2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ඇඳිරිය නැති වුණාම ජනතාවගේ හැසිරීම

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම ලෝකයෙන් තුරන් වීමට තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා, ඉදිරියටත් අප කටයුතු කළ යුත්තේ කොවිඩ් 19 සමඟ බවට සෞඛ්‍ය අංශ විටින් විට සිහි කැඳවා තිබේ.

කෙසේ වෙතත්, මාර්තු මස 11 වැනි දින පළමුවන රෝගියා මෙරටින් වාර්තා වීමෙන් පසු අවස්ථා 33කදී පමණ මතුවූ සිදුවීම් සාර්ථකව පාලනය කර, දිගු නිහැඬියාවක් ගත කළ එකම රටද අපේ රටයි. මෙය එක් අතකින් අපේ ජනතාවගේ කැපවීම සහ සෞඛ්‍ය උපදෙස් කෙරෙහි පවතින අවනත බව පෙන්වන කරැණක් වන නමුත්, එම නිදහසින් යම් අයුතු ප්‍රයෝජනයක් ගත්තේද යන ප්‍රශ්නාර්ථයද පැන නගී.

රට යළි විවෘත කිරීමෙන් පසු යම් ප්‍රමාණයකට සෞඛ්‍ය අංශ ලබාදී තිබුණු උපදෙස්වලින් ඈත්ව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, කොරෝනා වසංගතය පාලනය කිරීම ජනතාවගේ හැසිරීම මත තීරණය වන කාරණයකි. එමෙන්ම මේ වනවිට මුළු රටටම බලපවත්වන ඇඳිරි නීතියක් පනවා නොතිබුණද, සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි ලෙස ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව බස් රථවල ගමන් කළ හැකි ප්‍රමාණය 50 කට සීමා කිරීම, ආගමික ස්ථානවලට ඒකරාශී වීම 50කට සීමා කිරීම, සිනමා ශාලා, කානිවල් තහනම් කිරීම, මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සියයට 50ක් සීමා කිරීම, හෝටල්, ලැගුම්හල් විවෘත කිරීම සියයට 50කට සීමා කිරීම වැනි අත්‍යවශ්‍ය යැයි හැඟෙන ස්ථානවලට සියලු ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර, රෝගය තවදුරටත් පැතිරෙන්නේ නම්, එය ජනතාව වගකීම් විරහිතව කටයුතු කරන්නේද? නැද්ද? යන්න මත තීරණය වේ.

හුඟාක් දෙනා උපදෙස් පිළිපැද්දෙ නෑ

ප්‍රභාත් බණ්ඩාර - කහව

මම කොළඹ පෞද්ගලික ආයතනයක තමයි රැකියාවේ නියැලෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕන මේ බොහෝමයක් දෙනා කොවිඩ් පළමු රැල්ල ආපු පළමු දිනවල තරම් පසුගිය දිනවල ප්‍රවේශම් වුණේ නැහැ. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් නිසිලෙස පිළිපැද්දෙත් නැහැ. ඒ නිසා තමයි අද මේ රෝගය හැමෝටම බෝවෙන්නේ. 
අද වනවිට රටේ සෞඛ්‍ය ඇඳිරිනීතිය දාලා ඒක අයින්කළාම ජනතාව පවුල් පිටින් ටවුන්වලට එනවා අපි දැකලා තියෙනවා. අපේ මිනිස්සුත් කල්පනා කරන්න ඕන අපි කොහොමද මේකෙන් බේරිලා ඉන්නේ කියලා. ඒ නිසා ජනතාව තව ටිකක් හොඳින් හැසිරුණා නම් හොඳයි.

ඇඳිරිය නැති වුණාම මිනිස්සු එහෙ මෙහෙ යනවා

දමයන්ති - බෙන්තර

ඇත්තටම මේ රෝගය පාලනය කරන එක තියෙන්නේ ජනතාව අතේ. අපි හරියට හැසිරැණොත් තමයි මේ රෝගය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ ආයේ වතාවක් ඇඳිරිනිතිය දාලා රට වහනව නම් හොඳයි. එසේ නැත්තම් මේක පාලනය කරන්න බැහැ. කොහොමත් මිනිස්සු රට හැමතැනම ඇඳිරිනීතිය අයින් කළ ගමන් යළිත් ගමන් බිමන් යනවා.

සමහර ලෙඩුන්ගේ මූලාශ්‍ර හොයන්න බෑ

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

දැන්‍ රටපුරාවටම කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. ඇතැම් රෝගීන්ට මේ රෝගය වැළඳුණේ කොහොමද කියලා මූලාශ්‍ර පවා සොයාගන්න අමාරුයි. ඒ නිසා මේ මොහොතේ ජනතාව ආරක්ෂා විය යුතුයි. මේ සෞඛ්‍ය ඇඳිරිනීතිය දාන්නේ ජනතාවගේ ආරක්ෂාවට. මුලින්ම ජනතාව ඒක තේරැම් ගත යුතුයි. තම ආරක්ෂාව තමන් සතුයි. දැන්‍ රට විවෘත කළාම හැමතැනම ජනතාව ඉන්නවා අපි දැකලා තිබෙනවා. ඒ නිසා අපි යළිත් යළිත් කියන්නේ සෑමවිටම ගමන් බිමන් අඩු කරන්න.

මහජනතාවත් තමන්ගේ වගකීම ඉටුකළ යුතුයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

සියලුම  දේ තීරණය වෙන්නේ ජනතාවගේ හැසිරීම අනුවයි. ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි හැමෝම දැන් කතාවෙන රටම වහනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නෙත්. ඒ නිසා අපිට ශ්‍රී ලංකාව තනි රටක් විදිහට සලකලා කටයුතු කරන්න බැහැ. කොවිඩ් ඉදිරියේදී ලෝකය ජයග්‍රහණය කරලා තියෙනවාද කියන එක තාම ප්‍රශ්නයක්. එසේම මේ වෛරසය සම්බන්ධයෙන් කිසිවකුටත් තවම පුරෝකථන ලබාදෙන්නත් බැහැ. 

ඒ අනුව තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්. එබැවින් ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට යෑම තමයි වැදගත් වෙන්නේ. දැනට තිබෙන අභියෝගය වන්නේ මෙවන් තත්ත්වයක් උද්ගතව තිබියදීත් මහජනතාව තමන්ගේ වගකීම් ඉටුකරනවාද කියන කාරණය මහජනතාව තමන්ගේ වගකීම ඉටුකරනව නම් හැකි ඉක්මනින් මෙය පාලනය කළ හැකියි.

  සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04