2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කොරෝනා නිසා මහමග ඇදවැටී හිටි අඩියේ මියයනවාද?

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

කොවිඩ් 19ට ගොදුරු වූ රෝගීන් හිටිඅඩියේම මග ඇදවැටී මියයන්නට හැකිද? මේ දිනවල බොහෝදෙනා අතර අනියත බියක් ගෙන දී සමාජ භීතිකාවක් පැතිරවීමට මුලපුරා ඇති මේ කාරණය ගැන දේශය පාඨක ඔබ වෙනුවෙන් පැහැදිලි කර දීමට මෙරට ප්‍රමුඛ පෙළ හෘද රෝග විශේෂඥයකු වන විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ අප හා අදහස් දැක්වීමට එක්විය.

පුරාණ කාලේ නම් හදිසියේ ඇදවැටී මියගිය සිද්ධි හැඳින්වුයේ “මහසෝනා ගහලා මළා !” කියාය. නමුත් බොහෝවිට ඒ මරණයේ සැබෑ හේතුව වූයේ හෘදයාබාධයකි. ඉතින් දැන් මේ පැමිණ ඇත්තේ මහසෝනා වෙනුවට කොවිඩ් 19 ආදේශ කරගත් විපරීත තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ පැහැදිලි කරයි.

යමකු හිටිහැටියේ ඇදවැටී ක්ෂණික මරණයකට ලක්වීමට ප්‍රධානතම හේතුව ලෙස පරීක්ෂණවලදී හෙළිවන්නේ හෘදයාබාධය බව සමාජයේ බොහෝ දෙනෙක් දනිති. විද්‍යාත්මක වශයෙන්ද එහි සත්‍යතාවක් තිබේ. ඊට හේතුව මිනිස් සමාජයේ සිදුවන ක්ෂණික  මරණවලින් අතිවිශාල බහුතරයකට හේතුව හෘදයාබාධ හා ඒ ආශ්‍රිතව පැන නැගෙන හදිසි රෝග තත්වයන් මුල් වීම ය.  

හෘද රෝගයක් නිසා යමකු ක්ෂණික මරණයකට ලක්වීමට හේතු කිහිපයක් තිබේ. ඒවා අතරින් myocarditis හෝ myocardial infarction ආදී හේතු මුල්කොට හෘදයේ රිද්මය වෙනස් වීම හෙවත් ventricular arrhythmia මුල් තැනක් ගනී. ඊට අමතරව පෙනහළුවලට රුධිරය සපයන ධමනියක ලේ කැටියක් සිරවීමෙන් එම ධමනිය අවහිර වීම හෙවත් pulmonary embolism ද හෘදයවස්තුව මුල්කොට ක්ෂණික මරණයක් ඇති කරවන හේතුවකි. හෘද රෝගීන්, හෘද රෝග ලක්ෂණ පළ කරන්නවුන් අතරින් සේම කිසිදු හෘද රෝගයක ලක්ෂණ නොමැත්තවුන් පවා මෙවන් ක්ෂණික මරණවලට ලක් විය හැක. මෙම ඇතැම් මරණවලට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි කර ගත හැකි අතර ඇතැම් මරණවලට හේතුව මළ සිරුරේ හෘදය වස්තුව සහ වෙනයම් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් දෘෂ්‍යමාන නොවීම හේතු කොට ගෙන මූලික මරණ පරීක්ෂණවලදී එම මරණවලට හේතුව අනාවරණය කර ගැනීමේ යම් නොහැකියාවක්ද පවතී. 

එහෙත්, මෙවන් තත්වයක් යටතේ කිසිවකුත් බිය විය යුතු නැත. මක්නිසාද යත් මනා කායික සහ හෘද සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නවුන් අතරින් මෙවන් ක්ෂණික මරණයකට පත්විය හැක්කේ දහස් ගණනකට එක් අයකු පමණක් වීමය. නමුදු තම පවුලේ ලේ ඥාතීන් තුළ මෙවන් හෘදයාබාධ හෝ එය මුල් කොටගත් හදිසි මරණ සිදුවීමේ යම් සම්භාවිතාවක් පෙන්නුම් කරන්නේ නම් ඔවුන් තම හෘද සෞඛ්‍යය පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුය.

මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ දිනපතා සිදුවන මරණ සංඛ්‍යාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් මෙම හෘදය ආශ්‍රිත ක්ෂණික මරණ වීම කවදත් පැවැති සාමාන්‍ය තත්ත්වයකි. නමුදු ඒවා එසේ මියගියවුන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන්ට සහ ඔවුන් සහසම්බන්ධතා පවත්වන සමාජයට පමණක් වැදගත් වූ අතර එවන් මරණ තුළ විශේෂිත ප්‍රවෘත්ති වටිනාකමක් නොතිබිණ. එහෙත්, මෙම කෝවිඩ් 19 වසංගතය පැතිරයාමත් සමඟ සමාජය තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අතිශය සංවේදී වීම මත මෙසේ සිදුවන හදිසි මරණවලට හේතුව කෝවිඩ් 19 වශයෙන් සිතන්නට පටන් ගෙන තිබේ. එනිසාම මාධ්‍යකරුවෝද මෙම ජනතා මානසික අවශ්‍යතාවය මුල්කොට මෙවන් මරණවලට වැඩි ප්‍රසිද්ධියක් ලබාදෙති. එසේ ජනතා උනන්දුව ලුහුබැඳයාම ලොවපුරා පවත්නා මාධ්‍යකරණයේ පොදු ලක්ෂණයකි. 

මෙසේ හෘදයාශ්‍රිත රෝග නිසා ක්ෂණික මරණවලට ලක්වන පුද්ගලයන්ගේ මළසිරුරු මුල් කොට PCR පරීක්ෂණ සිදුකළ පසු ඔවුන්ගෙන් ඇතැමුන් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස ද වාර්තා වූ අවස්ථා තිබේ. එහෙත්, එම මරණය කෝවිඩ් ආසාදනය නිසා සිදුවූවක්ද එසේ නොමැති නම් ඒ තැනැත්තාට වැළඳුණු ක්ෂණික හෘදයාබාධය හා කෝවිඩ් ආසාදිත තත්වය අතර යම් සබඳතාවක් තිබිණිද ආදිය නොවිමසා ම එම මරණය කෝවිඩ් ආසාදිත මරණයක් සේ වාර්තා ගත කිරීමේ ලෝක සම්මතයක් තිබේ. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් ආසාදිතයන් 15000 කටත් වඩා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 50 කට වැඩි ප්‍රමාණයකි. ඒ අනුව එම මරණ ප්‍රතිශතය දහසකට තුනක් නැතහොත් සියයට දශම තුනක් පමණ වේ. නමුත් සමස්ත ලෝකයේම මේ වන විට කෝවිඩ් ආසාදිතයන් මිලියන පනස්පහක්  වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් ලෙස වාර්තා ගත වී තිබේ. එහි අනුපාතය සියයට දෙකයි දශම පහකි. 

එම ලෝක තත්වයන් අනුව මෙය ලියන මොහොත වනවිට ශ්‍රී ලංකාව සැලකිය යුතු යහපත් මට්ටමක පවතින බව අප පිළිගත යුතුව තිබේ. ලොව අනෙකුත් රටවලට සමාන ලෙස අප රටේද රෝගය සහ මරණ පැතිර ගියා නම් මේ වනවිට ලංකාවේ මරණ 1300- 1400ත් අතර ප්‍රමාණයක් වාර්තා විය යුතු අතර රෝගීන් පමණක් ලක්ෂ 140000ක් විය යුතුය නමුත් අප මේ වනවිට යහපත් කෝවිඩ් කළමනාකරණයක් අත් කරගන තිබේ. එහෙත්, මෙම තත්ත්වය දේශපාලකයන්, නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව යන පාර්ශ්ව තුනේ තුන්ඈදුණු සම්මාදම මත ඉදිරියේදී අඩු හෝ වැඩි වනු ඇත 

ඒ කෙසේ වුවද කෝවිඩ් 19 හෝ වෙනත් වෛරසයක් ශරීරගත වීම වකුගඩු, අක්මාව, පෙනහළු, මොළය සේම හදවත යන වැදගත් ඉන්ද්‍රියන්ට බලපාන බව නිසැක සත්‍යයකි. එමඟින් කෙටි කාලීන සහ දිගු කාලීන සංකූලතා, පසුකාලීන බලපෑම් සේම මරණ පවා සිදුවීමට පුළුවන. එහෙත්, අප මෙහිදී සැලකිලිමත් විය යුත්තේ දැනට වාර්තා වන ක්ෂණික මරණ සම්බන්ධයෙන් මෙම කෝවිඩ් 19 වෛරසයේ බලපෑම කොතෙක් ද යන්න ය. මෙහිදී මෙම රෝගය සම්බන්ධ ගෝලීය වශයෙන් කරනු ලැබූ නිරීක්ෂණ අධ්‍යයනයන් සහ සායනික පරීක්ෂණවලදී රෝග ලක්ෂණ වලින් තොරව ක්ෂණික මරණයක් සිදු වීමේ සම්භාවිතාවක් ඇති බවට අනාවරණය වී නැත. නමුදු හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, නිදන් ගත වකුගඩු රෝග, ශ්වසන රෝග ආදී රෝග තත්වයන්ගෙන් යුතු පුද්ගලයන් තුළ සේම සාමාන්‍ය ජනතාව තුළ පවා උණ, උගුරේ වේදනාව, උගුරේ වියළි බව, විඩාපත් බව, හිසරදය, ගඳ සුවඳ සහ ආහාර වල රසය නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුව ආදී ලක්ෂණ වලින් කිහිපයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී එම රෝග ලක්ෂණ සහ එමඟින් හට ගන්නා සංකූලතා පිටුදැකීමට සහ අවම කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් එම වෛරසයේ බලපෑම නිසා හදවත ආශ්‍රිතව හටගන්නා සංකූලතා මත මරණය ඇති වීමේ පැහැදිලි සම්භාවිතාවක් පවතී. 

පසුගිය කාලය පුරා වාර්තා වුණු කෝවිඩ් ආසාදිත මරණ අතුරින් මහ මඟදී සිදුවුණු බව වාර්තාවූයේ එක් මරණයක් පමණි. එම මරණයට පත්වූ පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු වුවද එය ක්ෂණිකව සිදුවුණු මරණයක් නොවන බව පසුව අනාවරණය විය. ඒ එම පුද්ගලයා නිවසක් අහිමිව මහමඟම ජීවත්වෙමින් යාචක වෘත්තියේ යෙදුණු අසරණයකු බව අනාවරණය වීමත් සමඟය.

 ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ හෘද රෝග විශේෂඥ
වෛද්‍ය නාමල් විජයසිංහ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04