2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

ලබන වසරේ එන ජන සංගණනය

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ලාංකීය ඉතිහාසයේ පහළොස්වන ජන සංගණනය 2021 වසරේ පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. මෙරට ඉතිහාසයේ පැවති පළමු ජන සංගණනයෙන් වසර 150 කට පසුව පැවැත්වෙන මෙම සංගණනය තරමක් සුවිශේෂීය. එනිසාම මෙහි පූර්ව සූදානම පිළිබඳ විමසා බැලීමට අප ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඉන්දු බණ්ඩාර මහත්මිය සම්බන්ධ කර ගතිමු.

මෙවර පැවැත්වෙන ජන හා නිවාස සංගණනයට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. ඒ අනුව ග්‍රම නිලධාරී කොට්ඨාස පදනම් කොටගෙන සිතියම් සකස් කිරීම අදාළ සීමා සම්බන්ධව ගැටලු නිරාකරණය ප්‍රධානය. එසේම එම කොට්ඨාස බෙදා සංගණන ඒකක පිහිටුවීමද සිදුවෙමින් තිබේ. මෙම සියලු තාක්ෂණික කටයුතු ඇත්තේ අවසන් අදියරේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ ලැයිස්තු ගතකිරීම නම් අදියරයි.

ලැයිස්තු ගත කිරීමේ අදියරේදී සෑම ගොඩනැගිල්ලක්ම ලැයිස්තු ගතකිරීම සිදුවේ. සංගණනයට පෙර නිවාස ගොඩනැගිලි ඉදිරිපිට අංකයක් සහිත ස්ටිකරයක් ඇලවීම සිදුවන්නේ මෙම අදියරේදීය. ඉන්පසුව පොදුවේ සංගණනයේ තොරතුරු රැස් කිරීමේ වටය ආරම්භ වෙයි. එකින් එක නිවාස ගොඩනැගිලි අාදියට ගොස් එක් එක් පුද්ගලයාගේ තොරතුරු සංගණන නිලධාරීන් විසින් එකතු කරනු ලබන්නේ මෙම වටයේදීය. එළඹෙන වසරේදී මෙම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.

සංගණනයකදී ලබාගන්නා මූලික තොරතුරුවලට අමතරව තවත් වැදගත් තොරතුරු මෙවර සංගණනයේ එකතු කරගැනීමේ බලාපොරොත්තුවක් තිබේ. ඊට හේතුව ඇත්තේ රජයේ විවිධ ආයතන වලින් පැමිණෙන තොරතුරු ඉල්ලීම්ය. එසේම විවිධ සම්මුතීන්, ව්‍යාපෘති නිර්මාණයේදී මතුවන අවශ්‍යතාවන්ය. එවන් විටක දී සංගණන තොරතුරු අර්ථ දැක්වීම සහ පිටතින් පැමිණෙන අවශතාවන් අතර වෙනසක් ඇතිවේ. මේ වනවිටත් නිර්මාණය කර ඇති ප්‍රශ්නාවලියේ බොහෝ තොරතුරු වෙනස් කිරීමට නොහැකි නමුත් හැකි උපරිමයෙන් රටේ අවශ්‍යතාව හඳුනාගෙන 2021 සංගණය පැවැත්වීම අරමුණයි.

උදාහරණයක් ලෙස මේ තාක් සංගණනවලදී ගෘහ ඒකක හඳුනාගැනීමට භාවිතා කරනු ලැබුවේ එම නිවසේ ආහාර පිළියෙල වීමේ ක්‍රමවේදයයි. සරලව කිවහොත් නිවසේ ඉදෙන බත්මුට්ටි ප්‍රමාණයයි. නමුත් එක් නිවසක සිටින විවාහක පවුල් ආදිය සම්බන්ධ තොරතුරු මේ වනවිට විවිධ රාජ්‍ය ආයතන විසින් ඉල්ලා තිබේ. බොහෝ විට රටේ නිවාස අවශ්‍යතාව ආදිය හඳුනාගැනීම එම ඉල්ලීම්වල බලාපොරොත්තුවයි. ඒ අනුව මෙවර ප්‍රශ්ණාවලියේ යම් වෙනසක් සිදුකිරීමට සිදුව ඇත. ඒ වෙනුවෙන්ම පවුල් තොරතුරු ලබාගැනීම 2021 සංගණනයේදී දෙපාර්තමේන්තුව සූදනමින් සිටී.

මෙවර සංගණනයේදී සිදුවන සුවිශේෂී වෙනස්කම නවීන තාක්ෂණය භාවිතා කිරීමයි. ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා ටැබ් පරිගණක භාවිතා කිරීමට සූදානමක් තිබේ. ඉහත අවස්ථාවන් හී දී උපලේඛන භාවිතා කිරීමෙන් සිදුවූ තොරතුරු රැස්කිරීම මෙවර ඉතා පහසුවනු ඇත. උපලේඛන ස්කෑන් කරමින් සිදුකළ ඉතා වෙහෙසකර පරිගණක දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලියෙන් (Data Entry) මිදීමටද මෙවර හැකියාවක් ලැබේ. ඒ අනුව කාලය ශ්‍රමය අවම කරගනිමින් ඉතා ගුණාත්මක තොරතුරු රැස් කිරීමක් මෙවර සිදුවෙයි. කෙසේ වෙතත් ටැබ් පරිගණක භාවිතා කිරීම හේතු කොටගෙන ප්‍රශ්නාවලියේ සැකැස්මේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිතය.

ලැයිස්තු ගතකිරීමේ ක්‍රියාවලිය මේ වසර තුළ සිදුකිරීම තිබුණු නමුත් වසංගත තත්ත්වය හමුවේ එය කල් දැමීට සිදුවී ඇත. එසේ නමුත් දැනට සැලසුම් සකස් වී ඇත්තේ 2021 අගෝස්තුවේදී ජන හා නිවාස සංගණනය පැවැත්වීමටයි. වසර ආරම්භයේදී කෝවිඩ් හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් නිසා මගහැරුණු ක්‍රියාකාරකම් ඇතුළත් කැබිනට් ප්‍රතිකාවක් අනුමත කර ගැනීමේ අවශ්‍යතාවක්ද පසුගිය සමයේ ඇතිවී තිබුණි. කෙසේ නමුත් මේ වනවිට කැබිනට් පත්‍රිකාව අනුමත කරගැනීමට සිදුවී තිබේ. එහෙත් නැවත සංගණන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමය කොවිඩ් දෙවැනි රැල්ලේන් එල්ල වී ඇත්තේ බලපෑමකි.

සංගණන ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් කල්යාමක් සිදුවේ දැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් මේ වනතුරුත් නොමැත. මේ මොහොතේ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සම්පූර්ණ වශයෙන් ආයතනයට කැඳවීමේ නොහැකියාවක් ද මතුවී තිබේ. කෙසේ වෙතත් ආයතන පාර්ශවයෙන් ඉටුකළ යුතු සියල්ල සම්පූර්ණ වෙමින් තිබේ. සංගණනය නිසි කලට පැවැත්වීමට අවශ්‍ය කටයුතු අදාළ නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩලය සිය උපරිමයෙන් ඉටුකරමින් සිටිති. එහෙත් රටේ පවතින තත්ත්වය මත 2021 ජන හා නිවාස සංගණනය පිළිබඳ තීරණයක් ඉදිරියේදී ලැබෙනු ඇත.

ජන සංගණනයක් සිදුවන්නේ වසර දහයකට වරක් නිසාවෙන් එය රටේ සංවර්ධනය ක්‍රියාවලියට තීරණාත්මක බලපායි. එම නිසාම මෙවර නවීන තාක්ෂණය මත තොරතුරු වසරින් වසර යාවත්කාලීන කෙරෙන නිවැරුදි ක්‍රමවේදයක්ද සකස් කිරීමට මෙවර බලාපොරොත්තුක් තිබේ. වෙනත් රටවල මේ වනවිටත් වාර්ෂිකව තොරතුරු නිකුත් කිරීම ආරම්භ කර ඇත. උපතේ ලබාදෙන අංකයක් භාවිතයෙන් පුද්ගල තොරතුරු යාවත්කාලීන කිරීම ඔවුන් විසින් සිදුකරයි. ඒ අනුව ඔවුන් වසරේ එක දිනකදී ජනගහනය තොරතුරු වාර්තාවක් ලබාදීමට සමත්කම් දක්වයි.

 සංවාද ඇසුරින් සටහන - චමිඳු නිසල් ද සිල්වා