2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

රට ඕපන් වුණත් චිත්‍රපට ලොක්ඩවුන්

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

කොවිඩ්-19 දෙවැනි රැල්ලෙන්ද ශ්‍රී ලාංකිකයෝ නොසිතූ පරිදි බැටකමින් සිටිති. මාර්තු මස මෙරටින් පළමු ආසාදිතයා වාර්තා වීමත් සමඟ දිනෙන් දින ආසාදිතයන් වර්ධනය වෙමින් රටපුරා ඇඳිරි නීතිය පනවනු ලැබීය. මේ හේතුවෙන් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් කඩාවැටුණු අතර එයින් සිනමා කර්මාන්තයට එල්ලවූයේ බලවත් පහරකි.

මාස කිහිපයකට පසුව ‍කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හා රෝහල්ගතව සිටි රෝගීන් සුවය ලැබ නිවාස කරා යාමෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගේ වාර්තාව අඩුවීමත් සමග ජනජීවිතයේ යම් නඟා සිටීමක් නැවත ඇතිවුණි. සුපුරුදු පරිදි සියලුදෙනා තම රාජකාරි කටයුතුවල නිරත වූහ. සිනමාහල් විවෘත වුණි. මාස ගණනාවක් නිවාසවල සිටි පිරිස් සිනමාහල් කරා එකතු වීම ඇරඹිණි.

නමුත් සිදුවූයේ කිසිවෙක්ම බලාපොරොත්තු නොවුණු දෙයකි. ඔක්තෝබර් 04 වැනිදා නැවතත් කොවිඩ් ආසාදිතයකු මිනුවන්ගොඩින් වාර්තා වුණි. අද ආසාදිතයන් වාර්තාවන්නේ පොකුරු පිටිනි. නැවතත් සිනමාහල්වල දොරවල් වැසුණි. සිනමාකරුවෝ අසරණ වූහ. මිනිසුන්ගේ රසාස්වාදය වෙනුවෙන් කාලය, මහන්සිය, දාඩිය, කඳුළ පමණක් නොව මුදලද යට කොට නිර්මාණය කළ සිනමා පට අද එකතැනකට ගොඩගැසී ඇත.

කොරෝනා නිසා අර්බුදයට පත්වුණ බොහෝ පිරිසක් සිටිනවා. එයින් ප්‍රධානම කණ්ඩායමක් වන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ නියැලෙන අයයි. ඒක ස්වභාවිකයි. නැවක වුණත් ගිලෙන්න යද්දී මුලින්ම මුහුදට වීසි කරන්න පටන් ගත්තේ නැවේ තියෙන සංගීත භාණ්ඩ ටිකයි. ආර්ථික විද්‍යාවේදී මේ විනෝදාස්වාදය අත්‍යාවශ්‍යම කාණ්ඩයක් විදිහට සලකන්නේ නැහැ. ඒ නිසා මෙවැනි අර්බුදයක් ඇතිවුණ විට අපේ කර්මාන්තය අර්බුදයට පත්වෙනවා. රූපවාහිනිය ගෘහස්ථ මාධ්‍යයක් නිසා එය ඉතිරිවෙනවා. වර්තමානයේදී සංගීත සංදර්ශන පැවැත්වෙන්නේ නැහැ. සංගීතයේ නියැලුණු අය අද නිවාසවලයි. ගීත රසාස්වාද උවමනාව තියෙන අය රූපවාහිනියෙන් පෙන්වන සංගීත සංදර්ශනාවලින් එය පියවා ගන්න උත්සාහ කරනවා. වේදිකා නාට්‍ය වේදිකා ගත වෙන්නේ නැහැ. වේදිකා නාට්‍ය ශිල්පීන් අද ගෙදර. නමුත් වේදිකා නාට්‍ය නැරඹීමේ ආසාව රූපවාහිනිය මඟින් ටෙලිනාට්‍යවලින් සංතෘප්ත කරගන්නවා. අන්ධකාර කරපු ශාලාවක ජනතාව රැස්කරලා සිනමාව ප්‍රදර්ශනය කරනවා. එවැනි තැනකට වර්තමානයේදී සෙනඟ රැස්වීම තහනම්. ඒ තහනමට එරෙහි වන්නට සිනමාකරුවන් වන අපට බැහැ. ඒ තහනමට අපි එකඟයි. සිනමාවෙන් ලබන තෘප්තිය ටෙලිවිෂනයෙන් හෝ ස්මාට් ෆෝන් එකකින් ලබන්න දැන් පරිවර්තනය වෙනවා. නමුත් ඒක පරිවර්තනය කරන්න පුළුවන් දෙයක් නෙමේ. යැයි ප්‍රවීණ රංගධර, සිනමා නිෂ්පාදක සහ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි මහතා දේශයට අදහස දක්වමින් පැවසීය.

සිනමාව ශාලාගතයි. නිවැරදි සිනමාවක් නැරඹීමට අවශ්‍ය නම් සිනමා ශාලාවන් වෙත යා යුතුමය. එය ශාලාගත කලා මාධ්‍යයකි. මේ වනවිට බොහෝ කර්මාන්තශාලා වසා දමා ඇත. ඒ සියල්ල අහෝසි වන්නේ නැත. නැවත විවෘත වෙද්දී ඒ සියල්ල නැවත ඇරේ. නමුත් සිනමා කර්මාන්තයේ ඇත්තේ එයට වෙනස් වූ දෙයකි.

පෞද්ගලික අංශයේ සිනමා ශාලා කාලයක් වසා දැමීමෙන් එහි පාඩුව විඳ දරා ගැනීමට සිනමා ශාලා හිමියන්ට අපොහොසත් වේ. එයට හේතුව වූයේ පසුගිය කාලය පුරාවට පාඩු පිට ප්‍රදර්ශනය කළ සිනමා ශාලා අන්ත අසරණ බවට පත්වූ නිසාවෙනි.
අපේ රටේ සිනමාව ලාභ උපයන සිනමාවක් බවට පත්වන්නේ ඉඳහිටලායි. නමුත් සිනමා ශාලාවල පැවැත්ම සඳහා අවශ්‍ය කරන ලාභය උත්පාදනය කරන්නට ලංකාවේ සිනමාව පොහොසත් වෙලා තිබෙනවා. පහුගිය කාලේදී සිනමා ශාලා පැවැත්වීමට අවශ්‍ය කරන ප්‍රේක්ෂකයින් කෙසේ හෝ අපි රඳවා ගත්තා. හැම චිත්‍රපටයක්ම ආදායම් මහ ඉහළින් උපදවන චිත්‍රපට නොවුණාට සැලකිය යුතු චිත්‍රපට ප්‍රමාණයක් ලාභය ඉපැයූවා. එයින් ශාලා හිමියන් සිනමා ශාලා පවත්වමින් මේ කර්මාන්තය කරගෙන ගියා. 1983ට පෙර තුන්සිය අසූ ගණනක් තිබූ සිනමා ශාලා අද වෙද්දී එකසිය විස්සට අඩුවෙලා තිබෙනවා. එයින් සිංහල චිත්‍රපට පෙන්වන්නේ අසූවකට පමණ සිනමා ශාලාවලයි. ඒ නිසා මෙවැනි අර්බුදයක් පැවැති යුගයක මේ ශාලා වසා දැමීම මේ ශාලා හිමියන්ට ලොකු අර්බුදයක්. කොරෝනා කියන්නේ සදාතනික ව්‍යසනයක් නොවේ. සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද නිවැරදිව භාවිතා කර නුදුරු දිනයකදී අපට සිනමා ශාලා විවෘත කරන දිනයක් එනවා. යැයි ජැක්සන් ඇන්තනී වැඩිදුරටත් පැවසීය.
ලෝකයේ බොහෝ රටවල් මෙලෙසම සිනමා ශාලා වසා මේ නුදුරු දිනය වනතුරු බලා සිටී. නමුත් අද මේ සිනමා කර්මාන්තයේ නියැලෙන කලාකරුවා ආරක්ෂා කිරීමට රජයේ මැදිහත් වීමක් තියේවිද?
සිනමාව ආර්ථික විද්‍යාව අත්‍යාවශ්‍යම දෙයක් නොවුණත් සමාජ මනෝවිද්‍යාවේ සිනමා බඳු කලා මාධ්‍යය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වෙනවා. ජනතාවගේ මනස සුවපත් කරන කලා මාධ්‍යය සමාජීය ලෝකයට අත්‍යාවශ්‍යයි. ඒ සමාජයීය ජීවිතය අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ සමාජීය ලෝකයට අත්‍යාවශ්‍ය වන සිනමාව පැවැතීම සඳහා අවශ්‍ය මෙම ශාලා වසා තබන කාලය තුළ ආරක්ෂා කරගන්නට ක්‍රමවේදයක් රජයකින් බලාපොරොත්තු වීම අතාර්කික නැහැ. ලෝකයේ අනිත් රටවල් සිනමා ශාලා ආරක්ෂා කරගන්නට ඒ රජයන් යම් යම් ක්‍රමවේදයක් භාවිතා කළා. අපේ රටේ එහෙම සිනමා ශාලා ආරක්ෂා කරගන්න ක්‍රමවේද තිබේදැයි කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.
සිනමා ශාලා හිමියන් මෙන්ම සිනමා නිෂ්පාදකවරුන් පිළිබඳවත් ජැක්සන් ඇන්තනී මහතා මෙසේ අදහස් දැක්වීය.

මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනය සඳහා මුදල් වියදම් කරලා එය ප්‍රදර්ශනය කරනතුරු බලා සිටින නිෂ්පාදකයන් අතරේ මමත් සිටිනවා. මගේ එකගෙයි සොකරි චිත්‍රපටයේ නිෂ්පාදනය හමාරකරලා එයට සුදුසු කාලයක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. ඒ කාලය තුළ මම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ලබාගත් ණය පොලී වෙනවා. අපේ අතේ මුදල් තියාගෙන චිත්‍රපට හදපු අය නොවේ. අපේ මුළු ආර්ථිකයම උගස් කරල චිත්‍රපටයක් හැදුවම එතනින් එහාට අපේ ජීවිත පැවතුම් එහෙම පිටින්ම අඩාල වෙනවා. දැනට චිත්‍රපට නිෂ්පාදනය කර, චිත්‍රපට අතේ තියාගෙන ඉන්න නිෂ්පාදකවරුන් ගැන කරුණා බැල්මක් තිබෙන්නට ඕනේ. සිනමා ශාලාව රැකගන්න, නිෂ්පාදකයා රැකගන්න කිසියම් ජාතික වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. අවාසනාවට අපේ රජය මෙබඳු ව්‍යසනවලදී ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව භාවිතාවට ගන්නවා මිසක් මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව භාවිතාවට ගන්නේ නෑ. මානසික පැවැත්ම, වින්දනය ගැන හිතන්නේ නැහැ. එලෙස හිතන රටක නම් මේ කොරෝනාව සිනමාවට අර්බුදයක් නෙමේ.* යැයි ජැක්සන් ඇන්තනි මහතා අවසන් වශයෙන් පැවසීය.

මීට වසර ගණනාවකට පෙර සිනමාහල් දාසයක හිමිකාරීත්වය දැරූ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා වර්තමානයේදී පවත්වාගෙන යනු ලබන්නේ සිනමාහල් දෙකක් පමණි. පවතින තත්ත්වය හමුවේ ඔහු මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
මේ කොවිඩ් වසංගතයට පෙර සිටම සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නැහැ. මගේ සිනමාශාලාවල මෑත කාලයේදී එක් දර්ශනයක් මිනිස්සු විස්සකට පෙන්නපු දවස් ඕනතරම් තිබුණා. ඒත් අපි ඒ චිත්‍රපට කිසිම අඩුවක් නොකර පෙන්නුවා. සමහර දර්ශන බලන්න ආවේ හය දෙනයි, අට දෙනයි. ඒක තමයි ඇත්ත. කොරෝනා වසංගතය ආපු ගමන් සිනමාහල් වහන්න කියපු අය මේ සම්බන්ධව කිසිම දැනුමක් නැති අයයි. කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව ඒ අය මුල් කාලයේදීම තීරණය කළා. මේකෙන් විශාල පාඩුවක් වෙන්නේ සිනමා ශාලා හිමියන්ට. අපි ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි, බදු, හැමදේම ලබාදෙන්නේ සිනමා ශාලා විවෘත කළොත් විතරයි. දෙන්නෙකුට පෙන්නුවත් එකයි අපිට පන්සීයකට පෙන්නුවත් එකයි. අපිට එකක් හැර එකක් අසුනක වාඩිවෙන්නට, අත් සෝදන්නට, දුරස් බවට ආදී නීති ලබලා දුන්නා. ඒ විදිහටම අප කළා. නමුත් කොවිඩ් නැවත ඇතිවුණ ගමන්ම එක්වරම නවත්වන්නේ අපේ කර්මාන්තයයි. වර්තමානයේදී පවතින තත්ත්වය නිසා එවැනි තීරණ ගත්තාට කමක් නැහැ. නමුත් මුල් කාලයේදී මුලින්ම නවත්වන්නේ මේ කර්මාන්තශාලායි. මට සිනමාහල් දාසයක් තිබුණා. දැන් එයින් මම කරගෙන යන්නේ සිනමාහල් දෙකක් විතරයි. ඒ දෙකත් පාඩු පිටයි පවත්වාගෙන යන්නේ. මම කලාවට හරි ආදරෙයි. මම ෆිල්ම් හැත්තෑ දෙකක් කරපු නිෂ්පාදකවරයෙක්. ඇත්තටම දැන් හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්. යැයි චිත්‍රපට නිෂ්පාදක, සිනමාහල් හිමි, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා පැවසීය.

කොරෝනා නිසා ලංකාව විතරක් නොව, ලෝකයේ බොහෝ රටවල්වල සිනමා කර්මාන්තය අඩාල වෙලා තියෙනවා. නමුත් ඒ ඒ ක්ෂේත්‍රයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ඒ රජයන් මඟින් වෙන වෙනම ක්‍රියාමාර්ග ගනු ලැබුවා. කර්මාන්තශාලාවල කාර්යයන් අවම වශයෙන් පවත්වාගෙන යාම සඳහා බැංකු ණය, සහන ක්‍රම ලබාදුන්නා. නමුත් ලංකාවේ කර්මාන්ත සහ අනිකුත් ව්‍යාපාර සේවා සඳහා ඒ පහසුකම් ලබා දුන්නත් කලා ක්ෂේත්‍රයට ඒ සහනය කොපමණ දුරට ලැබුණාදැයි අපිට ගැටලුවක් මතුවෙනවා. සිනමාව රටකට අත්‍යවශයම කලා මාධ්‍යයක්. මේ දේ රාජ්‍ය මාට්ටමින් පිළිගෙන තියෙනවා නම් එය ආරක්ෂා කරගන්න මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන්න ඕනේ. නිර්මාණකරුවන්ට එම නිර්මාණකරණයෙන් ඉවත් නොවී සිනමාකරණයේ රැඳී සිටීමට කිසියම් අතහිත දීමත් පවතින ඕනෑම රජයක් විසින් කළයුතු වෙනවා. නමුත් අපේ සිනමාවට මේ පත්ව තිබෙන තත්ත්වයේදී අපේ රජයෙන් ලැබී තිබෙන සහය සහ අවධානය කුමක්දැයි කියා අපට ප්‍රශ්නයක්. ඇත්තටම බිංදුවයි. කොරෝනා වසංගතය නිසා ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් විශාල අපහසුතාවයට පත්වුණා. ඒ සිනමා නිෂ්පාදක සහ සිනමාශාලා හිමියන්* යැයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ ප්‍රධාන කණ්ඩායම් දෙක රුක ගැනිම සඳහා රජය කළේ කුමක්දැයි ප්‍රශ්නයක් යැයි ඔවුහු විමසති. දිසානායක මහතා පවසන පරිදි බොහෝ දෙනා විශාල ණය ගෙන මෙම කර්මාන්තයේ නියැලෙන අතර ඇතිව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ණය පියවා ගන්නට ක්‍රමවේදයක් නොමැති බවයි. ඇතැමුන් තම ගෙවල් දොරවල් උගස් කොට චිත්‍රපට නිෂ්පාදනය කරති. චිත්‍රපටයක් දුර්වල වීම හේතුවෙන් ප්‍රේක්ෂකයින් නැරඹීම ප්‍රතික්ෂේප කළහොත් කාටවත් වරදක් කිව නොහැකියි. ‍‍

එයට රජය වගකිව යුතු නොවේ. නමුත් සිනමා ශාලා වසා දැමීමට රජය තීරණය කරද්දී එම නිෂ්පාදකවරුන්ට අත්වන ඉරණම කුමක්ද?

මිනිසුන්ගේ අධ්‍යාත්මය හැදීම, මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම, සමාජ ජීවිත හැඩගැස්වීම රජයේ වගකීමක්. එය කලාකරුවා අද බාරගෙන තියෙනවා. එවැනි තත්ත්වයක් තිබියදී මෙවැනි ව්‍යසනයක් ඇතිවෙද්දී රාජ්‍ය අනුග්‍රහයක් ලබාදිය යුතු වෙනවා. නමුත් එවැනි රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේම නැහැ. අඩුම ගානේ අපෙන් ඒ ගැන ඇසුවේවත් නැහැ. අපි විසින් ලියුම් ලිව්වා. නමුත් ඒවාවලට නිසි පිළිතුරක් අපිට ලැබුණේ නැහැ. සිනමාකරුවන්ට රජයට වැදගත් නැති කණ්ඩායමක් වෙන්න ඇති. අපේ තියෙන වුවමනාවට, අපේ තියෙන උණට අපි මේකේම නිරතවෙලා ඉන්නවා. නමුත් රජයට වගකීමක් තියෙනවා. එයින් මිදෙන්න ඔවුන්ට බැහැ යැයි සෝමරත්න දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා වසංගතයට මුහුණ දුන් තවත් නවතම නිර්මාණයක් වන්නේ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ රූකඩ පැංචි සිනමා පටයයි. තිරගත වීම් ආරම්භ කොට දින එකොළහකින් කොරෝනා වසංගතය හේතුවෙන් සිනමාහල් වසා දැමීමට සිදුවුණි.

චිත්‍රපටය තිරගත කිරීමට සූදානම් කරද්දීත් අපිටත් අවදානමක් තිබුණා. අපි මේ තරම් විශාල අර්බුදයක් වේවි කියලා හිතුවේ නම් නැහැ. සිනමා පටය නිර්මාණය කරන්න වගේම ප්‍රදර්ශනය කරන්නට සූදානම් වෙද්දී දැන්වීම් සඳහාත් අපි තවත් විශාල මුදලක් වැයකළා. කවදාහරි මේ කොවිඩ් වෛරසය මෙරටින් පාලනය වී කවදා හෝ නවැතත් සිනමාහල් විවෘත කළවිට නැවතත් මේ සිනමා පටය ප්‍රදර්ශනය කරනතුරු අපි බලාගෙන ඉන්නවා. කොවිඩ් පළමු වසංගතයෙන් පසුව මෙය ප්‍රදර්ශනය වෙද්දී මාස ගණනාවක් ගේ ඇතුළට හිරවෙලා හිටිය දරුවන් එක්ක දෙමව්පියෝ මේ චිත්‍රපටය බලන්න පටන් ගත්තා. දවස් එකොළහකින් එය තාවකාලිකව නතර කර දමන්නටත් අපිට සිදුවුණා. යැයි ූකඩ පැංචි චිත්‍රපටයේ අධ්‍යක්ෂක කල්පන ආරියවංශ මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න