදමෙන් සියයට 10කට වැඩියෙන් හෙවත් බිලියන 355ක් වෙන්කිරීම මෙම අර්බුදකාරී අවස්ථාවේ අතිශයින් අගය කළ යුතුයි. එසේම කොවිඩ් වෛරස අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශ සඳහා රුපියල් බිලියන 159ක් හෙවත් මුළු ආදායමෙන් සියයට 4.50ක් පමණ වෙන්කර තිබෙනවා. මේ වියදම්වලින් කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට වැඩි කොටසක් වෙන් කරනවා. රටේ කිසිදු අර්බුදකාරී අවස්ථාවක් නොමැති වූ 2018 වසරේදී අධ්‍යාපනයට වෙන්කර තිබුණේ සියයට 1.9ක් වුවත් මෙවර අපි සියයට 3.58ක් හෙවත් රුපියල් බිලියන 126ක් වෙන් කිරීම ද විශේෂයෙන් කැපී පෙනෙනවා. විශ්වවිද්‍යාලවල හා පාසල්වල යටිතල පහසුකම් වර්ධනය කිරීමට මෙන්ම වසරින් වසර විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට මෙමගින් කටයුතු යොදා තිබෙනවා.

තවද මෙවර අයවැයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ කැබිනට් අමාත්‍යාංශවලට පමණක් මුදල් වෙන්කිරීම වෙනුවට රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ද වෙනම මුදල් වෙන්කර තිබීමයි. මේ නිසා රාජ්‍ය අමාත්‍යවරුන්ට තම අමාත්‍යාංශවල මුදල් වැය කරමින් ස්වාධීන ලෙස ප්‍රමාද වීමකින් තොරව වැඩ කළ හැකි වෙනවා. වෙනදා මෙන් කැබිනට් ඇමැතිවරු මුදල් නිදහස් කරන තුරු බලා සිටිය යුතු නැහැ. තවද වතු කම්කරු වැටුප රුපියල් 1000 කිරීම ද ඉතා වැදගත් වෙනවා. අපේ ජාතික ආර්ථිකයට දායකවෙන වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමක් මෙමගින් සිදුවෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිට දිගට ඇදීගෙන එන ප්‍රශ්නයක්. මෙයට ස්ථිරසාර විසඳුමක් ලැබී තිබීම අගය කළ යුතුයි. ඇතැම් හාම්පුතුන් මෙම වැටුප් වැඩි කිරීම ගැන විරුද්ධ වීම නිසා මේ තාක් කලක් මෙය කළ නොහැකිව තිබුණා. එවැනි අයගේ වතු පරිපාලනය වෙනස් කරන බව අයවැයේ සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ට තම සේවා කාලයෙන් බැහැරව රැකියා කර ආදායමක් ලබාගැනීමට ද දොරටු විවර කර තිබෙනවා. ලෝකයේ වෙනත් රටවලද රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාදය හිමිකර දී තිබෙනවා. එයින් ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය වෙනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා. වැටුප් වැඩි කිරීමට කරන බලපෑම් ද යම් පමණකට අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් මෙයින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව අඩු වෙන්නට හේතුවක් නැහැ. වැඩ කළ හැකි අයට පුළුවන් කාලයේ වැඩ කිරීමට තිබූ බාධකය මෙයින් ඉවත් කර තිබෙනවා.

එසේම සමෘද්ධිලාභීන්ගේ ආදායම වැඩිකර ගැනීමට ඉඩ සලසා දෙමින් ඔවුන් වෙනුවෙන් ස්ථාවර ඉතුරුම් ගිණුම් හඳුන්වා දීම ද ඉතාම වැදගත්. මෙතෙක් කල් සමෘද්ධිලාභීන් ඔවුන්ට ලැබෙන ජීවනාධාර වැඩි වශයෙන් පාරිභෝජනයට යොමු කළා මිස ජීවන තත්ත්වය වර්ධනය කර ගැනීමට පාවිච්චි කළේ නැහැ. මෙහිදී මුදල් ස්ථාවර තැන්පතුවල දමා එයින් සියයට 90ක් ණය ලෙස අඩු පොලියට ලබාගෙන යම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට වරප්‍රසාදය ලබා දී තිබෙනවා.
සමස්තයක් ලෙස ගත් විට මෙම අයවැය ලේඛනය රටේ සැම ජනකොටසක්ම නව නැම්මකට යොමුකර යහපත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කළ නවමු අත්දැකීමක් බව කිව යුතුයි.

යසවර්ධන රුද්රිගූ