
I නෙළුව පියරත්න ජයවික්‍රම
රටේ පවතින වාතාවරණය මත සිදුව ඇති සමාජ වෙනස්වීම හේතුවෙන් දෛනික ආදායම් උපයන සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහළ ආදායම් ලබන පුරවැසියා දක්වා විවිධ ගැටලු හමුවේ සිය ජීවිතය ගැටගසා ගැනීමට සිදුව ඇත.
එම අයට බලපාන දැවෙන ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ හඬ රටට මෙන්ම වගකිවයුත්තන්ට කියාපෑමෙන් තම සංවේගය මඳ දුරකට සමනය කර ගැනීමට ඉවහල් වන බව ඔවුහු කියති.
නෙළුව දෙල්ලව ප්‍රධාන මාර්ගයේ නෙළුව සතිපොළ අසල පිහිටි කොස්ගහ යට ස්ථානයේ තේ කඩ හිමිකාරිය වන නෙළුව පදිංචි අයි.වී. ඥානවතී මහත්මිය ඇය මුහුණපාන ගැටලු අප හමුවේ මෙසේ පැවැසුවාය.
මම ජීවත්වන්නේ තේ කඩයෙන් ලැබෙන ආදායමෙන්. දිනකට රුපියල් 1500-2000ක මුදලක් ලබනවා. සෙනසුරාදා සතිපොළ පැවැත්වෙන දින දිනකට රුපියල් 3000-3500ක ආදායමක් ලබනවා. නමුත් මේ රටේ පවතින වාතාවරණය අනුව ආදායම රුපියල් 500-700 මුදලක් තමයි ලැබෙන්නේ. එම ආදායම ජීවත්වෙන්න මදි. එදා වගේ නෙළුව නගරයට ජනතාව ඒකරාශී වෙන්නේ නැහැ. ඔවුන් නගරයට ඇවිත් අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ පමණක් රැගෙන යනවා. අපේ වගේ කුඩා කඩවලට එන්නේ නැහැ.
නෙළුව නගරයේ සහ ඒ අවට බස්නැවතුම්පළ අසල සෙනසුරාදා දින පැවැත්වෙන සතිපොළ අවට කුඩා වෙළෙඳසල් 10-15 පමණ තිබෙනවා. ඔවුන් ජීවත්වෙන්නේ එදිනෙදා ලබන ආදායමෙන්. දැන් ඔවුන්ට ජීවත්වෙන්න හරිම අමාරුයි. මේ තත්ත්වය කවදා යථා තත්ත්වයට පත්වේවි යැයි සිතන්න අමාරුයි. අපි ගැන සිතලා අපට රජයෙන් සහනයක් හරි ලබා දෙනවා නම් හොඳයි. නෙළුව ප්‍රදේශයට කොරෝනා අවදානමක් නොතිබුණත් නගරයට මහජනයාගේ පැමිණීම අඩු නිසා අපිත් ජීවන මං අහිමි වූ අය වගේ. මාස 6ක් වත් ගතවනතුරු කුඩා සිල්ලර කඩ, තේ කඩ, පෙට්ටිකඩ වැනි ස්වයං රුකියා පවත්වාගෙන යන සුළු ව්‍යාපාරිකයන් කෙරෙහි අවධානය යොමු කරනවා නම් යහපතක්.

I ජේ.ඒ.එල්. ජයසිංහ
මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අද වනවිට මුහුණදීමට සිදුව තිබෙන ඉතා බරපතළ ප්‍රශ්නයක් ලෙස ගම්වලට හා නිවාසවලට කඩා වදින රිලව් රංචු ඔවුනට විශාල ලෙස පාඩු කරන තත්ත්වයක් උද්ගත වී තිබේ.
මේ සම්බන්ධයෙන් දේශය දැවෙන ප්‍රශ්න තීරයට අදහස් දැක්වූ කඳුරට ජනතා අයිතිවාසිකම් සුරුකීමේ සංවිධානයේ සභාපති නීතිඥ අසංග තිලකරත්න මහතා මෙසේ කීය.
මේ රිලව් රංචු වශයෙන් ගම්වලට කඩාවැදි කෘෂි භෝගවලට හානි කිරීම් සිදුකරනවා සේම ජනතාවගේ දේපලවලටත් හානි සිදුකරති. මෙම සතුන් ඉවත් කිරීමට කිසියම් ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ අංශ භාර රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව විශේෂයෙන් කිවයුතුයි. මහනුවර නගරය, තලාතුඔය, අලවතුගොඩ හා ගලගෙදර යන ප්‍රදේශවල ජනතාව මේ රිලව් කරදරයෙන් මුදවා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.
මෙම රිලව් රංචු මුලතිව් වැනි මහා ඝන කැලෑවල්වලට හෝ මුදාහැරීම සිදුකළ යුතුයි. මෙම රිලව් අල්ලා යළිත් ජනාවාස ප්‍රදේශවලට මුදාහැරියොත් සිදුවන්නේ යළිත් ජනතාව පීඩාවට පත්වන එකයි.
අද මහනුවර නගරයේ රාජ්‍ය ආයතන හා පුද්ගලික ගොඩනැගිලිවලට නිතර නිතර නගරයේ සැරිසරන රිලව් රංචු කඩාවැදීම නිසා ජනතාවටත් අති දුෂ්කර තත්ත්වයන්ට මුහුණදීමට සිදුව තිබෙනවා. මේ සත්තු අල්ලා මරා දමන එක නොව කළ යුත්තේ උන් මිනිස් වාසවලින් තොර කැලෑබද ප්‍රදේශවලට මුදාහැරීමයි.
ගම්මානවල සැරිසරන රිලව් නිසා බොහෝ කෘෂි වගාවන්ට සිදුවන හානිය නිසා කඳුරට ජනතාව මුහුණදී සිටින මේ බැරෑරුම් ප්‍රශ්නය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට කඳුරට ජනතා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ලෙස අප කටයුතු කළා.
ජනතාවගේ කෘෂි භෝග වගාවන් නිරන්තර විනාශයට පත් කිරීම් සිදුකරන රිලව් උවදුරට මේ වනතෙක් නිසි විසඳුම් ලබාදීමට අදාළ බලධාරීන්ට නොහැකිවීම නිසා ජනතාව මේ අහිංසක රිලව් මරා දමන තත්ත්වයකට පත්වීමටත් ඉඩ තිබෙනවා.

I කේ.ඩී. දේවප්‍රිය
කතරගම ප්‍රදේශයේ මෙන්ම තිස්සමහාරාමය, උඩවලව, අරැගම්බේ වැනි ප්‍රදේශවල දිවිගෙවන බොහෝමයක් ජනතාව සිය ජීවිකාව ගෙන යනු ලබන්නේ සංචාරක කර්මාන්තය මුල් කරගනිමිනි. එකී බොහෝදෙනා යාල ජාතික උද්‍යානය සහ තිස්සමහාරාමය මුල් කරගෙන සෆාරි ජීප්රථ 1600කට වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගෙන සංචාරක කර්මාන්තයේ නියුක්ත වෙති. 2019 අප්‍රේල් 21 සිදුවූ සහරාන්ගේ ප්‍රහාරයත් සමඟ මේ පළාත්වල සංචාරක කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක් වී පවතී. සංචාරක කර්මාන්තය උපයෝගී කරගෙන ජීවත් වූ සෆාරි ජීප්රථ හිමියන්, සංචාරක මඟපෙන්නන් සංචාරකයන්ට නවාතැන් ලබාදුන් හෝටල්කරැවන් මෙන්ම මෙකී සංචාරකයන්ට භාණ්ඩ අලෙවි කළ සියලුදෙනාගේ ආර්ථික මට්ටම ඉතා පහළට වැටී ඇති අතර ඔවුහු ඒ පිළිබඳව දැඩි කනස්සල්ලකින් පසුවෙති.
කදිරපුර සෆාරි ජිප්රථ සංගමයේ සභාපති ධම්මික නිශ්ශංක මහතා වසර 25 කට ආසන්න කාලයක් මෙම සංචාරක කර්මාන්තයෙන් දිවි ගෙවන ව්‍යාපාරිකයෙකි. පවතින කනගාටුදායක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ඉතා කනස්සල්ලෙන් මෙසේ කීය.
අපේ ආර්ථිකය දැඩි ලෙස මේ වනවිට කඩා වැටිලා තියෙනවා. අපි ජීප් රථ මිලදී ගෙන තියෙන්නේ ලීසිං ක්‍රමේට. මේ වනවිට බැංකු ණය, ලීසිං වාරික ගෙවාගන්න බැරි නිසා ලීසිං සමාගම් මඟින් වාහන අරගෙන යනවා. මේ කර්මාන්තයේ නිරතවෙලා ඉන්න අයට කරන්න කිසිම දෙයක් ඉතුරැවෙලා නෑ. රජය හෝ මැදිහත් වෙලා සෆාරි ජිප් රථ හිමියන්, සංචාරක මඟපෙන්නන් වැනි සංචාරක කර්මාන්තය මූලික කරගෙන ජීවිකාව ගෙනියන කිසිම අයකුට කිසිම සහනයක් මේ වනතෙක් ලබා දීලා නෑ. විදේශීය සංචාරකයින් නොමැති දිනවල පැමිණි දේශීය සංචාරකයන්වත් දැන් එන්නේ නෑ. වන සත්තු බලන්න ඉස්සර වගේ. උඩවලව, කුමන, බූන්දල වැනි වනඋද්‍යාන වෙතද දැන් කවුරුත් එන්නේ නෑ. කලාතුරකින් පිරිස් පැමිණියත් විදේශිකයන්ගෙන් අය කරනවා වගේ ඔවුන්ගෙන් මුදල් අය කරන්න බෑ. ඔවුන්ගෙන් ලැබෙන වරප්‍රසාද කිසිවක් අපේ රටේ අයගෙන් ලැබෙන්නේ නෑ. එක් ජීප් රථයක අපි සාමාන්‍යයෙන් ගෙනියන්නේ 5 දෙනෙකු පමණයි නම් ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ 20ක් විතර එක ජීප් එකේ යන්න. ඒ නිසා යාලේ තියෙන නීතිවලට අනුව අපිට ඒ වගේ පිරිසක් ගෙනියන්න බෑ.
මේ වනවිට සංචාරකයන්ගෙන් දිවිගෙවූ පවුල් 3000ක් ඉක්මවූ පිරිසක් අතේ සතය නැතිව ඉන්නවා. සංචාරක කාර්මාන්තය නැවත හරියන පාටක් පෙන්න නැහැ. කොරෝනා අපේ පවුල් සියල්ල කොරකළා.

I කටුනායක ටී.කේ.ජී. කපිල
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් පනවන කොන්දේසි නිසා කටුනායක ප්‍රදේශයේ වෙළෙඳ සල්වල සහල් හිඟයක් ඇති වී තිබේ.
කීරි සම්බා කිලෝග්‍රෑම් 5,000ක් මිලදී ගතහොත් පමණක් අනෙකුත් සහල් වර්ග සැපයීම සිදුකළ හැකි බවත්, කීරි සම්බා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 136.00 බැගින්ද සම්බා සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 116.00 බැගින්ද, නාඩු සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 106.00 බැගින්ද වූ නව මිල ගණන් යටතේ තමන්ට සැපයීම සිදුකළ හැකි බවත් ප්‍රධාන සහල් මෝල් හිමියන් කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබේ.
එහෙත් මේ වනවිට රජය විසින් සහල් මිල පාලනයකට යටත්කර ගැසට්ටුවක් ද නිකුත් කර තිබේ. ප්‍රධාන සහල් මෝල් හිමියන් සපයන එම මිල ගණන් යටතේ තමන්ට සහල් අලෙවි කිරීම දුෂ්කර බව කටුනායක ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෝ ප්‍රකාශ කරති. මෙම ගැටලුවට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් අඩුමිලට සහල් ගෙන්වා බෙදාහැරීමට යොදාගත හැකි බවද එම වෙළෙඳසල් හිමියෝ පෙන්වා දෙති.

I කරැණාරත්න ගමගේ
රජරට ජනතාවගේ මූලික ජීවනෝපාය වන වී ගොවිතැන හැරුණු විට බොහෝදෙනා නිරත ජීවන මාර්ගයක් වනුයේ කිරි ගව පාලනයයි. ඇතැමුන් තම ප‍්‍රධානම ආදායම් මාර්ගය ලෙසද එය තෝරාගෙන තිබේ.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අති විශාල පිරිසක් එලෙස දේශීය කිරි නිෂ්පාදනයේ පංගුකරැවන් වී සිටිති. ඒ ජනයාගේ මුවින් නික්මෙන බරපතල මැසිවිල්ලක දෝංකාරය පුලතිසි පුරවරයේ මේ දිනවල පැතිර යයි. එනම් සිය ජීවනෝපායට බලපා තිබෙන මූලික ගැටලු රැසක් පිළිබඳවය.
ඒ සම්බන්‍ධයෙන් අප හමුවේ අදහස් දැක්වූ පොළොන්නරුවේ පැරණි කිරි ගොවියකු වන පොළොන්නරුව 25 කණුව පදිංචි ඩබ්ලිව්.කේ.ඩී. බන්දුල මහතා
මම දැනට අවුරුදු 20ක් තිස්සේ මේ රස්සාව කරන්නේ. නමුත් දැන් ඇත්තටම එපා වෙලා. නොයෙකුත් ප‍්‍රශ්න ගැටලු මැද්දේ තමයි මේක කරගෙන යන්නේ. අපි ආසයි හොඳ පැටව් ලබාගෙන සාර්ථකව මේවා කරගෙන යන්න. නමුත් පශු වෛද්‍ය සේවාව ඉතාම දුර්වලයි. දැන් මේ වෙනකොට මගේ සමහර කිරි දෙනුන්ට තුන් වතාවක් ගානේ කෘත්‍රිම සිංචනය කරලා තියෙනවා. ඒ තුන් වතාවම අසාර්ථකයි. අලුතින් පැටව් බෝ කර ගන්න බැරි වුණොත් කිරි නෑ. හරක් පට්ටියට අලුතෙන් සතුනුත් නෑ. මම කලින් කිරි ලීටර් 70 ක් විතර ගත්තා. දැන් ගොඩක් අඩුයි. ඒ නිසා ආදායම පහළ බැහැලා. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි කලට වෙලාවට පැටව් ලබාගන්න බැරි කාරණය.
ඒ වගේම සත්ව ආහාරවල මිල ඉතාම අධිකයි. දවසෙන් දවස මිල වැඩි වෙනවා. ගවගාල් පවත්වාගෙන යමින් ගෘහාශ‍්‍රිතව සතුන් ඇති කරන අයට තිබෙන තවත් බරපතළ ප‍්‍රශ්නයක් තමයි තණකොළ සපයා ගැනීමට තිබෙන ගැටලුව. හරක් නිදැල්ලේ යවලා හදන අයටත් තණ බිම් නැති ප‍්‍රශ්නය තිබෙනවා. නිදැල්ලේ යවන්න තැන් නෑ. මේ ප‍්‍රශ්න නිසා කිරි කර්මාන්තය කරගෙන යාම හරිම අමාරු මට්ටමක තිබෙන්නේ. ඒ නිසා ගොඩක් ගොවීන් දැන් කිරි කර්මාන්තයෙන් ඈත්වෙමින් යනවා. සමහරැ මේ රස්සාව අත්හැරලා. මේ දිස්ත‍්‍රික්කයේ කිරි ගොවීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒ හැම දෙනෙකුටම බලපාන ප‍්‍රශ්න තමයි මේවා. රජය මැදිහත්වෙලා මේ ප්‍රශ්නවලට ඉක්මනින්ම නිසි විසඳුමක් ලබා නොදුන්නොත් මේ දිස්ත‍්‍රික්කයේ කිරි කර්මාන්තය අනතුරේ. ඒ බව ඉතාම පැහැදිලියි.”
කිරි නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින ගොවි ජනතාව මුහුණදෙන ප‍්‍රධාන ගැටලුවක් ලෙස කෘත්‍රිම සිංචන අසාර්ථක වීම පෙන්වා දෙයි. ඒ හේතුවෙන් තම දෙනුන්ගෙන් ගුණාත්මක තත්ත්වයේ පැටවුන් ලබා ගැනීමේ බලාපොරොත්තු සුන්වී ගොස් ඇති බවද ඔවුහු කියා සිටිති. සත්ව ආහාර මිල ඉහළයාම, ඇතුළු තමන් හමුවේ ඇති ගැටලු රැසක් පිළිබඳව බන්දුල ගොවි මහතා පෙන්වා දුන්නේ සමස්ත කිරි ගොවි පරපුරට බලපාන පොදු කාරණා ලෙසිනි. මේ හේතුවෙන් කිරි ගොවීන් විශාල පිරිසක් කණස්සල්ලට පත්ව සිටින බවද ඒ මහතා කීවේය. ඇතැමුන් කිරි ගව පාලනය අත්හැර දමා ඇති බවද හෙතෙම කීය.
මේ තත්ත්වයන් සියල්ල එතරම් සුබ ආරංචි නොවන අතර සොම්නස දනවන කාරණාද නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙයින් වර්තමානයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ කිරි කර්මාන්තය පත්ව ඇති අඳුරු දසාව අවසන් කිරීමට අප‍්‍රමාදව ක‍්‍රියා කළ යුතු බව වගකිවයුත්තන් සියල්ලෝම තේරුම්ගත යුතුය.