2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

කොවිඩ් කාලේ බස් ගාස්තු සහනය

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මෙරට පොදු ප‍්‍රවාහන සේවයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1978 දී පෞද්ගලික බස් කර්මාන්තය පැමිණීමෙන් එහි වෙනසක් සිදුවිය. අප රටේ සියයට 80ක් පමණ මහජනතාව සිය ගමනාගමන අවශ්‍යතා සපුරාගන්නේ බස්රථ සහ දුම්රිය යන පොදු ප්‍රවාහන සේවා මගිනි. දුම්රිය රටේ සියලුම ස්ථානවලට ගමන් නොගන්නා බැවින් ඒ ඒ පළාත්වල බහුතර ජනතාවට ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගත යුතුව ඇත්තේ බස්රථ මගිනි. එයින්ද වැඩි අනුපාතයක් හිමිවන්නේ පෞද්ගලික බස්රථ සේවාවටය. මීට දශක කිහිපයකට පෙර ලංගමය මහජනතාවට ලබාදුන් සේවාව අද ඉටුකර දෙන්නේ පෞද්ගලික බස්රථ කර්මාන්තයෙනි.

2002 වසරේ සිට මෙරට බස් ගාස්තු අඩු වැඩි කිරීම ගැන සලකා බලන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වෙයි. ඉන්ධන මිල, සේවක වැටුප් හා කර්මාන්තයට බලපාන අදාළ සාධක සලකා බලා ගාස්තු සංශෝධනයට ඉඩ ලැබේ. මගී සේවාවට දරාගත නොහැකි තරමට අනපේක්ෂිතව පිරිවැය ඉහළ යන අවස්ථාවක අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයක් ද දක්වා ඇත.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්තියත් සමගම මෙරට බස්රථ කර්මාන්තයටද කණකොකා හඬන්නට විය. වත්මන් රජය එයට පිළියමක් ලෙස මාස හයක් පුරාවටම බස්රථ හිමියන්ට මෙන්ම අනෙකුත් වාහන හිමිකරුවන්ටද ලීසිං සහනයක් ලබාදුන්හ.

කොරෝනා රෝගයේ දෙවැනි රැල්ල හිස එසවීමත් සමග නැවත වරක් මෙරට සියලුම ක්ෂේත්‍රවල සේවයේ නිරත අයවලුන්ට නැවත වරක් කබලෙන් ලිපට වැටීමට සිදු වූ අතර බස් කර්මාන්ත හිමියන්ද ඊට අයත්ය. කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් කළ යුතු බවට බස් සංගම් පැවසූ අතර ඔවුන් පෙන්වා දුන්නේ අවම බස් ගාස්තුව රුපියල් 20ක් කළ යුතු බවය.

එහෙත් රජය බස් ගාස්තු එකවර ජනතාවට දැරිය නොහැකි බස් ගාස්තු සංශෝධනයකට අනුමැතිය ලබා නොදුන් අතර ඒ වෙනුවට කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් පසුගිය 10 වැනිදා සිට හඳුන්වා දෙනු ලැබීය. මෙම ප්‍රතිපත්ති මාලාව අනුව බස් ගාස්තුවෙහි සුළු වෙනසක් සිදු වුවද කොවිඩ් තත්ත්වය තුරන්වීම තහවුරු කළ පසුව පෙර පැවති ගණනටම බස් ගාස්තුව සංශෝධනය කරන බවද රජය පැවසයි.

අපි බලාපොරොත්තු වූ ගාණ වැඩිවෙලා නෑ
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

කොරෝනා වසංගතය අවසන් වනතෙක් සාමාන්‍ය සේවා බස් ගාස්තුව මෙන් එකහමාර ගුණයකින් සහ අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් කඩිනමින් සිදුවිය යුතු බව තමයි අපේ අදහස. නමුත් මෙම සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වූ ගාණ වැඩිවෙලා නැහැ. මේ කොවිඩ් වසංගතය නිසා බස්රථ කර්මාන්තය සම්පූරණයෙන් කඩා වැටිලා තියෙන්නේ. මෙම බස් ගාස්තු සංශෝධනය සහ කොරෝනා වසංගත සමයේ බස් කර්මාන්තයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් යෝජනාවලියක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පසුගිය 4 වැනිදා බාර දුන්නා. මෙම සංශෝධන අනුව අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුවල වෙනසක් නොකළ යුතු බවත් අධි සුඛෝපභෝගී බස්රථ ගාස්තුව මෙන් 1.25 ක ගාස්තුවක් අය කරන ලෙසට තමයි අපි යෝජනා කළේ. නමුත් කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව තුළ ඒ කිසිවක් වෙලා නැහැ.

මේ සහනය නම් ඇඟටවත් දැනෙන්නෙ නෑ
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්

ආණ්ඩුව බස්රථ කර්මාන්තය සඳහා සහනාධාර ලබා දුන්නා කියන ප්‍රකාශයක් කරලා තිබෙනවා. නමුත් අපි රජයට කියන්න කැමතියි මේ ලබාදුන් සහන ඇඟට දැනෙන්නේ නැති සහන. ඔය ගාස්තු සංශෝධනයෙන් බස්රථ හිමියන්ගේ ගැටලු නිරාකරණය කරන්න බැහැ මේ කොවිඩ් වසංගතය නිසා බස්රථ හිමිකරුවන් කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ ලිසිං සහනය, ඩීසල්වලට සහනයක් මෙන්ම බස් ගාස්තු සංශෝධනය යන සියල්ල ලබාදුන්නොත් මේ කර්මාන්තය නැවත නගා සිටුවීමට පුළුවන්. එසේ නොමැතිව රජය ලබාදුන් මෙම බස් ගාස්තු සංශෝධනයෙන් විතරක් සෑහීමක්ට පත් වීමට නොහැකියි.

බස් කර්මාන්තයට රජයෙන් දෙන සහනයක්
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම හරහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්, දැන් අවම ගාස්තුව රුපියල් 12යි. ඒ නිසා ඒක 14කට ධාවනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් දැනට අපිව දැනුවත් කරලා තියෙන්නේ දෙවැනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණය. මේ සංශෝධිත ගාස්තුවලට අනුව පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේදී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දෙන්න වෙනවා. පෞද්ගලික බස්රථවලට තියෙන මුදල් අවහිරකම හින්දා ලීසිං අයකරන එකත් මාස 6කට නවත්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මඟින් ඒ අයට සහන පොලියට ලක්ෂ 3 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා.

 සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04