2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

බොරැල්ල පොලීසියට උණගත් සතිය

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

ලංකාවේ කොරෝනා ව‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ර්ධන වේගය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. දැන් පොකුරු මට්ටමෙන් මිදී මුලාශ්‍ර නොමැතිව සමාජයේ තැනින් තැන රෝගීන් හමුවන්නටද පටන් ගෙන ඇත. රෝගීන් ප්‍රමාණය අනුව මරණ සංඛ්‍යාව විශාල නොවුණත් මෙවර මරණ කිහිපයක් එක දිගට සිදුවීමත්, එක දවසේ එකවර දෙක, තුන, පහ වශයෙන් මරණ සිදුවීමත් නිසා බොහෝදෙනා තිගැස්සී සිටිති. විශේෂයෙන්ම දිනකට රෝගීන් දෙසීය තුන්සීය හාරසීය වාර්තා වීම ගොඩක් දෙනාගේ බිය දෙගුණ තෙගුණ කරන්නට හේතු විය. එහෙත් තවම සෞඛ්‍ය අංශ කියන්නේ රෝගය සමාජ ගතවී නැති බවය. තවත් අය තවත් සති අටකින් මෙකී රැල්ල අවසන් කළ හැකි බව කියති. පුදුමය නම් එවැනි දෑ පවසන්නේ කෙසේද යන්න ජනතාවට පවා ගැටලුවක් වීමය. තවමත් රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැති මොහොතක, තවත් ලෝකයේ බලවත් රටවල් කෝවිඩ් රෝගය නිසා ජීවිතවලින් වන්දි ගෙවන මොහොතක අප මේ රැල්ල සති අටකින් නවතා දමන බව කීම එක් පැත්තකින් විහිළුවකි. තවත් පැත්තකින් ජනතාවගෙන් මේ අවදානම මකා දැමීමකි.

 මාධ්‍ය වෙනස් කළ වෛරස් කතාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තිබිණි. පසුව එහිදී අනාවරණය වුණේ මෙම වෛරස් ප්‍රභේදය යුරෝපයේ කෝවිඩ් 19 වෛරස් ප්‍රභේදයට සමාන බවය. එනම් රෝගය වැළඳුණු පසුව සෙම් සහ සොටුවල වෛරස් බිලියන ගණන් රැඳෙන බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මෙකී පර්ෙය්ෂණයේ ප්‍රතිඵල ඇතැම් මාධ්‍ය ලබාගත්තේ වැරදි ලෙසය. ඔවුන් සඳහන් කළේ මේ වෛරසය යුරෝපයේ සිට පැමිණි බවය. එය හාත්පසින්ම වෙනස් මාතෘකාවක් වූ අතර මේ හරහා මෙකී වෛරසය ලංකාවට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ වෙනත් පැත්තකට යොමු විය. එහෙත් මාහාචාර්යවරිය පසුව මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ එම පර්ෙය්ෂණය වැරදි ලෙස යොදා නොගන්නා ලෙසත් තමන් පැවසුවේ වෛරසයේ ප්‍රභේදය මිස වෛරසය ආවේ යුරෝපයෙන් නොවන බවත්ය.

 හිටිහැටියේ අබිරහස් මරණ

පසුගිය සතිය පුරාම මරණ සංඛ්‍යාව ඉතාම සීඝ්‍රයෙන් ඉහළ ගියේය. පසුගිය බ්‍රහස්පතින්දා මරණ සංඛ්‍යාව පහක් ලෙස සටහන් විය. එහිදී කොළඹ තිදෙනකුගේ මරණ වාර්තා වුණේ නිවසේදී මියගිය අය ලෙසය. එපමණක් නොව මීට පෙරද එවැනි මරණ කිහිපයක් වාර්තා විණි. ඒ සියල්ලන්ගෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී පීසීආර් කරන විට හෙළිවුණේ ඔවුන්ට වෛරසය ආසාදිත වී ඇති බවය.

පුදුමය නම් ඔවුන් මියයන තෙක්ම කිසිදු අංශයක් ඔවුහු වෛරස් ආසාදිතයන් ලෙස හඳුනාගෙන නොතිබීමය. අඩුම තරමේ ඔවුහු නිරෝධායනයට හෝ යොමුවී සිටි අයවත් නොවූහ. එහි බරපතළම කරුණ නම් ඔවුන් මිය යනතෙක්ම කෝවිඩ් ආසාදිතයන් බව නොදැන සිටීමයි. එසේ නම් තත්ත්වය ලේසි පහසු නැත. කිසිදු වාර්තාවක් නොමැතිව මිනිස්සු කෝවිඩ් නිසා මෙලෙස මියයාම එතරම් හොඳ තත්ත්වයක් වන්නේ නැත.

 කර්මාන්තශාලා නැවතත් අවදානමේ

වසංගතය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මේ වනවිටත් නැවතත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක් හරහා රෝගය ව්‍යාප්ත වන්නට පටන්ගෙන ඇත. විශේෂයෙන් කටුනායක වෙළඳ කලාපය ඇතුළු රටේ කර්මාන්ත කීපයක් හරහා නැවතත් රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බව දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්තයට මෙය තවදුරටත් බරපතළ අවදානමක් වුවහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් කඩාවැටෙනු ඇතැයි බොහෝදෙනා පවසති. නිෂ්පාදිත ආර්ථිකයේ ඉහළින්ම සිටින ඇඟලුම් ක්ෂේත්‍රයට මෙකී බලපෑම තවදුරටත් සිදුවුවහොත් විශාල බලපෑමක් සිදුවෙතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

කෙසේ වෙතත් මේ අතර ඇතැම් ප්‍රදේශවලින් බෝඩිං ගතව සිටින අයට ආහාර හිඟයක් ඇති බවට කතා පුවතක් පැතිර ගියේය. එකී පුවතට අනුව හෙළිවුණේ බොහෝ ඇඟලුම් සේවිකාවන්ට කන්නට දෙයක් නොමැතිව සිරවී සිටින බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු කෝවිඩ් මර්දන කමිටුවටද ලැබුණු අතර පසුව ඒ අය මේ සම්බන්ධයෙන් සොයා බැලූහ. එහෙත් ඇතැම් අයට ප්‍රශ්න තිබුණත් බොහෝ අයට අවශ්‍ය පහසුකම් කර්මාන්තශාලා තුළිනුත් රජයෙනුත් ලබාදී තිබුණි.

 පොලිස් පොකුර

පොලීසිය පුරා කෝවිඩ් වෛරසය පැතියාම ක්‍රමයෙන් ඉහළ යන්නට විය. මේ වනවිට පොලීසියේ කෝවිඩ් රෝගීන් ගණන දෙසීයකට අධිකය. ඒ අතරින් 60 කට ආසන්න පිරිසක් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් විය. මේ නිසා කැලණියේත්, රාජගිරියේත් කඳවුරු හුදෙකලා කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් මෙහිදී බරපතළම තත්ත්වය උදාවුණේ බොරුල්ල පොලීසියටය. බොරුල්ල පොලීසියේ නිලධාරීන් හතළිහකට අධික පිරිසකට කොරෝනා වැළඳී තිබුණි. මේ සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් පවසන්නේ තමන් නවාතැන් ගන්නා බැරුක්කවල අඩු පහසුකම් හේතුවෙන් රෝගය තවදුරටත් ව්‍යප්ත වීමේ අවදානමක් ඇතුව බවය. විශේෂයෙන් ආරක්ෂක රාජකාරි කර පැමිණෙන බොහෝ දෙනෙකු රාත්‍රියේ බැරුක්කවල නවතැන් ගැනීමත්, එකී බැරුක්කවල විශාල පිරිසක් සිටීමත් නිසා මේ තත්ත්වය අවදානම් බව ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට බස්නාහිර පළාතේ පමණක් පොලීසියේ නිලධාරීන් 200කට ආසන්න පිරිසකට කෝවිඩ් රෝගය වැළඳී ඇත. නිලධාරීන් 300කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලය. තවත් නිලධාරීන් 1400 කට ආසන්න පිරිස් ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති.

 පෑලියගොඩ පොකුර පැතිරුණු හැටි

පෑලියගොඩ මාළු වෙළඳපොළේ පොකුර බ්‍රැන්ඩික්ස් පොකුරටත් වඩා වේගයෙන් සමාජය පුරා ව්‍යාප්ත වී ඇති අයුරු දැකගන්නට හැකිවිය. එම පොකුරේ ඇතැම් ආශ්‍රිතයන් සිටියේ බස්නාහිර පළාතෙන් පිටය. මේ නිසා දිවයින පුරා මාළු වෙළඳසල් රුසක් වසා දමන්නට සිදුවිය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් රෝගය පැතිරයාමේ මූලික හේතුව මුදල් නෝට්ටු බව හෙළිවී ඇත. මුදල් නෝට්ටු විශාල වශයෙන් පෑලියගොඩ මාළු වෙළඳසලේදී එහා මෙහා වීමත් කෝවිඩ් ආසාදිත රෝගීන් හරහා එම නෝට්ටු එහා මෙහාවීම හරහා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම ඉහළ ගිය බව හෙළි වී ඇත. ඒ නිසා මුදල් නෝට්ටු හරහා වසංගතය පැතිර යාමේ අවදානම ඉතා ඉහළ බව නැවත නැවතත් තහවුරු වී ඇත.

 බස්නාහිර විවෘත කිරීමට සූදානම්

මේ වනවිට බස්නාහිර පළාතම ඇඳිරි නීතියෙන් හිරවී ඇත. මේ නිසා දෛනිකව මුදල් සොයාගන්නා පිරිස් අන්ත අසරණ වී සිටිති. ඒ නිසා ඔවුන් මේ දිනවල ගෙවන්නේ එක වේලක් දෙවේලක් ආහාර ගනිමිනි. ඒ අගහිඟකම් නිසාය.

එසේම වැඩිම සේවා සහ නිෂ්පාදන සැපයුම් කර්මාන්ත රුසක් ඇති බස්නාහිර පළාත තුළ මේ වනවිට ඒ සියල්ල අඩපණ වී ගොස්ය. ඒ ඇඳිරි නීතිය නිසාය. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු නැත. මේ නිසාම සඳුදා උදෑසන 5ට නැවත බස්නාහිර පළාත විවෘත කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ මේ සියල්ලන්ගෙන්ම ලැබුණු ප්‍රතිචාර හේතුවෙනි. එය එක් පැත්තකින් සාධාරණය. එනම් මේ රටේ අන්තිම කෝවිඩ් රෝගියා සොයාගෙන ඔහු හොඳ වී නිවසට යනතෙක් රට වසා සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. එය එසේ විය යුතුද නැත. සිදුකළ යුත්තේ මේ වසංගතය සමඟ එකට ගැටගැසී යන ජීවන ක්‍රමයක් සකසා ගැනීමය. දැන් ලෝකය පුරාම සිදුවන්නේද එසේමය. ඒ නිසා කෝවිඩ් වසංගතය සමඟ අලුත් ජීවිතයක් ගත කිරීම මිනිසාට අභියෝගයක් වී ඇත. ඒ අනුව හෙට (09) සඳුදා සිට නැවත බස්නාහිර පළාත විවෘත වන අතර එතැන් පටන් අභියෝගය එල්ලවන්නේ ඔබටත් මටත්ය. එනම් අප විසින් අනුගමනය කරන සෞඛ්‍ය පිළිවෙත් ඔබේත් මගේ ජීවිත ඉරණම තීරණය කරනු ඇත.

කෙසේ වෙතත් ජනතාව ඒ අභියෝගය ජයගැනීමට සූදානම් වුවත් ආණ්ඩුව ඒ සඳහා ලබාදෙන සහාය සම්බන්ධයෙන් බොහෝදෙනාට විවේචන ඇත. මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෝවිඩ් මර්දන මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීමට තීන්දු කර තිබීමද ගැටලුවක් වී ඇත.

විශේෂයෙන් හෙද නිලධාරීන්ගේ සංගමයද ආණ්ඩුව සමඟ පැටලෙන තැනකට පත්ව ඇත. මේ සියලු ගැටුම්වල සාධාරණයක් නැතිවුණත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුව ඇත. එනම් ආණ්ඩුව මාර්තු මාසයේ සිට වෙන්ටිලේටර් ආනයනය කර නැති බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේය. එසේම කෝවිඩ් අරමුදලෙන් මේ කෝවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා යෙදවෙන ආකාරය ගැන පැහැදිලි බවක් නැත. ඒ මුදල් සම්බන්ධයෙන් බොහෝදෙනා විමසුවත් ආණ්ඩුවේ වගකිවයුත්තන් මේ මුදල පරිහරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ නැත. මේ නිසා රටේ බොහොමයකට මේ සම්බන්ධයෙන් විනිවිදභාවයේ ගැටලුවක් ඉස්මතුව ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුව පසුගිය කාලයේ ඉතා හොඳ තීන්දු දෙකක් ගත්තේය. එනම් නිරෝධායන මධ්‍යස්ථාන වෙත මිනිසුන් කැඳවා නිරෝධායනය කිරීමේ ක්‍රමවේදය නවතා දැමීමය. එය සැබවින්ම හොඳ තීරණයකි. එනම් කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව මිනිසුන් රැගෙන ගොස් නිරෝධායනය කිරීම හරහා එක් පැත්තකින් රජයට අසීමිත මුදලක් ඒ සඳහා යට කරන්නට සිදුව තිබිණි. අනෙක් පැත්තෙන් ඇතිව තිබෙන අර්බුදය හමුවේ එය අනවශ්‍ය නඩත්තු කිරීමකි. ඒ නිසා මින්පසුව නිරෝධායනය නිවෙස්වල සිදුකොට ඔවුන්ට සහන සැලසීම සිදුකිරීම හොඳ තීරණයකි.

එසේම දෙවැනි තීරණය වන්නේ රෝගීන් දින 14ක ප්‍රතිකාරයෙන් පසුව නිවසේ නිරෝධායනයට යොමු කිරීමය. එය අනාගතය සම්බන්ධයෙන් ගත් යහපත් තීන්දුවකි. එනම් යුරෝපයේ රටවලට විශාල වශයෙන් වැරදී ගියේ රෝහල් කෝවිඩ් රෝගයෙන් පෙළුණු රෝගීන් පුරවාගත් නිසාය. ඒ හේතුවෙන් අවසානයේ අසාධ්‍ය අයකුට පවා රෝහලේ ඉඩක් නොමැති විය. ඒ නිසා විශාල පිරිසක් නිවෙස්වල මියගියහ. යුරෝපයේ රෝහල් වල විශාල පහසුකම් තිබියදීත් එසේ වූවානම් අප වැනි රටක් කලින්ම අවදානම තේරුම් ගතයුතුව තිබිණි.

එහෙත් ඉහත කී ආකාරයට රට සූදානම්ද? මාර්තු මාසය වනවිට මෙරට ICU ඇඳවල් තිබුණේ 550 ක් පමණ බව සඳහන්ය. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කීවේ දැනට ICU ඇඳවල් 630 ඇති බවය. ඒ අනුව පැහැදිලිවම මාස අටට වැඩි වී ඇත්තේ ඇඳවල් අසූවක් පමණි. අනෙක් කාරණය නම් යුරෝපයේ සෑම අසාධ්‍ය රෝගියකුටම වෙන්ටිලේටර් (ශ්වසන ආධාරක යන්ත්‍ර) පහසුකම් තිබුණි. එහෙත් පසුගියදා සඳහන් කළේ මාර්තු මාසයේ සිට මෙරටට වෙන්ටිලේටර් ආනයනය නොසිදු වූ බවය. සෞඛ්‍ය අමාත්‍යවරිය පසුගියදා සඳහන් කළේ වෙන්ටිලේටර් දෙසිය ගණනක් ආනයනය කළ බවත්ය. මේ සියල්ල නිශ්චිත ලෙස තහවුරු ඒවා නොවීය. ඒ නිසා මේ රටේ ජනතාවට ඇති වෛද්‍ය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වියයුතුව ඇත. බාරහාර, යාග, දේව කන්නලව්, ආගමික වතාවත් කළාට කම් නැත. ඒවාට ගැරහීමක්ද නොකළ යුතුය. එහෙත් රටේ සියලුම දෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් රටේ ජනතාව ඊට වඩා දැනගත යුතුය. යම් අඩුපාඩුවක් ඇත්නම් ඒ සඳහා උපරිම මුදල් වැයකළත් කමක් නැත. අනාගතයේ ඇති ලොකුම අභියෝගය මේ කෝවිඩ් වෛරසය නිසාය. එහෙත් එහි බැරෑරුම්කම ආණ්ඩුවවත්, විපක්ෂයවත් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. ඒ නිසා අවසානයේ කෝවිඩ් පැතිරීමේ චෝදනාව පාලකයන් විසින් ජනතාව වෙත යොමු කිරීමටද ඉඩ තිබේ.

එකී චෝදනාවෙන් ගැලවීමට නොව තමන්ගේ ජීවිතය බේරාගැනීමට අවම සෞඛ්‍ය පුරුදු නොව උපරිම සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතුව ඇත. එය පුරුද්දක් කරගත යුතුවම ඇත. එසේ නොමැති වුවහොත් ඔබේ ජීවිතෙන් ඔබට පමණක් නොව සමාජයේ මිනිසුන් බහුතරයකගේ ජීවිත වලට වන්දි ගෙවන්නට සිදුවනු ඇත.

 ගයාන් ගාල්ලගේ