2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

මහනුවර නිරෝධායනය මැද Prison Brake

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

මහනුවර නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ලක පිහිටුවා ඇති කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානය එදා බෝගම්බර බන්ධනාගාරය තරමටම අද වනවිට පුවත් මවන තැනක් බවට පත්ව ඇතැයි කීවොත් එහි වරදක් නැත. වසර 144ක දීර්ඝ ඉතිහාසයක් ඇති ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය තරමටම එහි වෙනසක් නැතැයි කිවහැක්කේද එබැවිනි.

මෙහි නවතම සිද්ධිය වාර්තාවූයේ ඉකුත් 17 දා පැවැති රැඳවියන්ගේ උද්ඝෝෂණයක් සමඟිනි. මෙම පැරණි ගොඩනැගිලි සංකීර්ණයෙන් එදා පැවැති බෝගම්බර බන්ධනාගාරය ඉවත්වූයේ 2014 වසරේදීය. ඒ වෙනුවට දුම්බර බන්ධනාගාරය ඉදිවූයේ මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේය. ඒ නිසාම පැරණි බෝගම්බර බන්ධනාගාර භූමිය සුදුසු ආර්ථික කටයුත්තක් සඳහා එදා පවරා දී තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියටය. 

කොවිඩ් 19 වෛරසයේ ආසාදිත තත්ත්වය බන්ධනාගාර තුළට ගලා ආවේ මේ අතර කිසිදු සැකසංකාවක් නැතිවය. එහෙත් අද වනවිට තත්ත්වය කොතරම් දරුණුද යන්නට අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ බන්ධනාගාර කොරෝනා පොකුර 500ද ඉක්මවමින් තිබීම නිසාය.

මුළුමහත් බන්ධනාගාර පද්ධතියම උඩු යටිකුරු කරන්නට තරම් ප්‍රබල වූ කොරෝනා පොකුරේ අතුරු අයහපත් ප්‍රතිඵලද දැන් දැන් ඇසෙන්නට පටන්ගෙන හමාරය. රිමාන්ඩ් භාරයට පත්වන සැකකරුවන් බන්ධනාගාරගත කිරීමට පෙර, නිරෝධායනයට ලක්කිරීම සඳහා බෝගම්බර පැරණි බන්ධනාගාරයට අයත් ගොඩනැගිල්ලක් නැවත තාවකාලිකව පවරා ගනු ලැබුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙතය. ඒ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අදහසක් අනුවය.

ආරක්ෂක ලේකම්වරයා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණේද මීට මාස කීපයකට පෙරය. පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කොට කොළඹ, මහර, මීගමුව බන්ධනාගාර සඳහා යැවෙන රිමාන්ඩ් සැකකරුවන් දින 14ක් සඳහා නිරෝධායනයට යොමුකිරීම මෙහිදී සිදුවිය.

මුලින්ම සැකකරුවන් 100 දෙනකු සඳහා වෙන්කළ මෙම කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානය පසුගිය 12දා ගිනිගන්නා තත්ත්වයකට පත්වූයේ රැඳවියන් 800කට අධික සංඛ්‍යාවක තදබදය හේතුවෙනි. අලුයම් කාලයේ සිරමැදිරිවල අගුලු කඩාගෙන පිටතට පැමිණි රැඳවියන් 100ක් පමණ දෙනා එහි වහළ මතට නැග උද්ඝෝෂණයක නිරතවූයේ තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙසත්, සිය සෞඛ්‍ය ආරක්ෂාව සලසන ලෙසත් ඉල්ලමිනි.

තත්ත්වය එන්න එන්නම දරුණු වූයේ දහවල වනවිට තවත් පිරිසක් ඊට එක්වීමෙනි. ඒ වනවිටත් මධ්‍යස්ථානය තුළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස්ය. නිලධාරීන් 2ක්ද ඒ අතරය. පොලිස් කැරලි මර්දන පිරිස්ද මෙහිදී බන්ධනාගාරය වටා පවුරක් ලෙස ආරක්ෂාව සැලැස්වූයේ වෙනත් කළහැකි දෙයක් නොවන නිසාය.

සිය ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙන තෙක් බිමට නොබැසීමට තීරණය කළ රැඳවියන් පිරිසගේ ඉල්ලීමට අවනත වූ නිලධාරීහු වහාම මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධරයන් කැඳවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පටන් ගත්හ. ඒ සමගම වහලය මත සිටි උද්ඝෝෂකයෝද කෙමෙන් කෙමෙන් බිමට බසින්නට පටන්ගැනීමත් සමඟම සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ ඒ සියල්ලෝම නිහඬ කරමිනි. එහි සිටි රැඳවියන් අතරින් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණද සිදුවිය. සවස් වනවිට බස් රථ 5කින් රැඳවියන් 200ක් පමණ දෙනා කෑගල්ල, මහර හා මීගමුව බන්ධනාගාර වෙත පටවනු ලැබුවේ මෙම හුටපට මැද්දේය.

ඒ සමඟම පිරිස 400කින් පමණ පහළ ගිය බවටද තොරතුරු වාර්තා විය. එතැනින් නොනැවතී 17දා අලුයම වනවිට, මෙම මධ්‍යස්ථානය තුළ කිසිවක් සිදුවෙමින් පැවති බව නිලධාරීන් දැන සිටියාද යන්න ගැටලුවකි.

මීට පෙර දිනෙක නිරෝධායන සැකකරුවන් පිරිසක් රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරීන්ට පහරදී පලායාමට ගත් උත්සාහයක් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ව්‍යවර්ථ කළ සිද්ධියක්ද ඒ වනවිටත් වාර්තා වී තිබුණි. ඉකුත් 17 වැනිදා එහි දෙවැනි අවස්ථාව වනවිට රාත්‍රී මැදියමට ළංව තිබුණි. මත්ද්‍රව්‍ය චෝදනා සහිත සැකකරුවන් 5 දෙනෙකු එදින සැලසුම්කර තිබුණේ සිරකුටි කඩාගෙන පිටතට පැමිණ වැසිකිළියට ගොඩවී තාප්පයෙන් පැන පලායාමටය. 5 දෙනාම අනුරාධපුර ප්‍රදේශයෙන් රිමාන්ඩ් භාරයට පත්වූවෝය.

මිනීමැරුම්, මත්කුඩු ඇතුළු අපරාධ කීපයකට චෝදනා ලබා සිටි මෙම සැකකරුවන් කණ්ඩායම පලායාමට තැත්කරන බව දැක අසල මුර අට්ටාල රාජකාරියේ නියුතු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වූයේ දෙවරක් නොසිතාය. වෙඩි තබා සැකකරුවන් බියවද්දා ඔවුන් උත්සාහ කරන්නට ඇත්තේ සැකකරුවන් මෙල්ල කිරීමටය.

ඒ වනවිට බන්ධනාගාරයේ අඩි 30ක් උස දැවැන්ත තාප්පය මතට ගොඩ වී ඉන් තිදෙනෙකු පලායාම සඳහා බිමට පැන තිබුණු බවට සලකුණු කරමින් ලේ පැල්ලම් ගලාගියේ එක් අයකු මරු තුරුලට යවමිනි. තවත් සැකකරුවකු සුසුම්නාව කැඩී බරපතළ තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගෙන වහාම රෝහල්ගත කෙරිණි. සැකකරුවකුට ඒ අතරින් පලායාමට ඉඩ සලසමින් ඉන් දෙදෙනෙක් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූහ.

සුසුම්නාව කැඩී බරපතළ තුවාල ලබා සිටි සැකකරුවා වහාම රෝහල්ගත කෙරිණි. මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ අනුව ප්‍රතිකාර ලබනුයේ තඹුත්තේගම, සූරියවැව, අංක 23 පදිංචි ටී.එස්. දසනායක (24) නැමැත්තාය. අනුරාධපුර කටුකැලියාව, අංක 18, ගෙවල් 100 පදිංචි මොහොමඩ් අබ්දුල් රහීම් ෆස්මින් (30) මෙහිදී බරපතළ තුවාල ලබා තාප්පයෙන් පිටත වැටී සිටියේ සියල්ලෝම අන්දුන් කුන්දුන් කරමිනි. රෝහල්ගත කිරීමේදී ඔහු මියගොස් තිබුණි. මොවුන් එදා වහළය මතට නැග උද්ඝෝෂණය මෙහෙයවූවන් බවටද හඳුනාගෙන තිබුණේ බන්ධනාගාර උසස් නිලධාරීන් විසිනි.

ඒ උද්ඝෝෂණයට සහභාගී වූ වැඩිදෙනා මත්කුඩු චෝදනා ඇති අයවලුන් බවටත් එහි සිරකුටි බිඳ පිටතට පැමිණීමට හැකිවී ඇත්තේ පැරණි අත්හල බන්ධනාගාරයක් නිසා බවටත් මාධ්‍ය හමුවක් අමතා හෙළිකළේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය.

එදින මැදියම් රැයේ තාප්පයෙන් පැන පළාගිය සැකකරුවා පසුදින (18) සවස 3.00 වනවිට හමුවූයේ ඒ අසල පිහිටි අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එළවළු කොටුවක සැඟවී සිටියදීය. මුළු රැයක් තිස්සේම මෙම එළවළු කොරටුවේ සැඟවී සිටි සැකකරු මුලින්ම දැක ඇත්තේ එම කාර්යාලයේ සේවිකාවක විසිනි. තමන් බන්ධනාගාරයෙන් පළා ආ අයකු බවට^ ඔහු විසින් කරන ලද දැනුම්දීම මත ආරක්ෂක අංශභාරයට පත්ව නැවත රැගෙන ගොස් තිබුණේද එම මධ්‍යස්ථානයටය.

මෙම පලායාමේ සිද්ධියේදී ඔවුන් මෙල්ල කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරෑ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකළ බව කීවේද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය. මියගිය සැකකරුට වෙඩි වැදීමක් සිදුව තිබෙන බවක් බාහිර තුවාල මගින් නොපෙනෙන බවත්, ඒ සම්බන්ධයෙන් ස්ථීර ප්‍රකාශයක් කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවත් මහනුවර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසා තිබුණි.

තාප්පයෙන් පිටතට පැන පලාගිය සැකකරු කෙළින්ම ගොස් ඇත්තේ බෝගම්බර පොලිස් නිල නිවාස අසලට බවට තොරතුරු අනාවරණය වූයේ එහිදී කරන ලද පරීක්ෂණයේදීය. මහනුවර නගරය මධ්‍යයේ පිහිටි මෙම කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානය නගරයේ සෞඛ්‍යාරක්ෂාවට බලවත් තර්ජනයක් බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා පැවති මහනුවර සම්බන්ධීකරණ කමිටු රුස්වීමේදී අනාවරණය කර තිබුණේද මේ අතරය. පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙම නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳව දක්වා ඇත්තේ දැඩි විරෝධතාවයකි. මේ හේතුවෙන් මුළු මහනුවර නගරයම අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු කීවේය.

තවත් කොරෝනා මධ්‍යස්ථාන කීපයක් තෝරාගත් ස්ථානවල පිහිටුවීමට මේ අතර රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ මේ අතරය. ඒ සමඟ බන්ධනාගාරවල ඇතිවී තිබෙන තත්ත්වයන් පිළිබඳව සොයාබැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වහාම ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලෙසට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ගීතාමනී කලණරත්න මහත්මියට බෝගම්බර සිද්ධියෙන් පසු ඉකුත් 18දා උපදෙස් දුන්නාය.

මොනරාගල බන්ධනාගාරයේ රැඳවියකු මියයාම, බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් පලායාම හා රැඳවියෙකු මියයෑම, වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල රැඳවියන් වහලය මත නැගී උද්ඝෝෂණයේ නිරතවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර කමිටු වාර්තාව සති 3ක් ඇතුළත ලබාදෙන ලෙස දැනුම් දුන්නේද බන්ධනාගාර පද්ධතිය තුළ මතුවී ඇති ගැටලුවලට පිළිතුරු වශයෙනි. බන්ධනාගාර තුළ කොවිඩ් 19 පැතිරයාම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට එය වළක්වා ගැනීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසටද රාජ්‍ය අමාත්‍යවරිය පාලනාධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ පාලනයකින් තොරව කොවිඩ් වෛරසය බන්ධනාගාර තුළ සීඝ්‍රයෙන් පැතිර යන බව නොකියා කියන්නාක් මෙනි.

ජයන්ත සමරකෝන්