2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ප්ලාස්ටික් වැජඹෙන වේවැලට අබසරණයි

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

ජීවිතය වියනු වස් ඔවුහු වේවැලෙන් නෙක රටා වියති. ඒ රටා ඔවුන් නොකියන ඔවුන්ගේ ජීවිත කතාන්දර කන්දරාවක් වෙනුවෙන් මහා සාක්ෂියකි. 

දුෂ්කරය කියා හැර දමා යා යුතුද ජීවිතය රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියූ ලෙසින්ම දුෂ්කරය කියා හැරදමා යා යුතුද ජීවිතය... එසේ නොවන හෙයින්ම අපි අනේක අරගලයන්හි පාර්ශ්වකරුවන් වී ජීවිතයට හුස්මක් දෙන්නට වෙහෙසෙන්නෝ වී සිටිමු.
වේවිල්දෙණියේ වේවැල් වියන්නන් සේම නිෂ්පාදිත භාණ්ඩ විකුණන්නන්ද සොයා ගිය ගමනේදී ඔවුන් පොදුවේ අත්විඳින දුෂ්කරතා පළමුව සටහන් කර තැබීම යෙහෙකැයි සිතේ. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් ඒ අතර විසුවත් එකී සාම්ප්‍රදායික දේශීය කර්මාන්තය වටා නිර්මාණය වී ඇති ගැටලු බොහෝ වෙත්. 

වේවැල් කර්මාන්තය සාම්ප්‍රදායික දේශීය කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයට අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වන වේවැල් වැවීම බහුල ලෙස ලංකාවේ සිදු නොවේ. ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල්වල, අක්කර දහස් ගණනින් වේවැල් වගා කර නිසි ක්‍රමවේදයකට ඒවා කර්මාන්ත ලෙසම නඩත්තු කරමින් වේවැල් අපනයනයෙන් ඔවුහු විශාල විදේශ විනිමයක් උපයති. එහෙත් ලංකාවේ වගා නොකළ හිස් ඉඩම් කොතෙක් තිබුණත් ඒ හිස් බිම්වලින් නිසි ඵලදායී ප්‍රයෝජනයක් ගනු වස් ක්‍රියාත්මක දීර්ඝකාලීන සැලසුමක් සහිත නිශ්චිත වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාවට නැංවී නැත. පසුගිය රජය කාලයේ වේවැල් වගාව කෙරේ අවධානය යොමු කළත් ඒ පිළිබඳව පසු විපරමක් හෝ පූර්ණ අවධානයක් ලබා නොදීම හේතුවෙන් ඒවා හිස් දේශපාලනික ක්‍රියා මිස ඵලදායී ආයෝජනයන් බවට පත් වූයේ ද නැත.

එමෙන්ම වේවැල් කර්මාන්තයේ නියුතු ඇතැම් ව්‍යාපාරිකයන්ගේ අදහස වන්නේ දේශගුණික සාධක, වේවැල් පැළෑටිය වර්ධනය වීම සහ ගුණාත්මක බවින් ඉහළ වේවැල් ලබාගැනීම විෂයෙහි බලපාන බවත් හොඳම දිලිසෙන ස්වභාවයක් සහිත වේවැල් ඇත්තේ ඉන්දුනීසියානු පොළොවේ බවත්ය.

එසේම අලුත් පරම්පරාව මෙවැනි සාම්ප්‍රදායික දේශීය කර්මාන්ත සඳහා යොමු නොවෙන වාතාවරණයක් උද්ගතව ඇත්තේ මේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පවතින ප්‍රායෝගික දුෂ්කරතා සහ වෘත්තීය වටිනාකමක් ඊට නොලැබීම හේතුවෙනි. එසේ නම් ඒ ප්‍රායෝගික ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුම් සහ සාම්ප්‍රදායික කර්මාන්තවලට වෘත්තීය වටිනාකමක් හිමිකර දීම පවතින ඕනෑම රජයක වගකීමක් විය යුතුය. මක් නිසාද යත් දේශීය කර්මාන්ත යනු රටක ආර්ථිකය ශක්තිමත් ලෙස ගොඩනැංවීමේ ප්‍රධානම ධාවක බලවේගයක් වන හෙයිනි.

වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් නියුතු ඇතැම්හු අම්පාර වැනි ප්‍රදේශවල වේවැල් වවන්නන්ගෙන් වේවැල් මිලට ගනිති. පිටරටින් එන බොහෝ වේවැල් සුද්ද කර තිබුණත් ලංකාවෙන් මිලට ගන්නා වේවැල් සුද්ද කළ යුතුය. එයට ද මිලක් සේම මිනිස් ශ්‍රමයක් වැය කළ යුතුය. එහෙත් ලංකාවේ සුදුසු බිම්වල වේවැල් වැවීම කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන්නේ නම් වේවැල් ආනයනයට වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අද බොහෝ මිනිසුන් හුරු වී සිටින්නේ චීනය වැනි රටවලින් ගෙන්වන අඩු මිලට මිලදී ගත හැකි ලාභ බාල ප්ලාස්ටික් බඩු භාවිතයටය. එක් අතකින් මේ භාවිතය පිළිකාකාරක බලපෑම් ඇතිකරන ක්‍රමවේදයකි. මිනිසුන්ගේ චර්යා පද්ධතීන් වෙනස් කිරීමට පෙර මූලිකවම වෙනස් කළ යුත්තේ මිනිසුන්ගේ චින්තනමය රටාවයි. ප්ලාස්ටික් භාවිතයට හුරු වූ ජනතාව වේවැල් අමුද්‍රව්‍ය කරගත් නිමිභාණ්ඩවලට හුරු කිරීම මෙම කර්මාන්තයට ශක්තිමත් දේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමකි.

අපෝ ලංකාවේ ප්‍රඩක්ට් එකක්ද? එහෙනම් ෂුවර් නෑ. මොන ජරාවක් වුණත් පිටරටින් ගෙන එන්නේ නම් එය අනගි යැයි සිතන තකතීරු බහුතර ලාංකික චින්තනය වෙනස් කරන තෙක් සැබවින්ම දේශීය කර්මාන්තවලට ශක්තිමත් වෙළෙඳපොළක් දේශීයව නිර්මාණය කිරීම අතිශය අසීරු කර්තව්‍යයකි.

     

ගෝඨාභය රාජපක්ෂ රජය වේවැල්, පිත්තල, මැටි සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ධූරයක් ද ස්ථාපිත කළේ මේ දේශීය කර්මාන්ත නගාසිටුවීමට ඇති අත්‍යවශ්‍ය අවශ්‍යතාවය පාදකව යැයි අපි විශ්වාස කරමු. එසේනම් ඒ අදාළ අමාත්‍යවරයා පුටුවේ සිට ප්‍රශ්න විසඳීමේ හෝ ප්‍රශ්න හඳුනාගැනීමේ න්‍යායෙන් බැහැරව මහපොළොවේ අඩිය තැබිය යුතුය.
බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වය යටතේ අක්කර 60ක පමණ ඉඩමක් ලබාගෙන ඇති බවත් ඉදිරියේ දී වේවැල් වගාවට පියවර ගන්නා බවත් පසුගිය කාලයේ ප්‍රසන්න රණවීර අදාළ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි. ඒ ප්‍රකාශ ඉක්මනින්ම ප්‍රාෙයා්ගික සහ සැලසුම් සහගත යථාර්ථයක් බවට පත්විය යුතුය.

වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන්ට සහන පොලී අනුපාත යටතේ ණය ලබාදීම මෙන්ම සංචාරක කර්මාන්තයට සමගාමීව සංචාරකයන්ට මතක සටහන් ලෙස රැගෙන යා හැකි හුරුබුහුටි නව වේවැල් නිෂ්පාදන සිදුකර සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රධාන නැරඹුම් ස්ථාන සමීපයෙහි අලෙවි කුටි ඇතිකිරීම සහ සංචාරක කර්මාන්ත ප්‍රචාරණ වැඩසටහන්වලදී ලාංකික කර්මාන්ත පිළිබඳව ද ප්‍රචාරණ ලබාදීම වේවැල් කර්මාන්තයේ නිෂ්පාදන ශරීර සෞඛ්‍යයට හා පරිසරයට හිතකාමී වන අයුරු ප්‍රචාරණය කිරීම වැනි දේ තුළින් මෙම නිෂ්පාදන භාවිතය කෙරේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීම හා පෙළඹවීම සිදු කළ හැකිය. 
රවීන්ද්‍ර දිගු කලක් තිස්සේ මෙම කර්මාන්තයේ නියැලෙන්නෙකි.

මම වේවැල් බඩු ගෙනත් තමා විකුණන්නේ. මගේම නිෂ්පාදනයක් සිදු කරන්නෙ නෑ. කොරෝනා ප්‍රශ්නයත් එක්ක මිලදී ගැනීම් අඩු වුණා. විදේශිකයන් එහෙම දැන් එන්නෙම නෑනේ. සාමාන්‍යයෙන් දවසකට දාහක් විතර සොයාගන්න පුළුවන්. ඒත් ලොකු ලාභයක් නෑ.

සමන් මෙකී කර්මාන්තයේ නියැලෙන තවත් ව්‍යාපාරිකයෙකි.
මම කොහෙන්වත් බඩු ගන්නෙ නෑ. මමමයි නිෂ්පාදනය කරන්නේ. මම අවුරුදු 12 ඉඳන් වේවැල් කර්මාන්තය කරන මුදලාලිලා ළඟ වැඩට ගියා. ඒකෙන් ඉස්කෝලේ ගමනත් නතර වුණා. අවුරුදු 20 ඉඳන් මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. මගේ ප්‍රදර්ශනාගාරයේ උඩ තට්ටුවේ තමා මගේ නිෂ්පාදනාගාරය තියෙන්නෙත්. මගේ බිරිඳ දරුවෝ දෙන්නත් බලාගන්න ගමන් මට පුදුම සහයෝගයක් දෙනවා මේ ව්‍යාපාරය ගොඩනංවා ගන්න. දියුණු කර ගන්න. කොරෝනා ප්‍රශ්නය එන්න ඉස්සර නම් සංචාරක මඟපෙන්වන්නන් සංචාරකයන් අරන් ආවා. ඇත්තටම හොඳ වෙළෙඳපොළක් තිබුණා. හෝටල්වලින් අපේ පුටු ලෑම්ප් ෂෙඩ් වැනි නිර්මාණවලට හොඳ ඇනවුම් ලැබුණා. අපිටම හුරුවෙච්ච ගැනුම්කරුවන් පිරිසක් හිටියා. මම මගේ නිෂ්පාදනවලට වේවැල් ගෙන්වන්නේ ඉන්දුනීසියාවෙන්. ලංකාවේ වේවැල හොඳයි ශක්තිමත්. නමුත් ඉන්දුනීසියානු වේවැල ලස්සන දිලිසෙන ස්වභාවයකින් යුක්තයි.
අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමා අලුත් පරම්පරාව මේ කර්මාන්තවලට එන්නෙ නැති එක. ඒකෙන් ශ්‍රමයේ හිඟකම එනවා. මොකද මේක දෑතේ කර්මාන්තයක් නිසා. කෑලි ගානට නැත්නම් කරන නිපැයුම් ගණනකට තමා වැටුප් ගෙවන්නෙ. දවසකට හත් අටසීයේ ඉඳන් රුපියල් හාර පන්දාහේ ඉඳන් හොයන අයත් ඉන්නවා.
ඒ සමන්ගේ හඬයි.

        

තම රට දේ - සිරි සැප දේ එය යථාර්ථයකි. කශේරුකාව කෙළින් තබාගෙන නැගිටින්නටනම් රටකට සවිමත් දේශීය ආර්ථිකයක්, දේශීය කර්මාන්ත වපසරියක් අවශ්‍යමය. ආනයනය හා ආධාර යනු සැබෑ සංවර්ධනයේ ලක්ෂණ නොවේ. එහෙයින් සැබෑ අභිමානය වෙනුවෙන් උරදීම ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ ලද පුරවැසිභාවයේ තවත් යුතුකමක් බැව් අපි සිහි කැඳවමු.

 රුවී සේනාධිත්
සේයාරූ - චන්දන වරාවිටගේ