
මිනිසුන් ලෙස උත්පත්තිය ලද ඔබත් මමත් කවර තරාතිරමක, කවර සමාජ පන්තියක, කවර ජනවර්ගයකට හෝ ආගමකට අයත්ව ජීවත් වුවත් මිනිසකු ලෙස ඔබට ඇති ආත්මගරුත්වයට පුද්ගල අභිමානයට හා පුරවැසි අයිතියට කිසිවෙකුට අල්පමාත්‍රයකින් හෝ වාචිකවත් භෞතිකවත් පහර ගසන්නට කිසිදු මානවීය යුතුකමක් හෝ අයිතියක් නොමැති වග අපි සනිටුහන් කර තබමු. ඒ විෂයෙහි කිසිදු තර්කයක් හෝ විවාදයක් මා සතු නැත. එහෙත් නීතිය යුක්තිය හා සාධාරණය පසිඳන කවර විනිශ්චය සභාවක වුව පෝරකය නියම වූ වරදකරුට පවා තමන් වෙනුවෙන්, තම අයිතිය නිදහස හා හෘද සාක්ෂිය වෙනුවෙන් යමක් ප්‍රකාශ කරන්නට ඇත්නම් එයද උත්තරීතර මනුෂ්‍ය අයිතීන් අතරට එක්විය යුතු ප්‍රජා අයිතියකි. අත්‍යන්තයෙන්ම සමාජයක හතරවැනි පාලකයා ලෙස, සිව්වැනි පෙරටුගාමී ධාවක බලවේගය ලෙස හඳුන්වන මාධ්‍ය කවර සිද්ධියක් පසුපස හෝ හඹායාමේදී අපක්ෂපාතී හෝ අපචාරශීලී නොවිය යුතු අතර යම් සිද්ධියකදී සෑම පාර්ශ්වයකම හඬට සාධාරණ ඉඩක් දීමට තරම් ලිබරල්වාදී හා ඍජු ප්‍රතිපත්තියක සිට හැසිරිය යුතුය.
මානවයා සුදු, අළු සහ කළු වශයෙන් පුද්ගල චර්යාවන් සිතුවිලි අනුව වර්ග කරන්නේ නම් මිනිසකුගේ චර්යාවන් හා සිතුවිලි ධනාත්මක බවින් හෝ ශුභවාදී සහෘදත්වයෙන් ඉහළ සීමාවක පවතී නම් ඔහු සතු දුර්වලතා අඩුපාඩුකම් ඉවසමින් ඔහු පරමාදර්ශී චරිතයක් ලෙස හඟින්නට සමාජය පසුබට නොවන බවට සංනිදර්ශන කොතෙකුත්ය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණී සේනානායක විසින් ඉකුත් දිනෙක පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කරමින් සිටියේ ඔහු තමාට පහරදුන් බවත් තම දරුගැබ ගබ්සා කරගන්නා ලෙස තමාට බලපෑම් කළ බවත්ය.
මේ ඇගේ හඬයි...
2020 පෙබරවාරි 29 වැනිදා තමා මම පත්වීම් ලැබ කරාපිටිය ශික්ෂණ රෝහලට ආවේ. මම මුලින්ම එහි වෙනත් ඒකකයකට අනුයුක්තව සිටියත් පසුව ක්‍රිෂාන්ත පෙරේරා සර්ගේ ඒකකයට අනුයුක්ත කළා. සර් මම එතෙන්ට ආව පළමු දවසේම කීවා බබෙක් ඉන්නවා නේද ඔයාට. එහෙනම් LRT (වන්ද්‍යාකරණ) සැත්කමක් කරගන්න කියලා. මම කීවා සර් ඒක මගේ තීරණයක් සර්ට ඒකට බලපෑම් කරන්න බෑ කියලා. ඇයි තමුසෙ සාෆි විරෝධියෙක්ද කියලා සර් ඒ වෙලාවේ මගෙන් ඇහුවා. සර් වැඩකරද්දී මගෙ විතරක් නොවෙයි හැමෝගෙම කනෙන් අදිනවා. ටොකු අනිනවා. ඒ ඒකකයේ වෛද්‍යවරු හෙදියන් හුඟ දෙනෙක් ඒ තමා සර්ගේ ස්වභාවය. සර් හරි වගේ ස්ථාවරයක ඉන්නේ. මටත් කීවා ඒ ක්‍රමයට හැඩ ගැහෙන්න කියලා.
මම වරක් අත්‍යවශ්‍ය දේකට නිවාඩුවක් ඉල්ලුවම ඒ වෙලාවේ හා කියලා පසුව වෛද්‍යවරයෙක් අතේ පණිවිඩයක් එව්වා මගේ යුනිට් එකේ වැඩ කරනවා නම් නිවාඩු ගන්න බෑ. ඩිරෙක්ටර්ට කියලා එහෙනම් වෙන යුනිට් එකකට යන්න කියලා. සැප්තැම්බර් මාසයේ දවසක ඩොක්ටර් ක්‍රිෂාන්ත පෙරේරා තියටර් එකේදී මට හොඳටම අල්ලගෙන ගැහුවා. ඒ අතර ඔහු මට කීවා මම ප්‍රෙග්නන්ට් වුණොත් ඇබෝට් කරනවා කියලා. ඒක කියද්දී මම දෙලෝ රත්වුණා. මොකද ඒ වෙද්දිත් මම ප්‍රෙග්නට්. ඔක්තෝබර් 18 ඉරිදා උදේ මම රෝගියෙක් ගැන විස්තර කරද්දී මගේ හිසේ වම්පැත්තට වෛද්‍යවරයා මට පහරක් එල්ල කළා. තමුසෙට ගහන්නේ බූරුවෝ කරන වැඩ නිසා කියලා කීවා. ඉන්පසු මම තවත් ඉවසන්නෙ නෑ කියලා තීරණය කරලා ඩිරෙක්ටර්ට ලිඛිතව මේ සියල්ල පැමිණිලි කළා. මේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණී සේනානායක මාධ්‍ය හමුවේ කී කතාවයි.
‛"
පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා සර් යටතේ මම වසර ගණනක් සේවය කළා. එතුමා එංගලන්තයේ විශේෂඥ පුහුණුව ලද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. අවුරුදු විසිඑකක් එතුමා කරාපිටිය රෝහලේ සේවය කරන්නේ. වචනයෙන් කියන්න බැරි තරම් විශාල සේවයක් සර් කරන්නේ. ඒ රෝහලට විතරක් නෙවෙයි දකුණු පළාතටම එතුමා සේවයක් කරනවා. සර් ඉතාම දක්ෂ වෛද්‍යවරයෙක්. පිළිකා රෝගීන් දහස් ගණනක් සුවපත් කළ වෛද්‍යවරයෙක්. සුව කළ නොහැකියැයි සිතූ රෝගීන් පවා සර් සුවකරලා තියෙනවා. දානපතියන්, ශ්‍රී ලංකා පිළිකා සංගමය, හිතවතුන් එකතු කරගෙන සර් මිලියන 60ක වියදමින් කරාපිටිය රෝහලේ සහන පිළිකා සත්කාරක ඒකකයක් පිහිටෙව්වා. සුවකළ නොහැකි පිළිකා රෝගීන්ට ගෞරව පූර්ව මරණයක් හිමිකරදීම තමා සර්ගේ අපේක්ෂාව.
උදේ 6.30 වෙද්දී සර් රෝහලට එනවා. හවස 4.00 විතර වෙනකම් රෝහලේ ඉන්නවා. රෝගීන් ගැන හරි උනන්දුවෙන් බලනවා. සලකනවා. සර්ට චෝදනාව එල්ල කරන වෛද්‍යවරිය කැපවීමෙන් රාජකාරි කළ වෛද්‍යවරියක් ලෙස අපි පිළිගන්නේ නෑ. 18 ඉරිදා ඇය ඔය කියන දවසේ වකුගඩුවක් ඉවත්කරපු සංකූලතා රුසකින් පෙළුණු රෝගියෙක් හිටියා. සර් හැමවිටම ඒ රෝගියා ඉතා පරිස්සමින් බලාගන්න කීවේ ඔහු සංකූලතා රැසකින් පෙළුණු නිසා. සර් එද්දී රෝගියා කිරි බොනවා. සර් ඒ වෙලාවේත් කියලා තියෙනවා මෙයාව බලාගන්න පරිස්සමින් කියලා. සර් ආයෙත් උඩට ගිහින් එද්දිත් ඒ රෝගියා ආයේ වතුර බොනවා. සර්ට ඒ වෙලාවේ හොඳටම තරහා ගිහින් තියෙනවා. එදා වාට්ටුවේ ඉඳලා තියෙන්නේ ඩොක්ටර් සාගරිකා දිලුක්ෂණී සේනානායක. සර් ඒ වෙලාවේ බැනලා තියෙනවා. සර් තරහ ගන්න මනුස්සයෙක් වගේම හරිම සංවේදී මනුස්සයෙක්. රෝහල් අධ්‍යක්ෂකතුමාටත් සර් ඉතා තදින් හා ඍජුව රෝහලේ දුර්වලතා පෙන්වලා දෙනවා. පරිපාලනය සමඟ වුණත් සාධාරණ ප්‍රශ්න මත ගැටුම් ඇති කර ගන්නවා. සර් හැමදාම ෙරා්ගීන්ගේ අයිතිය සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් බයනැතුව කතාකරපු මනුස්සයෙක්. ඒ නිසාම රෝහලේ අධ්‍යක්ෂතුමා සර්ට තරහයි. ඒ නිසා ඇය පැමිණිල්ල කළ වහාම විමසා බැලීමකින් තොරව සර්ට එරෙහිව ඒ පැමිණිල්ල දඩමීමා කරගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එය වාසියට පෙරළා ගත්තා. ඇය කාන්තා හා ළමා කාර්යාංශයට ගිහින් පැමිණිල්ල දැම්මා. ඒත් කාර්ය මණ්ඩලය හෝ රෝගීන් කිසිවෙක් සාක්කි දෙන්නේ නෑ ඇය කියන ආකාරයේ සිදුවීමක් වූ බවට.
ඇයට එල්.ආර්.ටී. සැත්කමක් කරගන්න කීව වෙලාවේ මමත් එතන හිටියා. ඒ ඇය පැමිණි පළමු දවස. එදා සර් කුරුණෑගල ඉඳන් ඇය ආ බව දන්න නිසා සාෆි විරෝධියෙක්ද අහලා ළමයි ඉන්නවා නම් එල්.ආර්.ටී. සැත්කමක් කරගන්න කියලා කීවේ විහිළුවට. ඒ බව මම වගකීමෙන් කියනවා. සර්ගේ බිරිඳ නීතිඥවරියක්. දුව වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය රෝහලට එනවා. ඇයටත් නීතිය එකයි. ඇය එන වෙලාව පහුවුණත් සර් දුව කියලා ඇයට සමාව දෙන්නේ නෑ. ඒ වගේම සර් ගාව හිටපු හුඟක් අය විශේෂඥ වෛද්‍යවරු ලෙස සේවයට සුදුසුකම් ලැබුණේ සර් නිසා. විභාග කරද්දී පාඩම් කරන්න මාසයක් විතර නිවාඩු දෙනවා. දිරිගන්වනවා. සර් අපිට සැලකුවේ දරුවන්ට වගේ.
ඒ ඔහුගේ හඬයි.
කවුද මේ ජ්‍යෙෂ්ඨ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා... ඔහු කවුද යන්න පිළිබඳව නොව ඔහු එදා මෙදාතුර කළ අතිවිශිෂ්ට වෘත්තීය සේවය කවරක්ද යන්න අපි සටහන් කර තබමු.
1999 ජූනි මස සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පත්වූ පළමු පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස තම සේවය ඇරඹි ඔහු 2007 වසරේදී ඔහුගේ අප්‍රතිහත ධෛර්ය මත සෞඛ්‍ය අමාත්‍යංශ හරහා කුඩා තනිමහල් පිළිකා සත්කාර ඒකකය වෙනුවට සිවුමහල් ගොඩනැගිල්ලක් ලබාගන්නා ලදී. නිවාඩුවක් නොගෙන උදෑසනම රාජකාරියට පැමිණ හවස් වනතුරුම රෝගීන් ගැන විමසමින් කටයුතු කිරීම ඔහුගේ දෛනික දින චර්යාව විය. විරුද්ධ විය යුතු තැන ඔහු කවර දෙයට වුවද ඍජුවම විරුද්ධත්වය ප්‍රකාශ කළේය. පිළිකා ඒකකයට රථගාල් පහසුකම් තිබියදීත් ඒකකයට ඇතුළුවන මාර්ගය දෙපස සමහර වෛද්‍යවරු අධ්‍යක්ෂවරයාගේ තහනමද නොතකා තම වාහන නවතා තිබියදී රෝගී ප්‍රවාහන ගිලන් රථවලට එකවර ඒකකයට ළඟාවිය නොහැකි බැවින් එසේ වාහන නැවතීම තහනම් කරන ලෙස රෝහල් අංශයට උපදෙස් දී එම නීතිය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. 2015 වසරේදී Colors of Courage Trust පදනම සමඟ සාකච්ඡා කර Trail Walk ව්‍යාපෘතිය හරහා ඔහු නවීන පහසුකම් සහිත මහල් දහයක පිළිකා ඒකකයක් කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාගැනීම මුළුමහත් දකුණු පළාතම ලද ජයග්‍රහණයක් වැන්න. වර්තමානයෙහි එහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතී.
2019 වසරේ ජූනි මස සහන සත්කාර මධ්‍යස්ථාන අරමුදල අරඹා ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව සමඟ එක්ව රාජ්‍ය සහ මහජන ආධාර මගින් ලංකාවේ රජයේ රෝහලක් තුළ ඉදිකළ පළමු පිළිකා සහන සත්කාරක මධ්‍යස්ථානය ලෙස එම ඒකකය මාස අටක් තුළ 2020 මාර්තු 18 වන දින රෝගී සත්කාරයන් සඳහා විවෘත කිරීම පිටුපස ඇත්තේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාගේ අප්‍රතිහත ධෛර්යයි. එම අරමුදල සඳහා ඔහු මිලියන හතරක පෞද්ගලික ධන පරිත්‍යාගයක්ද කර තිබේ. පිළිකා ශල්‍යකර්ම සේවාවන්වලට අමතරව හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට දෙස් විදෙස් පුහුණව ලබාදී සහන සත්කාරක, වේදනා නිවාරණ, තුවාල සහ ස්ටෝමා මෙන්ම පියයුරු රෝග සහ විශේෂිත සායන අරඹා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට මූලික වූ ඔහු කිසිදු විටෙක තම රාජකාරි වේලවන් තුළ පෞද්ගලික සේවාවේ නොයෙදුණු වෛද්‍යවරයකු ලෙසටද ප්‍රකටය.
රෝගී සත්කාරක සේවා කඩවීම් මෙන්ම කාර්ය මණ්ඩල අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හා ඔවුන්ගේ පෞද්ගලික ගැටලුවලදීද පෙරමුණ ගෙන ක්‍රියාකරන ඔහු කිසිදු විටෙක ඖෂධ සමාගම්වලින් වරප්‍රසාද ලබානොගන්නා වෛද්‍යවරයකු ලෙසද ක්ෂේත්‍රයේ සෙස්සන් අතර ප්‍රකට චරිතයකි. එමෙන්ම කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දන්නා කාරණයක් වන්නේ ඕනෑම අවස්ථාවක මෙම විශේෂඥ වෛද්‍යවරු හා වෙනත් රෝගීන්ගේ සේවා කටයුතු සඳහාද තම ශල්‍යාගාරය සහ පිළිකා දැඩි සත්කාර ඒකකයේ ඉඩපහසුකම් ලබාදෙන බවය.
කිසිදු චරිතයකට ප්‍රශස්ති ගායනා කිරීමට අපි නොවෙහෙසෙමු. එහෙත් ඔහු මෙතෙක් කළ සේවාව නිවැරදිවම මෙසේ අල්පමාත්‍ර වශයෙන් හෝ සටහන් කර තැබුවේ එය අපක්ෂපාතී යුතුකමක් සේම වගකීමක් ලෙස අප විශ්වාස කළ හෙයිනි. මක් නිසාද යත් මේ රටේ බහුතර දුප්පත් ජනතාවගේ මුදලින් සරසවියට ගොස් ලබාගත් වෛද්‍ය උපාධියට සහ හිපොක්‍රටීස් දිවුරුමට ඔහු හෘද සාක්ෂියට එකඟ මෙහෙවරක් කර ඇති බැවිනි. ආඥාදායකයෙක් වුව මෙහෙවර සොඳුරු වෙත්නම් එය නිර්ලෝභීවම අගය කළ යුතුමය.
හෘද සාක්ෂිය තරම් ප්‍රබල අධිකරණයක් තවත් නැත. ඔබම විනිසුරු වී ඔබම ඔබව විමසන්න. ඒ අධිකරණය ඉදිරියේ ඔබ වැරදිකරුද නිවැරදිකරුද යන්න ඔබ තීරණය කරන්න.
දැනට වැඩකටයුතු අරඹා ඉදිකරමින් පවතින මහල් දහයකින් යුතු සියලු පහසුකම් සහිත පිළිකා රෝහල් ගොඩනැගිල්ල මෙතුමා විසින් ස්වේච්ඡා සංවිධාන යොමුකොට ඉදිකරනු ලබන්නකි.
මෙවැනි සුවිශේෂී කාර්යයන් පිළිබඳව නොරැස්සන සංවිධානගත සුළු පිරිසකගේ අවශ්‍යතාවය මත මෙතුමාට යම් යම් චෝදනා ඉදිරිපත් කර කරාපිටිය පිළිකා ඒකකයෙන් ඉවත්කර යැවීමට ඉතා පහත් උත්සාහයක යෙදෙන බව අපහට දැනගැනීමට ලැබී ඇත.
මෙබඳු සංවිධානගත පිරිස්වල අදහස් ඉටුකළහොත් එය සමස්ථ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහිම බලපාන නරක පූර්වාදර්ශයක් වනවාට නොඅනුමානය.
එබැවින් මෙම වෛද්‍යවරයාගේ සේවය දකුණු පළාතටම තිබෙන එකම පිළිකා ඒකකයට අහිමිවිම වළක්වා දෙන ලෙස දකුණු පළාතේ අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
රුවී සේනාධිත්