2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

හිරගෙදර ඇතුළේ බුබුළු දමන කොවිඩ් පොකුර

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුර අභිබවා දැන් බන්ධනාගාර පොකුර හිස ඔසොවා අවසන්ය. බන්ධනාගාර පද්ධතිය තුළ සිරකරුවන් 30,000කට අධික පිරිසක් කිටිකිටියේ රඳවා ඇති මොහොතක මෙහි අවදානම සුළුවෙන් තැකිය හැක්කක් ද නොවන්නේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසන අන්දමට, මේ වන විට බන්ධනාගාර රැඳවියන් 107කට කොරෝනාය. ඒ පසුගිය 10දා වන විටය. එයින් වැඩිම පිරිස කාන්තා රැඳවියන්ය. එම සංඛ්‍යාලේඛනවලට අනුව, කාන්තා රැඳවියන් 89ක්, පිරිමි රැඳවියන් 10ක්, වැලිකඩින් ද, බෝගම්බරින් 7ක් හා මාතරින් 1ක් ද වේ. මුළු ගණන 107කි.

බන්ධනාගාර තදබදය කොවිඩ් ආසාදිත තත්ත්වයන්ට අත වනන්නක් බඳුය. ඒ නිසාම රිමාන්ඩ් සිරකරුවන්ට ඇප දීම හා නඩු පැවරීම ගැන නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් මාලාවක් ද නිකුත් කර අවසන්ය. බන්ධනාගාර තුළ කොවිඩ්-19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ද ඒ නිසාය. බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගෙන් 20,000කට ආසන්න පිරිසක් රිමාන්ඩ් සිරකරුවන් බවද හෙළි වී තිබේ. කොවිඩ් දෙවැනි රුල්ලේ අවදානම බන්ධනාගාර තුළට ආවේ, ඊයේ පෙරේදාය. එනම් ඉකුත් 5දාය.

කොවිඩ් පළමු රැල්ලේ ආසාදිත රැඳවියන් දෙදෙනකු පිළිබඳව මුලින්ම වාර්තා වූයේ ඉකුත් මාර්තු මාසයේදීය. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යැවීමට නියමිතව සිටි මත්ද්‍රව්‍ය චෝදනා රැඳවියන් දෙදෙනකු වැලිකඩ අයි වාට්ටුවේ රඳවා සිටියදී හෙළිවූ මෙම සිද්ධිය එතැනින්ම යටපත් කර ගැනීමට හැකි වුවද, මෙවර දෙවැනි රැල්ල මුළු මහත් බන්ධනාගාර පද්ධතිය පුරා පැතිර යාමේ අවදානම අවසන් කරන්නට තවමත් කිසිවකුත් සමත් වී නැති බවද කිව යුතුය.

බන්ධනාගාර රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සෞඛ්‍ය අංශ සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් කොවිඩ් අවදානම හා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව බන්ධනාගාර බලධාරීන් දැනුවත් කළේ මීට දින ගණනාවකට පෙරය. දෙවැනි කොවිඩ් රුල්ලේ පැතිර යාමත් සමඟම බන්ධනාගාර ගණනාවකම රැඳවියන් ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තවීම ආරම්භ වී අවසන්ය.

කොරෝනා ව්‍යාප්තවීම වළකාලීමේ පියවර සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා නීතිපතිවරයාගෙන් ඉල්ලමින් කර ඇත්තේ ද අතරය. බන්ධනාගාර තුළ පැතිර යන කොවිඩ් අවදානම පිළිබඳ අලුත්ම පුවත වාර්තා වන්නේ පසුගිය 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන්කිරීමත් සමඟය. ඒ සඳහා වැලිකඩ රෝහලේ නේවාසිකව සිටි 200කට ආසන්න රැඳවියන් පිරිසක් එදිනම සවස මහර බන්ධනාගාරය වෙත මාරුකර යැවීම ද සිදුවිය.

බන්ධනාගාර බස්රථ 3කින් එම පිරිස රුගෙන ගොස් සිටියදී, වැලිකඩ බන්ධනාගාර රෝහලේ තවත් අපූරු දෙයක් සිදුවී ඇති බවට ආරංචි පැතිර ගියේ, අසුරු සැණෙකිනි. එනම්, වසර කිහිපයක් තිස්සේ බන්ධනාගාර රෝහල සිය අණසකට ගෙන සිටින බව කියන මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, මරණ දඬුවම නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සිරදඬුවම් විඳින තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ, රිමාන්ඩ් භාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කිහිප දෙනකු එහිම නතර වීමය.

මේ වන විට ඒ සියල්ලන්ගේම නිවහන වී ඇත්තේ බන්ධනාගාර රෝහලට යාබද නිලධාරී විවේකාගාරය බව රෝහලේ නිලධාරීන් පවසනුයේ නිකමට නොවේ.

එදා මෙම නිවහන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරටත්, මෙන්ම හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන්ටත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවටත්, පිහිටවූ හැටි කිව්වේ ද එම නිලධාරීන්මය. බන්ධනාගාර ලොක්කන් එදා ඒ ගැන කිව්වේ ජීවිතාරක්ෂාව සඳහා එම ස්ථානය වෙන්කර ඇති බවය.

එහෙත්, දැන් ඒ ගැන කියන්නේ කුමක්දැයි අප නොදනිතත්, මෙතෙක් දුමින්දලා ඇතුළු පිරිස බන්ධනාගාර රෝහලේ 3 වාට්ටුව අත්පත් කරගෙන සිටියේ, ආරක්ෂාව නැතිකමට ද යන්න ප්‍රශ්නයක් පමණකි. බන්ධනාගාරවල උද්ගතව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව බන්ධනාගාර භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙවැනි කතාවකි. මාධ්‍යවලට පවසා ඇති අන්දමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියන්නේ බන්ධනාගාර තුළ කොරෝනා අවදානම මාසයක් වැනි කෙටි කාලයක් තුළ පාලනය කරන බවය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මෙවැන්නකි.

බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානම ඉහළ යාම නිසා මීට පෙර අදහස් කළ පරිදිම වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළා. ඉදිරියේදී එන ඕනෑම තත්ත්වයකට අපි මුහුණදීමට සූදානම්. නිරෝධායනය සඳහා පිරිමි රැඳවියන් වැලිකඩ රෝහලටත්, කාන්තා රැඳවියන් පල්ලන්සේන කඳවුරටත් යැවීමට තීරණය කළා.

තවත් අවශ්‍ය නම්, අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහලක් සූදානම් කරනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙනවා. කොවිඩ් අවදානම් තත්ත්වය පාලනය කරන්නට කළ යුතු හැම දෙයක්ම කරනවා.

කෙසේ වෙතත්, කොළඹින් බන්ධනාගාර ගතවන රිමාන්ඩ් සැකකරුවන් නිරෝධායනය සඳහා පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ ඉදිකළ නව නිවහනේ තාවකාලිකව රැඳවීමට පියවර ගෙන ඇති අතර, එහි දැනට 750කට අධික පිරිසක් රඳවා ඇති බවද හෙළි විය. පසුගියදා කොවිඩ් ආසාදිතයන් 7ක් හමුවුණේ මෙතැනිනි. ඒ අතර, පසුගියදා පුත්තලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සේවය හැරගිය හිටපු ජේලර්වරයකු ද වන බව කිව්වේ එහි නිලධාරීන් පිරිසකි.

වැලිකඩ කාන්තා අංශයේ කොරෝනා ආසාදිතයන් හමුවීම සිදුවුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජන කාන්තාවකගෙන් බවට තොරතුරු මුලින්ම හෙළි කළේ එහි වෛද්‍යවරුන් පිරිසකි. මුල්ම පී.සී.ආර්. පරීක්ෂණයේදී (5දා) 4 දෙනෙක් හමුවුණත්, පසුවදා (6) කළ පරීක්ෂණයේදී 22 දෙනෙක් හමුවීම නොසිතූ දෙයකි. ඒ 22 දෙනා අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ද වන බව බන්ධනාගාර මූලස්ථානය පැත්තෙන් අනාවරණ වූයේ ද ඒ සමඟිනි. දැන් මේ සියල්ලෝම පොළොන්නරුව, වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. මින් ඉදිරියට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන කොවිඩ් ආසාදිත කාන්තාවන් පල්ලන්සේන කඳවුරට යවන බව කීවේ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවන කාන්තාවන් මුලින්ම නිරෝධායනය සඳහා කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන බවය. බන්ධනාගාර රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත රණසිංහ මහතා අනාවරණය කරන තොරතුරැවලට අනුව මෙම 12දා වන විට  වැලිකඩ කාන්තා රැඳවියන් 89ක්, පිරිමි රැඳවියන් 49ක් හා නිලධාරීන් 6 දෙනකු ඇතුළුව සමස්ත බන්ධනාගාර පොකුර 172 දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 16 දෙනකු ආසාදිතයන් බව හෙළි වූයේ ද 12දාය. පසුගිය 6දා වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් මුලින්ම හමුවූ ආසාදිත රැඳවියකු හේතුවෙන් මුළු බන්ධනාගාරයම හෙළවුණේ එම ආසාදිත රුඳවියා කුස්සි පාටියේ කෙනකු වීම නිසාය. මේ නිසා එදින කුස්සි පාටියේ යොදවා සිටි රැඳවියන් 150ක්, නිලධාරීන් 25ක් පමණ නිරෝධායනයට යෙදවීමට සිදුවීම නිසා එදින අනෙකුත් රැඳවියන්ට ආහාරපාන සැපයීමේ ගැටලුවක් ද මතු විය. ඒ හේතුවෙන් නැටුම් අංශයේ රැඳවියන් කුස්සි පාටියට යෙදවීමට බලධාරීන්ට සිදුවිය. කෙසේ වෙතත් එදින දහවල් ආහාරය ලබාදීමට සිදුවුණේ, හවස 4.00ටත් පසුවය. රාත්‍රී ආහාරවේල ලැබෙන විට රාත්‍රී 8.00 ද පසු වූ බව දැනගත හැකි විය.

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නියාමක නිලධාරීන් දෙදෙනකුට වැලිකඩ නිලධාරියකුද කොවිඩ් ආසාදිතයන් බව හෙළි වූයේ ද මේ අතරය. බෝගම්බර දෙදෙනා මේ වන විට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. මෙම බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුලින්ම කොරෝනා ආසාදිත රැඳවියන් 7 දෙනකු හමුවූයේ ඉකුත් 9දාය. දැන් එම තත්ත්වය 23ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

කිසිදු සැකකරුවකු කෙළින්ම කොළඹ බන්ධනාගාර වෙත මින් ඉදිරියට යොමු නොකිරීමටත්, වැලිකඩ බන්ධනාගාර රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකොට දින 14කට පසුව, බන්ධනාගාරගත කිරීමත් දැන් සිදු කෙරේ. රැඳවි කාන්තාවන් ද කළුතර බන්ධනාගාර රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර, දින 14කට පසු එම බන්ධනාගාරය වෙතටම ඇතුළත් කෙරේ. තත්ත්වය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇති බව කීමට තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. සියල්ල නොසඟවා හෙළිකිරීම හැර දැන් වෙන කළ යුත්තක් ද නැත. දිනෙන් දින වාර්තා වන කොවිඩ් ආසාදිත රැඳවියන් සහ නිලධාරීන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන වීමක් සිදුවන්නේ ද යන්න තවමත් ප්‍රශ්නයකි.

මේ අතර තත්ත්වය වඩාත්ම නරක අතට හැරී ඇති බවට තොරතුරක් ඉකුත් 11දා සවස් වන විට බන්ධනාගාර පුරා පැතිර යමින් තිබුණි. මේ අනුව, කොළඹ බන්ධනාගාරවල අධිකාරීවරුන්, සෞඛ්‍ය අංශ හා මූලස්ථාන උසස් නිලධාරීන් අතර පැවති හදිසි සාකච්ඡාවකදී ගෙන ඇති තීරණය වූයේ, කොළඹ බන්ධනාගාර සමූහය දින 14කට හුදෙකලා කිරීමය.

බන්ධනාගාරය තුළ කොවිඩ් උවදුර පාලනයට ගත හැකි එකම විසඳුම බවට පත් එම තීරණයට අනුව 11දා සවස සිට කිසිදු නිලධාරියකුට බන්ධනාගාරවලින් පිටවීම හෝ ඇතුළුවීමට දින 14කට තහනම් විය. එම තීරණය බන්ධනාගාර විවාහක නිලධාරී නිල නිවාසවලටද, බන්ධනාගාර තනිකඩ නිලධාරී නිවාසවලටද, එක සේ බලපෑවේ ද කිසිවකුත් නොසිතූ අයුරිනි.

ඒ අනුව, නිල නිවාසවලින් කිසිවකුටත් බැහැර වීමටත්, ඇතුළුවීමටත්, නොහැකිව විලංගු වැටුණේ එහි සියල්ලෝම අසරණ කරමිනි.

බන්ධනාගාර රෝහලේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට කීවේ කොවිඩ් වසංගත තත්ත්වයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවය. ඒ සියල්ලන්ටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කෑම බීම බන්ධනාගාර සුභසාධක අංශය වෙතින් සැපයීමට තීරණය වූ බව කීවේ බන්ධනාගාර උසස් නිලධාරියෙකි.

පසුගිය 11 වැනිදා රාත්‍රී වන විට බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිත රැඳවියන් 147ක් හා නිලධාරීන් 6ක් වාර්තා වූ බව සඳහන් විය.

 ජයන්ත සමරකෝන්