2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

තුන්වැනි කොවිඩ් රැල්ල කැළෑ ගින්නක් වෙයිද?

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ලක් පිළිබඳ කතාබහක් මේ වනවිට ඇරඹී හමාරය. ලබන වසරේ මුල වනවිට ඇතිවිය හැකි බවට පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති කොවිඩ් - 19 තුන්වැනි රුල්ල අපේ රටටද වඩාත් දරුණු පළවිපාක ගෙන ඒමේ තර්ජනයක් පවතින බවට මත පළවී තිබේ. මේ යන අන්දමට එම සීඝ්‍රතාවයෙන්ම වෛරසය පැතිර යාම සිදුවුවහොත් ජනවාරිය වනවිට අපේ රටද මේ අබග්ගයට ගොදුරුවන්නට හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

තෙවැනි කොවිඩ් රැල්ලෙන් සමාජ ගතවන වෛරසය දැනට පවතින වයිරසයට වඩා භයානක විය හැකි බවට පර්ෙය්ෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. එය ඒ වනවිට විකෘති ගණනාවකටම ලක්ව සිය හානිදායී බව ඉහළ දමාගන්නට හැකි බව මේ අයගේ අදහසයි.

දැනට පැතිර යන වෛරසයට කඩිනමින් බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් තුන්වැනි රැල්ලේදී දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි නිසා ජනතාව සැමවිටම සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකළ යුතු බවත් දැඩි විනයකින් යුතුව අනවශ්‍ය සංචරණය සීමා කරමින් පෞද්ගලික ස්වස්ථතාව රැක ගනිමින් ප්‍රජා ආරක්ෂාව සලසා ගතයුතු බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරති.

මේ පිළිබඳව පසුගියදා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කොවිඩ් 19 වසංගතය අද හෙට පහව යන්නේ නැති බව අවධාරණය කළේය.

“කොවිඩ් රෝගයත් සමග තව අවුරුදු 02කට වැඩිය අපිට මෙහෙම ගත කරන්නට වේවි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ කොවිඩ් ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් කියන කාරණයක් තමයි දෙවැනි කොවිඩ් රැල්ලේදීවත් අපි බෙහෙතක්, එන්නතක්, හොයා ගත්තෙ නැති වුණොත් තුන්වැනි කොවිඩ් රැල්ලක් ලබන වසරේ මුල භාගයේදී එන්න පුළුවන් බව. එහෙම ආවොත් ඔවුන් කියන අන්දමට එය දැන් තියෙන වෛරසයටත් වැඩිය භයානක වෙන්න පුළුවන්. දෙවැනි කොවිඩ් රැල්ලේ මේ බරපතළ  ලෙස මිනිසුන්ට ආසාදනය වන කොවිඩ් වෛරසය සුළඟින් ගිහින් බෝ වෙන්නේ නෑ. මේ වෛරස් එකත් අපි අල්ලලා මුඛයේ හෝ නාසයේ හෝ ඇස්වල හරි ගා ගන්නවා. අපි එදිනෙදා බාහිර පරිසරයේ ගමන්කරන කොට මේ වෛරසය ඇවිත් අපේ ඇඳුම්වල අත්වල ගෑවෙන්න පුළුවන්. වෛරසය බිම පතිතවෙලා තිබුණොත් අපේ සපත්තුවල ගෑවෙන්න පුළුවන්. එහෙම වෙලා ඒක ගෙදරට යන්න පුළුවන්. ඒ නිසා තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියන්නේ. පුළුවන් නම් ගේ ඇතුළට යන්න ඉස්සෙල්ලා නාලා පිරිසිදුවෙලා යන්න, මේ විදිහට පරෙස්සම් නොවුණොත් සිදුවෙන හානිය දරුණු වේවි. යනුවෙන් ඔහු කරුණු පැහැදිලි කර තිබුණි.

මේ වනවිට ආසාදිතයන් සහ මරණ අතින් ඉහළම මට්ටමේ සිටින අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක්ම තෙවැනි රැල්ලට නොදෙවැනි අනතුරුදායක මට්ටමකට ගොදුරුව තිබේ. තවමත් මේ රැල්ලෙන් බේරී ඇත්තේ ප්‍රාන්ත 10ක් පමණි. අන් ප්‍රාන්තවල රෝගය ඇදහිය නොහැකි වේගයකින් පැතිර යමින් ජීවිත හිතූමතයේ බිලිගනියි. වසංගත රෝග විද්‍යාඥයන් දැන් එරට රෝගය පැතිර යාම හඳුන්වා දෙන්නේ කැළෑ ගින්නක් සේ වේගයෙන් විනාශකාරී ලෙස පැතිරෙන බව කියමිනි.

මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් අතින්ද අමෙරිකාවට නොදෙවෙනිව ඇති අපේ අසල්වැසි ඉන්දියාවද සිටින්නේ තෙවෙනි රැල්ලට ගොදුරුවය. දිල්ලිය මේ වනවිට වායු දූෂණය ද ඉහළ නැගී උත්සව සැණකෙළි උන්මාදයෙන්ද කැළඹී ඇති සමයකි. මේ සියලු කාරණා පරිසරය සකසා ඇත්තේ වසංගතයේ බිලි ගණන ඉහළ දැමීමටය. ඉන්දියාවේ පළමු රැල්ල උපරිමයට ආවේ ජූනි 23 පමණ වනවිටය. සැප්තැම්බර් 17 දෙවෙනි රැල්ල උපරිමය දක්වා ගිය බවත් දැන් දිල්ලි නගරය පවා තෙවැනි රැල්ලේ දරුණුතම ප්‍රහාරය බලාපොරොත්තුව පසුවන බවත් දිල්ලියේ සෞඛ්‍ය ඇමැති සත්‍යයෙන්ද්‍ර ජායීන් කියා තිබුණි. ඉදිරි කාලයේ සියලුම හෝටල උත්සව ශාලා පවා රෝහල් බවට පෙරැළීමට සිදුවනු ඇතැයි ඔහු සැක පහළ කර ඇත්තේ තෙවැනි රැල්ලේ භයානක කම පිළිබඳ ලැබී ඇති හෝඩුවාවන්ට අනුවය. මහ අමැති අර්වින්ද් කේජ්රිවාල් මේ අතර අපූරු අදහසක් ජනගතකර තිබුණි. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මුව ආවරණය දැනට ඇති ප්‍රබලම කොවිඩ් 19ට එරෙහි එන්නත සේ සලකා එය නිතර පැළඳ සිටීමට කටයුතු කරන ලෙසටය. ජපානය, හොංකොං, ඉරානය වැනි රටවල් ගණනාවක්ම දැනටමත් තෙවැනි රුල්ලේ මූලික මාරක බලපෑමට  නතුව හමාරය.

ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර මිනුවන්ගොඩින් හිස එසැවීමත් සමග රටේ කොවිඩ් මීටරය ඉහළ ගියේ පෙර නොවූ විරූ අයුරිනි. මේ වනවිට රටෙපුරා දිස්ත්‍රික්ක 25කම ආසාදිතයන් ගණන 15725 ඉක්මවා වාර්තාවෙද්දී මරණ සංඛ්‍යාව 50ත් ඉක්මවා තිබේ. මේ තත්ත්වය යටතේ ලංකාවද ඉන්දියානු ආදර්ශය ගනිමින් තෙවැනි රැල්ලට පහසුකම් සපයන්නෙකු බවට පත්වේද යන සැකය වෛද්‍ය සංගම් පළකර තිබේ. ලංකාව තෙවැනි රැල්ලේ භයානක ප්‍රතිඵල මගින් බේරාගන්නට නම් කඩිනමින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සිය සංගමය දැනටමත් සැලසුම් ඉදිරිපත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අප හා පැවසීය.

මේ වනවිට දෙවැනි රැල්ලක් පිළිබඳ භීතිය රටතුළ පැතිර පවතී. දිනෙන් දින මරණ සංඛ්‍යාවද ඉහළ යයි. නිවෙස් තුළ සිටිනා පිරිසද මියයන තත්ත්වයක් තුළ භයානක පැතිර යාමක් ගැන අනතුරද මතුව තිබේ. කොළඹ නගරයේ පමණක් 30,000ක පමණ පිරිසක් ආසාදිතව සිටින්නට හැකි බවට අහඹු පර්යේෂණයකින් දත්ත ලැබී තිබේ. මෙබඳු තත්ත්වයක් යටතේ රට වැසිය යුතු යැයි පිරිසක් බලකර සිටිති. මේ වනවිටද ලොව සමහර රටවල් නැවතත් සිය නගර හා කලාප වසා දමා තිබේ. නමුත් මෙලෙස රට වසා දැමීම මේ මොහොතේ වඩාත් ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවත් එය වක්‍රාකාරයකින් රට සහ එදිනෙදා වේල සොයාගන්නා ජනතාව අසීරුතාවයට පත් කිරීමක් බවත් වෛද්‍ය හරිත පෙන්වා දෙයි. ලෝක  බැංකුව පසුගියදා නිකුත්කළ දත්ත අනුව පෙන්වා දී ඇත්තේ වඩාත් භයානක අනතුරකි. ඔවුන්ගේ ගණනයන්ට අනුව කොවිඩ් 19 ලොකයේ ලක්ෂ 1500ක් ජනතාව අන්ත දුගී මට්ටමට තල්ලුකර දමනු ඇත. මෙයින් වැඩිපිරිසක් එකතුවන්නේ ආසියාවෙනි. එය ලක්ෂ 490ත්-570ත් අතර වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව ලංකාවේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් මේ වසංගතය මගින් අන්ත දුගී බවට පත්කරනු ඇත. එබඳු තත්ත්වයක් යටතේ රට වසා දමා තෙවැනි රුල්ලකට මුහුණ දී දුගී රැල්ලකටද ඉඩ සැලසිය නොහැකිය.

පවතින තත්ත්වය අනුව තුන්වැනි රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා රෝගීන් වාර්තා වන ආකාරයට ග්‍රාමසේවක කොට්ඨාශ මට්ටමෙන් හුදෙකලා කිරීමකට හෝ වසා දැමීමකට යාම වඩාත් ප්‍රායෝගික බව සිය සංගමයද යොජනා කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ කියයි. මේ පිළිබඳව තමන් කරුණු ඉදිරිපත් කළේ ඉකුත් අප්‍රේල් මාසයේ 04දා රජයට ඉදිරිපත් කළ ක්‍රියාකාරී යෝජනා මාලාවේදී බව ඔහු පෙන්වා දෙයි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයද එම මතයම තහවුරු කරමින් ඉතාම කුඩා පරිපාලන ඒකක හුදෙකලා කිරීම සුදුසුයැයි යෝජනා කර ඇති බව ඔහු පෙන්වා දෙයි. ළඟපාතක එන්නතක් හෝ ඖෂධයක් ගැන බලාපොරොත්තුවක් තබන්නටද නොහැකි නිසා රෝගීන් වාර්තා වන ප්‍රදේශ හුදෙකලා කරමින් පැතිරීම වළක්වන අතර සෙසු ප්‍රදේශ නව සාමාන්‍යකරණය යටාත් සෞඛ්‍ය රීති අනුගමනය කරමින් ආරක්ෂා විය යුතු බව ඔහු පෙන්වා දෙයි. ජනතාව මුව ආවරණ භාවිතය, අත්සේදීම, මීටරයක්, එකහමාරක් දුර හැකි සැමවිටම පවත්වා ගැනීම, මුව ඇස් ආදිය නොඇල්ලීම, අත්‍යවශ්‍යම කාරණයකට මිස නිවසින් බැහැරට නොයා සිටීම වැනි නව සාමාන්‍යකරණයේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු නිසිලෙස භාවිත කළහොත් තුන්වැනි රැල්ලේ භයානක බව පාලනය කර ගන්නට හැකිවනු ඇතැයි ඔහු කියයි. එවිට රැවුලත් කැඳත් දෙකම බේරාගන කටයුතු කරන්නාක් සේ කොවිඩ් 19 මනාව පාලනයත් ආර්ථිකය මනා කළමනාකරණයත් සිදුකර ගන්නට හැකිවනු ඇත.

l සුගත් පී. කුලතුංගආරච්චි