පසුගිය 4දා සිට සහල්වල උපරිම තොග මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සහල් වර්ග තුනක මිල පාලනය කර තිබුණි. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 94, නාඩු කිලෝව රුපියල් 92 හා සුදු සහ රතු කැකුළු කිලෝව රුපියල් 89 බැගින් තොග මිල නියම කර ඇත. මෙම තොග මිලට වඩා රුපියල් 5ක් වැඩියෙන් සහල් අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳුන්ට උපදෙස් දී තිබේ. මෙයට පෙර පැවැති සිල්ලර පාලන මිල වූයේ සම්බා 98, නාඩු 96, කැකුළු 92 හා කීරි සම්බා 125ක් විය. එසේ වුවද මෙවර මිල පාලනය කිරීමේදී කීරි සම්බාවලට පාලන මිලක් දක්වා නොතිබීම විශේෂයෙන් කැපී පෙනේ.
නව රජය බලයට පත්ව ගතවූ වසරක කාලයක් තුළ වාර 5ක් සහල්වල උපරිම මිල පාලන ගැසට් නිකුත් කර තිබුණි. ඒ සෑම අවස්ථාවකදීම කීරි සම්බාවල මිල අඩංගු වුවද එය මෙවර මගහැරී තිබීම ප්‍රහේලිකාවක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ පවසති. එසේම මෙය වෙළෙඳුන්ට පාලන මිල අභිබවා සහල් අලෙවි කිරීමට ප්‍රයෝගකාරී ලෙස මඟ සැලසීමක් බවට ද මතයක් ජනතාව අතර පැතිර තිබේ.
කෙසේ වුවද පස් වතාවක් සහල් මිල පාලනය කළද, ඒ කිසිදු වතාවක විවෘත වෙළෙඳපොළේ පාලන මිලට සහල් අලෙවි වූයේ නැත. වෙළෙන්දෝ කිසිදු බියක් නොමැතිව පාලන මිලට වැඩියෙන් විවෘතව සහල් අලෙවි කළහ. මෙවර සිදුව ඇත්තේද එයම බව පෙනෙන්නට තිබේ. සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තොග වෙළෙඳුන් පාලන මිලට සහල් නොසපයන නිසා තමන්ට පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවය.
මෙහිදී තොග වෙළෙඳුන් කරන තවත් මගඩියක් වන්නේ කැකුළු, නාඩු සහ සම්බා සහල් එක්තරා ප්‍රමාණයක් සිල්ලර වෙළෙඳුන්ට දීමට නම් තමන් නියම කරන කීරි සම්බා ප්‍රමාණයක් අනිවාර්යයෙන් මිලට ගත යුතු යැයි නියෝග කිරීමය. දැනට කීරි සම්බා මිල පාලනය කර නොමැති වීම නිසා තමන් කැමති මිලකට ඒවා අලෙවි කිරීමට තොග වෙළෙඳුන්ට හැකිවීම ඔවුන්ට ගජ වාසියක් වී ඇති බවද කිව යුතුය.
මෙම තත්ත්වය මත අද වන විටද වෙළෙඳපොළේ සහල් මිල ඉතාම අසාධාරණ ලෙස ඉහළ ගොස් ඇති අතර පාරිභෝගිකයෝ අමාරුවේ වැටී සිටිති. අද පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා ජනතාව හිරිහැරයට පාත්‍ර වී ඇති බැවින් මෙලෙස සහල් මිල ඉහළ යාම ඔවුන් නොමරා මැරීමක් බවට පත්ව තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ පසුගිය සමයේ අධිකාරිය වැඩි මිලට සහල් අලෙවි කළ ස්ථාන 100ක් පමණ වටලා වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බවය. එහෙත් මේ සියලු දෙනාම සිල්ලර වෙළෙඳුන් වන අතර එකදු මහා පරිමාණ තොග වෙළෙන්ඳකුට හෝ නඩු පවරා නොතිබීම සුවිශේෂ වෙයි. පාරිභෝගික සංවිධාන පවසන්නේ සිල්ලර වෙළෙඳුන් සියයකට නඩු පැවරීමට වඩා එක තොග වෙළෙන්ඳකුට නඩු පැවරීම වැදගත් බවය.
වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පසුගියදා පවසා තිබුණේ දිවයිනේ සහල් හිඟයක් නොමැති අතර ඕනෑ තරම් සහල් මිලට ගැනීමට හැකි බවය. එසේම ඔහු ප්‍රකාශ කළේ සහල් වැඩි මිලට විකුණන වෙළෙන්ඳන් මර්දනය කිරීමට සහල් ආනයනය කර පාලන මිලට විකිණීමට ක්‍රියා කරගෙන යන බවකි. මේ අනුව වැඩි වී ඇතැයි කියන සහල් මිල අඩුවනු ඇති බවට විශ්වාසය පළ කරයි.
සාමාන්‍යයෙන් රටේ සහල් මිල ඉහළ යන්නේ දෙසැම්බර් සහ ජනවාරි මාසවලය. නමුත් මෙවර සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල සිට මිල ඉහළ යාමට පටන්ගෙන ඇති බව පෙනී යයි. මෙයින් සනාථ වන්නේ කෘත්‍රිම සහල් හිඟයක් ඇතිකිරීම මිස අනෙකක් නොවේ.
ලක් සතොස ආයතනයෙන් සහල් පාලන මිලට ගත හැකි බව රජය ප්‍රචාරය කළද, සතොසට අවශ්‍ය තොග නොලැබීම නිසා එක් පාරිභෝගිකයකුට පාලන මිලට සපයන්නේ සහල් කිලෝ දෙකක් පමණක් වීම සුවිශේෂ වෙයි. ඇතැම් සුපිරි වෙළෙඳසල්වලද පාලන මිලට සහල් සීමිත ප්‍රමාණයක් ලබා දෙනු දැකගත හැකිය. ලක් සතොස සහ සුපිරි වෙළෙඳසල් පාලන මිලට සහල් ලබාදෙන ලෙස මෝල්හිමි තොග වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිය ද ඒවා නොලැබී ඇති නිසා ඔවුන් ළඟ මේ වන විට සහල් නොමැති වී ඇත. එසේම දිවයිනේ දැනට බලපවත්වන ඇඳිරිනීතිය සහ ප්‍රදේශ වසා දැමීම නිසා ද වෙළෙඳසල් නිතර වසා තිබෙන නිසා සහල් හිඟයක් මතුව ඇත. මේ තත්ත්වය නිසා ජනතාව දෙපැත්තකින් බැටකන බව කිව යුතුය.
පාලන මිලට අපට දෙන්නෙ නෑ
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ඉලෙම නාදන්ගෙන් විමසූ විට ඔහු පවසන්නේ තමන්ට මෝල් හිමියන් පාලන මිලට සහල් නොසපයන බවය. ඒ නිසා තමන්ට පාලන මිලට ජනතාවට සහල් අලෙවි කළ නොහැකි බවද ඔහු කියයි. යම් ලෙසකින් රජය තමන්ට සහල් ආනයනය කිරීමට පහසුකම් සලසන්නේ නම් සහල් ආනයනය කර පාලන මිලට සැපයිය හැකි බව ඔහු කීය. දැනට තම වෙළෙඳුන් ආනයනය කරනු ලබන්නේ බාස්මතී සහල් පමණක් බවද ඔහු කීය. එහෙත් සාමාන්‍ය ජනතාව බාස්මතී ආහාරයට ගැනීම අඩු නිසා ඔවුන්ට සහනයක් නොලැබේ.
කීරි සම්බා කිලෝව 100ට 110ට දෙන්න පුළුවන්
සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න:
ආණ්ඩුව පසුගියදා නිකුත් කළ අවසාන ගැසට්ටුවේ කීරි සම්බාවලට පාලන මිලක් නොදැමීම වුවමනාවෙන්ම කරපු සෙල්ලමක්. ඒ මොකද පාරිභෝගිකයා ආහාරයට ගන්නා අනිත් සහල් වර්ගවලට පාලන මිලක් දමලා කීරි සම්බාවලට පාලන මිලක් නොදැමීම ගැන ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒ අනුව එයට පෙර ගැසට්ටුවෙන් කීරි සම්බා කිලෝවක් සඳහා පැනවූ කිලෝව රුපියල් 120ක් වූ සිල්ලර පාලන මිල අදටත් බලපානවා. එහෙත් අද වෙළෙඳපොළේ කීරි සම්බා කිලෝව රුපියල් 140 – 150ට විතර තමා තියෙන්නේ. ඒත් ඇත්තවශයෙන්ම කීරි සම්බා කිලෝව රුපියල් 100 – 110ට දෙන්න පුළුවන්. මහා මෝල් හිමියන් තමන් නියම කරන කීරි සම්බා ප්‍රමාණය නොගන්නා සිල්ලර වෙළෙඳුන්ට අනිත් සහල් වර්ග නොදීම නිසා ඔවුන් අමාරුවේ වැටිලා. ඒ නිසයි අද රටේ සහල් හිඟයක් උද්ගත වෙලා තියෙන්නේ. කීරි සම්බා පොලිෂ් කිරීම නිසයි මිල වැඩි වෙන්නේ. තුන් පාරක් පොලිෂ් කරපු කීරි සම්බා කිලෝව රුපියල් 150 – 160 වුවත් දෙපාරක් පොලිෂ් කළ සහල් එයට වඩා අඩු මිලට දෙන්න පුළුවන්.
වී වල සහතික මිල රුපියල් 50 ප්‍රමාණයේ තිබුණට වෙළෙඳපොළේ වී මිල එයට වැඩියි. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් ව්‍යාපාරිකයන්ට වී ගන්න සිදුවෙලා ඇත්තේ නාඩු කිලෝව රුපියල් 60, සම්බා රුපියල් 70, කීරි සම්බා 78 – 80 වැනි මිලකටයි. ඒ මිලට අරගෙන පාලන මිලට සහල් දෙන්න ඔවුන්ට බැහැ. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර වැසීගෙන යනවා. මහා පරිමාණ මෝල් හිමියන් ළඟ ඇත්තේ කිලෝව රුපියල් 35 – 40 ආදී වශයෙන් අඩු මිලට ගත් වී තොගයි. ඒ අය ඒවා සඟවා තබාගෙන ක්‍රමයෙන් තමා සහල් බවට පත් කරලා වෙළෙඳපොළට දමන්නේ. අඩු මිලට ගත් වී නිසා ඒ අයට පාලන මිලට සහල් දෙන්න පුළුවන්. එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ළඟ එලෙස සඟවාගත් තොග නැති නිසා ඒ අයට එහෙම අඩු මිලට දෙන්න බැහැ. ඒ අය වී ගන්නේ වැඩි මිලට.
මහා පරිමාණ මෝල් හිමියන් අඩු මිලට ගත් වී වලින් සහල් තොග නිකුත් කළත් ඒ අය උපරිම සිල්ලර මිලට වැඩියෙන් තමා අලෙවි කරන්නේ. ආණ්ඩුව මිල පාලනය කළත් එය නමට විතරයි. වෙළෙඳපොළේ ඇත්තේ එයට වඩා ඉහළ මිලක්.
ආණ්ඩුවේ මෙම විෂයට සම්බන්ධ ඇමැතිවරු මේ තත්ත්වය දන්නවා. ඒ අය එයට කැමැතියි. එයට හේතුව මෙම පරිසරය තුළ සහල් ආනයනය කරලා විශාල අනියම් ආදායමක් ලබාගත හැකි වීමයි. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මේ වන විට මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224ක් ණයට ගෙන සහල් පිටරටින් ගෙන්වන්නට යනවා. මෙය දූෂිත ගනුදෙනුවකට මුලපිරීමක්. ආනයනය කිරීමට අපේ රටේ සහල් හිඟයක් නැහැ. ඇත්තේ අතිරික්තයක්. පසුගිය වසරේ සහල් නිෂ්පාදනය ටොන් හතළිස්පන් ලක්ෂ අනූ දෙදහසක්. මේ වසරේ පනස් ලක්ෂ තිස්හත් දාහක්. මෙම වසර දෙක සංසන්දනය කළ විට සියයට 9.7ක ඉහළ යාමක්. පසුගිය වසරේ සහල් ආනයනය කළේ නැහැ. එහෙම නම් එයට වඩා වැඩි අස්වැන්නක් ගත් මේ වසරේ ආනයනය කරන්නේ ඇයිද?
මෙම ආනයනය කිරීම ඇත්තවශයෙන්ම මාෆියාවක්. ඉන්දියාවෙන් හා මැලේසියාව වැනි පිටරටවලින් ගෙන්වන හාල් බාලයි. ප්‍රමිතියෙන් පහළයි. ඒවා වසර 2-3 ගබඩා කර තබාගන්න පුළුවන් විදියට බෙහෙත් ගහලා තියෙන්නේ. එහෙත් හොඳ තත්ත්වයේ ස්වභාවික සහල් මාස 3කට වඩා තියාගන්න බැහැ. මේ හාල් ඉක්මනට පාරිභෝජනය කළ යුතුයි. එහෙත් ආනයනය කරන සහල් ජනතාවගේ සෞඛ්‍යයට අහිතකරයි. වකුගඩු ආබාධ වැනි රෝග හදනවා. මෙම සහල් ඇණවුම් කරලා බලධරයන් කොමිස් ගන්නවා. ඊට පස්සෙ පාරිභෝජනයට සුදුසු නැත කියලා සත්ව ආහාරවලට අලෙවි කරලා විශාල ලෙස මුදල් උපයනවා. මෙය අද පමණක් සිදු වූ දෙයක් නොව හැම ආණ්ඩුවකින්ම කළ දෙයක්.
මේ වෙලාවේ සහල් ගෙන්වීම අපරාධයක්
මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක පවසන්නේ අපේ රට සහලින් ස්වයංපෝෂිතව තිබෙන නිසා ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මේ අවස්ථාවේ පැන නොනගින බවය.
අපේ රටේ යල මහ කන්න දෙකම හොඳට වගා කරනවා. අප සහල් අතින් ස්වයංපෝෂිතයි. එවැනි තත්ත්වයක් මත හදිසි තීරණ ගෙන සහල් ආනයනය කරනවා නම් අපි විරුද්ධයි. රට විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති අතර මෙවර අයවැය ලේඛනයෙන්ද ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ආනයන ආර්ථිකය වෙනුවට ආයෝජන ආර්ථිකයකට යාමටයි. එවැනි තත්ත්වයක් මත සහල් ආනයනය කිරීමට යනවා නම් එය අපේ ආර්ථික ප්‍රතිපත්තිවලට පටහැනියි. මෙයට පෙර පැවැති රජයන්වලින් ද සහල් ආනයනය කරලා විශාල ගැටලු ඇතිවෙලා තිබෙන බව අපට අමතක නැහැ. ආනයනය කිරීමෙන් දේශීය ව්‍යාපාරවලට ඇතිවන්නේ අහිතකර ප්‍රතිඵලයක්. එහෙම තිබියදීම යම් කෙනකු සහල් ආනයනයට ඉඩ දෙනවා නම් එය විශාල අපරාධයක්.
අපේ රටේ කිසිම කෙනෙක් ආහාර නැතුව මියයන්නේ නැහැ. බත් වෙනුවට අපේ අය විවිධ දේශීය ආදේශකවලට පුරුදුවෙලා තියෙනවා. කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා ආදී එවැනි ආහාරවලට ජනතාව ඈත අතීතයේ සිටම පුරුදුවෙලා සිටියා. අදත් ඒ තත්ත්වයේ වෙනසක් නැහැ.
රටේ සහල් හිඟයක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතු වන්නේ සහල් බෙදාහැරීම කළමනාකරණය කිරීමයි. එහෙම තියෙන නිෂ්පාදනය පාරිභෝගිකයාට යනවා නම් කිසි විටෙක සහල් හිඟයක් තියෙන්නේ නැහැ. කවුරුහරි සහල් හිඟයක් තිබෙනවා කියලා රට සහල් ගෙනෙනවා නම් ජනතාව කළ යුත්තේ රට සහල් වර්ජනය කිරීමයි. ජපන් රටේ ජනතාව කළේ එයයි. අපත් ඒ දේ කළ යුතුයි. ලාභය ගැන පමණක් බැලිය යුතු නැහැ.
නැවත හිඟයක් එන්න බැහැ
දුමින්ද ප්‍රියදර්ශන, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී හා ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනය:
දැනට වී අලෙවි මණ්ඩලය සතු වී ආරක්ෂිත තොග සහල් කරලා වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගිය 18දා සිට අප ආරම්භ කළ නිසා දැනට පවතින සහල් හිඟය ඉදිරියේදී ස්ථිර වශයෙන්ම නැතිවෙනවා. ඊළඟ මහ කන්නයේ අස්වැන්න ලබන ජනවාරි 18 දින සිට නෙලීම ආරම්භ කරන නිසා කොහොමත් නැවත හිඟයක් එන්න නම් බැහැ.
දැනට රජය වී මෙට්‍රික් ටොන් 30000ක් කොටන අතර ඉන් ලැබෙන සහල් මෙට්‍රික් ටොන් 20,000ක් සතියකින් වගේ වෙළෙඳපොළට එනවා. ඉන් ලැබෙන සහල් කිලෝ ගණන කෝටි 2ක්. මේ නිසා සියලුම ලක් සතොස වෙළෙඳසල්වලට සහ සුපිරි වෙළෙඳසල්වලට ලබන සතියේ සිට අවම වශයෙන් හාල් කිලෝ 10 ගණනේ පාරිභෝගිකයකුට නිකුත් කිරීමට පුළුවන්. ඒ නිසා දැනට පවතින අහිතකර තත්ත්වයට ඉදිරියේදී අපට විසඳුම් ලැබෙනවා. රජයෙන් සහල් නිකුත් කරන නිසා පෞද්ගලික වෙළෙන්ඳාට ද සහල් වැඩි මිලට විකිණීමට හැකි වෙන්නේ නැහැ.
ලබන වසරේ සිට කිසිදු සහල් හිඟයක් ඇති නොවන්නට රජය කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙවර අයවැය ලේඛනයෙන් ද පැවසූ පරිදි ගොවීන්ට පොහොර නොමිලේ දෙනවා. හෙක්ටයාරයකට පොහොර කිලෝ 300 දක්වා හෙක්ටයාර දෙකක් දක්වා කුඹුරුවලට දෙනවා. මෙම සෑම ගොවියෙක්ම වී අලෙවි මණ්ඩලයට කිලෝ 1000 බැගින් පාලන මිලට දිය යුතුයි. යම් ගොවියෙක් මෙම සැලසුම කඩ කරලා වෙන අයට අලෙවි කරනවා නම් ඔවුන්ට නොමිලේ දෙන පොහොර අහිමි වෙනවා. ඒ නිසා ඒ අයට වී අලෙවි මණ්ඩලයට වී සැපයීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා.
හෙක්ටයාර එකකින් වී කිලෝ 5000 පමණ අස්වැන්නක් ලැබෙන නිසා ඉන් කිලෝ 1000ක් මණ්ඩලයට සහතික මිලට දීමට ගොවියන්ට නොහැකි වන්නේ නැහැ.
කෙසේ වුවද මේ වසරේ ඉදිරි මාසයේදී සහ ලබන වසර මුල වන විට මේ අන්දමට රටේ සහල් මිල පාලන මිලට ගෙන ඒමට කටයුතු කරනවා. ලබන වසරේ සිට අප සැලසුම් කළ ක්‍රමය ක්‍රියාත්මක වන නිසා රටේ සහල් හිඟයක් හෝ මිල ඉහළ යාමක් කිසි විටෙකත් සිදු නොවන බව පැවසිය යුතුයි.
යසවර්ධන රුද්රිගූ