2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ධවල මන්දිරයට යන කළු දියමන්තිය කමලා හැරිස්

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

2020 නොවැම්බර් 3 වැනිදා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කොට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝසෆ් බයිඩන් තම උප ජනාධිපතිවරිය ලෙස තෝරා ගත්තේ කමලා හැරිස්ය. තම මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු සිදුකෙරෙමින් පැවැති සමයේ එනම් 2020 අගෝස්තු 20 දා ප්‍රකාශයක් කළ ජෝ බයිඩන් තමා ජයග්‍රහණය කළහොත් කමලා හැරිස් තම උප ජනාධිපතිවරිය ලෙස පත්කර ගන්නා බැව් කියා තිබිණි. බයිඩන්ගේ ජයග්‍රහණයත් සමඟ උප ජනාධිපතිවරිය ලෙස ඇය පත්වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වාර්තා කිහිපයක්ම තබමිනි. ඒ පළමු කාන්තා උප ජනාධිපතිවරිය. පළමු කළු ඇමෙරිකානු උප ජනාධිපතිවරිය සහ ප්‍රථම ආසියානු සම්භවයක් සහිත උප ජනාධිපතිවරිය ලෙසිනි. එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස සේවය කළ පළමු ඉන්දීයානු ඇමරිකානුවා මෙන්ම දෙවැනි කළු ජාතික  කාන්තාව ලෙසද කමලා හැරිස් වාර්තා ගතය..

1964 ඔක්තෝබර් 20 දින කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි උපත ලද කමලා දේවි හැරිස්ගේ පියා ජැමෙයිකානුවකු වූ ඩොනල්ඩ් ජේ. හැරිස්ය. බ්‍රිතාන්‍ය ජැමෙයිකාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් ලෙස සේවය කළේය. ඇගේ මව තමිල්නාඩුවේ උපත ලද. ශ්‍යාමලා ගෝපාලන්ය. ඇය ජීව විද්‍යාඥවරියකි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් පසු පිළිකා ‍රෝග පිළිබඳ පර්යේෂිකාවක ලෙස ඇය කටයුතු කළාය. කමලාට වයස අවුරුදු හතේදී ඩොනල්ඩ් හා ශ්‍යාමලා දික්කසාද වීම හේතුවෙන් ඇය සහ නැඟනිය හැදී වැඩුණේ මව වූ ශ්‍යාමලා සමගිනි. සති අන්තයන්හි ඇය සහ ඇගේ සහෝදරිය පැලෝ ඇල්ටෝහි වාසය කළ තම පියා බැලීමට ගිය විට අසල්වැසි අනෙක් දරුවන් කළු ජාතිකයන් වන බැවින් ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදුන්නේයැයි කමලා පවසා තිබේ.

කමලා දොළොස් හැවිරිදි වියේදී ශ්‍යාමලාට කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් සරසවියේ කථිකාචාර්යවරියක ලෙස හා එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ යුදෙව් මහ රෝහලේ පර් යේෂක තනතුරක් ලැබීම මත ඇය  තම දියණියන් දෙදෙනා වන කමලා සහ ඇයගේ බාල සොහොයුරිය මායාද එහි රැගෙන ගියාය. කමලා හැරිස් සහ මායා හැරිස්  වසර පහක කාලයක් අධ්‍යාපනය ලැබුවේ මොන්ට්‍රියෙල්හි පාසලකය. යළි ඇමෙරිකාවේ පදිංචියට පැමිණි කමලා ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයන් දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හිමිකර ලබා ගත් අතර. පසුව හේස්ටිංස් විද්‍යාලයෙන් නීති උපාධිය හිමිකරගත්තාය. ඇය තම පළමු වෘත්තීය ඇරඹුවේ අලමේඩාහි දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයෙනි.

දැරියක ලෙස කමලා සිය මව හා සොහොයුරිය සමඟ මදුරාසියේ සිටි ඔවුන්ගේ මවගේ පවුල බැලීමට අවස්ථා කිහිපයකදීම ගොස් ඇතැයි ඇය පවසා තිබේ. විශ්‍රාමික ඉන්දීය සිවිල් සේවකයකු වූ ඇගේ මවගේ පියා වූ පී. වී. ගෝපාලන් තුළ වූ ප්‍රජාතන්ත්‍රවාදය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රගතිශීලී අදහස් තම සිත් ගත් බව කමලා පවසා තිබේ. කමලා තම ජීවිත කාලය පුරාම ඇගේ ඉන්දියානු නැන්දලා සහ මාමලා සමඟ සම්බන්ධකම් පවත්වන්නීය. ජැමෙයිකාවේ සිටින ඇගේ පියාගේ පවුලද හමුවී ඇතැයි ඇය සඳහන් කර තිබේ. 

මේ වන විට 55 වැනි වියේ පසුවන කමලා හැරිස් කලක් ඕක්ලන්ඩ්හි නියෝජ්‍ය දිස්ත්‍රික් නීතීඥවරිය ලෙස සේවය කළාය. 2004 දී දිස්ත්‍රික් නීතිඥවරිය බවට පත්විය. 2010 දී ඇය කැලිෆෝනියාවේ නීතිපතිවරිය ලෙස තේරී පත් වූවාය. එම තනතුරට පත් පළමු කාන්තාව හා කළු ජාතිකයා වූයේ ඇයයි. 

ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකාවක වූ ඇය ක්‍රමයෙන් පක්ෂය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. එම පක්ෂයෙන් විශ්‍රාම ගිය බාබරා බොක්සර්ගේ සෙනෙට් අසුන සඳහා තරඟ කිරීමට අවස්ථාව ඇයට හිමි විය. 2015 මුල් භාගයේදී හැරිස් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ අතර සංක්‍රමණ නීති සහ අපරාධ නීති ප්‍රතිසංස්කරණ, අවම වැටුප් තල ඉහළ දැමීම කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම වැනි කටයුතු ක්‍රියාවට නංවන බවට ප්‍රතිඥා දුන්නාය. 2016 පැවැති මැතිවරණය ඇය පහසුවෙන් ජයගත් අතර කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් මන්ත්‍රිවරියක ලෙස තේරී පත්වූවාය. 

2017 ජනවාරි මාසයේදී ඇය තම රාජකාරිවලට අමතරව බුද්ධි අංශ තේරීම් කාරක සභාවේ සහ අධිකරණ කමිටුවේ සාමාජිකාවක ලෙසද සේවය කළාය. සෙනෙට් සභිකයකු ලෙස ඇගේ ප්‍රශ්න කිරීමේ ශෛලිය නිසා ඇය ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ අතර ඇතැම් අවස්ථාවන්හි රිපබ්ලිකන් සෙනෙට් සභිකයන්ගේ විවේචන හා ඉඳහිට බාධා කිරීම් වලට මුහුණ දීමට ඇයට සිදුවිය. එහෙත් ඇය නිර්භය ලෙස තම තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට සමත් වූවාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ බ්‍රෙට් කැවනෝ ගබ්සාව පිළිබඳ දැරූ අදහස්  සම්බන්ධයෙන් සහ 2016 ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් බුද්ධි අංශ කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් සිටි එක්සත් ජනපද නීතිපති ජෙෆ් සෙෂන්ස් ඉතා දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම හේතුවෙන් ඇය ප්‍රගතිශීලීන්ගේ ප්‍රසාදය දිනා ගත්තාය.

2020 ජනාධිපතිවරණ තරගය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත  සමයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂයා ලෙස තමන් තරග කිරීමට අපේක්ෂා කරන බව ඇය කියා සිටියාය. ආරම්භයේ සිටම ඇය ප්‍රමුඛ පෙළේ තරගකාරියක ලෙස කැපී පෙනිණි. ඇය සමග තරගයට ඉදිරිපත්ව සිටි අනෙකුත් අපේක්ෂකයා වූයේ ජෝ. බයිඩන්ය. ආරම්භයේදී ඇයට විශාල සහයෝගයක් හිමි වුවද 2019 සැප්තැම්බරය වන විට අර්බුදකාරී තත්ත්වයක් මතු වන්නට විය. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රගතිශීලී හා මධ්‍යස්ථ කඳවුරු දෙකෙහි  ආකර්ෂණය දිනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීම හේතුවෙන් අවසානයේ ජනාධිපති අපේක්ෂකත්ව සටනින් ඇය ඉවත් වූ අතර ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබීය.

2020 මැයි මාසයේ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු සමාජ සාධාරණීකරණ ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටින ප්‍රමුඛ පෙළේ නීතීඥවරියක ලෙස ඇය ඉහළින්ම කැපී පෙනුණාය. පොලීසියේ අවිනීතික හැසිරීම සම්බන්ධයෙන් සහ වෙඩිතැබීම් සම්බන්ධයෙන් නීතිපතිවරිය ලෙස නිසි පියවර ගැනීමට ඇය අපොහොසත් වූ බවට චෝදනා කරමින්  විවේචනයට ලක්කළ පුද්ගලයන්හට එමගින් පිළිතුරැ දීමට සමත් වූවාය. කෙන්ටකි ප්‍රාන්තයේ 26 හැවිරිදි බ්‍රෙයෝනා ටේලර් නම් කළු ජාතික කාන්තාව මරා දැමූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි කමලා හැරිස්  වර්ගවාදය සහමුලින්ම ඉවත් කළ යුතුයැයි කියා සිටියාය. 

ඩිමොක්‍රටික් පක්ෂයෙන් උප ජනාධිපති අපේක්ෂකත්වය ලද කමලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපතිවරයා වූ මයික් පෙන්ස් සමඟ දැඩි ලෙස මතවාදීව ගැටුණාය.  ඔක්තෝබරයේ පැවති උප ජනාධිපති විවාදයේදී මාතෘකා ගණනාවක් ඔස්සේ ඔවුහු උද්වේගකර වාදයක පැටලිණි. උප ජනාධිපති විවාදයකට එක්වූ ප්‍රථම කළු කාන්තාව ලෙස ඇයගේ දක්ෂතාව  කැපී පෙනිණි.

1789 ආරම්භ වූ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයට පළමු වරට කාන්තාවක් එක් වූයේ 1922දීය. ඒ ජෝර්ජියා ප්‍රාන්තය නියෝජනය කරමින් පත්වූ රෙබෙකා ලැටිමර් ෆෙල්ටන්ය. ඇය එය නියෝජනය කළේ එක් දිනක් පමණි. ඡන්දයෙන් තේරී පත්වූ පළමු සෙනෙට් සභිකාව 1932දී පත්වූ හැටී කැරවේය. වසර 100කට ආසන්න කාලයක් තුළ ඇමෙරිකානු සෙනෙට් සභිකාවන් ලෙස පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 57කි. ඉන්36ක් ඩිමොක්‍රටික් නියෝජිතයන් වන අතර 21 රිපබ්ලිකන්වරුන්ය. එම සභිකාවන් අතුරින් පළමුවරට උප ජනාධිපතිවරියක ලෙස පත් වූයේ කමලා හැරිස්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04