2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

විපතකදී කරන පුදපූජා මෝඩ වැඩක්ද?

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133


කොරෝනා දෙවැනි රැල්ලේ ප්‍රතිඵල භයානකය. රූපවාහිනිය නැරඹුවත්, පුවත්පතක් අතට ගත්තත්, දුරකථනයෙන් ඇමතුමක් ගත්තත් ඇසෙන්නේ මෙවර පැමිණ ඇති වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත් ප්‍රවේශම් සහගතව සංචරණය සීමා කළයුතු බවත්ය.

දැන් බොහෝ විහාරස්ථානවලින් හැන්දෑවට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විසුරුවා හරින රතන සූත්‍ර පිරිත් හඬ පැතිරී යයි. ඒ අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා සිටියේ රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය දේශනා කිරීමේ කටයුතු සංවිධානය කරන ලෙසයි. පසුගිය මාර්තු මාසයේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුද රටපුරාම එකම වෙලාවට රතන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන ලෙස ඉල්ලා සිටියහ.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු ප්‍රධාන පෙළේ ඇමැතිවරු පිරිසක් රටේ ප්‍රධාන ගංගාවලට පිරිත් කළගෙඩි අතහරින සේයාරූ පෙළකි. මෙම සිද්ධිය සමාජ මාධ්‍යවලින් විහිළුවට ලක්කළ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය පවා ඒ ගැන කතා කළේය. සෞඛ්‍ය ඇමැතිනිය එවිට කීවේ කොරෝනා විපතින් රට ගලවා ගැනීමට අවශ්‍ය නම් තමා මුහුදට බිලිවීමට වුවත් සූදානම් බවයි.

ලෝකයම මුහුණ දී සිටින්නේ රෝ බිය පැතිරුණු අවදානම් තත්ත්වයකටය. අපේ රටත්, ලෝකයත් මෙයට පෙරත් භයානක වසංගතවලට විවිධ අවස්ථාවල මුහුණදී ඉන් ගැලවුණු බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනේ. කොරෝනා විපතින්ද ලෝකය ඉදිරියේ ගැලවෙනු ඇත. ඒ සඳහා එන්නතක් සොයාගනු ඇත. ඒ අතර සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ජීවත්වීමද අත්‍යවශ්‍ය වී තිබේ.

අවදානම් අවස්ථාවක ආගමික වත් පිළිවෙත් කිරීම සෞඛ්‍ය කටයුතුවලින් පසුව එන කාර්යයකි. ඉතිහාසයෙන්ද ඒ ගැන උදාහරණ අපට හමුවේ. බුදුන් දවස විසාලා මහනුවර රතන සූත්‍රය දේශනා කළාක් සේම 5 වැනි ශතවර්ෂයේදී බුද්ධදාස රජුගේ පුත්‍ර උපතිස්ස රජුද එවැනි පිංකමක් කළ බව මහාවංශයේ සඳහන්ය. මේ රජ දවස ලංකාව දුර්භික්ෂයෙන්ද ලෙඩරෝගවලින්ද පීඩා වින්දාය. රජු බුදුන් වහන්සේගේ රන්රැවක් රථයක හිඳුවා ඒ රථය නුවර වටා රැගෙන ගිය අතර රථය දෙපස යමින් භික්ෂූහු රතන සූත්‍රය දේශනා කළහ. එම පිරිතෙන් පසු වැසි වැස රෝග බය හා දුර්භික්ෂ බය දුරු වූ බව සඳහන්ය. “මතු ලක්දිව්හි යම් කලෙක දුර්භික්ෂ රෝගාදී භයක් වන්නේ නම් මෙසේ කරත්වයි” රජු නියෝග කළේය.

වර්තමාන සමාජ මාධ්‍ය ඔස්සේද සමාජයේද පිරිත් කීම වැනි ආගමික කටයුතු දෙස උපහාසයෙන් බැලීම සුලබ වී තිබේ. නමුත් පුරාණ සමාජයේ මෙවැනි ආගමික කටයුතු ඉතා ශ්‍රද්ධාවෙන් ඒ ගැන පේ වීමෙන් පසුව කර ඇත. අද තරගකාරීව එකිනෙකා පසුපස හැල්මේ දුව යන සමාජයේ පිරිසිදු සිත් ඇතිව පිරිත් ඇසීම පවා දුලබ සිදුවීමකි.

මේ පිළිබඳව ඇසීමට අප මුලින්ම කතා කළේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්ටය.

“බුදු දහමින් බොහෝදුරට කරන්නේ මනස ශක්තිමත් කිරීම. ඒ සඳහා ත්‍රිවිධ රත්නය ගැන විශ්වාසයෙන් ආගමික කටයුතු කිරීමට බෞද්ධයන් පුරැදු වී සිටිනවා. රතන සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් ධර්මයේ තිබෙන ශක්තිය පුද්ගලයන්ගේ මනස තුළ ගොඩනැගෙනවා. මේ වගේ අවස්ථාවක මානසිකව බිඳ වැටුණොත් ශරීරය දුර්වල වෙනවා. පසුගිය දිනවල කොරෝනා රෝගය ගැන බියට පත්වී සියදිවි හානිකරගත් අය ගැන වාර්තා වුණේ මනස දුර්වලවීම නිසයි. මනස දුර්වල වුණොත් විපත ඉහළ යනවා.

අනිත් එක පොදුජන විශ්වාසයන්වල අපට නොතේරෙන විද්‍යාත්මක ප්‍රවේශයකුත් තිබෙනවා. කහ දියර ඉසීම, දුම් ඇල්ලීම වගේ කටයුතුවල විද්‍යාත්මක පැත්තක් තිබෙනවා. මළ සිරුරක් අසල පහන් පත්තු කිරීමෙන් වන්නේත් විෂබීජ විනාශ කිරීමක්. දෙවියන්ගේ ලෙඩ කියලා සති 2ක නිරෝධායන ක්‍රමයක් පුරාණයේ පටන් තිබුණා. මිනිසාට මානසික වශයෙන් ශක්තිමත් වීමට ආගමික පුද පූජා චාරිත්‍ර වැදගත් වෙනවා. අදෘශ්‍යමාන දේවල් විශ්වයේ පවතින්න පුළුවන්. මේ ඇහැට නොපෙනෙන වයිරසයක් ලෝකයම ගිලගෙන ඉන්නවා කියන්නේ ඒකට කොච්චර බලයක් තිබීමක්ද? මේ ඇදහීම්වල විද්‍යාත්මක බලපෑම් පැවතීමට ඉඩ තිබෙනවා. කෙම් ක්‍රමත් රෝග සුවකිරීමේ ක්‍රම අපේ සමාජයේ තිබෙනවානේ. මෙවැනි වසංගත තත්ත්වයකදී මනස ශක්තිමත්ව පවත්වා ගැනීම තමයි වැදගත්. මේ අතරම සෞඛ්‍ය උපදෙස් නීති රීති පිළිපැදීමත් අත්‍යවශ්‍ය වෙනවා.

ඒ නිසා අප වුවත් මෙවර කඨින චීවර පූජෝත්සවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට සීමාවලට යටත්ව පවත්වනවා. සමහර විහාරවල ඒවා සම්පූර්ණයෙන් නවත්වලා.”

“උපසම්පදා ශීලය” නම් කෘතියෙහි රේරුකානේ චන්දවිමල නාහිමි සඳහන් කරන්නේ පිරිත් කීම ලාභාපේක්ෂාවෙන් කට්ටඩිකමින් නොකළ යුතු බවයි. “එය ජනයාට යහපතක් වන පරිද්දෙන් කළ යුතුයි. සුදුසු පරිදි නොකියන පිරිතෙහි අනුහසක් බලයක් නැත. පිරිත් කියයුතු ආකාරය ආටානාටිය සූත්‍ර අටුවාවෙහි සඳහන්ය.”

රටම රෝග පීඩාවෙන් ගිලගෙන සිටියත් අදත් සමහරු තම ලාභයම මුල්කොට සලකන බව නොරහසකි. පී.එච්.අයි. වෙස්ගෙන හොරකමේ ගිය පිරිසක් ගැන වාර්තා වුණේ ගිය සතියේය. 

ආගමික කටයුතුවලින් වසංගත අවස්ථාවකදී සහනයක් ලබාගත හැකිද යන්න ගැන එල්ලාවල මේධානන්ද නාහිමි පැවසුවේ මෙලෙසයි.

“විපත් වළක්වා ගැනීම සඳහා ආගමිකව නොයෙක් උපක්‍රම කළ හැකියි. බුදුහාමුදුරුවෝ පෙන්නුවා විපාකදීමට එන සමහර කර්ම උපක්‍රමශීලීව වළක්වාගත හැකි බව. ආගමික ක්‍රියාවලින් යම් යම් දෑ වළක්වා ගත හැකි වුවත් ඒ සඳහා සිත, කය, වචනය පිරිසිදු සත්‍යවාදී පුද්ගලයෙක් විය යුතුයි. පංච ශීලය ආරක්ෂා කරන පුද්ගලයෙක් විය යුතුයි. ඒ ආකාරයෙන් ජීවත්වෙමින් ආගමික කටයුතු කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. තෙරුවන් කෙරෙහි නියම භක්තියක් ගෞරවයක් ඇතිව තමාට යහපතක් වේවායි ප්‍රාර්ථනා කරගත හැකියි. ඒ අතරම දෙවියන්ගේ ආශීර්වාදයත් ප්‍රාර්ථනා කළ හැකියි. විසාලා මහනුවරට තුන්බිය පැමිණි විට රතන සූත්‍රය දේශනා කිරීමෙන් ඒ තුන්බිය දුරු වී ගියා. ඉන් පෙන්නුම් කරන්නේ ආගම දහමේ සත්‍යවාදී බව මිනිසුන්ගේ යහපතට හරවාගත හැකි බවයි.

වර්ෂාව නැතිවෙලාවට වර්ෂා දේවතාවා නම් දේවතාවෙකුට පුදපූජා පැවැත්වීම ඉන්දියාවේ වෛදික යුගයේ සිට පැවති සිරිතක්. පුරාණයේ ලංකාවෙත් වර්ෂා දේවතාවා පිදීමේ සිරිත තිබූ බවට සාධක හමුවෙනවා. ඉසුරුමුණියේ (පුරාණ මේඝගිරිය) තිබෙන මිනිසා සහ අශ්ව හිස මූර්තිය තමයි වර්ෂා දේවතාවා. වර්ෂාව ලැබුණු ස්ථානය නිසා එතැන මේඝගිරිය වුණා.

දරුණු උණ රෝගය හෙවත් ජ්වරය පැතිරෙන අවස්ථාවලදී භාවිත කළ හැකි සූත්‍රයක් අපට තිබෙනවා. ඒකට කියන්නේ ජ්වර පිරිත. ඒක හැම පිරිත් පොතකම නෑ. ජ්වර පිරිතේ කියන්නේ අටවිසි බුදුහාමුදුරුවන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ සත්‍යභාවයයි. එම පිරිත දේශනා කර රෝගය සුවවේවා කියන ප්‍රාර්ථනය සිතේ කරුණාව හා මෛත්‍රියෙන් යුක්තව කළ යුතුයි. කවුරුවත් කියනවාට කීමෙන් නොව එය අවබෝධයෙන් කළයුතු වෙනවා. එහෙම වුණොත් රෝග බිය දුරුවීමට හේතු වෙනවා. බෙහෙත්වලට උණ අඩු නොවන අයට ජ්වර පිරිත දේශනා කළවිට උණ අඩුවීම ගැන අත්දැකීම් මට තිබෙනවා.”

ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ සඳහන් කරන්නේ වසංගත රෝග සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ආරෝපණයන් කිරීම පුරාණයේ පටන් පැවති බවයි. පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි වසංගත රෝග දෙවියන්ගේ ලෙඩ නමින් හඳුන්වමින් ගුප්ත විශ්වාස සහ අභිචාර විධි මත පදනම් වූ උපක්‍රම මගින් රෝගීන්ගේ සහ ඒ පවුල්වල පුද්ගලයන්ගේ මානසික බිඳ වැටීම වැළැක්වූ බව වෛද්‍යවරයා පවසා සිටී. මෙවන් දැඩි මානසික බිඳ වැටීම්වලදී යමකුගේ ශරීරයේ පවත්වා ප්‍රතිශක්තිය හීනවීමෙන් හටගෙන ඇති රෝග උත්සන්නවීමට හෝ අලුතින් රෝග හටගැනීමටද පුළුවන් බව ඔහු පවසයි.


කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04