2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

මිල පාලන අලකලංචිය

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

මිල පාලනය ගැන යළිත් කතාබහ ඇතිවී ඇත්තේ පසුගිය සතියේ රජය සීනි මිල පාලනය කිරීම නිසාය. පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සුදු සීනි මිල පාලනය කරමින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සීනි කිලෝවක තොග මිල රුපියල් 80ක් වන අතර පැකට් නොකළ සීනිවල සිල්ලර මිල රුපියල් 85ක්ද පැකට් කළ සීනි මිල කිලෝව රුපියල් 90ක් ද වෙයි. එහෙත් මෙම මිලට සීනි දීමට නොහැකි බව තොග වෙළෙන්දෝ පවසති. දැනටමත් සිල්ලර වෙළෙඳ මිල පාලන මිල ඉක්මවා පවතී.

සීනි සඳහා පනවා තිබූ රුපියල් 40 ආනයන බද්ද ශත 25 දක්වා අඩුකර පසුගිය මාසයේ 14දා රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද වෙළෙඳුන් සීනි මිල අඩුකර නොමැත. තොග වෙළෙඳුන් කිලෝව රුපියල් 123 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන්  සීනි කිලෝවක මිල රුපියල් 150 දක්වා ඉහළ නැග තිබුණි. මෙම බදු නිදහස ප්‍රයෝජනයට ගත් ආනයනකරැවන් සීනි මෙට්‍රික් ටොන් 50,000ක් පමණ දැනට ආනයනය කර ගබඩා කර තබාගෙන ඇතැයි කියන නමුත් පාරිභෝගිකයන්ට තවම සිදුව ඇත්තේ වැඩි මිලට සීනි මිලදී ගැනීමටය. සීනි බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා නොදෙන නිසා යළි මුලින් තිබූ බද්දම පනවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේය.

සීනි මිල පාලනය කිරීම එක් උදාහරණයක් පමණි. එයට පෙර සතියේ රජය සහල් නිෂ්පාදන මිල ද පහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද මෝල් හිමියන් කියන්නේ එම මිලට සහල් දීමට නොහැකි බවය. රජය නියම කළ තොග මිල වූයේ නාඩු කිලෝව රුපියල් 92, කැකුළු කිලෝව 89 සහ සම්බා 94 විය. මෙම තොග මිලට රුපියල් 4ක් වැඩිකර සිල්ලරට අලෙවි කරන ලෙස උපදෙස් දී තිබුණි. එහෙත් අද වන විට වෙළෙඳපොළේ පාලන මිලට සහල් අලෙවි කරන බවක් දැකගත නොහැකිය. සිල්ලර වෙළෙඳුන් කියන්නේ මෝල් හිමියන් තමන්ට රජයේ මිලට සහල් අලෙවි නොකරන නිසා මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවකි. එසේ නොවේ නම් වෙළෙඳාමෙන් ඉවත් වන බවද ඔවුහු කියති.

එයට ආසන්න සතියේ රටේ මහත් ආන්දෝලනයක් පැන නැගුණේ පාරිභෝගික සේවා අධිකාරිය පොල් සඳහා පාලන මිලක් නියම කිරීමය. මෙය අමුතුම පාලන මිලක් වූ අතර පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව ගෙඩිය රුපියල් 65, 70 හා 75 ලෙස මිල නියම කර තිබුණි. පාරිභෝගික සේවා අධිකාරිය වළලු තනාගෙන වෙළෙඳපොළට ගොස් වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙළෙඳුන් පොල් අලෙවිය ප්‍රතික්ෂේප කිරීම නිසා වෙළෙඳපොළේ පොල් හිඟයක් ඇතිවිය. ඊළඟට බලධරයන් පොල් කිරා විකිණීමේ සැලසුමක් යෝජනා කර තිබුණද, එය ක්‍රියාත්මක වූ බවක් දැනගත නොහැක.

ඉහත විස්තර කළේ නුදුරැ දිනවල නිවේදනය කළ මිල පාලන අවස්ථා තුනක් වුවද එයට පෙර අවස්ථා රුසකදීද අත්‍යවශ්‍ය මිල පාලනය කිරීමට ගැසට් නිවේදන නිකුත් කර තිබුණි. එහෙත් ඒ සියල්ල හුදු ගැසට් මුද්‍රණ පමණක් වූ අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ නැත. උදාහරණයක් වශයෙන් කිවහොත් සහල් මිල මෙයට පෙර අවස්ථා තුනකදී පාලනය කර තිබුණි. තවද, පරිප්පු, අර්තාපල්, සැමන්, කරවල ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කළ ද ඒ කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත. මේ නිසා ගැසට් නිවේදන නිකම්ම නිකම් හුදු විහිලුවක් වී ඇති අතර කිසිවකුත් ඒවා ගණන් නොගන්නා තත්ත්වයට පත්වී ඇත. ජනතාව කියන්නේ මේ මිල පාලන දමන්නේ ජනතාව රුවැටීමට බවය. වැඩි මිලට විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පුන පුනා පැවසුව ද එහි ආරංචි මාර්ගවලට අනුව දැනගන්නට ලැබී ඇත්තේ දිගටම වැටලීම් කිරීම සඳහා අධිකාරියට නිලධාරීන්, වාහන ඇතුළු සම්පත් හිඟ බවය. එසේම නඩු දැමීම ද විධිමත්ව සිදු නොවේ.
මිල පාලනය පිළිබඳ ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙක්  පළකරන එකිනෙකට පරස්පර මත පහත දැක්වේ.

මිල පාලනය හොඳයි - ක්‍රියාත්මක කරන ක්‍රමය වැරදියි

- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරැ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා

ඉහළ යන භාණ්ඩ මිල යම් පමණකට හෝ පාලනය කිරීම සඳහා උපරිම මිල පාලනය කිරීමේ ක්‍රමවේදය යොදාගැනීම වැරදිය යැයි කියන්න බැහැ. මිල පාලනය කිරීම හොඳ නමුත් වරද වන්නේ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳවයි. ගැසට් කරනවාට වැඩිය අවශ්‍ය වන්නේ එම මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි. ගැසට් දහයක් ගැහුවත් වැඩක් නැහැ ඒවායේ දක්වන උපරිම මිල ක්‍රියාත්මක කළ නොහැකි නම්. අද රටේ මිනිස්සු මිල පාලනය වැඩක් නැහැ යැයි කියන්නේ මිල පාලන ක්‍රියාදාමයේ ඇති වරදක් නිසා නොව එය ක්‍රියාත්මක නොකිරීමේ වරද නිසයි. කොතරම් නීති පැනෙව්වත් ඒවා ක්‍රියාත්මක කරන්නට බැරි නම් පනවා වැඩක් නැහැ. පාලන මිල නිසි පරිදි කළමනාකරණය කිරීමේ සාර්ථක ක්‍රමවේදයක් නැහැ. ඒ නිසයි සියල්ල අවුල් වෙලා තියෙන්නේ. වර්තමානයේ නම් මිල කළමනාකරණය ප්‍රායෝගිකව කිරීමට කොවිඩ්-19 වසංගත තත්ත්වය බාධාවක් වී තිබෙන්න පුළුවන්. ඒත් එය හැමදාම තියෙන එකක් නොවෙයි.

අනිත් අතට මිල පාලනය ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ වගකීමම පාරිභෝගික සේවා අධිකාරියට බාරදීම අසාධාරණයි. එය පාරිභෝගික සේවා අධිකාරියෙන් එහාට ගිය වැඩක්. ඒ ඒ ද්‍රව්‍යවල මිල පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. උදාහරණයක් ලෙස කියනවා නම් සහල් මිල පාලනය කිරීම සඳහා එයට වී අලෙවි මණ්ඩලය මැදිහත් විය යුතු වෙනවා. එහිදී සහල් සඟවාගෙන සිටින අයට එරෙහිව පියවර ගත යුතුයි. එහෙම නැතිනම් මිල පාලනය හෑල්ලුවට ලක්වෙනවා.
සහල්වලින් අපේ රට ස්වයංපෝෂිත බව ලැබෙන නිෂ්පාදන දත්ත අනුව සනාථ වෙනවා. එහෙත් මුළු නිෂ්පාදනයම වෙළෙඳපොළට නොපැමිණීමේ තත්ත්වයක් තියෙනවා. එයට හේතුව කවුරැ හෝ වෙනත් පාර්ශ්වයක් තොග රුස්කර තබා ගැනීමයි. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කර තිබුණා. එහෙත් එය තවම ක්‍රියාත්මක වුණේ නැහැ. මා නම් හිතන්නේ දිගටම ආනයනය කිරීම නරක වුවත් මේ අවස්ථාවේ හාල් ආනයනය කළ යුතු බවයි. එයට හේතුව එහෙම සහල් ගෙනාවොත් වෙළෙඳුන් සඟවාගෙන ඇති තොග පිටතට දැමීමට හේතු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ සහල් ආනයනය කර වෙළෙඳපොළට මුදාහැරීම තමා කළ යුතු හොඳම දේ.

මිල පාලනය කිරීමට පෙර කළ යුතුව තිබුණේ රජය තොග රුස්කර තබා ගැනීමයි. එහෙම රජය සතු සහල් තොග තිබෙනවා නම් ඒවා නිකුත් කරලා වැඩිවන මිල පාලනය කළ හැකියි. නමුත් වෙළෙඳපොළට බලපෑම් කිරීමට තරම් සහල් තොග රජය සතු නොවන නිසා රටට සහල් ආනයනය කළ යුතු වෙනවා. දින 15කට සෑහෙන තරමේවත් සහල් තොග තබාගත යුතුයි. දැන් මිල පාලනයක් තිබුණත් වෙළෙඳපොළේ නාඩු කිලෝව රුපියල් 105 දක්වා ඉහළ ගිහින්. අනිත් සහලුත් එහෙමයි.

සහල් පමණක් නොව සෑම භාණ්ඩයකම මිල පාලනය කරනවා නම් වෙළෙඳුන් සමඟ එකඟතාවක් තිබිය යුතුයි. නියම කරන මිලට දෙන්න පුළුවන්ද කියලා සාකච්ඡා කර තීන්දුවකට ආ යුතුයි. එසේ නැතුව කරැණු සොයා නොබලා රජය මිල පාලනයක් කරනවා නම් එය අසාර්ථක වෙනවා. එයට හේතුව සාධාරණ ලාභයක් තබාගෙන වෙළෙඳුන්ට අලෙවි කිරීමට නොහැකි වීමයි. එවිට ඔවුන් මිල ඉහළ නංවා විකිණීමට පෙළඹෙනවා. මෙවැනි වෙළෙඳුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමෙන් පමණක් මෙය විසඳන්න අමාරැයි. අන්‍යෝන්‍ය එකඟතාවක් ඇතිකර ගත හැකි නම් මිල පාලනය තුළින් පාරිභෝගිකයාට ද, වෙළෙන්ඳාට ද සහනයක් සැලසිය හැකි වෙනවා.

ඒ නිසා මිල පාලනය කරලා ගැසට් කිරීම පමණක් මදි. එම උපරිම මිල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මෙතෙක් කල් මිල පාලනය අසාර්ථක වූවා නම් එයට හේතුව එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකර ගැසට්ටුවට පමණක් සීමා කිරීමයි. එහෙම වූ විට වෙළෙඳුන් ගැසට් එකට බිය නැතිව යනවා. එවිට මිල පාලනය වැඩක් නැති වෙනවා. ඒ නිසා මිල පාලනය කිරීම වගේම එය ක්‍රියාත්මක කිරීමද වැදගත්.

මිල පාලනය අසාර්ථකයි - අදට ගැලපෙන්නේ නැහැ

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

මිල පාලනය අසාර්ථක ක්‍රියාදාමයක්. එය ආර්ථිකයේ යහපතට හේතුවෙලා නැහැ. මිල පාලනයෙන් විවිධ ගැටලු ඇතිවී තිබෙනවා. සුවිශේෂ අවස්ථාවල පැලැස්තර ඇලවීමක් තමා මිල පාලනයෙන් මෙතෙක් කර ඇත්තේ. ඉතිහාසය තුළ මිල පාලනය සම්බන්ධයෙන් විවිධ අත්දැකීම් ඇති රටක් තමා ශ්‍රී ලංකාව.

මිල පාලනය භාණ්ඩ මිල අඩු කිරීමට හේතුවනවාට වඩා එයින් සිදුව ඇත්තේ අහිතකර ප්‍රතිඵලයි. මිල පාලන ප්‍රතිපත්තිය නිසා වෙළෙඳපොළට ගුණාත්මක භාණ්ඩ සැපයීම අඩුවෙලා තියෙනවා. වෙළෙඳුන් වෙළෙඳපොළට මුදාහරින්නේ අඩු මිලට විකිණිය හැකි ප්‍රමිතියෙන් අඩු බාල ද්‍රව්‍යයයි. උදාහරණයක් වශයෙන් කිවහොත් හොඳ ප්‍රමිතියෙන් යුතු රතු කැකුළු වෙනුවට අද ඇත්තේ බාල රතු කැකුළු. සල්ලි තියෙන අයටවත් ගන්න බැහැ වැඩි මිලටවත්. මිල පාලනය නිසා ඒ මිලට ප්‍රමිතියෙන් යුතු හොඳ භාණ්ඩ දෙන්න බැරිවෙලා තියෙනවා. එවැනි සැපයීම් කළ ආයතන වෙළෙඳපොළෙන් අයින් වී ගිහින්. මෙයින් පාරිභෝගිකයා හා නිෂ්පාදකයා යන දෙදෙනාටම පහර වැදී තිබෙනවා. රොඩු බොඩු තමා පාලන මිලට දෙන්නේ. හොඳ භාණ්ඩ ගැනීමේ අයිතිය නැතිවෙලා.

මිල පාලනය කරන්නේ අඩු ආදායම්ලාභී පහළ පන්තියේ ජනතාව ගැන සිතා යැයි පවසනවා නම් එය වැරදි පූර්වාදර්ශයක්. ඒ අයගේ රැකියා සහ ආදායම් මට්ටම ඉහළ දැමීමේ මැදිකාලීන සංවර්ධන ප්‍රතිපත්ති තියෙනවා. ඒවා නොකර එදා වේලට සහන දීමටයි බලන්නේ. එයින් ඔවුන්ට යහපතක් වෙන්නේ නැහැ. ආර්ථිකයට ද හොඳක් නැහැ. මිල පාලනය නිසා ප්‍රශ්න උග්‍රවූවා මිස සහනයක් ලැබෙන්නේ නැහැ.

එසේම මිල පාලනය දේශීය කෘෂිකර්මය නගාසිටුවීමේ ප්‍රතිපත්තියට පටහැනියි. පොල් ගෙඩිය මැන විකිණීම හොඳ උදාහරණයක්. මිල පාලනය නිසා නිෂ්පාදකයාට වගාකරැවාට ගැටලු ඇතිවෙනවා. එය කෘෂිකර්ම සංවර්ධනයට බාධාවක්. ගොවියාට පිරිවැයට සාධාරණ ආදායමක් ගන්න බැරි වෙනවා.

පාලන මිලට දෙන්න බැරි නම් මිල පාලනයෙන් වැඩක් නැහැ. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර භාණ්ඩ ගලා ඒමේදී ඇතිවන මිල වැඩිවීම විශාලයි. සැපයුම් දාමය තුළ ඇති සංකීර්ණතාව වැඩියි. භාණ්ඩ අතින් අතට හුවමාරැ වීමේදී අතරමැදියන් නිසා මිල ඉහළ යනවා. බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට ඍජුව ලැබෙන්නේ නැහැ. වෙනත් පාර්ශ්ව තමා ලාභ ලබන්නේ. එම තත්ත්වය නොසලකා හැර මතුපිට ලක්ෂණවලට පිළියම් යෙදීමෙන් වැඩක් වන්නේ නැහැ. එයට වඩා ගැඹුරට යා යුතුයි.
මිල පාලනය අදට ඔබින්නේ නැහැ. එය යල්පැනගිය ප්‍රතිපත්තියක්. එයින් බලාපොරොත්තු වන සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එය මෙයට වසර 50 – 60කට පෙර අනුගමනය කළ ප්‍රතිපත්තියක්. ඒ කාලයට ඔබින වුවත් අදට ගැලපෙන්නේ නැහැ. අපට මතක හැටියට 70-77 කාලයේ මිල පාලනය දැඩිව ක්‍රියාත්මක වුණත් එය සාර්ථක වූයේ නැහැ. ඒ බව දැන දැනත් මිල පාලනය කරන්නේ ජනතාව සතුටු කිරීමට විය හැකියි. එය ප්‍රායෝගික නොවන නිසා බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අද සිදුවෙලා තියෙන්නේ මිල පාලනය ගැසට් කරලා එම මිලට අලෙවිකරන්නයි කියලා වෙළෙන්ඳාට බල කරන එකයි. ඒ මිල නියාමනය කිරීමේ සැලසුමක් හෝ හැකියාවක් රජයට නැති බව පැහැදිලියි. ඒ නිසා මා නම් හිතන්නේ මිල පාලනය කිරීමට පෙර භාණ්ඩ මිල ඉහළ යන හේතු සොයා බලා ඒවාට විසඳුම් දීමයි කළ යුතු වන්නේ. එයට මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවිය යුතුයි. එහෙම නැතුව මතුපිටින් නීති දමලා භාණ්ඩ මිල අඩු කරන්න යාමෙන් අහිතකර ප්‍රතිඵලයි ලැබෙන්නේ. ඒකපුද්ගල ආදායම වැඩි කිරීම, ආදායම් බෙදී යාමේ විෂමතාව නැති කිරීම ආදී සාර්ථක වැඩපිළිවෙළට දැන්වත් යා යුතු වෙනවා. එහෙම නැතුව ක්ෂණික විසඳුම් දීමට යාමෙන් ගැටලු උග්‍රවීම තමා සිදුවන්නේ.

 

යසවර්ධන රුද්රිගූ