2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

කොළඹ කොටස් වෙළඳපොළේ විප්ලවය

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය දින කිහිපය තුළ වාර්තාගත වර්ධනයක බව අනාවරණය වෙයි. දෙස් විදෙස් ජනමාධ්‍ය එය හුවා දක්වා තිබුණි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය දුබල වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවටද නරක අන්දමට බලපා ඇත. මෙරට වියදම ඉහළ ගොස් ඇති අතර විනිමය උත්පාදන අංශ දුර්වල වී තිබේ. කර්මාන්ත හා ව්‍යාපාරවල පැවැත්ම එපමණ යහපත් නැත. එහෙත් වානිජ බැංකු තරගකාරීව වර්ධනයකය. ලාබ ඉහළ ගොස් තිබේ. එය පසුබිම් කරගෙන කොටස් ඉල්ලුම දියුණු වන බව නිරීක්ෂණය කළ හැකිය.

කෙසේ වෙතත් වෙළඳපොළ දර්ශක උච්ඡාවචනය වෙමින් තිබේ. විදේශ ආයෝජකයෝ කොටස් විකුණන ප‍්‍රවණතාවයකය. එයට හේතු ගණනාවකි. එකක් විනිමය අනුපාතිකය සම්බන්ධ කාරණාවකි. වෙළඳපොළ ලාබවලට අමතරව රුපියලේ අගය පිරිහීම මත විදේශික ආයෝජකයන්ට වාසි අත්වෙයි. පසුගිය කාලය තුළ රුපියලේ අගය නොපිරිහී පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය. ආනයන අඩුකළ අතර විදේශ වෙළඳාමේ හිඟය පටු තැනකට ගෙන ආවේය. එහි වාසිය රටට දැනෙන නමුත් කොටස් වෙළඳාමට සම්බන්ධ අනෙක් රටවල ආයෝජකයන් අවාසියක් සේ සලකන බව නිරීක්ෂණය වෙයි.

• ආයෝජනය සඳහා සුදුසු පසුබිම ඇති කිරීම

රටක ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති විශ්වාස ආර්ථිකයක හැසිරීමට බලවත් පදනමකි. විවෘත ආර්ථක ක‍්‍රමය තුළ බලවත් තරගයක් තිබේ. රට තුළ පමණක් නොව රටින් බැහැර පවා ආයෝජන අවස්ථා තිබේ. මෙම විවිධාංගීකරණය වාසි පමණක් නොව අවාසිද කැඳවයි. රජයේ තීරණ ගැනීමේ විලාසය හා රාජ්‍ය මුල්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ දී විශ්වාසය තහවුරු කරන අන්දමට තීන්දු තීරණ ගත යුතුව ඇත. රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශයද මෙහිදී වැදගත් පාර්ශ්වයක් සේ ක‍්‍රියාකරන බව දැක්වීම අවශ්‍යය. පෞද්ගලික අංශය ව්‍යාපාර ධනය ආයෝජනය කරන අතර සිය සමාගම්වල පැවැත්ම වෙනුවෙන් කරගෙන යන වැඩපිළිවෙළ රටක අභිමානය කැඳවයි. ආයෝජන ආරක්ෂා කරගැනීම හා ලාබ උපයන තත්ත්වයට ගෙනයෑම අවශ්‍යය. එයින් සුරක්ෂිතභාවය තහවුරු කෙරේ. ආයෝජනවලට නිසි අවස්ථාව ලැබෙන පරිදි නියාමනය හා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය ආණ්ඩුවක වගකීමකි.

පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළඳාම වර්ධනය වන ආකාරය දේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණයට හේතු වී තිබුණි. පර්ෙය්ෂකයන් දක්වන ආකාරයට මෙරට වාණිජ බැංකු පොලී අනුපාත අඩු වෙමින් පැවැති අතර එයට සාපේක්ෂව කොටස් වෙළඳාමේදී ලැබෙන ප‍්‍රතිලාබ ඉහළ යමින් තිබුණි. යම් අවදානමක් ඇතත් එය නොසලකා යළි යළිත් කොටස් මිලදී ගැනීමට දේශීය ආයතනික සහ සුළු ගනුදෙනුකරුවෝ යුහුසුළු වෙමින් සිටියහ. මෑත භාගය තුළ අවස්ථා ගණනක දී සියලු කොටස් මිල දර්ශකයට 6,000 සීමාව ඉක්මවා ගියේය. එය හොඳ ලක්ෂණයකි. වර්ධනය වනවිට ආයෝජකයන් ලාබ සහිතව සිය කොටස් අලෙවි කරන අතර එයින් දර්ශක පහත වැටේ. නමුත් අඛණ්ඩ ඉල්ලුමක් පවතින හෙයින් තාවකාලික බැස්ම පරාජය කර නැවත වර්ධනයකට ඉඩ සැලසේ. ඉකුත් නොවැම්බර් 11 වැනිදා සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,102 ක් වූ අතර මිලංක දර්ශකය 2,435 ක් වශයෙන් සනිටුහන් වී තිබුණි. එදින වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය රු. බිලියන 2,595ක් වශයෙන් සටහන් විය.

• නිරෝධායන ඇඳිරිනීතිය කොටස් වෙළෙඳාමට

රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී කොවිඩ් -19 වයිරසය පැතිරෙන විට ජන ජීවිතය පාලනය කළ යුතු බව රජය තීරණය කළේය. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත් සාධකයක් වූ අතර සියලු අවස්ථා පාලනය කරන තීරණ ගෙන තිබුණි. කොළඹ කොටස් වෙළඳ පොළද එයට නිරායාසයෙන්ම අවනත විය. එහෙත් වෙළඳ පොළ ඩිජිටල්කරණය හා නියෝජිත සමාගම්වල කැපවීම මත ගනුදෙනුකරුවාට දුරස්ථව ආයෝජන අවස්ථා සැපයිණි. යම් යම් බාධා නොතිබුණා නොවේ. එහෙත් කොටස් වෙළඳාම එවැනි අවහිරවීමක් අපේක්ෂා නොකරන තත්ත්වයකට පැමිණියේය. සජීවීව ගනුදෙනු දැක ගැනීම සඳහා ඇතැම් සුළු ආයෝජකයන් තැරැව්කාර සමාගම්වල පුවරු දෙස බලා සිටින්නට ඇබ්බැහි වී සිටි නමුත් එය අත්‍යවශ්‍ය සාධකයක් වූයේ නැත. අලුත් වාතාවරණය අනුව තාක්ෂණය දියුණුය. නිවසේ සිට මහ පුවරැවට සම්බන්ධ විය හැකි අතර තමන්ටම ගනුදෙනු කරන්නට අවස්ථාව ලැබේ. වෙළඳපොළ තැරුව්කාර සමාගමක සේවා ඔස්සේ එය කරගත හැකිය.

කොවිඩ් පළමු රැල්ල පැතිරුණ අවස්ථාවේදී කොටස් වෙළඳාම තාවකාලිකව නතර කෙරිණි. අවදානම ඉදිරියේ තැතිගන්නා ආයෝජකයන් විකිණීමට යුහුසුළු වනු ඇතැයි බියක් තිබෙන්නට ඇත. ඉකුත් මාර්තු 20 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා පුරා සති හතක් සම්පූර්ණයෙන්ම කොටස් වෙළඳාම නතර කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ලෝකයේ වෙනත් රටවල මෙවැනි තද වසා දැමීමක් සිදුවූයේ නැත. ශ‍්‍රී ලංකාව බෝම්බ පිපිරෙන අතර කොටස් හුවමාරුව කරගෙන ගිය රටකි. සුළු කාලසීමාවකට බංගලාදේශයේ කොටස් වෙළඳපොළ වසා දමා තිබුණි. ඇමරිකානු සෙනෙට් සභිකයන් ඇතුළු පිරිස් එරට නිව්ෙයා්ක් හා නැස්ඩැක් වෙළඳ පොල තාවකාලිකව වහන සේ යෝජනා කළ නමුත් “ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට නම් කොටස් වෙළෙඳ පොළ විවෘතව තිබිය යුතු බව” ඇමරිකානු ජනාධිපතිවරයා එවකට එකහෙළා කියා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. කොළඹ කොටස් වෙළෙඳාමද එම පසුබිමට පැමිණ ඇත. බස්නාහිර පළාත ලොක්ඩවුන් කරන නමුත් එයින් ඇති වූ බාධාව සීමිතය. ගනුදෙනු නතර කිරීමෙන් නොව අලුත් ව්‍යුහයකට ඇතුළුවීමෙන් අවස්ථා දිනාගත හැකි බව තහවුරු කරගෙන තිබේ.

• බැංකු පොලිය හා ඉඩම් මිල වාසියක්

කොටස් මිලදී ගන්නට ජනතාව වැය කරන්නේ තමන්ගේ ධනයයි. ආයතනික ආයෝජන වලට සමාන්තරව පුද්ගල ආයෝජකයේද මෙකී පසුබිම තුළ බව අමතක කළ යුතු නැත. තම ධනය ආයෝජනය කරන්නට අවස්ථා ඇති තරම් තිබේ. බැංකුවක තැන්පත් කිරීම පහසුය. සරලය. පසුගිය කාලය දක්වා ඉහළ පොලියක් ලැබුණ ආයෝජන අවස්ථාවකි. එහෙත් නව වාතාවරණය අනුව රජය පොලී අනුපාත අඩු කර ව්‍යවසායකයන්ට සහන පිරිනැමීය. එය ඉතිරිකරන්නන්ට අවාසියක් වූ බව නිසැකය. කලින් ස්ථිර තැන්පතුවකට සියයට 12-14 අතර වාර්ෂික පොලියක් ලැබුණ අවස්ථා දැන් සියයට 6-8 අතර දක්වා අඩු වී ඇත. අවුරුද්දක් රඳවන මුදලකට එපමණන සුළු පොලියක් අපේක්ෂා නොකරන ආයෝජකයෝ ඉඩම් වෙළඳපොළ වෙත නතු වූහ. එහෙත් ඉඩම සීමිතය. පසුගිය කාලයේ නගර ආශ්‍රිත ඉඩම් හා නිවාස මිල විශාල වශයෙන් ඉහළ ගියේය. කොවිඩ් වෛරසය ඉදිරියේ සංචරණය සීමා වී ඇති අතර ඉඩම්වල වගතුග සොයා ගැනීමද නීති කටයුතුවලටද බාධා ඇත. පළාත් පාලන ආයතනවල බදු අනෙක් අවහිරයකි. ඉඩම් විකිණීමේදී හෝ මිලදී ගැනීමේ දී පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු මුද්දර ගාස්තුවක් ඇත. එය සියයට තුනකි. ඉඩමේ වටිනාකම අනුව නිසි මුද්දර ගාස්තු ගෙවීමෙන් පසු පවා ලේඛන ලියාපදිංචිය අතරවාරයේ නිලධාරීහු අවහිරතා මතු කරති. ඉඩම් මිල ගැන වෙනත් තක්සේරුවක සිට අතිරේක බදු නියම කරන අතර දඩ පනවති. ඒවා ගෙවන තෙක් ලියා පදිංචි නොකරන අවස්ථා තිබේ. ඉඩමක් මිලදී ගෙන නීත්‍යානුකූලව නිවෙසක් තනාගන්නට අපේක්ෂා කරන පිරිස මෙයින් මහත් අපහසුතාවයට පත්වෙති. මේවා ගැන සිතන ගනුදෙනුකරුවෝ ඉඩම් මිලදී ගැනීමට දුර්මුඛ වන අතර එම ධනය කොටස් වෙළඳපොළට හැරී ඇති බව අනුමාන කළ හැකිය.

යානවාහන අලෙවියද ආයෝජනයේ තවත් අවස්ථාවකි. පිටරටින් වාහන ගෙන්වීම නතර කර තිබේ. රට තුළ හුවමාරු වන වාහනවල මිල ඉහළ නංවා ඇත. එය කෘත්‍රිම තත්ත්වයකි. තව නොබෝ දිනකින් පහළ වැටෙනු ඇත. හේතුව වැඩිකරන මිල ගණවලට මිල දී ගන්නට කිසිවෙකු උනන්දු නොවන පසුබිම තුළය. වාහන ආනයනය සීමා කිරීම හා තීරුබදු රහිත බලපත‍්‍ර නිකුත් කිරීම නතර කරන්නේ තාවකාලිකව බව දන්නා ගැනුම්කරුවන් වාහන මිලදී ගන්නට යුහුසුළු වන්නේ නැත. මෙවැනි පැති කොටස් වෙළෙඳ පොළට යහමින් වාසිදායක සේ බලපා ඇත. එහි මතුවන වේගවත් රැලි ගැන කල්පනා කරන ආයතනික හා පුද්ගල ආයෝජකයෝ කොටස් වෙළඳාමට එකතු වී සිටිති. එය හොඳ ආර්ථික ප‍්‍රවණතාවයක් සේ සැලකීම සුදුසුය. 

• කොටස් හිමි සමාජයක් ගොඩනැගීමට අවස්ථාවක්

කොළඹ කොටස් වෙළඳපොළ ව්‍යුහය ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. සමාගම්වල තරගකාරීත්වය ඉහළ යෑමෙන් සරු ආදායමක් උපයා ගත හැකිය. කොටස් වෙළෙඳාම යනු එදිනෙදා රුපිලයක් දෙකක් මිල වැඩිවූ පමණින් කොටස විකුණා යමක් උපයා ගැනීම නොවේ. ලැයිස්තුගත සමාගමක කොටස් හිමියකුවීම ආයෝජකයෙකු සතු අරමුණ විය යුතුය. සමාගමක කොටස්කරුවකු සමාගම වැඩෙන, එහි ලාබයෙන් තමන්ට සහ සමාජයට අර්ථයක් සිදුවන ආකාරය ගැන තෘප්තිමත්වීම අවශ්‍යය. එවැනි නිවී සැනසිල්ලක් ඇති කොටස් හිමි සමාජයක් බිහිකිරීම අද මුහුණපා ඇති අභියෝගයයි. රට තුළ තවමත් ලැයිස්තු ගත සමාගම් ගණන 285 කි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යවසාය ගණන ගැන බලන විට මෙම සංඛ්‍යාව ප‍්‍රමාණවත් නැත. අලුත් සමාගම් වෙළෙඳපොළට කැඳවීම අරමුණු කරගෙන විනිමය හා සුරුකුම් කොමිසම පසුගිය කාලයේ සිය නීතිවල සංශෝධන සිදුකළේය. අවම නිකුතුව හා එවැනි නිකුතුවක් කරන්නට කලින් ගතයුතු නෛතික පියවර වෙනස් කර ඇත. ඒවායෙන් සිදුවිය හැකි වාසි හෝ අවාසි ගැන ආර්ථික පර්යේෂකයන් කරැණු දැක්විය යුතුය.

කෙසේ නමුත් කොටස් වෙළෙඳපොළ රටක ආර්ථික ශක්තිය පෙන්වන එක්තරා දර්ශකයකි. එහි ඇති වත්කම ප‍්‍රධාන කරුණකි. එය ඔස්සේ ආයෝජනයට අවස්ථාවක් ඇති බව දෙස් විදෙස් ආයෝජකයන්ට විශ්වාසයක් ඇතිවෙයි. මිලදී ගන්නට හැකියාවක් ඇති පිරිසක් තරගකාරීව සිටින අවස්ථාවක ප‍්‍රාථමික කොටස් නිකුත් කළ හැකිය. මෑත කාලය තුළ මූලික කොටස් නිකුතු සිදුවූයේ නැති තරම්ය. රට තුළ කොටස් වෙළෙඳාම වෙනුවෙන් ඉල්ලුමක් ඇති වන පසුබිමක් තිබේ. අඩුම තරමින් රජයට අයත් සංස්ථා සහ සමාගම් කොටස් නිකුත් කරන්නට පියවර ගත යුතුය. විදුලිය බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය බැංකු හෝ ශ‍්‍රී ලන්කන් වැනි ආයතනවල කොටස් විකිණීමෙන් රජයට ආදායමක්ද උපයාගත හැකිය. මේවායේ කොටස් වලට ඉල්ලුමක් නැති බවට රජයේ ඇතැම් පාර්ශ්වවල හැඟීමක් තිබේ. එය වරදකි. කොටස් මිල අඩු වැඩිවීම ප‍්‍රශ්නයක් නොවේ. අනෙක එය විනිවිද භාවයට හා සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණ ගැනීමේ ශක්තියකි. රජයට අයත් සමහර සමාගම් පාලනය කරන්නේ ඇමැතිවරුන්ට රිසි පරිදි බව පෙනේ. දූෂණ හා වංචාවලට දොරටු විවෘතය. මහජනයාට කොටස් හිමි සමාගමක් බවට හැරවූ අවස්ථාවක ඇමැතිවරුන්ට ඇඟිලි ගසන බලය සීමාවෙයි. ජනතාවට වග කියන අතර කොටස්කරුවෝ අවධානයෙන් සිටිති. ඒවා දියුණු ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී වැදගත් තීරණ බව සඳහන් කළ යුතුය.  

ආයෝජකයන් යුහුසුළු කරන තරමට වාසිදායකය. සක‍්‍රීය වෙළඳාම තුළ යුතු අඩු මිලට ඇති කොටස් මිලදී ගැනීමට හැකිවෙයි. කොටස් හිමි සමාජයක් බිහිවෙයි. එවැනි නැඹුරුවන් ඇතිකරන්නට රජයට වගකීමක් තිබේ. එය දිග දැක්මක් ඇති ආර්ථිකයකට එළැඹිය හැකි නිවැරදි තීරණයකි.

 ගාමිණී සරත් ගොඩකන්ද
gsgodakanda@gmail.com