2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

රටම වහන්න වෙයිද?

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට කඩාවැදුණු මුල් අවස්ථාව තුළ අපේ ජනතාවගේ හැසිරීම ඉතා බුද්ධිමත් විය. කිසිවකු මුඛ ආවරණ නැතිව ගෙයින් එළියට ගියේ නැත. සංචාර නැවතිණි. උත්සව නැවැතිණි. වෛද්‍ය උපදේශ අකුරටම පිළිපැදීමට සියල්ලෝම එකඟ වී සිටියහ. එහෙත් කෙමෙන් කෙමෙන් ජනතාවගෙන් මෙම පුරැදු ඈත්විය. කාර්යාල ඉදිරිපිට ඇති ජල කරාම හා විෂබීජ නාශක කිසිවකු පාවිච්චි නොකළ අතර මුඛ ආවරණ සාක්කුවල නැවතිණි. අවසානයේ සිදුවූයේ නැවත වරක් මෙරට කොවිඩ් දෙවැනි රැල්ලට කොටුවීමය.

කොවිඩ් 19 සමඟ ජීවත් වන්න. ආරක්ෂාව හා පරිස්සම තබාගන්න! විශේෂඥයන්ගේ උපදේශනය එය වී තිබේ. වසංගතයට බියෙන් ජනජීවිතය අත්හළ යුතු නැත. ස්වකීය වගකීම් හා යුතුකම් මඟහැරිය යුතු නැත. එහෙත් ආරක්ෂාව හා පරිස්සම උපරිමයෙන් පවත්වාගත යුතුය. කොරෝනා මැඬීමට ඇති එකම බෙහෙත ස්වයං විනයයි. ස්වයං විනය වනාහි නීතිරීති පනවා කළ යුතු කාර්යයක් නොවේ. අවදානමක් මතුව ඇති බව දැන තම තමන් ආරක්ෂා වීමට කටයුතු කිරීමෙන් තමන් මෙන්ම මුළුරටම රෝග ව්‍යසනයකට ඇදී යා හැකි මඟ අහුරනු ඇත.

තම තමන්ගේ ආරක්ෂාව ගැන එතරම් නොතකන මුත් “ඇයි මෙතරම් අවදානමක් තිබෙද්දි රට ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි?” දැයි විමසන බොහෝ දෙනෙක් ඇත. එමෙන්ම රටටම ඇඳිරි නීතිය දමා තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ මන්දැයි තවත් පිරිසක් විමසති. එහෙත් රජය සහ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ රට වසා දමා එදිනෙදා රටෙහි කටයුතු අකර්මණ්‍ය කළ නොහැකි බවය.

උපදෙස් පිළිපැද්දොත් රට වහන්න ඕනෑ නෑ

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැහැ. රටේ බහුතර ජනතාව අත්විඳින ගැටලු ගැන අවධානය යොමුකොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතුයි.

රට ඉදිරියට ගෙන යාම සහ දෛනික ආදායම මගින් ජීවත්වන ජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධවද ජනාධිපතිවරයා පසුගිය කොවිඩ් මර්ධන කමිටුවේදී අවධානය යොමු කළා. රට විවෘත කිරීමෙන් පසුව මහජනතාව කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත්, වෛරසය පතුරැවන පුද්ගලයෙකු නොවීමේ වගකීමත් ඇත්තේ මහජනතාවටමයි. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන උපදෙස් නිසිපරිදි පිළිපැදීම මගින් වෛරසයෙන් බේරී සිටීමට ජනතාවට හැකියි.

ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම කනගාටුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

කොවිඩ් රෝගින් පොකුරැ වශයෙන් හඳුනාගැනෙන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුවත් රට වසා දැමීමේ කිසිදු සැලැස්මක් තවම නැහැ. අපි සෞඛ්‍ය අංශ සමග එක්වෙලා මේ රෝගය හැකිතාක් දුරට පාලනය කරන ගමන් රටේ ඉදිරි වැඩ කටයුතු රට අකර්මණ්‍ය කරන්නේ නැතුව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කියන්න කණගාටුයි ඇතැම් ජනතාව සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් පිළිපදින්නේ නැහැ. ඇතැමුන් සේවා අවශ්‍යතා මත සංචරණය කරනවා එය වැරදියි. මොකද අපි යම් යම් බල ප්‍රදේශ සීමා කරමින් කරන්නේ මේ රෝගය පාලනය කිරීමට මෙන්ම පැතිරීයාම වැළැක්වීමට කටයුතු කිරීමට. ජනතාව එය තේරැම් ගත යුතුයි. බස්නාහිර පළාතට සේවා අවශ්‍යතාවයකට හැර එන්න එපා කියලා අපි කියලා තිබෙනවා. මොකද දැනට මෙරට විශාලම පොකුරැ දෙක පැතිරී ගොස් තියෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත් ඇතැමුන් සේවා අවශ්‍යතා මුල් කරගෙන පැමිණෙනවා. එය විශාලා බාධාවක්. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මෙය මැඩපවත්වනකම් ගමන් බිමන් හැකිතාක් සීමා කරලා නිවෙස්වලට වී රැඳී සිටින්න කියලා තමයි අපි ජනතාවට කියන්නේ. එකවර රටම වැහුවොත් රටේ වැඩකටයුතු සම්පූර්ණයෙන් ඇණහිටිනවා. ඒ නිසා අපි රට සම්පූර්ණයෙන් වසාදැමීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ජනතාවත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන වගවිය යුතුයි.

හරි තීන්දු හරි වෙලාවට ගත්තාදැයි සැකයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ

කොවිඩ් 19 ගෝලීය  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ මොකද රටක් වැසීමෙන් ඒ රට තුළ ජනතාවගේ මන්දපෝෂණය, ද්‍රරිද්‍රතාවය ඉහළ යනවා මිසක් ජනතාවට ඇති වන යහපතක් නැහැ. නමුත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේදී නිවැරදිව ගතයුතු තීරණ නියමිත වේලාවට ගත යුතුයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වන අවස්ථාවේදීද මෙරට බලධාරින් නිවැරදි තීන්දුව හරි වේලාවට ක්‍රියාත්මක කළාද, යන්න මේ වනවිට සැකයක් පවතිනවා. එහිදී නිසි සම්බන්ධිකරණයක් තිබුණ නම් මෙය මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ. එමෙන්ම කොවිඩ් රෝගීන් වාර්තා වී එය අඩු වී යන විට වැඩි වැඩියෙන් සමාජය තුළ අහඹු ලෙස PCR පරීක්ෂණ කළයුතු බව මුල් අවස්ථාවේදීම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියා. නමුත් එය ඇතැම් විශේෂඥ වෛද්‍යවරැන්ගේ උපදෙස් මත සිදුවූයේ නැහැ. කොහොම වුණත් රට වසා දමා ජනතාවගේ ජන ජීවිතය කඩා වැටෙනවාට වඩා ජනතාව ආරක්ෂා වුණා නම් එය වඩාත් සාර්ථකයි.

සටහන: හසිත් අංජන
සේයාරෑ I සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04