2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියා කුස්සියේ කප් එක ඉස්සූ ලංකාවේ පුංචි මිනිපිරී

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

දිනය නොවැම්බර් මස 09 වැනිදාය. ඔස්ට්‍රේලියා වැසියන් කලක පටන් නැරඹූ තරගාවලියේ අවසන් දිනය වූයේ එදිනය. තරගකරුවන්, තරගකාරියන් රාශියක් සහභාගි වූ Junior Master Chef Australia 2020 වැඩසටහනේ අවසන් තරගකරුවන් තිදෙනාගේ වටය ආරම්භ විය. Network 10 චැනලය දෙස ඔස්ට්‍රේලියානු වැසියෝ දෑස් දල්වා බලා සිටියහ.

අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ජෝර්ජියා, ෆිලෝ සහ කාටර්ය. පිරිමි ළමුන් දෙදෙනකු හා තරග වැදුණු එකම ගැහැනු දරුවා වූයේ ජෝර්ජියාය. අවසානයේදී Junior Master Chef ලෙස කිරුළු පැළැන්දේ ජෝර්ජියාය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියකි.

ජෝර්ජියාට වයස අවුරුදු එකොළහකි. නිතරම සිනහවකින් මුව පුරවාගත් ඇය අවසන් ප්‍රතිඵලය කියද්දී සතුටින් ඉපිලී ගිය අන්දම ඔස්ට්‍රේලියානු වැසියන්ගේ ආදරයට හේතු විය. මෙම තරගාවලියෙන් ජය හිමිවූ ඇයට කුසලානයක් මෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් ද තෑගි ලැබුණි.

ඔස්ට්‍රේලියානු Network 10 චැනලයෙන් විකාශනය වුණු මෙම වැඩසටහනේ අවසන් තරගකරුවන්ට තරග වට දෙකකදී ප්‍රධාන ආහාරවේලක් සමඟ අතුරුපසක් පිළියෙල කළ යුතු විය. ඒ සඳහා ඔවුන්ට ප්‍රධාන ආහාරවේලට මිනිත්තු අනූවක් ද අතුරුපස සකස් කිරීම සඳහා තවත් මිනිත්තු අනූවක් ද විනිශ්චයකරුවන් විසින් වෙන්කර තිබුණි.

තරගය ආරම්භ විය. කඩියන් සේ තරගකරුවන් දෙදෙනාත් තරගකාරියත් ආහාර පිසීමේ රාජකාරියේ නිරත වූහ. විනිසුරුවරු බලා සිටියහ. තරගකරුවන්ගේ දෙමව්පියන් ද,  ප්‍රේක්ෂකාගාරය ද මේ අපූරු පුංචි තරගකරුවන්ගේ ඉවීමේ කලාව දෙස බලා සිටියහ. පසෙකින් අපූරු සංගීතයක් ද වාදනය විය.

ජෝර්ජියා නිතරම තම ශ්‍රී ලාංකික උරුමය පිළිබඳ ආඩම්බර වූ කුඩා දැරියකි. ඇය ආච්චිඅම්මා සමඟ නිවෙසේදී නිරන්තරයෙන් ආහාර පිසුවාය. ආත්තම්මාගේ අත්ගුණය හරි අපූරුවට ජෝර්ජියාට පිහිටා තිබුණි. ඒ නිසාම ශ්‍රී ලාංකික ආහාරවේලක රස තරගයට එකතු කරන්නට ඇය ඉටා ගත්තාය. ඇය ඌරුමස් ව්‍යංජනය, කජු ව්‍යංජනය, වම්බටු ව්‍යංජනය, පිපිඤ්ඤා රයිතා, කහ බතක් සහ පපඩම් ප්‍රධාන ආහාරවේල වශයෙන් පිසුවාය.

ප්‍රධාන ආහාරවේල හිතුවාටත් වඩා අඩු කාලයකින් සාදා නිමකළ ඇය තම අතුරුපස සාදන්නට සූදානම් වූවාය. එය මූලද්‍රව්‍ය පහකින් යුත් අතුරුපසකි. එනම් කර කළ පොල් අයිස්ක්‍රීම්, දුඹුරු පාන් කැබැල්ලක්, ඩේවිඩ්සන් ප්ලම් මුතු, ඩේවිඩ්සන් ප්ලම් මෙරිංගු සහ ලෙමන් ග්‍රාස් ග්‍රුනීටා (Toasted coconut ice cream, Brown bread crumb, Davidson plum pearls, Davidson plum meringues and lemongrass granites)

නමුත් අතුරුපස සාදද්දී ඇගේ අතුරුපසෙහි සමහර කොටස් ඇයට අවශ්‍ය පරිදි සකස් කිරීමට අපොහොසත් වූවාය. කුඩා ජෝර්ජියා කලබල වූවාය. ඇය තම ආදරණීය මව දෙස බැලුවාය. ජෝර්ජියාගේ මුහුණේ හිනාව වියැකී ගොසිනි. ඒ වෙනුවෙට එම මුහුණේ අහිංසක අසරණ පෙනුමක් ඇගේ මව දුටුවාය. No I can’t ලෙසින් ජෝර්ජියා මිමිණුවාය.

ජෝර්ජියාගේ මව නටාලි තම දියණියව දිරිගැන්වූවාය. You can do it my angel (ඔබට එය කළ හැකියි මගේ සුරංගනාවි* ලෙසින් නටාලි ඇය දිරිගැන්වූවාය. ජෝර්ජියා හිතට දිරිය ගත්තාය. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුංචි සුරදූතිය අත මැෂිමක් මෙන් නැවතත් ක්‍රියා කළාය. අවසානයේදී වෙනස්ම වූ කෑම රටාවකට සෑදූ අතුරුපසක් ඇගේ පුංචි අත්වලින් පිළියෙල විය. ඇය සියලු අංග පිඟානට ගෙන අතුරුපස අපූරුවට සැකසුවාය. එය ඇය නම්කරන ලද්දේ Tropical mess නමිනි. තරගකරුවන් තිදෙනාම තම ආහාරපාන පිළියෙල කර අවසන් කළහ. විනිසුරුවෝ තරගකරුවන්ගේ ආහාර රස කර බැලූහ. ජෝර්ජියා හැදූ Tropical mess අතුරුපස රස බැලූ විනිසුරුවන්ට එහි රසයේ යම් විශේෂත්වයක් ඇති බව පෙනුණි. විශේෂයෙන් ඔවුහු ඇය සෑදූ ලෙමන් ග්‍රාස් ග්‍රුනිටා ගැන කතා කළහ.

අවසානයේදී විනිසුරුවෝ අවසන් ප්‍රතිඵලය ඉදිරිපත් කළහ. ෆිලෝ සහ කාටර් අභිබවා වයස අවුරුදු එකොළහක් වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුංචි ජෝර්ජියා Junior Master Chef Australia 2020 කිරුළ දිනා ගත්තාය. ඇය කිරුළ ඔසවා සතුටින් තම සතුට ප්‍රකාශ කළාය. 

My mum and her mum and her dad are all Sri Lankan and I thought if am going to the grand final then I want to do something that means something to my heritage* (මගේ අම්මයි ඇගේ අම්මයි තාත්තයි ඔක්කොම ශ්‍රී ලංකාවේ අයයි. මම හිතුවා මම අවසන් තරගයට යනවා නම් මගේ උරුමයට අයිති යමක් කරන්න ඕනෙ කියලා.)

තරගකරුවන් තිදෙනා ආහාර පිළියෙල කරද්දී චිත්‍රාගාරයේ මුළුතැන්ගෙයි සජීවී වාද්‍ය වෘන්දයක් ද වාදනය වුණි. සංගීතයට ඇළුම් කළ ජෝර්ජියාට මෙය ද මහත් අස්වැසිල්ලක් විය. ජෝර්ජියා නිතරම තම මිත්තණිය සමඟ එකතු වී විවිධ ආහාරපාන පිළියෙල කළාය. නිරන්තරයෙන් නිවෙසේදී ඇය චෙෆ් වූවාය. මිත්තණියගෙන් ලැබුණු අනුශාසනා, මගපෙන්වීම අවසානයේදී ජෝර්ජියාට කිරුළ ලබා දෙන්නට සමත් විය.

Without her, there is no chance I would have been able to chop up a carrot and I owe everything to her යනුවෙන් ජයග්‍රහණයෙන් පසුව තම මව වූ නටාලියාට තුති පුදමින් ජෝර්ජියා මාධ්‍යයට පැවසුවාය. තමන්ට හිමි වූ කුසලානය පිරිනමන විට ඇගේ මුහුණේ ලොකුම හිනාවක් ඇති විය.

I am so surprised from the beginning my goal was just to make it past the first week. To win this competition was such a surprise. (මෙම තරගයේ ජය ගැනීම පුදුම සහගතයි. මට පුදුමයි. ආරම්භයේ සිටම මගේ ඉලක්කය වුණේ පළමු සතිය පසුකර යාමයි. යැයි ජෝර්ජියා පැවසුවාය.

ඇයට ඩොලර් 25,000ක් හිමිවූ අතර අනු ශූරයන් වූ ෆිලෝ හා කාටර්ට ඩොලර් 5,000 බැගින් ලැබුණි. ලැබුණු මුදලින් කුමක් කරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට වයස අවුරුදු එකොළහක් වූ පුංචි කෙල්ල පැවසුවේ මෙවන් අදහසකි.තවමත් කළ යුත්තේ කුමක්දැයි මට විශ්වාසයක් නැහැ. අනිවාර්යයෙන්ම විනෝදය හා ආහාර ආශ්‍රිත දෙයක් සඳහා භාවිත කළ හැකියි. කොහොමටත් මට අවුරුදු දහඅටේදී මට එයට පිවිසිය හැකියි. ඒ නිසා ඒ ගැන හිතන්න තව මට අවුරුදු හතක් තියෙනවා. සංචාරය කිරීම සහ ආහාර වෙළෙඳසලක් ආරම්භ කරන්න මම ආසයි. යනුවෙනි.

කෙසේ වුවද අද වන විට කුඩා ජෝර්ජියා ඔස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය තරුවකි. එක්සත් රාජධානියේ Guardian පුවත්පත 11 years old dynamo with a passion for her grandma’s Sri Lankan Curries (ඇගේ ආච්චිගේ ශ්‍රී ලාංකික ව්‍යංජන කෙරෙහි දැඩි ඇල්මක් ඇති 11 හැවිරිදි ඩයිනමෝව) ලෙසින් ජෝර්ජියාව හඳුන්වා තිබිණි.

 දිශානි ජයමාලි කරුණාරත්න  

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04