2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

මැජික් දෑතක් උරුම කරගත් දොස්තර ඇන්තනීස්

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 333
 
1959 සැප්තැම්බර් 25 වැනිදා සාහසිකයකුගේ වෙඩි පහර කිහිපයක් ලබා අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වහාම කොළඹ මහ රෝහලට ගෙන යනු ලැබීය. ඒ වන විට ලංකාවේ සිටි අති දක්ෂ වෛද්‍යවරුන් සැදී පැහැදී සිටියේ අගමැතිතුමාගේ ජීවිතය බේරාගන්නටය. ඒ අතර අගමැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ඇන්තනීස් මහතා ද විය. අගමැතිතුමාට ශල්‍යකර්මය කිරීමට දොස්තර ඇන්තනීට සහාය වී ඇති මහාචාර්ය ඩී.ඒ. පෙරේරා, ටී.ඩී.එච්. පෙරේරා, ඇම්.වී.පී. පීරිස්, හිලරි ගුණවර්ධන, මිල්රෝයි පෝල්, සී.එම්. උමගිලිය යන අති විශිෂ්ට වෛද්‍යවරුන් සහ සාත්තු සේවිකාවන් බොහෝ දෙනෙක් එක්ව සිටියහ. ශල්‍යකර්මයට පැය 4යි විනාඩි 35 ගතවීමෙන් පසු සන්සුන්ව නිදාගෙන වරින් වර අවදිව ළඟ සිටි වෛද්‍යවරුන්ට අගමැතිවරයා ස්තූති කර ඇත. උදේ පාන්දරින්ම අවදි වී වෛද්‍ය ඇන්තනීස් හා අනිත් වෛද්‍යවරුන්ට, සාත්තු සේවිකාවන්ට සිනාසෙමින් සුබ ප්‍රාර්ථනා කර ඇත.
 
අන්තෝනිස් දොස්තර මහතා මුළු රාත්‍රියේම නිදිමරාගෙන අගමැතිතුමා ළඟ සිටි නිසා විහාරමහාදේවි උද්‍යානයට නුදුරු තම බංගලාවට ගොස් ඇඳුම් මාරුකරගෙන එන්ට ඕනෑ බව කීය. අන්තෝනිස් දොස්තර මහතා යාමට පෙර අගමැතිතුමා ළඟට පැමිණ සර් කරුණාකර ඔබගේ දිව එළියට දාන්න මට බලන්න කී විට,
 
හෝ හෝ! ඔබට මගේ ප්‍රසිද්ධ දිව බලන්ට හිතුණද? හා මෙන්න මෙන්න කියා සිනාසී, මඳක් දිව එළියට දැම්මේය. දිව පරීක්ෂා කර බලා, අගමැතිතුමාගේ අත අල්ලා නාඩි පරීක්ෂා කළේය. අගමැතිතුමා සිනා මුහුණින් යුක්ත බර කල්පනාවක යෙදී සිටින්නාක් මෙන් පෙනුණේය. නමුත් දොස්තර මහතාගේ මුහුණ නරක් විය. බලාපොරොත්තු සුන්වන බවත් ඔහුට දැනුණේය. දොස්තර මහතා මැතිනියට වහාම අඬගැසුවේය. මැතිනිය අගමැතිතුමාගේ ඇඳ ළඟට පැමිණෙනවාත් සමඟම මොහොතකින් සිහිසන් නැතිවුණු අගමැතිතුමා සදාකාලික නින්දට සැපත් විය.
 
මේ තොරතුරු මා සොයාගත්තේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ සමීපතම මිතුරාව සිටි 1926 වසරේ සිට වසර 33ක් කිට්ටුවෙන් දුක සැප දෙකේම සිටි හෙන්රි අබේවික්‍රම මහතා විසින් 1971 දී ලියූ බණ්ඩාරනායක පරිවර්තන යුගය කෘතියෙනි. බණ්ඩාරනායක මහතාගේ අවසාන මොහොතේ ළඟම සිටි අබේවික්‍රම මහතා බද්දේගම මන්ත්‍රීවරයකු, උප අගමැතිවරයකු ද, රජයේ වැඩ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දේශපාලනඥයකි.
 
බණ්ඩාරනායක අගමැතිතුමා රෝහල් ගතවීමෙන් පසු මියයන තෙක් දුකට පත් මහජනතාවගේ බලාපොරොත්තු වූයේ ඇන්තනීස් දොස්තර මහතාගේ රත්තරං දෑත ගැන බව එකල එකොළොස් හැවිරිදි මට දෙමාපියන් හා වැඩිහිටියන් කී තොරතුරුවලින් දැනගන්නට ලැබුණි. පසු කලෙක දොස්තර ඇන්තනීස් නම කියැවෙන හැමවිටම සැත්කම, ශල්‍යකර්මය නම් වචන ද අවියෝජනීයව බැඳුණි.
 
දොස්තර ඇන්තනීස්ට මැජික් අත් දෙකක් ඇතැයි වෛද්‍යවරුන් කියනු ඇසූ අය බොහෝ සිටියහ. වරක් චරිතාපදාන ලිවීමේ සූරයකු වූ මූ. අරුක්ගොඩ දොස්තර ඇන්තනීස් හමුවීමට එවකට තිබූ (1966) නව යුගය සඟරාවට වි‍ශේෂයක් ලිවීමට ගොස් ඇත. කාර්යබහුල වෛද්‍ය ජීවිතයක් ගත කළ දොස්තර මහතාගේ නිවෙසට ගොස් සිටි අතර ඔහු පුස්තකාල කාමරයේ තනි විය. ඔහුගේ අත නිතැතින්ම ගොස් ඇත්තේ මේසය මත තිබූ රාත්තල් තුන හතරක් බර ඉතාමත් ලස්සනට ඔපමට්ටම් වුණු බෝල ගලක් වෙතය. එය අතට ගත් ඔහුට මේ විශේෂඥ වෛද්‍යවරයා භූ ගර්භ විද්‍යාඥයකුදැයි කුකුසක් ඇති විය. ඒ සමඟම ඇන්තනීස් දොස්තර මහතා පැමිණියේය.
 
මේක හොයාගත්තේ පතලෙකින් නොවෙයි. ලෙඩකුගේ බඩකින්. මහේෂ්වරී නම් එක් රෝගී කාන්තාවකගේ බඩේ තිබී ගන්නා ලද ගල් කෑලි 172ක් මේ ඇන්තනීස් දොස්තර මහතා පෙන්වා ඇත.
 
එතුමාගේ පුස්තකාල කාමරයේ අල්මාරියක තවත් බෝල ගල්, කුප්පිවල ගල්, ලොකු බෝතල් තුළ මසින් සෑදුණු විශාල බෝල රාශියක් තිබුණු බව අරුක්ගොඩ ලේඛකයා කියා තිබුණි.
 
ප්‍රසිද්ධියට අකැමැති මේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් කුඩා කාලය ගැනවත් ගම රට ගැනවත් තොරතුරු ගැනීමට පත්‍ර කලාවේදීන්ට ඉඩ ලැබී නැත. එහෙත් අප සොයාගත් තොරතුරු අනුව පොල්වත්ත ආරච්චිගේ රොමියෙල් ඇන්තනීස් 1911 ජනවාරි 21 වැනිදා උපත ලබා ඇත. ඔහු තම පියාගෙන් උගත ගත් දේ මැයෙන් කළ සාකච්ඡාවක් හැටේ දශකයේ සන්ඩේ ඔබ්සෝවර් පත්‍රයේ පළ වී තිබුණි. මේ ලිපියේ අනුවාදයක් එකල සිංහල භාෂාවෙන් පළවූ ඩයිජසට් වර්ගයේ සඟරාවක් වූ ඇස්.පී. පෙරේරා සංස්කරණය කළ දැනුම සඟරාවේ පළ වී තිබුණේ කෘතහස්ත සැත්කම් ඇදුරකු සේ ලක්දිව නම් - පතළ අන්තෝනිස් මහතාගේ සිරිතෙන් බිඳෙකි මේ යන හැඳින්වීම යටතේය. ඒ ලිපිය අරඹා තිබුණේ මෙසේය.
 
මගේ පියා බොරුව නොරිස්සූ චාම් කෙනෙකි. අප ද එසේම හැඩගැසීමට ඔහුගේ ආසාව වීය. මුලදී අපි දුප්පත්තු වූමු. පසුව භූමිතෙල් විකුණා ඔහු මුදල් ඉපයීය. එහෙත් මැරෙන තුරු පුරුදු ඇඳුම වූ සරමත් බැනියමත් වෙනස් කළේ ඔහු නොවේ. ගෙදර දී ඔහු බැනියමවත් ඇන්දේ නැත. මගේ ද එකම ආසාව නිතරම චාම් ජීවිතයක් ගත කිරීමයි. එහි අගය කියා ඉවර කළ නොහැකිය. මගේ වෘත්තියෙහි යෙදී සිටින කෙනකුට එය වෙසෙසින් වටිනා දැයෙකි. මගේ ද ලෙඩුන්ගේ හිතවතුන් සිය නෑදෑයන්ගේ තතු ඇසීමට මා ළඟට එන්නේ පැකිලීමක් නැතිවයි. මෙසේ ලොවට ඇරුණු සිතක් මට ඇතිවූයේ පියාගේ අවවාද නිසාය. මහන්තත්වයක් හිතට ගන්ට එපා. ඔබෙන් උදව් පතන අයට ළඟට එන්නට ඉඩ දෙන්න.
 
සඟරාවේ පළ වී තිබූ රසවත් කතාවකි මේ. 
 
තම පියා කිසිවකුට බිය නැති බව කියන අන්තෝනිස් දොස්තර මහතා එයට නිදසුනක් සපයයි. මේ සිදුවීම 1923 දී වූවකි. ෂෙල් කොම්පැණියේ අධ්‍යක්ෂවරයෙක් වූ විග්නල් මහතා අන්තෝනියස් මහතා හමුවීමට ගෙදරට පැමිණියේය. එවැනි බහුජාතික සමාගමක තෙදවතකු පැමිණීම සාමාන්‍ය සුළු ජනයා බියගන්වන දෙයකි.
 
පියා කිසිම කලබලයක් නැතිව විග්නල් පිළිගෙන ඔහු කියන දේ සිංහලට නැගීමට අන්තෝනිස් එතැනම රඳවා ගත්තේය. භූමිතෙල් විකිණීම (භූමිතෙල් බෙදාහැරියේ ද ෂෙල් සමාගමෙනි) සඳහා දෙමළ ගැහැනියක යොදා තිබීම ගැන විග්නල් මහතා පියාට දොස් පවරමින්, එම වැඩයට පිරිමියකු පත් කරන්නැයි නියම කළේය.
 
ඔය මහත්මයාගෙන් අහන්න උන්නැහේ කවදාවත් කාරගිල්ස් සාප්පුවෙන් බඩු අරන් තියෙනවද, කවුද එහිදී බඩු විකුණන්නේ කියා.
 
ඔව්. මම බඩු ගන්නවා ඒ සාප්පුවෙන්. එහි සේවය කරන්නේ ස්ත්‍රීන් තමායි. කිපුණු වින්කල් කීය.
 
එහෙම නම් මගේ තෙල් විකිණීමට ගැහැනියක පත්කර තිබීම වරද කුමක්දැයි හිතට එකඟව කියන්නැයි පිය ඉල්වීය.
 
හොඳයි, හොඳයි.. දිනුම ඔබටයි විග්නල් සිනාසෙමින් කීය.
 
අන්තෝනිස් දොස්තර මහතා තම කුඩා කාලය සිහිපත් කරමින් කී දේ අපේ තරුණ පරපුරට වැදගත් ආදර්ශයක් විය හැකිය.
 
අප දෙටු පරීක්ෂණයෙන් සමත් වූ විට මගේ සොහොයුරා තෑග්ගක් වශයෙන් අතේ බඳින ඔරලෝසුවක් ඉල්ලීය. මා ඉල්ලා ගත්තේ දුනු පිහියකි. එය මගේ අනාගත වෘත්තියේ පෙර ලකුණක් වී දැයි නොදනිමි.
 
වැරදි සෙවීම ඉතා පහසුයි, ඒ කිරීමට ඉක්මන් නොවී ඔබේ වැඩ හොඳින් කරගනිල්ලා යනු පියාගේ තවත් ඔවදනෙකි. ඔහු වෙහෙස නොබලා වැඩ කළ කෙනෙකි. ඔහු පාන්දර 4.30ට පමණ අවදි වී තම හරකුන්ගේ වැඩ කළේය. දුප්පත් අපත් එසේම වෙහෙස ගන්ට පුරුදු වීමු. පාඩම ඉවර කළ පසු මා එම මේසය යට පැදුරක් එළාගෙන නිදාගත්තා මට මතකය. අයියාත් මමත් උදැසනම නැගිට පාසලට යන්ට පෙර පියාගේ වැඩට උදව් වීමු. වැඩ කිරීමෙන් කිසිවකුටත් හානියක් නොපැමිණේ. අසූවක් ආයු වළඳා පර්ලෝ යන ඔහු ලෙඩෙක් නොවීය.
 
ජන්මෝත්සව පැවැත්වීම තම ගෙදර සිරිත නොවූ බව අන්තෝනියස් දොස්තර මහතා කියා ඇත. එහෙත් පියාණන්ගේ අසූවැනි උපන්දින පවුලේ සියල්ලෝම ඔහුගේ කැඳවීම පිට එහි රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වූහ. කෑමට ටික වේලාවකට පෙර සඟනමක් පැමිණ පිරිත් දෙසුම ඇරඹූ සේක. පිරිත් කියා හමාර වූ පසු පියා සිනා මුහුණින් හිටිවනම විය. අම්මා ඔහු ළඟට ගොස් කතා නොකරන්නේ මන්දැයි ඇසුවාය. ඔහු අවසාන හුස්ම හෙළා සිටි බැව් ගෙදර අය දන්නේ එවිටය.
තම පියා කිසිදාක බොරුවක් කියා නැතැයි කියන වෛද්‍යවරයා, ඔහු තමාට දුන් අවවාදයක් මෙනෙහි කර ඇත.
 
කවදාවත් තුරුම්පුව ගන්ට එපා. තුරුම්පුව ගහන්නේ බිය සුළු මිනිහායි. එදිරිකාරයා නැත්තට නැති කරන්න එපා.
 
තමා වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට එංගලන්තය බලා නැව් නගින දා වූ සිද්ධියක් දොස්තර මහතා විස්තර කර ඇත්තේ සංවේගය දනවන අයුරිනි.
 
පියාගේ මෘදු ගුණය ද එදා මට වැටහිණ. මා එංගලන්තයට යන්න සූදානම් වී ඔහුට වඳින්නට දණගැසූ විට මට ඇඬුණේය.
 
ඇයි පුතා අඬන්නේ, ගිහින් මුහුණ හෝදාගනිං, පිරිමියෙක් වාගේ. යැයි ඔහු කීය. මා ආපසු එන විට ඔහු ඇඳේ වැතිරී කුඩා ළමයකු මෙන් හඬමින් සිටියේය.
 
දොස්තර ඇන්තනිස් මහතා සහෝදර සහෝදරියන් 16ක් සහිත පවුලකට අයත් බවත් වැඩිමලා ද ඉංග්‍රීසි වෛද්‍යවරයකු බවත් මු. අරුක්ගොඩ ලිපියක පළ වී තිබුණි. තාත්තා පවත්වාගෙන ආ බම්බලපිටියේ ලාම්පු තෙල් ගබඩාව එක් සහෝදරයෙක් විසින් පවත්වාගෙන ගොස් ඇත.
 
දොස්තර මහත්තයා.. මේ ඇන්තනීස්, එහෙම නැත්නම් අන්තෝනිස් කියන නම තමුන්නාන්සේ වගේ හොඳ සිංහල බෞද්ධයකුට ගැලපෙන්නේ නැහැ නේද?
 
අරුක්ගොඩ ඇසූ ඕනෑ නැති ප්‍රශ්නයට එතුමා එක වචනයක්වත් කතා නොකොට තම පොත් රාක්කය ළඟට ගොස් එහි සැඟවී තිබුණු යමක් සොයන්නට විය.
 
මම මේ හෙව්වේ අලගියවන්න මෙහොට්ටාල පිළියෙල කළ තෝම්බුවේ කෑල්ලක් මා ළඟ තිබුණා. ඒකේ සඳහන් වෙලා තිබුණේ පොල්වත්තේ ආරච්චිගේ ගේබ්රියෙල් අන්තෝනිස් අප්පුහාමි, මාදම්ගහවත්ත කියලයි. ඒ නම පරම්පරාවෙන් පරම්පරාවට ආවා. තාත්තගේ නම අන්තෝනියස් අප්පුහාමි. මාත් ඒ නමම පාවිච්චි කළා.
 
දොස්තර මහත්තයගේ කාර්යබහුල ජීවිතය, නින්දක් නැති ජීවිතය නිසා විවේකය අඩු නේදැයි ඇසූ ප්‍රශ්නයකට එතුමා පිළිතුරු දී ඇත්තේ කවියකිනි.
 
සාස්තරේ දැනගත් වෙද          රාළට
නේස්තරේ නිදි නැත රූ තුන්      යමට"
 
තමාගේ කාර්යබහුල ජීවිතයෙන් මිදී මානසික විවේකයක් ගැනීමට ඇතැම් විට සපත්තු හා ඇඳුම් පිටින්ම පුස්තකාලයේ සැප පුටුවක දිගා වී පොතක් කියවීම පුරුද්දකි. තාත්තා තම සහෝදර සහෝදරියන් පුංචි කාලයේ නලවන විට කී කවි සටහන් කළ මොනිටර් එක්සයිස් පොත කියවීම දොස්තර මහතා සැනසීමක් බව කියා ඇති අතර ඒ කවි ඔහුට නැවත නැවත කියවීමෙන් මතක එක කවියක් කියා පුවත්පත් කලාවේදියාට පෙන්වා ඇත.
 
රුසිරු රුසිරු රුසිරු සුරු රුසිරු                 පුත
ආදර ඇතිවම අත නැලවියන්                     පුත
ගේ දොර වැඩට මා හැර වෙන කෙනෙක්     නැත
ඒ බර ගන්ඩ නාඬා නිදියපන්                       පුත
 
1926 දෙසැම්බර් 11 වැනිදා මෝනිං ලීඩර් පත්‍රයේ පළ වූ පත්තරයක කොටසක් දොස්තර මහතා පරෙස්සම් කරගෙන තිබුණේ එය සිය දයාබර මෑණියන් පණ මෙන් ආරක්ෂා කරගෙන තිබූ නිසාය. එහි කොණක මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක වාර්තාවේ පී.ආර්. ඇන්තනීස් නම් ශිෂ්‍යයා ඒ වර්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවේශයේ පරීක්ෂණයෙන් ලතින්, ප්‍රංශ, ගණිතය, විද්‍යාව යන විෂයයන්ගෙන් 1 වැනියා වී තෑගි ලබා සිටියේය.
 
වෛද්‍ය විද්‍යාලයේ වාර්තා අනුව ඔහුගේ ශුරතාවය ලිව්වොත් එය දීර්ඝ ලේඛනයක් වනු ඇති. ශල්‍යකර්මවලට නම් සඳහා ඔහුගේ වෛද්‍ය ජීවිතයේ දිදුලන තාරකාවක් මෙන්ම විශ්මකර්ම දෑතක් හිමි ඉසිවරයකි. ජීවකයෙකි.
 
ලේඛකයෙක් කියා ඇති පරිදි ඔහු විශ්මකර්ම ක්‍රියාවක් මෙසේ විස්තර වී ඇත.
 
වෙඩි පහරවල් කිහිපයක් වැදී අක්මාවේ කොටසක් ද, ආමාශයේ කොටස් ද ඇලදිවේ කොටසක් ද, බඩවැලේ කොටස් ද කැඩී ගිය තැනැත්තකුට පැය 9ක් තිස්සේ ශල්‍යකර්මයක් කොට අනතුරින් පසු පැය 21ක් ලෙඩා ජීවත් කර ගැනීම ගැන ලෝකයේ වෛද්‍ය විශේෂඥයන්ගෙන් දොස්තර ඇන්තනීස් වෙත නොයෙක් පැසසුම් ගලා ආවේය. තවත් පැය කිහිපයක් කතා නොකොට ඉන්නට ලෙඩාට හැකි වී නම් මේ මැජික් දෑතේ හාස්කම තවත් වරක් ලෝකයටම පෙනී යන්නට තිබුණේය. අවාසනාවට කතා කිරීම නිසා ශල්‍යකර්මයට අදාළ නොවන හේතුවකින් ලෙඩා මිය ගියේය. යම්කිසි හෙයකින් ජීවත්ව සිටියා නම් ඇන්තනීස් මහතාගේ අගය සිය ගුණයකින් ඉහළ යන්ට තිබුණේ ඒ කියන ලෙඩා හිටපු අගමැති බණ්ඩාරනායක මහතා බැවින්ය.
 
ඇන්තනීස් දොස්තර මහතාගේ අගනා පුස්තකාලයේ ඇති බෞද්ධ සාහිත්‍ය කෘති අතර ඉහළින්ම රන්වන් අකුරු කෙටූ උතුම් ග්‍රන්ථයක් වෙයි. එය ඩී.ඇස්. සේනානායක මහත්මියට කළ ශල්‍යකර්මයකින් පසු එතුමිය විසින් තෑගි කරන ලද පන්සිය පනස් ජාතක පොත් වහන්සේය. හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව, හිටපු අගමැති ඩඩ්ලි සේනානායක, හිටපු සෞඛ්‍ය ඇමැති එම්.ඩී.එච්. ජයවර්ධන, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේරත් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය හැන්ඩි ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු සුව වී එවූ ලිපිවලින් යුත් ලිපිගොනුවකට ඔහුගේ පොත් රාක්කයේ සුවිශේෂ තැනක් හිමි වී ඇති බව වාර්තා වේ.
 
විහාරමහාදේවි උයන හරහා හමා එන සීතල සුළං කිසිම බාධාවක් නැතිව ඇතුළුවන සේ ධර්මපාල මාවතේ පිහිටි තම නිවෙසේ ඇති පුස්තකාලය තමාට සැනසුමක් ගෙන දෙන බව ඔහු අරුක්ගොඩ ලේඛකයාට කියා ඇත. මහ රූට එන හදිසි පණිවුඩ ලැබූ සැණින් පිජාමා සූට් එකෙන්ම පුංචි මොරිස් මයිනර් එකට නැගී ඔහුම පදවා රෝහලකට යන්නේ තවත් ජීවිතයක් ගලවා ගන්නටය. දොස්තර ඇන්තනීස් ලාංකිකයකු, සිංහලයකු පමණක් නොව බෞද්ධයකු පමණක් නොව, අපේ හැදියාවට, සංස්කෘතියට, කලාවට ආදරය කළ කලා රසිකයකු බව %නව යුගය^ සඟරාවේ ලේඛකයා මොනවට පැහැදිලි කරයි.
 
කිතුල්ගල ඇම්.ජී. පෙරේරා මුහන්දිරම්තුමාගේ එකම දියණිය හා විවාහ වූ දොස්තර ඇන්තනීස්ට එක් පුතෙක් සිටී. ඔහුගේ නම ලාල් ඇන්තනීස්ය. ස්වභාවධර්මයට ආදරය කළ ලාල් ජාත්‍යන්තර කීර්තියක් පත් ඡායාරෑප ශිල්පියෙකි. කලා රසිකයෙකි. ස්වභාවධර්මය, වන ජීවීන් කැමරාවට නගා රට රටවල ප්‍රදර්ශන පවත්වා සම්මානයට පාත්‍ර වූවෙකි.
 
දොස්තර ඇන්තනීස් නම් මේ විශ්මකර්ම වෛද්‍යවරයා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර 1981 සිට 2002 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හෙබවීය. 2009 දෙසැම්බර් 17 වැනිදා මේ අසිරිමත් දෑත නිසල විය.
 
 ඒ.ඩී. රන්ජිත් කුමාර
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04