2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

ළිපටම වැටුණු මාළු වෙළෙන්දෝ

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

දිවයිනේ වෙරළ තීරයට කොයි දෙසින් හැරී බැලුව ද කලක් තිස්සේ ඇසෙනා මැසිවිලි ගොන්නකි. මිලියන 2කට වඩා වැඩි ධීවර ජනතාවක් විවිධ මට්ටම්වලින් කෙළින්ම මේ අර්බුදයට මැදි වී සිටිති. එපමණක් නොවේ. මුළු රටටම එහි බලපෑම් ඇති වේ. අස්වනු අලෙවි කර ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ද ධීවරයන්ගෙන් වරින් වර අසන්නට ලැබේ. විදෙස් ධීවරයන් පැමිණ මුහුදු සම්පත් සූරාගෙන යෑමද ඒ අතර වේ.

කුණාටු අකුණුසර අනාදිමත් කලෙක සිට ධීවර දිවියේ අංගයන් බඳුය. කුණාටු පැමිණෙන විට ඉන් ආරක්ෂා වීම සඳහා ඔවුන් දන්නා උපක්‍රම බොහෝය. එහෙත් කොවිඩ් කුණාටුව වෙනදා මුහුණදෙන කුණාටු මෙන් නොව ආර්ථිකය මෙන්ම ජනජීවිතය ද බිඳ දමමින් රැලි නඟනු පෙනේ. මේ කුණාටුවේ ආරම්භය තවමත් අවිනිශ්චිතය. ඒ පිළිබඳව ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ විමසිලිමත්ය.

පළමු කොරෝනා රැල්ල හේතුවෙන් පසුගිය මාර්තු 15 සිට රටේ ආර්ථික කටයුතු මුළුමනින්ම ඇනහිටින තත්ත්වයක් උදාවිණි. සංචාරක කර්මාන්තය වැනි ප්‍රමුඛතම සේවා අංශ මෙන්ම, ඇඟලුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත අංශය මුළුමනින්ම මාස තුනක කාලයක් පුරා වැසී ගිය අතර, සක්‍රීයව පැවැති එකම අංශය කෘෂිකාර්මික අංශයයි. ඒ අංශයට අයත් ධීවර කර්මාන්තය ද සක්‍රීයව ක්‍රියාත්මක කෙරිණි.

ආරම්භක ලක්ෂණ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලකින් ඉස්මතු වූ දෙවැනි රැල්ල ධීවර කර්මාන්තයට සම්බන්ධ මර්මස්ථාන හරහා හඹා යෑමට පටන්ගෙන ඇත. ප්‍රමුඛ පෙළේ ධීවර වරායන් කිහිපයක් වසා දැමීම මෙන්ම මාළු අලෙවි මධ්‍යස්ථාන සහ අලෙවි යාන්ත්‍රණය හා සම්බන්ධ ජාලය බිඳවැටී පැවතීම හේතුවෙන් සමස්ත පද්ධතියම අකර්මණ්‍ය තත්ත්වයකට පත්වී තිබේ.

මාළු කෑමෙන් කොවිඩ් ආසාදනය වනු ඇති බවට සමාජයේ පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනකුගේ දෛනික ඉපැයුම මේ වන විටත් කනපිට පෙරුළී ඇත.

ධීවර කර්මාන්තය විනාශ කරන්න බෑ
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ජාතික සංවිධායක රත්න ගමගේ

ධීවර කර්මාන්තයත්, මත්ස්‍ය වෙළෙඳාමත් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා. මේ විනාශ වෙන්නේ රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයට වැඩිම දායකත්වයක් දුන් දේශීය කර්මාන්තයක්. ඒ වගේම විදේශ විනිමය ගෙනාපු කර්මාන්තයක්. අපිට කොරෝනා නිසා මේ කර්මාන්තය විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා ධීවර අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධව මේ අර්බුදය ජයගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්න කියලා.

මිනිසුන්ගේ බිය සැක දුරු කළ යුත්තේ රජයයි
කුඩාවැල්ල ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් කැලුම් ප්‍රියංකර

මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනෙත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරුවෙලා නෑ. ජනතාවගේ සැකය දුරුවෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමුවන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන.

සෞඛ්‍ය බලධාරීන් දුර්මත දුරු කළ යුතුයි
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර

මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝවෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝවෙනවා නම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා.

මාළු නිසා පැතිරෙනවා කියලා කාටවත් කියන්න බෑ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා මාළුවලින් මේක බෝවෙනවා කියලා සමාජයේ කටකතාවක් තියෙනවා. නමුත් මාළුවලින් කොවිඩ්-19 පැතිරෙනවා කියලා මේ වනතුරු කවුරැත් අනාවරණය කරගෙනවත් 
පර් යේෂණ කරලා තහවුරැ කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදාගෙන තියෙන්නේ මාළු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාළු අලෙවි කරන පුද්ගලයන් ආසාදිතයන් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ධීවර සංස්ථාවෙන් මාළු අරන් බෙදනවා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද

මේ කාලයේ මත්ස්‍ය අස්වැන්න වැඩි වශයෙන් ලැබෙන කාලයක් බැවින් ධීවර කර්මාන්තයට හානි නොවන පරිදි එම මත්ස්‍ය අස්වැන්න ධීවර සංස්ථාව හරහා මිල දී ගැනීමටත්, එසේ මිල දී ගන්නා මාළු පාරිභෝගිකයාට සහනදායී මිලකට සැපයීමටත් ඉතිරිවන මාළු ගබඩා කිරීමටත්, කරවල වේළීම සඳහා යෙදීමටත් අමාත්‍යාංශය පියවර ගනිමින් ඉන්නවා. මේ අනුව ධීවර සංස්ථාව සතු ශීතාගාර ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික අංශය සතු ශීතාගාර ලබාගැනීමේ හැකියාව පිළිබඳ මෙන්ම ඒවායේ ධාරිතාව පිළිබඳවත් අවධානය යොමු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 සටහන: හසිත් අංජන

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04