2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

ලොක්ඩවුන් - හුදෙකලා නිරෝධාන ඇඳිරිය - සංචරණ සීමා මොනවද මේ?

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ලොක්ඩවුන් කිරීම නැතිනම් හුදෙකලා කිරීම, ඇඳිරිනීතිය අභිබවා ගිය නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම, සංචරණ සීමා පැනවීම හා ගම්මාන, ප්‍රදේශ හෝ පළාත් වශයෙන් වසා තැබීම දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන එහෙත් මෑත ඉතිහාසයේ අසා නුපුරුදු වචන කිහිපයකි. කොරෝනා වසංගතයත් සමග මාධ්‍ය ඔස්සේ නිතර ඇසෙන මේවා ඇතැමුන්ට අපභ්‍රංශය. බොහෝවිට මේ වචන සෞඛ්‍ය අංශ හා පොලීසිය හරහා මහජනතාව දැනුම්වත් කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසාත් භාවිත කෙරෙයි.

ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක ගමන් බිමන් නැතිනම් සංචරණය තහනම් වේ. නිරෝධායන ඇඳිරි නීතිය, ලොක්ඩවුන් හෙවත් හුදෙකලා කිරීමකදීද සංචරණය සපුරා තහනම් වේ. පොලිස් ඇඳිරිනීතිය නොමැතිව නිරෝධායන ඇඳිරිනීතිය හා හුදෙකලා කිරීම මෙන්ම යම් යම් ප්‍රදේශවලින් පිටවීම හා ඇතුළුවීම තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවතී. ඒ අනුව ලොක්ඩවුන් හෝ හුදෙකලා කිරීම නිරෝධායන ඇඳිරිනීතියටත් එහා ගිය බලයක් පවතින්නකි. එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය පරිදි තීරණය කළ හැකිය.

මෙරට වසංගත තත්ත්වයකදී 1897 අංක 3 දරන නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ක්‍රියාකිරීමට රජයට හැකියාව පවතී. එහි 2-3 වගන්ති අනුව විෂය බාර සෞඛ්‍ය අමාත්‍යවරයාට අවස්ථානුකූලව නව නියෝග නිකුත් කිරීමටද බලය ඇත. එම නියෝග උල්ලංඝනය කිරීම පනතේ අංක 4-5 අනූව වරදකි. එහිදී මාස හයක සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් හෝ දෙකම පැනවීමට 2020/10/15 වැනිදා නව ගැසට්ටුවෙන් නීතිය සංශෝධනය කොට තිබේ. 

නිරෝධායනය සම්බන්ධයෙන් මෙරට පවතින ප්‍රධාන ගැසට් පත්‍රය වර්ෂ 1925 අගෝස්තුවේ නිකුත්කොට ඇත. අංක 7481 දරන එහි වසංගත රෝගයක් වළක්වා ගැනීමේ නියෝග අනුව නිසි බලධරයා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නම්කොට ඇත. ඒ අනුව ලංකාවේ බෝවන රෝග වළක්වා ගැනීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම, හුදෙකලා කිරීම, පුද්ගල සංචරණ සීමා පැනවීම, රෝගියකු ගමන්ගත් වාහන බාරයට ගැනීම, විෂබීජහරණයට ලක්කිරීම, රෝගියකු සිටි නිවස ගොඩනැගිල්ල තුළින් ඔවුන් පිටවීම තහනම් කිරීම හා එම ස්ථාන විෂබීජහරණය කිරීම ඇතුළු ප්‍රතිපාදන රැසකි.

මෙකී බලතල කිහිපයක් හෝ ඇවැසි පරිදි සුදුසුම පාර්ශවයකට පැවරීම හරහා ක්‍රියාත්මක කිරීමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හිමිය. එබැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට එම බලය පවරා තිබුණේ ඉකුත් මාර්තු මාසයේදිය. ඒ මෙරට පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තාවීමත් සමගය. මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළමුව ප්‍රකාශයක් නිකුත් කළයුතු අතර පසුගිය මාර්තු මාසයේදී මෙරට වසංගත රෝගී ප්‍රදේශයක් වශයෙන් නම් කෙරිණ.

අංක 7481 ගැසට්ටුව අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම ප්‍රකාශය වලංගු වන්නේ දින 7ක් පමණි. එබැවින් එය වරින්වර සිදුකරන්නට විය. මේ නිසා 2020/10/15 වැනිදා අංක 2197/25 දරන නව ගැසට් නිවේදනය හරහා අංක 7481 සංශෝධනයට ලක්කොට දින 7ක් වලංගු ප්‍රකාශය දිගටම බලාත්මක කොට ඇත. මෙහිදී වසංගත තත්ත්වය මඟහරවා ගැනීමට පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය හා යුදහමුදාව අනුයුක්ත කරවා ගැනීමේ හැකියාව හා බලය පොලිස්පතිවරයා සතුවේ. 1897 ප්‍රකාශිත ගැසට් පත්‍රය සංශෝධනය කරමින් කළ නව ගැසට්ටුට මෙතෙක් සෞඛ්‍ය අංශ ලබාදී තිබූ උපදෙස් නීතියක් වශයෙන් ඇතුළත් කරනු ලැබිණ. මෙහිදී මුඛ ආවරණ පැළඳීම, පිරිසක් අතර ගැවසීමේදී මීටරයක දුරක් තබාගැනීමද ඇතුළත් කොට ඇත. මේ නිසා එම වැරදි සම්බන්ධයෙන් පිරිස් අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසිය සතුවේ.

අංක 7481 සංශෝධනයෙන් සකස්කළ නව නිරෝධායන ගැසට් පත්‍රිකාව හරහා සංචරණය සීමාකිරීම සඳහා හුදෙකලා කිරීම පැහැදිලි ලෙස දක්වා තිබේ. මෙහි රෝගියකු හෝ එසේ සැකකරන අයකු නිරෝධායනයට රුගෙනයාම යොමුකිරීම රැඳී සිටින තැන්වලම නිරෝධායනයට උපදෙස් දීම සඳහා බලය පවතී. එසේම හඳුනාගෙන තිබෙන රෝගී ප්‍රදේශය වෙත ඇතුළුවීම පිටවීම ගමන් කිරීම ප්‍රවාහනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය. මෙවැනි දේ තහනම් ප්‍රදේශවල ආහාර හා ඖෂධ වැනි දෑ ප්‍රවාහනයට හා අලෙවිය සඳහා වෙළෙඳපළ විවෘත කිරීම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන පවත්වාගෙන යාම, කර්මාන්තශාලා පවත්වාගෙන යාම ඒ සඳහා නියමිත ආයතනික ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සේවක පිරිසෙන් 25% හෝ 50% සහභාගී කරවා ගැනීම එම අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගන යාමට දෑත් පිරිසිදු කාරක සැපයීම උෂ්ණත්වය මැන බැලීම තොරතුරු ලේඛනයක් පවත්වා ගැනීම මෙසේ වරින්වර දන්වන නීතී වේ.

තොරතුරු තාක්‍ෂණය උපයෝගි කොටගෙන දත්ත රැස්කිරීමට QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීම නව ප්‍රවණතාවකි. පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වැඩපිළිවෙළ සැකසීමද එවැන්නකි. නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත අනුව ගැසට් නිවේදන හරහා ගෙන එන නීති රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම හා ක්‍රියාවට නැංවීම සඳහාද මෙසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත බලය පවරා ඇත. මේවා උල්ලංඝනය 1897 දණ්ඩ නීති සංග්‍රහය යටතේද දඩ හා දඬුවම්වලට යටත් වේ. මේවා අංක 264 යටතේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය අංක 262 රෝගය බෝකිරීම සඳහා නොසැලකිලිමත් වීම මෙන්ම අංක 263 යටතේ රෝග බෝකිරීමට චේතානාන්විතව කටයුතු කිරීමට එරෙහිව වසර 2ක් දක්වා සිර දඩුවම් නියම කිරීමේ බලය පවතී.

ලොක්ඩවුන් කිරීම නැතිනම් හුදෙකලා කිරීම ඇඳිරිනීතිය අභිබවා ගිය නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම සංචරණ සීමා පැනවීම හා ගම්මාන ප්‍රදේශ හෝ පළාත් වශයෙන් වසාතැබීම විටින් විට වෙනස්වන නව නීති හා ක්‍රියාමාර්ග වැනි අපභ්‍රංශ වූ නුපුරුදු වචනවලට දැන් හේතුව පැහැදිලිය. එබැවින් කොරෝනා වසංගතය හමුවේ නව නීති ආදර්ශයට ගෙන නව සාමාන්‍යකරණයට අප හුරුපුරුදු විය යුතුය.

විශේෂ ස්තූතිය:
පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතාට.

 සමන්ත ප්‍රදීප් විල්තෙර