ලෝක බලවතා වන ඇමරිකාවේ 59 වැනි ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙම ලිපිය ලියන සිකුරාදා දිනය වනතෙක් ප්‍රකාශයට පත්ව නොතිබිණි. ඇමෙරිකානු ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 44ක ප්‍රතිඵල නිකුත් වී තිබූ අතර ඒ අනුව ජෝ බයිඩන් ඡන්ද ගණ 253ක ජය හිමිකරගෙන තිබූ අතර ට්‍රම්ප් ඡන්ද ගණ 214ක් දිනා සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෑම වසර හතරකට වරක් පැවැත්වෙන්නකි. එය නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළැඹෙන පළමුවැනි අඟහරැවාදා දිනයේ පැවැත්වීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව මෙවර එම දිනය නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබිණි.
වෙනත් රටවල මෙන් නොව ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් වන්නේ සෘජුවම ජනතා ඡන්දයෙන් නොවේ. ජනතාව තම තමන්ගේ ප්‍රාන්ත සඳහා ඡන්ද ගණ (Electoral College) නමින් හැඳින්වෙන සාමාජිකයන් කණ්ඩායමක් පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කරති. එරට ඇති ප්‍රාන්ත 50ට ඡන්ද ගණ දෙක බැගින් 100ක් ඇති අතර ජන අනුපාතය අනුව තවත් ඡන්ද ගණ 438 පවතී. කිසියම් ප්‍රාන්තයක බහුතර ඡන්දය දිනාගන්නා අපේක්ෂකයාට එම ප්‍රාන්තයේ සමස්ත ඡන්ද ගණ සංඛ්‍යාව හිමිවෙයි. ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලබන්නේ එලෙස පත්වන ඡන්ද ගණ සංඛ්‍යාව මගිනි. ජනාධිපතිවරණය ජය ගැනීමට නම් එක් අපේක්ෂකයකු සමස්ත ඡන්ද ගණ සංඛ්‍යාව වන 538න් අඩක් ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත යුතුය. එනම් අවම වශයෙන් ඡන්ද ගණ 270ක බලය හිමිකර ගත යුතු වේ.
ඇමෙරිකානු දේශපාලන ක්‍රමය තුළ ආධිපත්‍යය පතුරැවාලන්නේ පක්ෂ දෙකක් පමණි. ඒ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකය. එබැවින් සැමවිටම ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා මෙම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ. රිපබ්ලිකන් පක්ෂය යනු ඇමරිකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂය වන අතර මෙවර ඔවුන්ගේ පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. රිපබ්ලිකන්වරුන්ගේ ලාංඡනය අලියාය. වර්ණය රතුය. ඩිමොක්‍රටික් පක්ෂය යනු ඇමෙරිකාවේ ලිබරල් දේශපාලන පක්ෂයයි. ඔවුන්ගේ අපේක්ෂකයා වූයේ 1970 දසකයේ සිට දේශපාලනයේ නිරතව සිටින අත්දැකීම් බහුල දේශපාලනඥයකු මෙන්ම හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් පුරා සේවය කළ ජෝ බයිඩන්ය. ඩිමොක්‍රටිකයන්ගේ ලාංඡනය බූරුවාය. වර්ණය නිල්ය. තවත් සුළු පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද තරගය පවතින්නේ අලියා හා බූරුවා අතරය.
මෙවර ජනාධිපතිවරණ පැවැත්වුණේ ඇමෙරිකාව කොවිඩ් 19 වසංගතයේ ප්‍රධානම ගොදුරක් බවට පත්ව තිබූ වාතාවරණයක් යටතේය. මැතිවරණ දිනයේ පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර එරටින් හමුවූ සමස්ත ආසාදිතයන් පිරිස 98 ලක්ෂය ඉක්මවා තිබිණි. මැතිවරණ සතියේ පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හයක් විය. එම තත්ත්වය යටතේ වුවද මෙවර ජනාධිපති තරගය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබිණි. ගත වූ හැට වසර පුරාම ප්‍රථමයෙන් ඡන්දය ප්‍රකාශ කළ ඇමෙරිකානු ගම්මානය වූයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ඩික්ස්විල් නොච් නමැති ගම්මානයයි. එම වාර්තාව මෙවරද ඉදිරියට ගෙන යමින් ප්‍රථමයෙන්ම ඡන්දය භාවිත කළේ එම ගම්මානයේ වැසියන් කිහිප දෙනාය.
ජනාධිපතිවරණ දිනයට පෙර සිටම ඡන්දදායකයන් විශාල පිරිසක් තම ඡන්දය භාවිත කර තිබිණි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් තැපැල් ඡන්දදායකයෝ වූහ. මැතිවරණ දිනයට පෙර දිනය වන විට මිලියන 100කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර අවසන්ව තිබිණි. ගතවූ සියවස තුළ මැතිවරණ දිනයට පෙර භාවිත වූ වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙස එම ඡන්ද සංඛ්‍යාව වාර්තා ගත වෙයි.
පසුගිය නොවැම්බර් 2දා වන තෙක් ජනාධිපති අපේක්ෂකයන්ගේ අවසන් රුලි පැවැත්විණි. එහිදී ජෝ බයිඩන්ගේ අවසන් රැලිය පෙන්සිල්වේනියාවේදී පැවැති අතර ඔහුගේ සංවිධායකයන් කොවිඩ් 19න් ආරක්ෂා වීම සඳහා දුරස්ථකරණ නීතිරීති අනුගමනය කරමින් පවත්වන ලද අතර ප්‍රාන්ත පහක පැවැති ට්‍රම්ප්ගේ අවසන් රැලිවලදී ඔහුගේ සංවිධායකයන් කොවිඩ්වලින් ආරක්ෂා වීමේ නීති කිසිවක් එම රැලි අනුගමනය නොකළ බැව් පෙනෙන්නට තිබිණි.
ඇමෙරිකාවේ සමස්ත ජනගහණය මිලියන 328.7 පමණ වේ. එම සංඛ්‍යාවෙන් ඡන්දය හිමි පිරිස මිලියන 240කි. මෙවර ජනාධිපතිවරණයේදී මිලියන 160කට අධික පිරිසක් ඡන්දය භාවිත කර ඇතැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘති ඒකකය සඳහන් කර තිබේ. ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 66.9%කි. 1900 වසරින් පසු මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ වුණු පළමු අවස්ථාව මෙය යැයි එම මැතිවරණ ව්‍යාපෘති ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
පූර්ව අනාවැකිවලට අනුව ජෝ බයිඩන් ජයගනු ඇතැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය. කෙසේ වුවද ආරම්භයේ සිටම ජනාධිපතිවරණය කරට කර පැවැතියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් තම දෙවැනි ධුර කාලය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ පළමු වරට ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දුන් දිනයේ සිටය. එතැන් සිට දෙවැනි ධුර කාලය සඳහා තරග වැදීම සඳහා ඔහු විවිධ සැලසුම් හැදුවේය. එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් පළමු ධුරකාලයේදීම ඔහුගේ ජනප්‍රියත්වය හීන විය. ඔහු දළ වශයෙන් ඩොලර් මිලියන 596ක් මැතිවරණය සඳහා වැය කර ඇතැයි පැවසේ. එම මුදල්වලින් විශාල ප්‍රමාණයක් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ලද පරිත්‍යාග වේ.
ජෝ බයිඩන්ටද ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී තිබේ. පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු හට එතරම් මූල්‍යමය පරිත්‍යාගයක් ලද පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. ට්‍රම්ප් පරාජය කිරීම සඳහා ඩිමොක්‍රටිකයන්ගේ උද්‍යෝගය ඉහළ නංවමින් බයිඩන් තම ප්‍රචාරක කටයුතු ව්‍යාප්ත කර තිබූ අතර ඒ සඳහා ඔහු වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 938කි.
මෙවර මැතිවරණය සඳහා වැයවී ඇති සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 14කි. එය 2016 ජනාධිපතිවරණයට වැය කළ මුදල මෙන් දෙගුණයකි. දේශපාලන ප්‍රතිචාරමය මධ්‍යස්ථානය (Center for Responsive Politics) මගින් මැතිවරණයට පෙර තක්සේරැ කර තිබුණේ ජනාධිපතිවරණය සඳහා ඩොලර් බිලියන 11 කට ආසන්න මුදලක් වැයවනු ඇති බවයි. එහෙත් අවසාන මාස කිහිපය තුළ පක්ෂ දෙකටම අසාමාන්‍ය ලෙස මූල්‍යමය පරිත්‍යාග ලැබීම මත මැතිවරණ දිනයට සති කිහිපයක් තිබියදී වැය ප්‍රමාණය ඩොලර් බිලියන 14 දක්වා වැඩි විය. ඒ අනුව 2020 ජනාධිපතිවරණය මෙතෙක් පැවැති මිල අධිකම ජනාධිපතිවරණය ලෙස වාර්තා ගත වෙයි. නවජනාධිපතිවරයා 2021 ජනවාරි 20 වැනි දින සිය ධුරයේ දිවුරැම් දීමට නියමිතය.
නොවැම්බර් 4 වැනිදා වනවිට වොෂින්ටන්, මේරිලන්ඩ්, මැසචුසෙට්ස්, නිව්ජර්සි, නිව්යෝක්, කොලරාඩෝ, නිව් මෙක්සිකෝ, නිව් හැම්ප්ෂයර්, ඉලිනොයිස්, කැලිෆෝනියා ඔරිගන් වැනි ප්‍රාන්තවල ජය ජෝ බයිඩන්ට හිමිව තිබිණි. ඉන්දියානා, කෙන්ටකි, ඔක්ලහෝමා, වර්ජීනියා, උතුරැ හා දකුණු ඩැකෝටා, ඇලබාමා, දකුණු කැරොලයිනා, නෙබ්‍රස්කා, කැන්සාස්, උටා සහ මිසූරි මිසිසිපි වැනි ප්‍රාන්තවල ජය ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගත්තේය. ප්‍රාන්ත 34ක ඡන්ද ප්‍රතිඵල අනුව ජෝ බයිඩ්න් ඡන්ද ගණ 205කද ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද ගණ 136කද ජය හිමිකරගෙන තිබිණි. එහෙත් ඉන් පසු නිකුත් වූ අයෝවා, ඔහායෝ, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් යන ජනපදවල ප්‍රතිඵලවලින් ට්‍රම්ප් ඉදිරියට පැමිණියේය. නොවැම්බර් 4 වැනි දින ප්‍රතිඵල නිකුත් කිරීම නතර කරන විට ප්‍රාන්ත 50න් 41ක ප්‍රතිඵල නිකුත් වී තිබූ අතර බයිඩන් ඡන්ද ගණ 238ක් ජයගෙන තිබූ අතර ට්‍රම්ප් 213ක් ජයගෙන තිබිණි.
ඇරිසෝනා, පෙන්සිල්වේනියා, ජෝර්ජියා, උතුරැ කැරොලයිනා, ඇරිසෝනා, නෙවාඩා යන ප්‍රාන්ත හයේ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා රාත්‍රිය වන තෙක්ම ගණන් කර අවසන් වී නොතිබිණි. එම ප්‍රාන්ත හයේ ප්‍රතිඵල නිකුත් නොවී තිබුණද ඒ වන විටත් ජෝ බයිඩන් ඇමෙරිකානු ඉතිහාසයේ අපේක්ෂකයකු හිමි කරගත් වැඩිම ඡන්ද සංඛ්‍යව හිමි කරගෙන සිටියේය. ඔහු හිමිකරගෙන තිබූ ඡන්ද සංඛ්‍යාව මිලියන 71කි. 2008 දී හිටපු ජනාධිපති බැරක් ඔබාමා ලබා ගත් ඡන්ද මිලියන 69යේ වාර්තාව ඔහු විසින් බිඳ දමා තිබිණි. ඒ වන විට බයිඩන්ට ඡන්ද ගණ 264ක බලය හිමි වී තිබිණි. බයිඩන්ගේ ඡන්ද ප්‍රතිශතය 50.4%ක් ලෙස සඳහන් විය. ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන තිබුණේ ඡන්ද ගණ 214ක බලය පමණි. එය ප්‍රතිශතයක් ලෙස 48%ක් විය.
සියලු ප්‍රාන්ත අතුරින් දෙදෙනාටම තීරණාත්මක ප්‍රාන්ත වූයේ ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින් හා පෙන්සිල්වේනියාවේ ඡන්ද ප්‍රතිඵලයයි. ඇතැම් ප්‍රාන්තවල දෙදෙනා අතර පරතරය සියයට දසම ගණනක් විය. 2016 ට්‍රම්ප් ජය ලැබූ විස්කොන්සින්හි ඡන්ද ප්‍රතිඵලය අනුව බයිඩ්න් වැඩි ඡන්ද 20,000කින් පමණ ජයග්‍රහණය කර තිබූ අතර මිචිගන්හී තත්ත්වයද එසේම විය. එයින්ද ට්‍රම්ප් පරාජය විය. බ්‍රහස්පතින්දා රාත්‍රිය වනවිටද පෙන්සිල්වේනියාවේ ඡන්ද ගණන් කිරීම අවසන්ව නොතිබි අතර ගණන් කර තිබුණේ ඡන්ද 114,000ක් පමණි. තවත් ඡන්ද 550,000 ගණන් කිරීමට ඉතිරිව තිබූ අතර ගණන් කර තිබූ ඡන්ද ප්‍රමාණයෙන් ට්‍රම්ප්ට වැඩි වාසියක් පෙන්නුම් කළේය. ඒ වන විට ට්‍රම්ප් ලබා තිබූ ඡන්ද ප්‍රතිශතය 50.2% වූ අතර බයිඩන් 48.5% ලබා තිබිණි. 2016 දී මෙම ප්‍රාන්තයේ ජය හිමි වූයේ ට්‍රම්ප්ටය. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 48.8% වූ අතර ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් 47.6% හිමි කර ගත්තාය.
2016දී ජනාධිපති ට්‍රම්ප් ජයගත් විස්කොන්සින් සහ මිචිගන් යන ප්‍රාන්තවලින් ඔහු පරාජය වී තිබේ. ෆ්ලොරිඩා, ඇරිසෝනා, ජෝර්ජියා, අයෝවා, මිචිගන්, මිනසෝටා, නෙවාඩා, උතුරු කැරොලයිනා ඔහායෝ සහා පෙන්සිල්වේනියා යන ප්‍රාන්තයන්හි බලය හිමිකරන්නා අපේක්ෂකයා බොහෝවිට ජනාධිපතිවරණය ජයගනු ඇතැයි මැතිවරණ විශ්ලේෂකයන්ගේ මතයයි. ප්‍රකාශ වී තිබූ තැපැල් ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරයක් ජෝ බයිඩන්ට හිමිව තිබූ බවට විදේශ මාධ්‍ය වාර්තා කළේය.
මෙම ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් උරණ වී තිබේ. පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින් හා ජෝර්ජියාහි ඡන්දය ගණන් කිරීමේ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා ඔහු අධිකරණයට ගොස් තිබිණි. ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයකු ඡන්දය නැවත ගණන් කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
ඡන්දය ගණන් කරන අතරතුර ධවල මන්දිරයේ සිට ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමා මැතිවරණය ජයගෙන අවසන් බවයි. එහෙයින් ඉතිරි ඡන්ද ගණන් කිරීම අත්හිටුවීම සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ යැයි ඔහු කීවේය. අලුයම 4 සිට උදෑසන දක්වා ගණන් කළ ඡන්ද ප්‍රමාණය අවසන් ප්‍රතිඵලයට එකතු නොකරන ලෙස ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත්, එම ක්‍රියාව ඇමෙරිකානු ජනතාවට කරන ලද වංචාවක් බවත්, එවැනි ක්‍රියා තම රටට ලැජ්ජාවක් බවත් කී ඔහු. ඔවුන් නීත්‍යානුකූල ඡන්ද ගණන් කළොත් මම පහසුවෙන් ජයගන්නවා. එහෙත් නීත්‍යානුකූල නොවන ඡන්ද ගණන් කළොත් ඔවුන් අපගේ ජයග්‍රහණය උදුරාගන්නවා. ප්‍රමාද වී ලැබුණු ඡන්ද ගණන් කරනවාද යන්න පිළිබඳව අප ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා යැයි ප්‍රකාශ කළේය.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් කුපිත වූ ප්‍රාන්ත රැසක ජනතාව මහමගට බැස විරෝධතා දැක්වූ අතර ධවල මන්දිරය ඉදිරිපිටද එම විරෝධතා පැවැත්වූ බවට වාර්තා විය. ට්‍රම්ප් විසින් වරින් වර පළ කළ ට්විටර් පණිවිඩ සම්බන්ධයෙන්ද විවේචන එල්ල විය.
ඡන්ද ගණන් කිරීම අත්හිටුවන ලෙසට ට්‍රම්ප් විසින් කරන ලද ඉල්ලීම නෙවාඩා සහ පෙන්සිල්වේනියානු ප්‍රාන්ත අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබේ. නෙවාඩා ප්‍රාන්ත විනිසුරැවරයා තම මතය ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ “නීත්‍යානුකූලව ගණන් ගත යුතු කිසිදු ඡන්දයක් ගණන් නොගෙන සිටින බවට හෝ නීත්‍යානුකූලව ගණන් නොගත යුතු කිසිදු ඡන්දයක් ගණන් කර ඇති බවට හෝ කිසිදු සාක්ෂියක් නොමැත. යනුවෙනි.
කෙසේ වුවද තමාට යළි ජනපති ධුරය ලබා දෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලමින් ට්‍රම්ප් යාච්ඥා කළ බවද වාර්තා විය. එම යාච්ඥා මෙහෙයවනු ලැබුවේ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව වන පෝලා වයිට් විසිනි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් ට්‍රම්ප් යළි ජනපති වේවායි පතමින් එම දේව මෙහෙයයන් පැවැත්විණි. ජනපති ට්‍රම්ප්ගේ පුත්‍රයා වන එරික් ට්‍රම්ප්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැවැන්ත ඡන්ද වංචාවක් සිදුවී ඇති බවටය. ෆිලඩෙල්ෆියාවේදී එවැන්නක් සිදුවනු තමන් දුටු බවද, ඩිමොක්‍රටිකයන් ඇමෙරිකානු මැතිවරණය විහිළුවකට ගෙන ඇතැයිද ඔහු කීවේය.
ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරන බවට එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයෙක් ඩොලර් මිලියන 5ක ඔට්ටුවක්ද අල්ලා තිබිණි. නම හෙළි නොකළ එම ව්‍යාපාරිකයා එක්තරා ඔට්ටු පොළක සහය ඇතිව මෙම ඔට්ටුව ඉදිරිපත් කර තිබිණි. කවුරැන් හෝ එම ඔට්ටුව බාර ගත්තා නම් මේ වන විට ඔහුට ඩොලර් මිලියන පහක් අහිමි වන්නට ඉඩ තිබේ. මේ අතර එංගලන්තයේම තවත් පුද්ගලයෙක් බයිඩන් ජය ගන්නා බවට ඩොලර් මිලියනයක ඔට්ටුවක් අල්ලා තිබේ. ඔහුට නම් තම මුදල දෙගුණ කර ගන්නට අවස්ථාව උදා වී තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා