2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

ගෝඨාභයගේ පළමු වසර

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

පසුගිය දහ අට වැනිදා ආණ්ඩුවට වසරක් සපිරෙන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට හැත්තෑ පස් වසරක් සපිරිණි. එම නිසාම ලාංකීය ඉතිහාසයේ ආශ්චර්යමත් දිනයක් වූ මෙම දිනය පාදක කොටගෙන සටහනක් තැබීමට අපි අපේක්ෂා කළෙමු.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී ගතවුණු වසර ඇතුළත සිදු කළ සහ සිදුවූ දෑ පිළිබඳ සංක්ෂිප්ත විමසීමක් කිරීමට මේ සුදුසු කාලයයි. ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් 18 වැනිදා පත්වීම් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ දේශපාලනය හරහා රාජ්‍ය නායකත්වය කරා එළඹි අයෙක් නොවීය. ඔහුගේ පදවිප්‍රාප්තියම ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් විය. එම නිසාම ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ නිර්මාණය වූ ආණ්ඩුවේ රාජ්‍ය පාලන විධික්‍රම වෙනම කියවා ගැනීම සුදුසු වේ.

මෙරට ඉතිහාසයේ කුඩාම අමාත්‍ය මණ්ඩලය පත්වූයේ ගෝඨාභය පාලනය යටතේය. යහපාලන රජය විසින් නිර්මාණය කරගත් ජාතික ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලය එකසිය හත් දෙනකුගෙන් පමණ සමන්විත විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි විලසම අමාත්‍ය මණ්ඩලය 16කට සීමා කළේය. අමාත්‍ය මණ්ඩලයේ වියදම් කපා හැරීමට ඔහු කටයුතු කළේය. ආරම්භයේ දී සුළුතර ආණ්ඩුවක් සමඟ කටයුතු කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා හට සිදුවීමෙන් ව්‍යවස්ථාදායකය හරහා ලබාගත යුතු තීන්දු තීරණ ලබාගැනීම පහසු වූයේ නැත. එසේ නමුත් 19 වැනි සංශෝධනයෙන් කප්පාදු කරන ලද විධායක බලතල අතැතිව සමස්ත රාජ්‍ය තන්ත්‍රයම මනාව කළමනාකරණය කර ගැනීමට අභිනව ජනපති පෑ සමත්කම පැසසිය යුත්තකි. 

ජනාධිපතිවරයා ආරම්භයේ දී ලබාදුන් නියෝග ඔහු පිළිබඳ මහජනයා තුළ සුවිශේෂී ප්‍රතිරූපයක් නිර්මාණය වීමට හේතු විය. රාජ්‍ය ආයතන තුළ තමන්ගේ රුව ප්‍රදර්ශනය නොකළ යුතු බව ජනාධිපති කීවේය. එසේම තමා වසර පහක කාලයක් සඳහා රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවන බව ජනපතිවරයා අවධාරණය කළේය. වඩා අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකව පැමිණ කටයුතු අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. 

ජනපති පදවිප්‍රාප්තියට මාස තුනක් ගතවීමට මත්තෙන් කොවිඩ් අභියෝග සමස්ත ලෝකය හමුවේ පැන නැගුණි. චීනයේ වුහාන් නගරයෙන් වසංගතය ආරම්භ වන විටම වුහාන් හි සිරවී සිටි ශ්‍රී ලංකික සිසුන් මුදාගැනීමට රටක් ලෙස අපි කටයුතු කළෙමු. ලෝකයේ බලවත් රටවල් පවා මෙම මුදාගැනීම් වෙනුවෙන් පසුබට වන විට ජනාධිපතිගේ නියෝග සහ මෙහෙයවීම යටතේ මෙම පිරිස මව්බිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් සේවයට හැකි විය. එසේම කොවිඩ් අභියෝගයට පූර්ව සූදානමක් සහිතව මුහුණ දීමට ගත් තීරණය අතිශය වැදගත් විය. 

ආරම්භයේදීම රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමට ජනපති ගත් තීරණය කැපී පෙනුණි. සැමදා දේශපාලන ලැදියාවන් මත සිදු කරනු ලැබූ මෙම පත්වීම්  විද්වත් කමිටුවක් හරහා සුදුසුකම් සොයා සිදුවීම ඓතිහාසික අවස්ථාවක් විය. එසේම එම ආයතන ප්‍රධානීන් වෙත වෙන් වෙන්ව සපුරාගත යුතු ඉලක්ක ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. වසරක් ඇතුළත එම ඉලක්ක සපුරා පෙන්විය යුතු බව ජනාධිපතිවරයාගේ නියෝගය විය. කොවිඩ් අභියෝගය හේතුවෙන් වර්තමානයේ එම ඉලක්ක සපුරා ගැනීමේ ගැටලු මතුවී ඇති නමුත් මෙම සමස්ත ක්‍රියාවලිය ඵලදායී බව පැහැදිලි වී හමාරය.

සාර්ථකව කොවිඩ් පළමු රැල්ල මර්දනයට ආණ්ඩුව සමත් වූයේ අභිනව ජනපති අනුගමනය කළ ප්‍රායෝගික වැඩ සැලසුම හේතුවෙන් යැයි කීම අසාධාරණ නැත. කෙසේ වෙතත් මේ සියල්ල සිදු වූයේ සුළුතර ආණ්ඩුවක් යටතේය. පාර්ලිමේන්තු මැතිවරණය කොවිඩ් වසංගතය හේතුවෙන් කල් යමින් තිබුණි. කොවිඩ් මර්දන වැඩපිළිවෙළ හමුවේ අවසානයේ අගෝස්තු 5 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකි විය. ජනාධිපතිගේ වැඩපිළිවෙළ පිළිබඳ ඓතිහාසික දේශපාලන තීන්දුවක් ලැබුණි. සමානුපාතික ක්‍රමය යටතේ අදහාගත නොහැකි ප්‍රතිඵලයක් ලැබුණේ පොදුජන පෙරමුණු ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් හිමිකර දෙමිනි. 

බහුතර ආණ්ඩුවක් නිර්මාණය වූ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වෙනස් නොවුණි. ජනාධිපතිවරයා සමස්ත අමාත්‍ය මණ්ඩලය හැට අට දෙනකුට සීමා කළේය. අමාත්‍යවරැන්ට ද සාක්ෂාත් කළ යුතු නිශ්චිත ඉලක්ක ලබා දුන්නේය. අනවශ්‍ය වියදම් කපා හරිනු ලැබුවේය. දිළිඳුකම සුදුසු කොටගෙන රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹුණි. උපාධිධාරීන් පනස් දෙදහසකට ද රජයේ රැකියා වරම් උදා විය. කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් පනස් ලක්ෂයකට තෙවරක දී රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය. කොවිඩ් සහ ආර්ථික අභියෝග හමුවේ ආණ්ඩුව ලබාගත් මෙම තීන්දුව විප්ලවීය තීන්දුවක් විය.

ජනාධිපති ධූරය දැරුව ද ගෝඨාභය රාජපක්ෂ නම් චරිතය හුරුපුරුදු සරල සාමාන්‍ය ගතිලක්ෂණ අනුගමනය කළේය. උදෑසන කාර්යාලයට එන ඔහු දිනකට දිළිඳු ජනතාවට ඉඩම් පවරා දීම වෙනුවෙන් ජනාධිපති ලෙස අත්සන් කළ යුතු ඔප්පු 200කට අත්සන් තැබීම පුරුද්දක් කරගෙන සිටියේය. හැකි උපරිම කාලයක් කාර්යාලයේ රැඳෙමින් ජනාධිපති ධූරයේ කාර්යභාරය ඉටුකිරීම ඔහුගේ අභිප්‍රාය වූ අතර විටෙක පෞද්ගලික උත්සව සඳහා සහභාගි වීම පවා සීමා කළේය. ගෝඨාභය ජනාධිපති ආර්යාව ද ඉතාම සරල ගතිපැවතුම් ඇති තැනැත්තියක ලෙස අසීමාන්තික ජනාදරයට පාත්‍ර වූවාය. එහෙත් ජනාධිපති ආර්යාව මෙන්ම ජනපති පුතු සහ ලේලිය ද දේශපාලන කටයුතුවලින් වියුක්තව සිටියහ. ජනාධිපතිගේ පවුලේ අය දේශපාලන ළැදියාවෙන් තොරවීම ලංකා දේශපාලනයේ ඉතා විරල භාවිතයක් ලෙස කැපී පෙනුණි.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලන ප්‍රවේශය තුළ තිබූ පොරොන්දුවක් වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමයි. ඒ අනුව අභිනව ආණ්ඩුව විසින් විසි වැනි සංශෝධනය ගෙන එනු ලැබීය. ඒකාධිපති චෝදනාව විපක්ෂය විසින් මතු කළ ද ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය. කෙසේ වෙතත් ඒකාධිපති නියෝග කිසිවක් විසි වැනි සංශෝධනයෙන් පසුව ජනාධිපති ලබා දුන් බවක් අසන්නට නැත. අධිකරණ විනිශ්චයකාරවරැන් පත් කිරීම පවා ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන නිර්ණායකය කොටගෙන සිදුකර තිබේ. 

දක්වන ලද කරුණුවලට අමතරව වසරක ගෝඨාභය පාලනය තුළ සිදුවූ සාධනීය දෑ රැසකි. ඉන් කිහිපයක් මෙලෙස ගෙනහැර දැක්විය හැකිය. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම. ගෘහස්ත භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කිරීම, බැංකු හා මූල්‍ය ආයතනය මත පනවා තිබූ හර බදු ඉවත් කිරීම, නව ව්‍යවසායකයන්ට සහන සැලසීම, ණය පොලී අනුපාතය පහළ හෙලීම සහ රුපියලේ අගය ස්ථාවර කිරීම ආර්ථික වශයෙන් වැදගත් තීන්දු විය. ඊට අමතරව එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම, ගොවීන්ගේ වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීම, වසර තුනක් යන තෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රජයට වාහන මිලදී ගැනීම නතර කිරීම, ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ස්ථාවර දීමනාව නමින් නව දීමනාවක් ලබාදීම, ජනාධිපති කාර්යමණ්ඩලය 2500 සිට 300 දක්වා අඩු කිරීම, ජනාධිපති පරිවාර රථ සීමා කිරීම, ජනපති නිල නිවෙස වශයෙන් තමන් පදිංචි නිවෙසම තෝරාගැනීම ආදිය ද සුවිශේෂී තීන්දු විය.

මේ ආදී වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් වසරක ගෝඨාභය පාලනය තුළ සිදුවූ දෑ ලෙස ගෙනහැර දැක්විය හැකිය. සමස්තයක් ලෙස කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වන තුරුම වර්තමාන ආණ්ඩුව කෙරෙහි ප්‍රබල ශක්තිමත් විවේචන නොවුණු බව පෙනී යයි. එහෙත් මෑතකාලීන කරුණු කිහිපයක් මත විපක්ෂ කණ්ඩායම් තර්ක ගොඩනගමින් සිටියි. එම නිසාම ජනාධිපති ඉදිරියේදී ගෞරවපූර්ව දේශපාලන භාවිතාව වෙනුවෙන් තවදුරටත් වෙහෙස විය යුතු බව අපේක්ෂාවයි. එය ආණ්ඩුවේ හෝ එක් අයකුගේ හෝ පවුලක හෝ අනාගතය සම්බන්ධ කරුණක් නොවේ. ලක් ධරණී තලය තුළ උපන් නූපන් සැමගේ අනාගතය සම්බන්ධ කරුණකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත දරා සිටින්නේ ඉතිහාසයේ දැවැන්ත මහජන අපේක්ෂාවයි.

 චමිඳු නිසල් ද සිල්වා 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04