2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ලෝකෙටම ගිය පානදුර වෙරළේ තල්මස් මෙහෙයුම

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා පානදුර ප්‍රධාන මුහුදු වෙරළ තීරය පාළුවට ගොස් පැවතුණි. නමුත් පසුගිය 2දා දහවල් කාලයේ සිට මුහුද ඔස්සේ පැමිණෙන අමුත්තන් පිරිසක් නිසා වෙරළේ පාළුව බිඳී ගියේය. මේ අමුත්තන් ගැන කටකතාව පැතිරීම නිසා උන් දැකගැනීමට අවට ජනතාව 500ක පමණ පිරිසක්ද වෙරළට රොක් වූහ. මෙසේ වෙරළ ආසන්නයට පැමිණ සිටියේ කළුමහ යනුවෙන් හඳුන්වන කෙටිවරල් නියමු තල්මසුන් (Short finned Pilot whale) 60කට අධික රංචුවකි. මෙතරම් විශාල තල්මස් රංචුවක් පානදුර වෙරළට පැමිණ සිටියේ ප්‍රථම වතාවටය.

තද කළු පැහැති සිරැරකින් යුක්ත මොවුන් පිරිස අඩි 10 සිට 25 දක්වා දිගැති විය. මේ තල්මසුන් වෙරළට පැමිණි විගස උන් නැවත මුහුදට යොමුකළ යුතුය. උන් වෙරළට ගොඩගැසුවොත් ශරීරයට අනතුරැ සිදුවන අතර නැවත මුහුදට යොමු කිරීම අසීරැවේ. මේ නිසා සිදුවන්නේ උන් මියයාමයි. කොවිඩ් 19 අවදානම පවා නොතකා මේ ක්ෂීරපායී සත්ව රංචුවගේ ජීවිත බේරාදීමේ මෙහෙයුමට රාජ්‍ය අංශ මෙන්ම පෞද්ගලික අංශද විශාල කැපවීමක් කළේය. එම මෙහෙයුම පිළිබඳ සමාජ මාධ්‍යවල මෙන්ම අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද කතාකරනු පෙනුණි.

මේ ස්ථානයට ගොස් එම මෙහෙයුමට දායක වූ පරිසරවේදී නයනක රන්වැල්ල තම අත්දැකීම අපට විස්තර කළේ මෙලෙසයි.

හවස 3.00 පමණ වනවිට තමයි, මුලින්ම තල්මසුන් ඇවිත් තියෙන්නේ. 50කට වැඩි රංචුවක් සිටි බව කියැවුණා. මම යනවිට ඉතිරිවෙලා සිටියේ 18 දෙනයි. කළුමහ තල්මසා වැඩිපුර ජීවත්වෙන්නේ මුලතිව්, ත්‍රිකුණාමලය වගේ නැගෙනහිර මුහුදේ. බස්නාහිර සහ දකුණේ උන් අඩුයි. අප යනකොට වෙරළ ආසන්නයේ 8 දෙනකුත් තරමත් එහා තවත් පිරිසකුත් සිටියා. තල්මස්සු බේරාගෙන ඈත මුහුදට යොමුකිරීමට විශාල පිරිසක් ඉදිරිපත් වීම ඇත්තටම සතුටට කරැණක්. වනජීවී අමාත්‍යවරයා වගේම රාජ්‍ය අමාත්‍යවරයාත් මෙතැනට ඇවිදින් කටයුතු සොයාබලනු පෙනුණා. පානදුර වෙරළාරක්ෂක පොලීසිය, නාවික හමුදාවේ වෙරළාරක්ෂක අංශය, නාරා ආයතනය, ධීවර අමාත්‍යංශය වගේම සාමාන්‍ය ධීවර ජනතාවත්, පරිසරවේදීනුත් මේ අවස්ථාවේ විශාල කැපකිරීමක් කළා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් ඇවිදින් තත්ත්වය නිරීක්ෂණය කරනු පෙනුණා.

මේ තල්මසුන් වෙරළෙන් ඈතට යොමු කිරීම පහසු කරුණක් නොවෙයි. උන් වෙරළේ හිටියොත් මියයනවා. සාගරජීවී විද්‍යාඥ ප්‍රසන්න වීරක්කොඩි උපදෙස් දුන්නේ මේ පිරිස කඹවලින් බැඳ බෝට්ටුවලින් ඇදගෙන දියඹට රැගෙන යා යුතු බවයි.

තල්මසුන් වෙරළේ මැරී සිටින අවස්ථා අපට මෙයට පෙර විටින් විට අසන්නට ලැබී තිබේ. එලෙස තල්මසුන් මියගොස් සිටියේ උන්ව ඈත මුහුදට රුගෙන යාමට ක්ෂණිකව ක්‍රියාත්මක නොවූ නිසා වන්නට පුළුවන. මුහුදේ දැවැන්තයා මෙන්ම ලොව විශාලතම ක්ෂීරපායි සත්වයාද වන තල්මසා කඹ යොදා ඇදගෙන ගොස් බේරාගැනීම ගැන පූර්ව අත්දැකීම් අපට නැත.

බෝට්ටු සැපයීමට නාවික හමුදාව වගේම ධීවර අමාත්‍යංශයත් ඉදිරිපත් වුණා. නමුත් ඒ බෝට්ටු විශාල නිසා වෙරළට රැගෙන ඒම අපහසු නිසා පෞද්ගලික ආයතනයකින් සැපයුණු බෝට්ටු මේ සඳහා යොදාගත්තා. තල්මසුන්ගේ වරල්වලට කඹ යොදා හානියක් නොවන පරිදි බෝට්ටුවලින් දියඹට ඇදගෙන ගියා. නමුත් මේ අතරින් තල්මසුන් දෙදෙනෙක් කොපමණ වාරයක් මුහුදට ගෙනගොස් දැමුවත් නැවත පැමිණෙන්නට පටන් ගත්තා. රාත්‍රී 12.00 පමණ වනතෙක් තල්මසුන් අඩි 45ක් ගැඹුරු මුහුදට රැගෙන යාම සිදුවුණා.

මම දකින්නේ මේක ඉතා විශිෂ්ට ගලවා ගැනීමේ මෙහෙයුමක් කියලා. ආරක්ෂක අංශ වගේම අනෙක් රාජ්‍ය ආයතනත් පෞද්ගලික අංශත් රාජකාරි මට්ටමින් කළ දෙයක් නොවේ. මේ අහිංසක සතුන් බේරාගැනිමේ උවමනාව මතම කළ මෙහෙයක්. නාවික හමුදාවේ පමණක් 200කට ආසන්න නිලධාරීන් පිරිසක් ඇවිත් හිටියා. නාවික හමුදාව තම ජීවිතය පවා පරදුවට තබා මහ රෑ තල්මසුන් මුහුදට යොමුකිරීමට උත්සාහ ගත්තා. අවසානයේ වෙරළේ සිටි තල්මසුන් දෙදෙනෙක් හැර අනෙක් සියල්ල මුහුදට යැවීමට හැකියාව ලැබුණා. සිරුරේ තුවාල තිබුණ තල්මසුන් දෙදෙනෙක් පමණක් මියගියා.

සමුද්‍ර ජෛවවේදී ආචාර්ය ආශා ඩී වොස් මේ පිළිබඳව සඳහන් කරමින්, ලෝකය පුරා මෙහෙම සිද්ධි සිදුවෙනවා. තල්මසා කියන සාගර ජීවියා පවුල් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා එක තල්මසෙක් කුමන හෝ හේතුවක් නිසා වෙරළට ආවොත් අනික් පිරිසත් ඒ පසුපස එන්න වැඩි ඉඩක් පවතිනවා. ඔවුන් එකිනෙකා අතර පවතින සම්බන්ධතාව ප්‍රබල නිසා. මොවුන් වෙරළට පැමිණ පැය 2-3 අතර කාලයකදී නැවත මුහුදට තල්ලු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම වෙරළේ සිටින අවස්ථාවේදී උන්ව රුකබලා ගත යුතු ආකාරයකුත් තිබෙනවා. වෙරළෙන් මුහුදට යොමුකිරීමත් සුරක්ෂිතව කළ යුතුයි.

තල්මසා ගමන්මඟ සොයාගන්නේ සෝනාර් තරංග නිකුත් කිරීමෙනි. උන් ගැඹුරු මුහුදෙන් ඉවත්වූ විට මාර්ගය සොයාගැනීම නොහැකි වේ. මේ නිසා උන්ව ගැඹුරැ මුහුදට යොමුකළ යුතුය. මොනතරම් අවදානමක් තිබුණත් දුකේදී කරදරයකදී එකමුතු වීම අපේ සිරිතකි. තල්මසුන් රංචුව බේරාගැනීමට විශාල පිරිසක් එකමුතු වූයේ ඒ පුරුද්දට යයි අපට සිතුණි

ලංකාවේ මුහුදු සීමාවේ තල්මස් වර්ග 26ක් ජීවත් වෙති. බෙංගාල බොක්ක සිට අරාබි මුහුද දක්වා සාගර කලාපය තුළ වැඩිපුරම කෑම තිබෙන්නේ ලංකා මුහුදු සීමාවේ නිසා තල්මසුන් ලංකා මුහුදට රොද බඳිති. මේ නිසා කල්පිටිය, අම්බලන්ගොඩ, මිරිස්ස වැනි ප්‍රදේශවල තල්මසුන් නැරඹීම ඉතා ජනප්‍රිය වී තිබේ.

පානදුරට පැමිණි කෙටි වරල් නියමු තල්මසා දිගින් මීටර් 7.2 දක්වාද බරින් කි.ග්‍රෑ. 3600 දක්වාද වැඩෙන සත්වයෙකි. ගැඹුරැ මුහුදේ චීටා නමින්ද ඌ හඳුන්වන්නේ වේගයෙන් පිහිනීමේ හැකියාව නිසාය. උන්ගේ ආයුෂ වර්ෂ 45 (පිරිමි සතුන්) හා වර්ෂ 60 (ගැහැණු සතුන්) වශයෙන් වේ. පසුගිය සැප්තැම්බරයේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවේ පිටිසරබද වෙරළකට මෙම තල්මස් විශේෂයෙන් 470 දෙනෙක් පැමිණ සිටියහ. උන් බේරාගැනීම සඳහා කළ මෙහෙයුමෙන් 110 දෙනෙකුගේ දිවි සුරුකුණු අතර සෙසු පිරිස මියගියහ. පානදුරේ තල්මසුන්ගෙන් 4 දෙනෙක් මියගොස් ඇති බව පසුව වාර්තාවිය.

 කුසුම්සිරි විජයවර්ධන

සේයාරූ: අන්තර්ජාලයෙනි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04