2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

සංචාරක ව්‍යාපාරය ගොඩ එන දවස!

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

බරපතල ලෙස අර්බුදයට ලක්ව ඇති සංචාරක කර්මාන්තය පිළිබඳ බොහෝදෙනාගේ අවධානය ගිලිහුණු සෙයකි. වසංගතය ආරම්භයේදී සංචාරක කර්මාන්තය පිළිබඳ සමස්ත ලෝකය කතාබහ කළේය. නමුත් අද වනවිට සංචාරකයන්ද සංචාරක කර්මාන්තයේ නියතුවූවෝද බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත්ව සිටිති. මෙරට තුළ තත්ත්වය තවත් භයානකය. එනිසාම අප සංචාරක කර්මාන්තයේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සාකච්ඡාවක් ගොඩනඟාගැනීමට උත්සාහ කෙළෙමු.
පළමුව සංචාරක කර්මාන්තයේ බිඳවැටීම රටක් ලෙස අපට සිදුකර ඇති බලපෑම විමසා බැලීම වටී. පසුගිය වසරේ පාස්කු ප්‍රහාර සමඟ සංචාරක කර්මාන්තය බිඳවැටුණු බව සැබෑය. එහෙත් 2020 වසර ආරම්භ වූයේ සංචාරක කර්මාන්තය පිළිබඳ සුවිශේෂී බලාපොරොත්තු සහිතවය. එනමුදු අද වනවිට පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයේ සංචාරක ඉපැයීම් 63.1%කින් පහළ වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා හෙළිකරයි. එය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි තත්ත්වයකි. කොවිඩ් ආගමනය සමඟ මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටීම ආරම්භ වුයේ මාර්තු 19 වනදා කටුනායක ගුවන්තොටුපළ වසා දැමීම සමඟයි.

මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා මුල් මාස නවයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,376,312 කි. මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 507,311කි. ඒ ද මෙම වසරේ මුල් මාස තුන තුළදී පැමිණි සංචාරකයන්ය. එහෙත් මෙම වසර තුළදී මිලියන දෙකක පමණ සංචාරකයන්ගේ පැමිණීම රටක් ලෙස අප අපේක්ෂා කළෙමු. එය සාධාරණ අපේක්ෂාවක් විය. 2019 වසරේදී මෙරට ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ පෑවද ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) විසින් ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබුණි. දේශපාලන ස්ථාවරයක් ද රටතුළ ගොඩනැගී තිබුණි. කෙසේ නමුත් කොවිඩ් වසංගතය විසින් මෙම සියලු අපේක්ෂාවන් බිඳ දමන ලදී.

මහ බැංකු වාර්තා අනුව පසුගිය වසරේ මුල් මාස නවයේදී සංචාරක කර්මාන්තය උපයාගෙන ඇති ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 2,594කි. ඒ අප්‍රේල් 21 ප්‍රහාරයේ බලපෑමටද යටත්වය. කෙසේ නමුත් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබී ඇති සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 956කි. මෙම සියලු ආදායම් අහිමිවීම් පොදුවේ ජාතික ආර්ථිකය කෙරෙහිද කාර්මාන්තයේ නියතු වූවන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යාම කෙරෙහිද සෘජුව බලපෑම් එල්ලකර තිබේ. සංචාරක හෝටල් හිමියන්ගේ පාර්ශ්වයෙන් අප පළමුව වර්තමාන තත්ත්වය පිළිබඳ විමසා බැලුවෙමු. 

ලොකුම ප්‍රශ්නය වැටුප් ගෙවන එක 

ඒ අනුව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා අප හා සම්බන්ධව විය.

“අපි සංචාරක ක්ෂේත්‍රයේ ඉතාමත් බරපතළ තත්ත්වයක ඉන්නේ. වසංගතය හේතුවෙන් ගුවන් තොටුපළ වසාදැමීම සමඟ සංචාරක සමාගම් එක්ක අපිට කිසිදු ආකාරයක ආයෝජනයක් සිදුකරගත නොහැකියි. එහෙත් අපි සේවකයන්ට වැටුප් ගෙවීම සිදුකරගෙන යනවා. මේ නිසා අපි ඉතාම දුෂ්කර තත්ත්වයක ඉන්නේ. රජයෙන් ඉල්ලනවා කඩිනමින් පොලී රහිතව හෝ සහන පොලී අනුපාතයක් යටතේ මාස හයක ණයක් ලබාදෙන්න කියලා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණාට තාම වැඩසටහන ක්‍රියාත්මක වෙලා නෑ. ආදායමක් නැතුව සේවක වැටුප් ගෙවීම දිගටම සිදුකරගෙන යා නොහැකි කටයුත්තක්. දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය වැටුප් ගෙවීම. ඇතැම් හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම හරහා යම් ආදායමක් ලබනවා. වැටුප් ගෙවීම වෙනුවෙන්. කෙසේ නමුත් රජය දැනට අපි ලබාගත් ණයගෙවීම තාවකාලිකව අත්හිටුවලා විදුලි බිල් ආදිය ගෙවීම ආදියට සහනයක් ලබාදීලා තිබෙනවා. ඒක ලොකු දෙයක් මේ අවස්ථාවේදී. අපි බලාපොරොත්තු වෙනවා ඒ පහසුකම් තවදුරටත් දීර්ඝ කරයි කියලා. මොකද ඇතැම් යන්ත්‍ර උපකරණ සම්පූර්ණ නවතා තැබීමට නොහැකියි. ඒවායේ ලයිට් දාලා තියන්න වෙනවා. කිසිදු ආදායමක් නැතිව හෝටල් වසා තැබුවත් අපිට මේ වියදම් දැරිය යුතු වෙනවා.”

සංචාරක හෝටල් හිමියන් සහ  සංචාරක නියෝජිත ආයතන වෙනුවෙන් මේ වනවිටත් රජය යම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. කෙසේ නමුත් සංචාරක කර්මාන්තයේ නියුතු වූ හෝටල් සේවකයන් විශාල සංඛ්‍යාවකට මේ වනවිටත් රැකියා අහිමි වී තිබේ. රුපියල් දාහතර දහස් පන්සීයක අවම වැටුම හිමිවී ඇත්තේ විධිමත් ලෙස සේවයට ඇතුළු වූ ස්ථිර හෝටල් සේවකයන්ට පමණි. 

අපි ගැන කතා කරන්න කවුරුත් නෑ
මෙම තත්ත්වය පිළිබඳ ප්‍රමුඛ පෙළේ හෝලයක සේවක සංගමයක නිලධාරියකු සමඟ සංවාදයක් ඇතිකර ගතිමු.

“ඇත්තටම ගොඩක් දෙනෙක්ට රැකියා අහිමිවෙලා ඉවරයි.  කවුරුවත් මේ ගැන කතා කරන්නේ නෑ. හෝටල්වල වැඩියෙන් ඉන්නේ ස්ථිර සේවකයෝ නෙවෙයි. තාවකාලිකව පදනම මත බඳවා ගන්න අය. සමහරු සෑහෙන කාලයක් තාවකාලික පදනම මත හෝටල්වල සේවය කළා. සර්විස් බ්‍රේක් කර කර තමා එයාලාගේ සේවය ගත්තේ. හෝටල් සේවය ස්ථිර කරන්නේ නැහැ කියන එක රහසක් නෙවෙයි. ඒත් ස්ථිර නොවුණු නිසා කොවිඩ් එක්ක දහස් ගාණකගේ රැකියා නැතිවුණා. ඒක රටට රහසක්. ආණ්ඩුව බලන්නේ හෝටල් අයිතිකාරයන්ගේ පැත්තෙන්. අනික් අතට හෝටල් සේවකයන් වෙනුවෙන් කතා කරන්න හරිහමන් සංවිධානයක් නෑ. හෝටල්වල ඉස්සර ඉඳලා වෘත්තීය සංවිධාන හදන්න ඔය ලොකු සමාගම් ඉඩ දුන්නේ නෑ. හරිම පහත් විදිහට එයාලා එව්වා මර්දනය කළා. දැන් බලන්න කවුද අපේ අය වෙනුවෙන් කතාකරන්න ඉන්නේ? සංචාරක කර්මාන්තයට සහන දෙනවා කියලා ඔක්කොම සහන දෙන්නේ හෝටල් අයිති අයට. ඇත්තමට ඔය කියන තරම් පාඩුවක් තවම අපට වෙලා නෑ. ලංකාවට සංචාරයෝ එන්නේ සීසන් ඕෆ් සීසන් විදිහට. කොරෝනා ආවේ ඕෆ් සීසන් එකේ. ඕෆ් සීසන් එකට හෝටල් වහන්න සේවකයන්ගේ සර්විස් බ්‍රේක් කරන්න ඔය ගොඩක් ලොක්කෝ කැමතියි.”

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටින මෙම හෝටල් සේවකයා මතුකරනු ලබන කරුණු ද මුළුමනින්ම බැහැර කළ නොහැක. මෑන් පවර් ආයතන විසින් හෝටල් සේවයට එක්කරන ලද බොහෝ දෙනකුගේ රැකියා අහිමි වී ගොස් ඇත්තේ කිසිදු වග විභාගයකින් තොරවය. එසේම හෝටල් සේවයට තාවකාලිකව පදනම මත එක්ව සිටි බොහෝ තරුණ කොටස්වලද රැකියා අහිමිවී ඇත. එහෙත් මෙම තත්වය පිළිබඳ නිශ්චිතව දත්ත හෝ තොරතුරු ගොනුකර ගැනීමක් සිදුවන බවක් පෙන්නට නැත. රට කොවිඩ් සමඟ ඉදිරියට ගමන් කිරීමේ ක්‍රමවේද අනුගත වන්නේ නම් මෙම පිරිස පිළිබඳ සොයාබලා කටයුතු කිරීම බලධාරීගේ වගකීමකි.

මේ අතර සංචාරක කර්මාන්තය බැඳී සිටි තවත් බොහෝදෙනාගේ ජීවනෝපාය මේ වනවිටත් අහිමිවි තිබේ. ඒ අතරින් සංචාරක මගපෙන්නන් සහ සංචාරක රියදුරන් ප්‍රමුඛ පිරිසකි. ස්වයං රැකියාවක ආකෘතිය යටතේ සැකසී තිබූ ඔවුන්ගේ ජීවනෝපාය මේ වනවිට මුළුමනින්ම අහිමි වී ඇත. 


ඒජන්සිවලට ලෝන්: අපට හුළං
එම තත්ත්වය පිළිබඳ විමසීමට අප සංචාරක රියදුරු, මාර්ගෝපදේශක කථිකාචාර්යවරැන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා සම්බන්ධ කර ගතිමු.

“අපි ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණපාල ඉන්නේ. සංචාරක කර්මාන්තයේ නියුතු මාර්ග උපදේශකයන් සහ රියදුරන් වශයෙන් අපි වෙනත් කර්මාන්තයක් ඉගෙන තිබුණේ නෑ. මේක තමා අපි දන්න එකම දේ. මේ කර්මාන්තයයේ අවුරුදු විසිපහක් තිහක් නිරතවුණු අය ඉන්නවා. ගොඩක් දෙනකුට වෙන දෙයකට යොමුවෙන්න බෑ. කවදාවත් කොවිඩ් වසංගතය පාලනය කරලා හොඳ මට්ටමක් එනකල් අපිට මේ ප්‍රශ්නය තිබෙනවා. අපේ පිරිසකට වාහන තිබෙනවා. වාරික ගෙවාගෙන යන්න රජයෙන් ලබාදුන්න සහන පවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා සමහරැ රොටි, පොල් විකුණලා ජීවත්වෙන්න බලනවා. එදිනෙදා කන්න බොන්න දෙක විතරක් යාන්තමට ඒකෙන් හොයාගන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න ජීවිතය පවත්වාගෙන යන්න බෑ.

දැනට මහා පරිමාණ ට්‍රැවල් ඒජන්ට්ලාට වැටුප් දෙන්න ලෝන් රජයෙන් දීලා තියනවා. බදු සහන ලබාදීලා තිබෙනවා. අපි කළේ ස්වයං රැකියාවක් අපිට එහෙම ලෝන් ගන්න විදිහක් නෑ. ආදායම ඔප්පු කර ගන්න විදිහක් නෑ. අපි රජයෙන් සහන ඉල්ලලා තියනවා. ලක්ෂ දහයක උපරිමයකට යටත්වෙන පරිදි අවම පොලියකට ණය මුදලක් ලබාදෙන්න කියලා. තවමත් කිසිම ප්‍රතිචාරයක් නෑ. අපි මහ බැංකුව, මහ භාණ්ඩාගාරය සමඟ කතා කරාම ඒ අය කියන්නේ මුදල් නෑ කියලා. දැන් මාස අටක් විතර ආදායමක් නැතිව අපි ජීවත් වුණා. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි පිරිසක් විදිහට අපිට එක් අවස්ථාවකදී රුපියල් විසිදාහක් හම්බවුණා. කොහොම වුණත් අවම පොලියකට ණයක් ලැබෙනවා නම් ස්වයං රැකියාවක් හරි පටන් ගන්න මුදලක් යොදවන්න පුළුවන්.”

කෙසේ නමුත් මෙරට සංචාරක මග පෙන්වන්නන් බහුතරයකට මෙන්ම සංචාරක රියදුරන් බහුතරයකට නිසි ලියාපදිංචියක් හෝ පිළිගැනීමක් නැත. එම නිසාම රැපියල් විසිදහසේ දීමනාවද ලැබුණේ අතලොස්සටය. 

එදා සහරාන් ගැහැව්වා: මෙදා කොවිඩ් ගැහැව්වා
මෙම දීමනාව නොලැබුණු වෙරළ නියාමකවරයකුගෙන් (Beach Boy) අපි කරුණු විමසා සිටියෙමු.

“අපිට මොනවත් ලැබුණේ නෑ. ආණ්ඩුවෙන් දුන්න රුපියල් පන්දාහ විතරයි. සුනාමි ආවම ගෙස්ට්ලා හරියට උදව් කළා. දැන් කවුරුත් නෑ. සමහරු එක එක බිස්නස් කරනවා. ඒත් මේ කාලේ මොනවත් හරියට කරන්න බෑනේ. අපි බීච් එකේ සෑහෙන කාලයක් ඉන්නවා. කීපදෙනාටයි ගයිඩ් ලයිෂන් තියෙන්නේ. ගොඩක් අයට නෑ. හැබයි අපිත් ඔය ටුවරිස්ට් බෝඩ් එකෙන් තිබ්බ එක වැඩමුළුවට ගිහිල්ලා තිබෙනවා. ඒ වුණාට අපිට අර විසිදාහ දුන්නේ නෑ. අපි විතරක් නෙවෙයි මේ වැල්ලේ රෙදි විකුණන, එක එක ටොයිස් කෑලී විකුණන කී දෙනෙක් හිටියාද? ඒ කාටවත් විශේෂයෙන් මුකුත් ලැබුණේ නෑ. ගිය අවුරැද්දේ සහරාන් ගැහුවා. මේ අවුරුද්දේ කොරෝනා ගැහුවා. අපිට ගෙස්ට්ලා කතා කරනවා. කොවිඩ් මොනවා තිබුණත් සමහරු ලංකාවට එන්න අහනවා. එයාර්පෝට් එක අරින්නේ නැද්ද කියලා අහනවා. අපි ඉල්ලන්නේ මෙච්චරයි, කොහොම හරි ටුවරිසම් පටන් ගන්න ක්‍රමයක් හදන්න.”

සංචාරක කර්මාන්තය සමඟ බැඳුණු කඩසාප්පු ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මෙරට පවතීයි. ඒ අනුව කිසිදු සංගණනයක් නොවුණද ලක්ෂ ගණනකගේ ජීවන වෘත්තිය මේ වනවිටත් අහිමි වී ගොස් ඇති බව පැහැදිලිය. ස්වර්ණාභරණ, මැණික්, බතික්, වෙස්මුහුණු, වෙරළ ක්‍රීඩා ආදී ක්ෂේත්‍ර රැසක බිඳවැටීම පිළිබඳ බලධාරීන්ට ඇත්තේ කවර පරිමාවක අවබෝධයක්ද යන්න අපට සැකයකි. කෙසේ නමුත් මෙරට සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම පහසුකම් කටයුත්තක් නොවන බව නම් පැහැදිලිය.

කොවිඩ් වසංගතය සමඟ වුවද ලෝකයේ රටවල් කිහිපයක් සංචාරක කර්මාන්තය පවත්වා ගැනීමට උත්සහ දරන බව පෙනී යයි. කොවිඩ් වසංගතය යටතේ නිව් නෝමල් හෙවත් නව සාමාන්‍යකරණයට යටත්ව සංචාරක කර්මාන්තය පවත්වා ගෙනයාම සම්බන්ධව රටක් ලෙස අපද අවධානය යොමුකිරීමට වැදගත්ය. මෙහිදී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා දැක්වූ අදහසක් අපි අවසාන වශයෙන් මතුකරමු.

“ඇතැම් රටවල් මේ වනවිට (ට්‍රැවල් කොරිඩෝ), ට්‍රැවල් බබල් වගේ දේවල් ආරම්භ කරලා තියනවා. මාලදිවයින, තායිලන්තය, සිංගප්පූරුව වගේ රටවල් ඉතාමත් සාර්ථකයි. සංචාරකයන් ඒ රටවලට ඇවිල්ලා තිබෙනවා. අපි සංගමයක් විදිහට රජයට යෝජනා කරලා තියනවා මෙවැනි දෙයක් හෝ සිදුකිරීමට. සංචාරක අමාත්‍යාංශ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා නිසි සීමාසහිතව සංචාරක කර්මාන්තය ආරම්භ කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.”

කොවිඩ් වසංගතය මිනිස් සංහතියේ පාලනයට යටත් කරන තුරු අප පෙර අත්විඳි ලෝකය එලෙසම තවදුරටත් යථාර්ථයක් නොවන බව සැබෑවකි. එහෙත් කොවිඩ් සමඟ ජීවත් වීමේ කතාව දැන් අප උගත යුතුය. එය අද මුළු මහත් ලෝකයම පිළිගෙන තිබේ. එම නිසාම එම යථාර්ථය සංචාරක කර්මාන්තයටද ගලපා ගන්නේ නම් අපුරුය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04