2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

කොවිඩ් අස්සේ පොළොන්නරුවේ පිපාසේ

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

රජරට ගම්බිම්වලට නියඟයේ සැහැසි, රුදුරු බව තවමත් තදින්ම දැනෙමින් තිබේ. ඒ වියළි අහස් කුස යට වෙසෙන බොහෝ දෙනා මේ දිනවල නිරතව සිටිනුයේ දිය පවස නිවාගැන්ම සඳහා දිය බිඳක් සපයා ගැන්මේ නිරන්තර  සටනක බව කිවහොත් නිවැරදිය. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් 60,000කට වැඩි පිරිසක් පානීය ජල හිඟයෙන් පෙළෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. එම ජනතාවට බීමට අවැසි ජලය මේ වනවිට සපයා දෙනු ලබන්නේ බවුසර් මගිනි. 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ටම මෙම පානීය ජල හිඟය බලපා තිබෙන අතර මෙයින් වැඩිම පිරිසක් වෙසෙනුයේ වැලිකන්ද, මැදිරිගිරිය සහ දිඹුලාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල බවද අනාවරණය විය.
බවුසරයේ පිහිටෙන් දිය පවස නිවාගන්නා බහුතරයක් ජනයා වෙසෙන වැලිකන්ද ප‍්‍රදේශයට අප ගිය ගමනේදී ඔවුන් කියා සිටියේ ජීවිත කාලය පුරාවට නියං සමයේ බීමට දිය පොදක් සපයා ගැනීමට නොහැකිව පීඩා විඳින ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන්නට මෙතෙක් බලයට පැමිණි සෑම රජයක්ම අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවයි.

ජල යෝජනාවේ මුල්ගල එහෙමමයි

වැලිකන්ද, සිංහපුර, පැරකුම්යාය ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු ඩබ්ලිව්.එම්. සමන්තිකා සරෝජනී (37) මහත්මිය:

අපිට වතුර ප‍්‍රශ්නය බලපාලා තියෙන්නේ අද, ඊයේ නෙවෙයි. දීර්ඝකාලයක ඉඳලා. ඒ වගේම එක ගමක දෙකක විතරක් නෙවෙයි අහල ගම් ගණනාවක තියෙන මූලික ප‍්‍රශ්නයක් තමයි මේක. ඒ ඇරුණම අලින්ගේ හිරිහැරය. මේ ප‍්‍රශ්න දෙකට නිසි විසඳුමක් දෙනවා නම් අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අපේ ගමේ පානීය ජල ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්න කියලා පානීය ජල යෝජනා ක‍්‍රමයක් ආරම්භ කළා. 2012 අවුරුද්දේ. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති කාලේ තමා ඇවිල්ල මුල්ගල තිබ්බේ. කඩිනම් ව්‍යාපෘතියක් විදියට ඒ අවුරුද්දෙම වැඩ අවසන් කරනවා කියලා කිව්වා. නමුත් තාමත් ඒ ව්‍යාපෘතිය එහෙමමයි. අපේ ගමට අදටත් වතුර නෑ. එතුමා ජනාධිපති කාලේවත් ඒකේ වැඩ ඉවර කළේ නෑ. පායන කාලෙට අපේ ළිං හිඳෙනවා. එතකොට මහවැලි ඇළේ වතුර තමා බොන්නේ. බවුසරෙන් වතුර අරන් එනකල් අපි මඟ බලාගෙන ඉන්නවා.

බොන වතුර ගන්නේ සල්ලි දීලා

වැලිකන්ද, අසේලපුර ගම්මානයේ වෙසෙන එස්.එම්. සෝමරත්න (48) මහතා:

මම මේ ගමට පදිංචියට ඇවිල්ලා අවුරුදු 15ක් විතර වෙනවා. එදා ඉඳලා මේ වතුර ප‍්‍රශ්නෙ අපිට තියෙනවා. පායන කාලෙට ළිං හිඳිලා බොන්න වතුර නැතිවෙනවා. සල්ලි දීලා සමහරු බොන්න වතුර ගන්නවා. ගමේ හැමෝටම මේ වතුර ප‍්‍රශ්නය තියෙනවා. අපේ එකම ඉල්ලීම මේ ජල හිඟයට නිසි විසඳුමක් දෙන්න කියන එකයි.

ජල හිඟයෙන් අපි හෙම්බත්

කේ.ටී. සිරියාවතී (56) මහත්මිය අපට මුණගැසුනේ වැලිකන්ද, අසේලපුර ගම්මානයේදීය.

අපි මේ මහවැලි ගම්මානවල පදිංචියට ඇවිල්ලා අවුරුදු 30ක් විතර වෙනවා. එදා ඉඳලා අද වෙනතෙක් වතුර ප‍්‍රශ්නය තියෙනවා. අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි පායන කාලයට අපේ ළිං හිඳිලා වතුර හිඟවෙන එක. මේ තත්ත්වය අද, ඊයේ නෙවෙයි අවුරුදු 25ක් 30ක් තිස්සේ මුහුණ දෙන දෙයක්. කාලයක් තිස්සේ අපි කොටින්ගෙන් බැට කෑවා. දැන් අලින්ගෙන් බැට කනවා. ඒ කාලෙත් වතුර ප‍්‍රශ්නය අපිට තිබුණා. දැන් වන අලි ගම්වදින එකයි, බොන්න වතුර ටිකක් නැති එකයි තමා අපිට තියෙන ලොකුම පීඩාව. දැන් ඉතින් අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ මේ ප‍්‍රශ්න වලින්. ඒ නිසා දැන්වත් මේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

දුක් විඳලා ඇතිවෙලා

වැලිකන්ද, රුවන්පිටිය ගම්මානයේදී අපට මුණගැසුණ ටී.එච්. දයාවතී (79) මහත්මිය මෙසේ පැවැසුවාය.

මේ ගමේ පවුල් 50ක් විතර ජීවත් වෙනවා. මහවැලියෙන් ඉඩම් ලැබිලා අපි මේ ගමට ආවේ 1993 අවුරුද්දේ. එතකොට කොටි කලබල දරුණුවටම තිබුණු කාලේ. අපි ඇති තරම් කොටින්ගෙන් බැටකෑවා. වතුර ප‍්‍රශ්නයත් එදා ඉඳලම තිබුණා. කොටි කරදර ඉවරයි. නමුත් මේ වතුර ප‍්‍රශ්නේ කවදා ඉවර වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. දැන් ඉතින් මේ දුක්විඳලා අපිට ඇතිවෙලා තියෙන්නේ. අපේ දරුවන්ටත් ඉතින් ඒ සන්තෑසියම තමා” යැයි ඇය කීවාය.

අලි-කොටි හිරිහැර මදිවට බොන්න වතුරත් නෑ

කොළඹ මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ පිහිටි අසේලපුර හන්දියේ තේ කඩයක් පවත්වාගෙන යන 60 හැවිරිදි කේ.ටී.ඩී. පියුම්සිරි මහතාද මහවැලි ජනපදිකයෙකි.

මතුගම, අගලවත්ත ප‍්‍රදේශයේ සිට හෙතෙම වැලිකන්ද අසේලපුර ගම්මානය වෙත පැමිණ ඇත්තේ 1993 වසරේදීය. &එදා ඉඳලා අද දක්වාම අපි වතුර නැති ප‍්‍රශ්නයෙන් දුක් විඳිනවා. මෙතෙක් මේ රටේ බලයට ආපු කිසිම රජයකට පුළුවන් වුණේ නෑ මේ ප‍්‍රශනයට තිරසාර විසඳුමක් දෙන්න. ඒක ඉතාම කණගාටුවට කාරණයක්. වතුර ප‍්‍රශ්නය වගේම තවත් ප‍්‍රශ්න ගොඩකට අපි ආදා ඉඳලා මැදිවුණා. කොටින්ගෙන් මදි නොකියන්න බැට කෑවා. කොටි කරදර ඉවර වුණා. දැන් අලින්ගේ හිරිහැරයි වතුර නැතිකමයි නිසා අපි පීඩා විඳිනවා. මේ දිස්ත‍්‍රික්කය රටේ ජනාධිපති කෙනෙක් හිටිය දිස්ත‍්‍රික්කයක්. නමුත් අපේ මේ වතුර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් දෙන්න බැරි වුණා. වතුර ප‍්‍රශ්නෙන් පීඩා විඳන ජනතාව තමයි මේ වැලිකන්ද පුරාවට ඉන්නේ. ඒ අය ජීවත්වෙන ගම්මාන මැදින් මහවැලි ගඟ ගලාගෙන මහ මුහුදට යනවා. නමුත් ජනාධිපතිතුමාටවත් බැරි වුණා ඒ වතුර ප‍්‍රයෝජනයට අරගෙන මේ ගම්වල මිනිස්සුන්ට බොන්න වතුර පහසුකමක් ඇති කරලා දෙන්න. අපි මේ ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා හරි මේ දේ අපිට කරලා දෙන්න. කිසිම ප‍්‍රයෝජනයක් නොගෙන මේ මහ මුහුදට ගලාගෙන යන මහවැලි ගඟේ වතුර ටික අපිට බොන්න ගන්න වැඩපිළිවෙලක් හදන්න. ඒකයි අපි ඉල්ලන එකම ඉල්ලීම.

බවුසර් 26කින් හැකිතරම් ජලය බෙදනවා

පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතාගෙන් මෙම පානීය ජල ගැටලුව පිළිබඳව විමසූවිට ඔහු කියා සිටියේ පවතින වියළි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පානීය ජල හිඟය බලපා තිබෙන බවයි. වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එය වැඩි වශයෙන් බලපා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා ප‍්‍රකාශ කළේ තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, ලංකාපුර, ඇලහැර සහ මැදිරිගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග‍්‍රාම නිලධාරී වසම් 79ක වෙසෙන පවුල් 16,875ක 60,000ක පමණ පිරිසක් මේ වනවිට පානීය ජල හිඟයට මුහුණ පා සිටින බවයි. වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානීය ජල හිඟයට මුහුණ පා සිටින පිරිස 17,575කි. ඔවුහු පවුල් 5,618කට අයත් වන අතර වෙසෙන ග‍්‍රාම නිලධාරී වසම් ගණන 15කි. මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානීය ජල හිඟය බලපා තිබෙන පිරිස 13,167කි. පවුල් සංඛ්‍යාව 3,285ක් වන අතර ඔවුහු ග‍්‍රාම නිලධාරී වසම් 13 කට අයත්ය. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 20ක වෙසෙන පවුල් 3,368කට අයත් පුද්ගල සංඛ්‍යාව 11,124ක් බව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂවරයා  සඳහන් කළේය. හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද පවුල් 1,690ක පුද්ගලයින් 6,000කට පානීය ජල හිඟය බලපා තිබෙන අතර ඔවුහු ග‍්‍රාම නිලධාරී වසම් 08කට අයත් වෙති. 

තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 805ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳින අතර ඔවුහු පවුල් 220කට අයත්ය. එම පිරිස ග‍්‍රාම නිලධාරී වසම් 05ක වෙසෙති. ඇලහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 02ක වෙසෙන පවුල් 68කට අයත් පුද්ගලයන් 211ක් සහ ලංකාපුර ප‍්‍ර‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 16ක පවුල් 2,536කට අයත් පුද්ගලයන් 8,998 දෙනෙකුද පානීය ජල හිඟයට මුහුණ පා සිටින බවට වාර්තා වී තිබේ.

මේ සියලුම දෙනාට අවශ්‍ය පානීය ජලය පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ. ධර්මසිරි මහතාගේ උපදෙස් පරිදි බවුසර් මගින් බෙදා හැරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. ඒ අනුව දෛනිකව ජලය බෙදාහැරීම සඳහා බවුසර් 26ක් යොදවා ඇතැයිද ජලය ලීටර් 468,000ක ප‍්‍රමාණයක් දිනකට බෙදාහරින බවද ඒ මහතා කීය. 

වසරේ වැඩිකාලයක් මුහුණදෙන මෙම පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම පාහේ මුවින් නැගෙනුයේ එකම දුක් අඳෝනාවකි. ඔවුන් ඉල්ලා සිටිනුයේ   සෑම  වසරකම පාහේ තමන් මේ අන්දමට පානීය ජල හිඟයෙන් පීඩා විඳින කාරණයට පිළියමක් යොදන්නට ප‍්‍රමාද වී හෝ පියවර ගන්නා ලෙසයි. එම නිසි ජල සම්පාදන ක‍්‍රමයක් මගින් එය ඉටු කිරීමට හැකි ජල මූලාශයෙකින්ද වැලිකන්ද පොහොසත් බැව් මේ ගමනේදී ගම්මුන් අපට කියා සිටියහ. එනම් තම ගමබිම් පසුකර මහ මුහුදට ගලා යන මහවැලි ගඟයි. ඒ මහා ජලකඳ ප‍්‍රයෝජනයට ගෙන මෙම පානීය ජල හිඟයට තිරසර විසඳුමක් ලබාදෙන ලෙස එම ජනතාව රජයෙන් ඉල්ලා සිටියහ. වගකිවයුත්තන්ගෙන් ඒ ගැන කොතෙකුත් ඉල්ලීම් කළද සැවොම මෙතෙක් කටයුතු කර ඇත්තේ නෑසූ කන් ඇතිව බව අපටද පැහැදිලි වූ කරුණකි.

 කරුණාරත්න ගමගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04