2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා

කඹ ඇදිල්ලක් වූ මුස්ලිම් කොවිඩ් මරණ

 2020 නොවැම්බර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

වසංගතයේ බියකරු මරණය කෙළවර වන්නේ ආදාහනයෙන්ද භූමදානයෙන්ද යන්න කතා සාජ්ජයකට හේතුවූයේය. සිය සංස්කෘතික ආගමික විශ්වාස මත පදනම්ව කොවිඩ් සිරුර භූමදානයට ශ්‍රී ලාංකීය මුස්ලිම් ජන නායකයන් කළ ඉල්ලීම මෙම සංවාදයේ පසුබිම විය. ඒ සමඟම වෛරසය සහිත සිරුරු භූමදානය කිරීම මෙරට භූ විෂමතා අනුව සෞඛ්‍ය ආරක්ෂිත නොවන පළවූ මත මෙම සංවාදය තීව්‍රතාව වැඩි කළේය. ඒ අනුව වාර්ගික ආගමික විද්‍යාත්මක ප්‍රවේශ රුසක් ඔස්සේ ගලාගිය වසංගතයේ බියකරු මරණය පිළිබඳ අපිද විමසා බැලීමට තීරණය කළෙමු.

කොවිඩ් ආගමනය සිදුවූ මාර්තුවේ මෙම ගැටලුවද ආරම්භ විය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්තු 30 වැනි දින මුලින්ම නිකුත්කරන ලද මාර්ගෝපදේශ තුළ ශ්‍රී ලංකාවේදී කොවිඩ්-19 රෝගයෙන් මියයන පුද්ගලයකු ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පැවැති බව කියැවිණි. එහෙත් දිනක් ඇතුළත මෙම කරුණ පිළිබඳ මතුවූ සෞඛ්‍ය විද්‍යාත්මක විවාද හමුවේ කොවිඩ්-19 රෝගයෙන් මියයන සියලුදෙනා ආදාහනය කළ යුතු බව පවසමින් අදාළ නිර්දේශය වෙනස් කිරීමට රජය කටයුතු කළේය. මේ සමඟම ඉස්ලාමීය ප්‍රජාව තුළින් මෙම තීරණයට විරෝධ එල්ලවන්නට විය. දෙවැනි කොවිඩ් මරණය ඊට ප්‍රධානතම හේතුව වූයේය.

යාපනය ප්‍රදේශයේදී සංචාරකට ගොස් පැමිණ මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන පසුව මියගිය මෙම මුස්ලිම් ජාතිකයාගේ මරණය රටතුළ ඇතිකළේ දැඩි ආන්දෝලනයකි. මාර්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු  මීගමුව මහ නගර සභාවට අයත් පොදු සුසාන භුමියේදී සිදුකරන ලදී. පසුව අදාළ තැනැත්තාගේ පුතා විසින් සමාජ මාධ්‍යයේ විශේෂ සටහනක් තබා තිබුණි.

තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිස්සුන්ගෙන්. මේ වගේ දුකක් කාටවත් වෙන්න එපා. අපිට තාත්තාගේ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ. අපි අපේ කනත්තෙත් අඩි 8ක වළක් කපලා සූදානම් කරලා තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් වුවමනා නම් සූදානම් කරලා තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිවුණා. කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රූ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ... මොනවා කියන්නද තේරෙන්නෙ නෑ, අපි අසරණයි.

මෙය කොවිඩ් මරණය භූමදානය සම්බන්ධ කතිකාවෙ ආරම්භ වූයේය. මුස්ලිම් නායකයෝ හඬ නගන්න වූහ. බොහෝ මුස්ලිම් නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළෝය. ලොව තවත් රටවල් කොවිඩ් මරණවලදී භූමදානය සිදුකිරීම තෝරාගෙන සිටින විට මෙරට රජය මෙවන් තීරණයකට එළඹීමට හේතුව ප්‍රශ්නය කළේය. ඇතැම්හු මෙහි විද්‍යාත්මකව භූමදානය ගැටලුවක් නොවන බව පැවසූහ.

අප්‍රේල් මාසයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවේදී මෙම ගැටලු මතු වූයේය. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා එදින මෙම ගැටලු කරළියට ගෙන ආවේය. එහිදී පවතින විශේෂ තත්ත්වයේ සියලු කාරණා සැලකීමේදී කිසිදු ආගමකට හෝ කිසිදු ජාතියකට විශේෂ අවස්ථාවක් ලබාදිය නොහැකි බව එවක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. අවසන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සඳහන් කරන ලද්දේ තමන් උපදෙස් ගන්නේ නිලධාරීන්ගෙන් බවත් ඔවුන් මෙම වසංගත විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයන් නිසා තමන් ඔවුන්ට ඉහළින් කටයුතු නොකරන බවත්ය.

මේ අතර මෙරට සිදුවන කොරෝනා මරණ ආදාහනය කළයුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වූයේය. එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සංවාද සමස්ත වසංගතය සමය පුරා විටින් විට මතුවූයේය. එහෙත් මෑතකාලීන මෙම සංවාද මතුවූයේ ආණ්ඩුව තුළිණි. කොවිඩ්-19 වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසර ලබාදෙන මෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරුන්ද පාර්ලිමේන්තුවේදී ද නොයෙක්වර ඉල්ලීම් කර තිබුණි. විටෙක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීම සහිතව මෙම ගැටලුව මත පාර්ලිමේන්තුවද උණුසුම් වූයේය. කෙසේ වෙතත් කොවිඩ් භූමදානය ආදාහනය සම්බන්ධව විද්‍යාත්මකව විමසීමට කමිටුවක් පත්කර තිබුණි. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සම්බන්ධව සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. විශේෂඥ කම්ටුවේ වාර්තා ලැබුණු පසු අවසාන තීන්දුවක් ගන්නවා.

ඒ අතර මුස්ලිම් ජාතික කොවිඩ්-19 රෝගීන් මිහිදන් කිරීමට ආණ්ඩුව අවසර දී ඇතැයි සිලෝන් තව්හීඩ් ජමාත් සංවිධානය පවසා තිබුණි. කැබිනට් මණ්ඩලයේ සමහර අමාත්‍යවරුන් එසේ මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මිහිදන් කිරීමට අවසර දුන් බව පැවසූ අතර තවත් සමහර අමාත්‍යවරුන් කියා සිටියේ එවැනි තීන්දුවක් නොගත් බවය. සිංහල ජාතික සංවිධාන සහ භික්ෂූන් මෙම සංවාදයේ ප්‍රබල පාර්ශ්වකරුවන් වූයේ මේ සමඟය. එක රටක් එක නීතියක් යන්න ඔස්සේ මෙම ජාතික සංවිධානය මුස්ලිම් භූමදානය සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රවේශය ප්‍රශ්නය කළේය. එසේම පළවී ඇති විද්‍යාත්මක මතද ඔවුන් ගෙනහැර පෑවේය.

කොවිඩ්-19 ආසාදිත දේහයන් භූමදානය කිරීම පිළිබඳව සොයාබලන ඇගයුම් කමිටුවේ සාමාජිකාවක වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විදානගේ ප්‍රකාශය විශේෂිත විය. ඇයට අනුව භූමදානය කිරීමෙන් වෛරසය භූගත ජලයට එකතුවීමේ අවදානමක් ඇති බව මාධ්‍ය වෙත ප්‍රකාශවල සඳහන් විය.

තෙත් කලාපයේ හා වියළි කලාපයේ යන දෙකේම භූගත ජල මට්ටම ඉතාම නොගැඹුරුයි. ඒ හින්ද තමයි භුමදානයට ලංකාවේ පාංශු ස්වභාවය සරිලන්නේ නැත්තේ යනුවෙන් සඳහන් කළ ඇය තවදුරටත් කරුණු පැහැදිලි කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍රයන් බහුලව තිබෙනවා. එසේ භූමදාන කළහොත් වෛරසය අපේ ගංගා, ඇළදොළ, ළිංවලට එක්වීම වැළැක්විය නොහැකියි. මියගිය පුද්ගලයකුගේ කිලෝ එකක අපවිත්‍ර ජලය ලීටරයක් තියනවා. ඒ නිසා තමයි ළඟම ආදාහනාගාරයක ඉහළ උෂ්ණත්වයකදී කිසිම පුද්ගලයකු සහභාගි කර නොගෙන දේහයන් ආදාහනය කරන්නේ.

කෙසේ වෙතත් මෙම මතය පිළිබඳ විද්වතුන් අතර වාද විවාද ඇතිවී තිබෙන බව පෙනී ගියේය. මේ අතර මුස්ලිම්වරු භූමදානය පිළිබඳ මෙතරම් උනන්දුවක් දැක්වීම සම්බන්ධව සමස්ත ලංකා ජයිමතුල් උලමා සංවිධානයේ ප්‍රකාශක් ඇසුරින් අවබෝධ කරගත හැකිය.

මුස්ලිම්වරයකු අභාවයට පත්වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටුකර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ගණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළවිට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙනවා.* කෙසේ වෙතත් ඉස්ලාමය තුළ සිය ආගමික විශ්වාසයන් මත මේ හා සම්බන්ධව පුළුල්ව විමසා බලන බව පෙනීයයි.

ලාංකීය කොවිඩ් භූමදානය අර්බුදය තීව්‍ර වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානය මීට යොමුවී තිබේ. පසුගියදා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත හැනා සිංගර් මේ හා සම්බන්ධව අග්‍රාමාත්‍යවරා වෙත ලිපියක්ද යොමුකර තිබේ.
කොවිඩ්-19 සන්දර්භය තුළ මළ සිරුරක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම සඳහා ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම යන මාතෘකාව යටතේ, ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020 මාර්තු 24 වන දින සහ 2020 සැප්තැම්බර් 4 වන දින යාවත්කාලීන කරන ලද අතුරු මාර්ගෝපදේශයන්ට අනුව, දැනට හෙළි වී තිබෙන්නේ කොවිඩ්-19 හි රෝග ලක්ෂණ සහ එහි ප්‍රධාන සම්ප්‍රේෂණ ක්‍රම (ජල බිඳිති/සම්බන්ධතා) මිනිස් අවශේෂ හැසිරවීමේදී සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩු බවය,* යනුවෙන් එම ලිපියේ සඳහන් වෙයි.

පොදු උපකල්පනයක් වන බෝවන රෝගයක් හේතුවෙන් මියගිය පුද්ගලයන් ආදාහනය කළ යුතුය යන්න සාක්ෂි සහිතව සනාථ වූවක් නොවේ. එහෙත් ආදාහනය කිරීම සංස්කෘතික තේරීමක් හා පවතින සම්පත් පිළිබඳ කාරණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම අනුව, කොවිඩ්-19 යෙන් මියයන අය දේශීය ප්‍රමිතීන්ට හා පවුලේ අයගේ අවශ්‍යතා පරිදි භූමදාන කිරීමට හෝ ආදාහනය කිරීමට හැකිය, යනුවෙන්ද මෙම ලිපිය හරහා ඇය තවදුරටත් පැහැදිලි කර තිබේ.

මෙම සම්බන්ධව ගැටලු සම්බන්ධව නවතම තත්වය අනුව භූමදානය සඳහා අවසර හිමිවීමට වැඩි ඉඩකඩක් තිබේ. 2020 නොවැම්බර් 11 වනවිට ගෝලීය වශයෙන් මිලියන 1.2ක් කොවිඩ්-19න් මරණ සිදුවී ඇති නමුත් වෛරසය මළසිරුරක සිට ජීවමාන පුද්ගලයකුට සම්ප්‍රේෂණය වූ බවට මෙතෙක් කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති වීම ඊට හේතුව බව කියැවේ. කෙසේ නමුත් මෙම තීරණය ආණ්ඩුවට අතිශය අභියෝත්මක තීරණයක් වන බව පැහැදිලිය.

චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර සහ උපුටා ගැනීම්:
BBC සිංහල වෙබ් අඩවිය
විද්වත් මත ඇතුළත් මාධ්‍ය වාර්තා