2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

කොරෝනාව මැද පොලිස් පොතේ ලියැවුණු අමුතු කතා

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

පරස්පර අදහස්, තර්ක, වාදවිවාද මතභේද යන ඇතැම් ඒවා අවසානයේ ගුටිකෙළිය. දෙන්නා දෙමහල්ලෝ සොහොයුරන් අඹ යාලුවෝ අතරත් වරෙක ගැටලුය. දිග්ගැස්සුණු සමහර ඒවා නිරාකරණය වන්නේ පොලීසිය හෝ අධිකරණය හමුවේය. ලෝක වසංගතයක් වූ කොරෝනා බියෙන් රටම ඇලලී තිබෙන මොහොතක අනවශ්‍ය ගැටුම් වාර්තාවීමත් කනගාටුවකි. එහෙත් කොරෝනා වෛරස අවදානම මැද විවිධාකාර පැමිණිලි සම්බන්ධව පොලීසියෙන් අසන්නට ලැබේ.

වසංගතයක් පැතිරෙන මොහොතේ එම අවදානමෙන් මිදීමට රජය හා සෞඛ්‍ය අංශ උත්සාහ ගනිමින් මහජනතාව එයින් බේරාගැනීමට උපක්‍රම සොයමින් ඉන්නා මොහොතක පොලීසියට මේ පැමිණිලි වාර්තාවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව ලැජ්ජාවට පත්විය යුතුය. මන්ද මේ ගෙවෙමින් ඇත්තේ ප්‍රශ්න ගැටුම් නිර්මාණය නොකළ යුතු හා එකාවන්ව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ප්‍රමුඛ රජය වෙත සහාය පළකළ යුතු යුගයකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලීසිය වෙත පවරා ඇති බලතල මත කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහාත් ආශ්‍රිතයන් නිරෝධායනය සඳහාත් යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ ආරක්‍ෂක අංශ නිලධාරීන් කටයුතු කරති. මේ එවැනි මොහොතක වාර්තා වූ කිසිසේත්ම වර්තමානයේ සිදුනොවිය යුතු දෙයකි.
කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සේවකයන් ගණනාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු කෙරිණ. අවදානම් සහිත සෙසු ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්‍ෂාවට යොමුකර වාර්තාව ලබාදෙන තෙක් නියම කරන ලද අතර එතෙක් රැඳීසිටි ස්ථානයේම නවාතැන් ගෙන සිටින ලෙසද නියෝග කොට තිබිණ. එසේ කොළඹදී පී.සී.ආර්. පරීක්ෂාව සිදුකළ අයකුගේ ස්ථීර පදිංචිය දකුණු පළාතේය. ප්‍රතිඵල වාර්තාව ලද වහාම ඔහුට අදාළ අංශ මගින් දුරකතන ඇමතුමක් ලබාදී ඇත. ඒ වනවිටත් රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබූ පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් නොතකා කොළඹ සිට ගම්පළාත බලාගොස් තිබිණ. දුරකතන ඇමතුම ලබාදෙන මොහොත වනවිටත් ඔහු ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට ගොස් මත්පැන් බෝතල් මිලට ගෙන තවත් මිතුරන් දෙදෙනකු සමග ත්‍රීරෝද රථයකින් මාතර වෙර‍ළට ගොස් සාදයක් පවත්වමින් සිට ඇත. ඔහුට කරුණු දක්වා පොලීසිය හා ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එතැනට ගොස් ඇත. එහිදී සැකකරු නිලධාරීන්ට එරෙහිව දෝෂාරෝපණය කරමින් ප්‍රතිකාර ලබාගැනීමට යාම තරයේ ප්‍රතික්ෂේප කොට තිබිණ. මෙම සැකකරු නිරෝධායන ගැසට්ටුව අනුවත් දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්ති ප්‍රකාරවත් රෝගය ව්‍යාප්තිය සඳහා චේතනාන්විත ලෙස කටයුතු කොට තිබේ. ඉහත වගන්තිය ප්‍රකාරව ඔහුට වසර දෙකක් සිරදඬුවම් නියම කිරීමට හැකිය. දැනට ප්‍රතිකාර සඳහා යොමුකර සිටින ඔහු සුව වූ පසුව නීතිමය පියවර ගැනීමට පොලිස් මූලස්ථානය වෙතින් උපදෙස් ලබාදී ඇත.

මේ අතර තවත් කතාබහට ලක්වූ සිදුවීමක් සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 10 වැනිදාය. කොවිඩ් අවදානම හමුවේ දින ගණනාවක් තිස්සේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කොට තිබිණ. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රුස්වීම ඉකුත් 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ. එදින පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරක් මාවනැල්ල පොලීසිය වෙත ලැබී ඇත.
ඒ වනවිටත් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ ශාලාවක පැවැත්වීමට සූදානමින් තිබූ රුස්වීම පිළිබඳව පොලීසිය මැදිහත්ව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහිදී නිරෝධායන ඇඳිරිනීතිය කඩකරමින් පවත්වන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ රැැස්වීම තහනම් කොට දින 7ක් කල්තැබීමට මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. අනතුරුව මාවනැල්ල ප්‍රාදේශීය සභා රුස්වීම ආරම්භ වී විනාඩි 15 ක් පමණ ගතවන විට අධිකරණ නියෝගය මාවනැල්ල පොලිස් ස්ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර කුමාර ජයවන්දල මහතා අතට පත්කරනු ලැබීය. ඉන්පසුව ඒ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සභාව දැනුවත් කර රුස්වීම නතර කිරීමට කටයුතු කොට ඇත.

මේ තවත් එවැනි වෙනස් පැමිණිල්ලකි. කොවිඩ් 19 ආසාදනය වූවකු හමුවීමත් සමග හැටන් නගරයේ පිහිටි මත්ස්‍ය වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළේය. එම වෙළෙඳසලේ සේවය කළ සේවකයන් සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණ. ස්වයං නිරෝධායනය 7 වැනිදා අවසන් වීමෙන් පසු එම මත්ස්‍ය වෙළෙඳපළ පවිත්‍ර කිරීමටත් අදාළ පරිශ්‍රය විෂබීජහරණය කිරීමටත් හැටන් දික්ඔය නගර සභා සේවකයන් පැමිණ තිබිණි.
එම මත්ස්‍ය වෙළෙඳපලේ ස්වයංක්‍රීය මුදල් කවුන්ටරය කඩා එහි තිබූ රුපියල් 37,000ක මුදල් සහ අලෙවි කිරීමට තිබු රුපියල් 50,000ක් පමණ වටිනා මිරිස් කුඩු, පොල්තෙල් බෝතල් කිහිපයක් සහ පාරිභෝගිකයන්ට මාළු ලබාදීමට තිබූ පත්තර තොගයක්ද සොරාගෙන ඇති බව හිමිකරුවන් දැනගෙන ඇත්තේ පසුවය. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මත්ස්‍ය වෙළෙඳසලේ කළමනාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත. එහිදී වෙළඳසලේ සී.සී.ටී.වී. දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව නගර සභාවේ සේවකයන් විසින් එහි භාණ්ඩ සොරාගන්නා ආකාරය එහි සටහන් වී තිබුණි. ඒ අනුව පොලීසිය සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇත.

මේ සිදුවීම වාර්තා වූයේ යාපනය පේදුරුතුඩුව පොලිස් ස්ථානයෙනි. එහි පදිංචිකරුවකු කොවිඩ් 19 ආසාදිතයකු ආශ්‍රය කිරීම නිසා එම නිවෙස සමග තවත් අසල්වැසි නිවාස දෙකක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණ. එයට කුපිතව සෙසු නිවාස දෙකේ පිරිස පළමුව නිරෝධායනයට ලක්කළ නිවැසියන් සමග ආරවුලක් ඇතිකරගෙන තිබුණේ ඔවුන් විසින් කොවිඩ් වසංගතය යාපනයට රුගෙන ආ බවට චෝදනා කරමිනි. දිගදුර ගිය කතාව ගැටුමක් බවට පත්වී අවසානයේ පවුල් හතරක පිරිස ගුටිබැට හුවමාරුවක්ද කරගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ හේතුවෙන් එම පවුල්වල සාමාජික සාමාජිකාවන් 8 දෙනකු දින 14ක් නිරෝධායනයට ලක්කිරීමට යාපනය සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවරගෙන ඇත. නිරෝධායන කටයුතු අවසන් වූ පසුව පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.

පවතින වසංගතය මැද නීතියට පටහැනිව කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකොට මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ ගොන් කරත්ත තරගාවලියක් සංවිධානය කළ පිරිසකට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට මන්නාරම පොලීසිය හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ.

මන්නාරම ප්‍රදේශය කොරෝනා වසංගතය පිළිබඳව දැඩි අවදානමක පවතී. එවැනි තත්ත්වයකදී විශාල ජනකායක් රැස්වන අන්දමට මෙම තරගාවලිය 25 වැනිදා පවත්වා ඇතැයි වාර්තා වේ. ඊට වවුනියාව මුලතිව් යාපනය හා කිළිනොච්චිය යන පළාත් වලින් කරත්ත 64 ක් සහභාගී කරවා ඇතැයිද පැවසේ.

කාණ්ඩ හතරක් යටතේ මෙම තරගාවලිය පවත්වා ඇති අතර ඊට සහභාගී වූ ජනතාව අවම වශයෙන් මුව ආවරණයක් හෝ පැළඳ නොසිටි බවට සෞඛ්‍ය නිලධාරීන්ට තොරතුරු වාර්තා වී තිබේ. සෞඛ්‍ය නිලධාරීන් හා මන්නාරම පොලිසිය එක්ව අදාළ පිරිස හඳුනාගැනීමට පරීක්ෂණ සිදුකරති.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග ලංකාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර ඉහළ ගොස් තිබෙන බව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය වාර්තා කරයි. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බවද වාර්තා කරයි. එවැන්නක් සිදුවීම තුළ මේ රටේ ඇතැම් ජනතාව පිළිබඳවත් ඔවුන්ගේ ආකල්ප නූගත් හා කෲර අසංවරත්වය සම්බන්ධයෙනුත් ඇතිවන්නේ කනස්සල්ලකි.

  සමන්ත ප්‍රදීප් විල්තෙර