2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

නිවාඩුවට කොළඹින් පිටට පැන්න අය

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

කොවිඩ් 19 පිළිබඳ ලෝක අවදානම යළිත් උපරිම තලයකට පැමිණ තිබේ. ඊට හේතුව කොවිඩ් දෙවැනි රැල්ල හිතනවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමය. අමෙරිකාව, යුරෝපය හා ඉන්දියාව මීට හොඳම නිදර්ශන ලෙස පවතී. එක් අතකින් ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යයි. තව අතකින් මරණ සංඛ්‍යාව වැඩිවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තත්ත්වය බැරෑරුම් බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානවයා ගතහොත් ගල් යුගයේ සිටම සංචරණයට පුරුදු වී සිටියේය. දඩයමක් සොයා ගැනීම සඳහා දඩයක්කාරයා ගව් ගණනක් ඇවිද්දේය. නූතන ලාංකිකයා දඩයමින් ජීවත් වන්නේ නැති වුවද සංචරණය හෙවත් ඇවිදීම අත්හැර නැත. ඔවුහු නිවාඩු දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් බලා සිටිති. ඒ සංචාරයේ යෙදී විනෝද වීමටය. ඇවිද්ද පය දහස් වටී යන්න හොඳ කියමනකි. එහි ඇත්තක්ද තිබේ. එහෙත් අදට එය ගැලපෙන්නේ නැත.

ලබන සඳුදා (09) පාන්දර තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. කොවිඩ් වැළැක්වීමේ කාර්ය සාධන කමිටුව මේ තීරණය ගෙන ඇත්තේ වැදගත් සාධක කිහිපයක් සැලකිල්ලට ගනිමිනි. එක සාධකයක් වන්නේ ප්‍රධාන කොවිඩ් පොකුරැ දෙක බස්නාහිර පළාතේ පැවතීමය. එකක් මිනුවන්ගොඩය. අනෙක පෑලියගොඩය. මේ පොකුරු දෙකෙන් සමස්ත ශ්‍රී ලංකාවටම කොවිඩ් බෙදාහරින්නට පුළුවන. තව සාධකයක් වන්නේ ආර්ථික කේන්ද්‍රයක් වන බස්නාහිර පළාත අවදානමෙන් මුදාගන්නේ නැතිව කොවිඩ් වැළැක්වීම අපහසු වීමය. රටේ සෙසු පළාත් නිරන්තරයෙන්ම බස්නාහිර සමඟ සබඳතා පවත්වයි. මෙහිලා අවශ්‍යයෙන්ම නවත්වාගත යුත්තේ පුද්ගලයන්ගේ සංචරණයයි. බස්නාහිරට ඇතුළුවීමත් තහනම්ය. පිටවීමත් තහනම්ය.
බස්නාහිර පළාතට අමතරව කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක්ද ඇඳිරි නීතියට යටත් කර තිබේ. මෙලෙස තෝරාගත් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි ඉල්ලීම මතය. බස්නාහිර පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සති දෙකක පමණ නිරෝධායන ඇඳිරි නීතියක් පනවාගෙන යා යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී තිබේ. එබැවින් ඊට අදාළ ප්‍රති තර්ක ගොඩනැඟීමෙන් පලක් නැත. ඇඳිරි නීතිය සමාජයේ නිදහස් ජීවිතයට බාධාවක් වුව මේ මොහොතේ එය දරා සිටින්නට සිදුවනු ඇත.

මීට පෙර ඇඳිරි නීතිය ආරම්භ කළ අවස්ථාවේ එබඳු නීතියක් පනවා තිබුණද සැලැකිය යුතු පිරිසක් එය උල්ලංඝනය කළහ. මහජනයා නිරෝධායන නීති කෙරෙහි දක්වන අඩු සැලකිල්ල එයින් පැහැදිලි වෙයි. දැනට සිදුකර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මිනිසුන්ගේ ගමනාගමන කටයුතු නිසා කොවිඩ් දෙවැනි රැල්ල රට පුරාවට කාන්දු වී ඇති බවය. මෙය භයානක තත්ත්වයකි.

පසුගිය 29 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ බස්නාහිරට ඇඳිරි නීතිය පැනවීමට පෙර පිරිසක් බස්නාහිර පළාතෙන් පිටවූහ. සැබැවින්ම එය අනුමත කළ නොහැකි ක්‍රියාවකි. කෙසේ වෙතත් සෞඛ්‍ය උපදෙස් නොතකා බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය පිරිස් වලින් හයසියයකට ආසන්න ප්‍රමාණයක් ඔවුන් රැඳී සිටිනා ස්ථානවලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු පිරිස සොයා පොලීසිය මෙහෙයුමක ආරම්භ කර ඇති බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොවිඩ් 19 රෝගය දෙවැනිවරට රටපුරා ව්‍යාප්ත වීමට පටන්ගෙන තියෙනවා. එමෙන්ම අපි පසුගිය 29 වැනිදා සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙම රෝගය බෙහෙවින් ව්‍යාප්ත වෙලා තියෙන්නේ බස්නාහිර පළාත තුළ. ඒ වගේම බොහෝ පිරිස් බස්නාහිර පළාත සමග ගනුදෙනු කරනවා. ගමනාගමනයේ යෙදෙනවා. එහෙම වුණාම මේ වෛරසය රටපුරා ව්‍යාප්ත වීමට තියන ඉඩකඩ වැඩියි මේ හේතුව නිසා අපි බස්නාහිරට ඇඳිරිනීතිය පැනවුවත් බොහෝ පිරිස් බස්නාහිර පළාතෙන් පිටව ගොස් තියෙනවා. ඇත්තටම ඒක කණගාටුවට කරැණක් ඔවුන් නිසා බොහෝදෙනාට මෙම රෝගය ව්‍යාපත වීමට ඉඩකඩ ඇති බව සෞඛ්‍ය අංශත් පවසා තිබෙනවා. කෙසේ වෙතත් අපි එලෙස බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය පිරිස් සොයා මේ වනවිට ස්‍වයං නිරෝධායනයට යොමු කරමින් තිබෙනවා. හයසියයකට ආසන්න පිරිසක් මේ වනවිටත් ස්‍වයං නිරෝධායනයට ලක්කර අවසන්.

තමන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් පසුවීමට සියලු ජනතාව  හිතට ගැනීම වැදගත්ය. පනවා ඇති නීති රීති අකුරටම පිළිපැදීමෙන් ඉහත කාරණය ඉටුකර ගත හැකි බව සෞඛ්‍ය අංශවල මතයද වී ඇත.

 හසිත් අංජන