2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ලෝක ලොක්කන්ටත් එකම හැන්දෙන් බෙදන කොරෝනා

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

ලොව පුරා ඉවක් බවක් නොමැතිව පැතිර යන කොවිඩ් 19 වෛරසය මේ වන විට ජීවිත 239,190ක් බිලි ගෙන අවසන්ය. පසුගිය නොවැම්බර් 10 වැනිදා වන විට එම වෛරසයට ගොදුරු වූ සමස්ත සංඛ්‍යාව 10,145,560කි. කොරෝනා වෛරසයට උස් පහත් භේදයක් නොමැත. දුගී දුප්පතුන්ට මෙන්ම ලෝකයේ ඉහළම පුද්ගලයන්ද මේ වන විට එම රෝගයේ ගොදුරු බවට පත්ව තිබේ.  ඒ අතර රාජකීයයන් හා රාජ්‍ය නායකයන්ද විශාල පිරිසක් සිටිති.

එංගලන්තයේ රාජකීය පවුලේ සාමාජිකයන්ටද වෛරසයෙන් ගැලවීමක් නොවීය.. එලිසබෙත් රුජනගේ වැඩිමහලු පුත්‍රයා වන චාල්ස් කුමරුට කොරෝනා ආසාදිත වූයේ පසුගිය මාර්තු මාසයේය. මේ වන විට ඔහුගේ පුත් විලියම් කුමරුටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව වසං කළ බවද වාර්තා විය. මොනාකෝහි දෙවැනි ඇල්බට් කුමරුද පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 ආසාදිතයකු වූ බැවින් ඔහුටද වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු විය.. රියාද්හි ආණ්ඩුකාරවරයා වන සෞදි රජ පවුලේ ෆයිසාල් බින් බන්දාර් අබ්දුල් අසීස් අල් සවුද් කුමරුද කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත්වූ අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම මත දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඒ හැර සෞදි රජ පවුල් සාමාජිකයන් 150කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වැළඳීමෙන් සිදුවූ පළමු රාජකීය මරණය වාර්තා වූයේ ස්පාඤ්ඤයෙනි. ඒ මරියා තෙරේසා රජ කුමරියයි. කොරෝනා වැළඳීමෙන් පසුගිය මාර්තු මාසයේ ඇය මරණයට පත්වූවාය.

කොරෝනා වැළඳුණු ලෝක රාජ්‍ය නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. කොරෝනා වෛරසය පිළිබඳව ඉතා සැහැල්ලුවෙන් සැලකූ ඔහු මුව ආවරණ පැළඳීමද ප්‍රතික්ෂේප කළ අතර  විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රෝගය පාලනය කළ හැකියැයිද කියා සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධාකාර දෝෂාරෝපණ එල්ල කළ ඔහු එයට ලබා දුන් දීමනාවද කප්පාදු කළේය. අවසානයේ ඔහුද එම රෝගයේ ගොදුරක් බවට පත්විය. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වීමට බලපෑ එක් සාධකයක් වූයේද කොරෝනා කෙරෙහි ඔහු දැක්වූ සරල ප්‍රතිපත්තියයි. 

බ්‍රසීලයද කොරෝනා වෛරසය උපරිමයෙන්ම පැතිර ගිය රාජ්‍යයකි. එරට ජනාධිපති හායෙර් බොල්සොනාරෝද පසුගිය ජුලි මාසයේ කොරෝනාවට ගොදුරු විය. ඔහුට එම වෛරසය එතරම් දරුණු ලෙස ආසාදනය නොවුණු අතර ක්‍රමයෙන් සුවය ලැබීය.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද කොරෝනා ආසාදිතයකු බවට පත්වීම හේතුවෙන් සති කිහිපයක් ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදුවිය. ඔහු රෝහල් ගතව සිටියදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගය උත්සන්නව තමා මියගියහොත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති බවටය. කෙසේ වුවද ඔහු කෙටි කලකින් සුවය ලැබීය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් හා ඇමැතිනී නාඩින් ඩොරිස් ද,  මන්ත්‍රීවරුන් වන  කේට් ඔස්බෝන්, ටෝනි ලොයිඩ් හා ලොයිඩ් රසල් මොයිල්ද කොරෝනා ආසාදිතයෝ බවට පත්වූහ. 

ඉරානයේ ජ්‍යෙෂ්ඨ උප ජනාධිපති ඉෂාක් ජහන්ගිරි ද, උප ජනාධිපති මසුමෙ එබ්තෙකාර් හා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා වන ඉරාජ් හරිර්චිද කොරෝනාවේ ගොදුරු බවට පත් රාජ්‍ය නායකයන්ය.. ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් 8෴ක් පමණ වෛරසයට ගොදුරු වූ බවට වාර්තා වූ අතර රටේ සමස්ත රෝගී සංඛ්‍යාව වසන් කිරීමට කටයුතු කළ බවට සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි චෝදනා එල්ල විය. බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියරේ එන්කෘන්සිසා පසුගිය ජුනි මාසයේ හදිසි හෘදයාබාධයකින් මරණයට පත් විය. අවසානයේ අනාවරණය වූයේ ඔහු කොවිඩ් 19 වැළඳීම නිසා මරණයට පත්ව ඇති බවය.

ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු ආමාත්‍ය පීටර් ඩටන්ද කොරෝනා ආසාදිතයෙක් විය. ඔහුට රෝගය ආසාදනය වී තිබුණේ ඇමෙරිකාවේ කළ සංචාරයකින් පසුව බැව් අනාවරණ විය. කැනේඩියානු අගමැති ජස්ටින් ට_ඩෝටද නිරෝධායනය වීමට සිදු වූයේ ඔහුගේ බිරිය සොෆී ට_ඩෝට වෛරසය ආසාදනය වීම හේතුවෙනි. එහෙත් අගමැතිවරයාට රෝග වැළඳුණ බවට වාර්තා නොවීය.

හොන්ඩියුරාස් ජනපති හුවාන් ඔර්ලැන්ඩෝ හර්නැන්ඩස්ද කොරෝනාවේ ගොදුරක් බවට පත් තවත් ලෝක නායකයෙකි. පසුගිය ජුනි මාසයේ කරන ලද පරීක්ෂණයෙන් ඔහු කොවිට් ආසාදිතයකු බවට අනාවරණ විය. බෙලාරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝටද කොරෝනා ලක්ෂණ පහළ වූ අතර  ඔහු තම සෞඛ්‍ය තත්ත්තවය රුක ගැනීම සඳහා වොඩ්කා පානය කරන බව ප්‍රකාශ කළේය. කොරෝනා යනු මනෝ ව්‍යාධියක් යැයි පැවසූ ඔහු ජනතාවටද වොඩ්කා පානය කිරීමෙන් ඉන් ආරක්ෂා විය හැකියැයි කියා සිටියේය. බෙලාරුස් රාජ්‍යය කොරෝනා සම්බන්ධයෙන් දැඩි අරක්ෂක පියවර නොගත් රාජ්‍යයක් විය. ආමේනියානු අගමැති නිකොල් පෂිනියන්ද කොරෝනාවේ ගොදුරක් විය.  ගුවාතමාලා ජනාධිපතිවරයාටද කොරෝනා ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔහුද නිරෝධායනයට යොමු කෙරිණි. ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවූ බැවින් නිවෙසේ සිට රාජකාරි කටයුතුවල නිරත වීමට ඔහු පියවර ගත්තේය. බොලිවියානු අන්තර්පාලන ජනාධිපතිනි ජියානින් අනෙස්ටද රෝග ලක්ෂණ පහළ වූ බැවින් ඇය කෙටි කලක් හුදෙකලාව ගත කිරීමට පියවර ගත්තාය. ඩොමිනිකන් ජනරජයේ නව ජනාධිපතිවරයාටද කොවිඩ් ආසාදනය වී තිබිණි. ඔහුට රෝගය වැළඳී තිබුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අවදියේය. නිරෝධායනය වීමෙන් ඔහු සුවය ලැබීය.

ඊශ්‍රායෙල සෞඛය ඇමැති යාකොව් ලිට්ස්මාන්ද කොරෝනා ආසාදිතයකු බවට පත්ව තිබේ. දකුණු අප්‍රිකානු ආරක්ෂක අමාත්‍ය නොසිවිවේ මපිසා න්කාකුලාද, බලශක්ති අමාත්‍ය ල්වේඩේ මන්ටාෂේ සහ කම්කරු අමාත්‍ය තුලාස් නික්සි ද පසුගිය ජුනි හා ජුලි මාසවල කොරෝනා ආසාදිතයෝ වූහ. දකුණු සුඩානයේ උප ජනාධිපති රයික් මචාර්, ගැම්බියා උප ජනාධිපති ඉසාටු ටුරෝ, ගිනි බිසව් අගමැති නුනෝ ගෝමස් නබියම් ද කොරෝනාවේ ගොදුරු බවට පත් රාජ්‍ය නායකයන්ය.
අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිප දෙනකුම කොරෝනා ආසාදිතයෝ බවට පත්වූහ. උප ජනාධිපති වෙන්කයියා නායිදු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය අමිත් ෂා සහ දුම්රිය සේවා අමාත්‍ය සුරේෂ් අන්ගාදි ද රෝගයට ගොදුරු වූහ. ඔවුන් අතුරින් සුරේෂ් අන්ගාදි මරණයට පත් වූ අතර හිටපු ජනාධිපති ප්‍රනාම් මුඛර්ජි ද ශල්‍යකර්මයකට බඳුන්ව සිටියදී මිය ගියේය. ඔහුටද කොරෝනා ආසාදනය වී තිබූ බැව් පසුව අනාවරණ විය.

කොරෝනා ආසාදිතයකු බවට පත් නවතම රාජ්‍ය නායකයා යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සොලොන්ස්කිය. මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වී සිටින ඔහු ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබුණේ කොවිඩ් තරජනයට සියල්ලන්ටම මුහුණ දීමට සිදුව ඇති බවයි. තමන් දිගමට රාජකාරි කටයුතුවල නිරත වන බවත් කෙසේ හෝ කොවිඩ් 19 රෝගයෙන් ජයගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා තිබිණි.

රජෙක් වුවත් ලෙඩෙක් වුණොත් වැඩක් නැතැයි අපේ පැරණි කියමනක් තිබේ. කෙතරම් බලවන්තයකු වුවද කොරෝනාවට එය අදාළ නොවන බව මේ වන විට පැහැදිලිය. මේ වන විට ශ්‍රී ලංකාවද කොරෝනාවේ දරුණු ගොදුරක් බවට පත් වෙමින් තිබේ. එහෙයින් කෙතරම් බලවන්තයකු වුවද තම ආරක්ෂාව  ඇත්තේ වෙනත් අය අත නොව තමන් අතම බව වටහා ගැනීම වැදගත්ය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා