2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

වසංගතයයි ආර්ථිකයයි බැලන්ස් කිරීම අපේ උත්සාහයයි - මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ජාතික ආර්ථික සහ කොවිඩ් වසංගත වෙන වෙනම නොව එක්ව සාකච්ඡා කළයුතු මාතෘකාවන්ය. කොවිඩ් ආගමනය සමඟ ලෝකය දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදිවූ බව අපි දනිමු. විටෙක ශ්‍රී ලංකාව එම අර්බුදයේ පාර්ශ්වකරුවකු වූයේ නිරායාසයෙනි. කොවිඩ් ආගමනයට පෙරද දැවැන්ත ආර්ථික අභියෝග රැසක් රට හමුවේ තිබුණි. වසංගතයේ ආගමනය සමඟ එම අභියෝග ජයගැනීමට අපට හැකිවේද? වසංගතය සමඟ නිර්මාණය වූ නව ආර්ථික අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද? සැබවින්ම අපට මේ හා සම්බන්ධව පුළුල් සංවාදයක අවශ්‍යතාව පැහැදිලි වේ. එමනිසා එම සංවාදයේ පූර්විකාව සැපයීමට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අපි ආරාධනා කෙළෙමු. මේ ඔහු හා සිදුකළ සංවාදයේ සටහනයි.

“අපි රට භාරගන්න අවස්ථාවේ පසුගිය ආණ්ඩුව රටේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයකට පත්කරලා තිබුණා. අපිට තිබුණු අභියෝගය තමා දුර්වල වුණු රටේ ආර්ථික නගා සිටුවීම. නමුත් මේ කටයුත්ත අපිට සිදුකරන්න වුණේ කොවිඩ් වසංගතය සමඟ. එය අභියෝගයක්. නමුත් දැනට අපි ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්වීමේ හැකියාවක් තිබෙනවා. අපි රුපියල ස්ථාවර කරලා තියෙනවා. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍ර නැවත පණගැන්වීම සිදුකරලා තිබෙනවා, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට යම් යම් සහන ලබාදෙන්න හැකිවෙලා තියෙනවා. පොලී අනුපාත බදු අඩු කිරීම කරලා තිබෙනවා. මේ සියල්ල හරහා අපි ආර්ථික ගැම්මක් අරගෙන තිබෙනවා කොවිඩ් වසංගතයට මුහුණදෙන අතරම.”

සංවාදයට මුල පුරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ සියයට සීයක් නොවුණද රටේ ආර්ථිකයේ යම් ප්‍රගතියක් පෙනෙන්නට ඇති බවයි. කොවිඩ් හේතුවෙන් ආර්ථිකයේ යම් යම් කොටස්වලට බාධා එල්ල වී තිබුණුද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධව යහපත් ප්‍රවේශයකින් බැලිය හැකියැයි කබ්රාල් මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කරන නමුත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පෙන්වා දෙන්නේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිලෙන බවයි. එසේම ආර්ථික වර්ධන වේගය සැලකියයුතු සෘණ අගයක් ගනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් අපි පැහැදිලි කිරීමක් අපේක්ෂා කළෙමු.

“හැමදාම මේ වගේ දේ සිදුවෙනවා. සමහර අයගේ අර්ථකථනයන් වෙනස්. කොහොම වුණත් නිල වශයෙන් අපි ලබාගන්න තොරතුරු අනුව පෙනී යන්නේ මේ වසරේ යම් අවපාතයක් තිබෙන බවයි. අපිට සාපේක්ෂව දැවැන්ත පසුබෑමක් පෙන්නුම් කරනවා ලෝකයේ අනෙක් රටවල්. කොහොම වුණත් මේ සිදුවන දේ අපිට පමණක් ආවේනික දෙයක් නෙවෙයි. අපි මේ තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් ඉදිරියට යනවා. ඉදිරි වසරේදී අපිට නැගී සිටින්න හැකිවෙයි කියලා විශ්වාසක් අපි තුළ තිබෙනවා. ආර්ථිකයන් සෘණ වීම ගැන කතා කරනවා නම් ඉන්දියාවේ සියයට 20 කින් පමණ සෘණ, ඇමරිකාවේ සෘණ, එංගලන්තයේ සෘණ. ඒ නිසා අපිට විතරක් ධන අගයක් අත්කර ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද අපේ අපනයනත් යන්නේ ඔය කියන රටවල්වලට. අපි දැනට පුරෝකථනය කරලා තියෙන්නේ අපේ රටේ සෘණ 1.7ක තත්ත්වයක් ඇතිවෙයි කියලා. මං හිතන්නේ නෑ ඒක එතරම් භයානක තත්ත්වයක් කියලා. ලෝකයේ අනික් රටවල්වලට සාපේක්ෂව මේ වගේ අගයක පවත්වාගෙන යාම ඉතාම යහපත් කරුණක්.”

ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ සංවාද අතරතුරේදීම දේශීය වශයෙන් ආර්ථික කළමනාකරණය පිළිබඳ ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. විශේෂයෙන්ම විශාල වශයෙන් රජයේ රැකියා ලබාදීම, ණය පොලී අනුපාතයන් සහ බදු අයකිරීම පිළිබඳ ආණ්ඩුව ගනුලැබූ තීරණ පිළිබඳ අවධානය යොමු කළෙමු. විපක්ෂය බොහෝවිට මෙම තීරණය මෙරට ආර්ථිකය සම්බන්ධව ආණ්ඩුව ගනු ලැබූ අනුවණ තීරණයක් බවට කියා සිටියි. කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ එක ආණ්ඩුවල ප්‍රමුඛතා වෙනස් බැවින් මෙවන් චෝදනා එල්ලවීම සාමාන්‍ය බවයි. එහෙත් එම චෝදනා පිළිගැනීමට වර්තමනා ආණ්ඩු සූදානම් නැති බවද ඔහු පැහැදිලි කරයි.

“යහපාලන රජය හිටියා නම් අද ජනතාවගේ රැකියාවන් අහිමිවෙලා යද්දී නිශ්ශබ්ද ඉඳියි. ලොක්ඩවුන් කරනකොට ජනතාව සල්ලි ඉල්ලුවාම. සල්ලි දෙන්න බෑ පුළුවන් විදිහට කරගන්න කියලා කියයි. නමුත් අපි එහෙම නෙවෙයි. අමාරුවෙන් හරි ජනතාවට සහන ලබාදෙනවා. රැකියා උත්පාදනයට වගේම දැනට තිබෙන රැකියා රැකගැනීම අපි උත්සාහ කරනවා. පොලී අනුපාතය අඩුකරලා තියාගන්න කටයුතු කරනවා. ඒකම තමා යහපාලනය ආණ්ඩුවේ සහ අපේ ආණ්ඩුවේ වෙනස. මේ අයට අපිව තේරැම් ගැනීමට නොහැකිවීම පිළිබඳ මම පුදුම වෙන්නේ නෑ. විපක්ෂය අසතුටු වුණත් ජනතාව සන්තෝස වෙනවා අපි අමාරුවෙන් හරි මේ දේවල් කරන එක ගැන. අපි ජනතා සංවේදී ආණ්ඩුවක්. ඉතින් අපේ ප්‍රමුඛතා වෙනස්.”

කොවිඩ් හේතුවෙන් සංචාරක අපනයන ආදී ක්ෂේත්‍ර ගණනාවක් බිඳවැටී තිබේ. ආයෝජන කලාප තුළ පවා තත්ත්වය යහපත් මට්ටමක නැත. එමනිසාම බිඳවැටී ඇති සහ අඩාල වී ඇති ක්ෂේත්‍රයන් වෙනුවෙන් විකල්ප සැලසුම් ආණ්ඩුව සතුවිය යුතුමය. සංවාදයේදී මේ සම්බන්ධව අවධානය යොමු කෙරිණි. කබ්රාල් මහතාට අනුව සියලු ක්ෂේත්‍රවල කටයුතු කරගෙන යාම සඳහා මේ වනවිටත් රජය පූර්ණ සහයෝගය ලබාදී තිබේ. සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කෘෂිකර්මික කටයුතු පවත්වාගෙන යාමට කර්මාන්තශාලා පත්වාගෙන යාමට අවසර ලබාදීම සේම අනුබලදීම නිරන්තර සිදුවෙයි.

“මේ සියලු දෑ සම්බන්ධව හොඳ අවබෝධක් හඳුනාගැනීමක් අපිට තිබෙනවා. වසංගත හමුවේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සමබරතාව ඇති කිරීමට තමා අපි උත්සාහ කරන්නේ. අපිට අවශ්‍ය සමතුලිත බවක් ඇතිකිරීම. සෞඛ්‍ය දෙස පමණ අපි අවධානය යොමු කළහොත් ආර්ථිකය සම්පූර්ණ විනාශ විය හැකියි. ආර්ථිකය දෙස පමණ අවධානය යොමු කළහොත් සෞඛ්‍ය විනාශයක් ඇතිවිය හැකියි. නමුත් අපේ ආණ්ඩුවේ දක්ෂතාව තමා ආර්ථික සහ සෞඛ්‍ය සමතුලිත පවත්වා ගැනීම. මේක අමාරැ වැඩක් ඒක මම පිළිගන්නවා.”

අයවැය යෝජනා සම්බන්ධව අප කබ්රාල් මහතාගෙන් විමසා සිටියෙමු. ඔහුට අනුව එළඹෙන 17 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් එම යෝජනා එළිදක්වනු ඇත. දැනටමත් ඊට අදාළ විග්‍රහ ආණ්ඩුව විසින් සිදුකර අවසන්ය. සෞභාග්‍යයේ දැක්ම අනුව අයවැය යෝජනා තුළ ප්‍රමුඛතා ලබාදෙන ක්ෂේත්‍ර නම්කර තිබේ. ජල සම්පාදනය, අලි මිනිස් ගැටුම නිරාකරණය, මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන නගාසිටුවීම ආදීය පිළිබඳ සෞභාග්‍යයේ දැක්කම අනුව විශේෂ අවධානයක් යොමුකර ඇත. එසේම ආයෝජන ගලා ඒම වර්ධනය කිරීම වෙනුවෙන් දේශීයව ඖෂධ නිෂ්පාදන සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, පෝට්සිටි සහ හම්බන්තොට ව්‍යාපෘතිය සඳහා අවධානය යොමුකිරීම ආදිය මෙවර සිදුවීමට නියමිතය.

“මේ හැමදේම කරන අතර අපේ රටේ සාර්ව ආර්ථික සාධක අපි යහපත්ව පවත්වාගෙන යායුතුයි. පොලී අනුපාතයට, රටේ මුදලේ අගය, සංචිත, ආදිය අපි මනාව පවත්වාගෙන යා යුතුයි. ඉතින් සියල්ල පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා.”

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ සංවාදයට ගන්නේ නම් විදෙස් ණයබර පිළිබඳ කතාබහ කිරීම සිදුකළ යුත්තක්ව තිබේ. දේශීයව සහ ජාත්‍යන්තර ණය උගුලක් පිළිබඳ වූ විවේචන පාදක කර ගනිමින් අපි ඒ පිළිබඳ සංවාදයට මුල පිරුවෙමු. කොවිඩ් හමුවේ ණය ගෙවීම මෙන්ම ණය ලබාගැනීම පිළිබඳවත් මෙහි අවධානය යොමුවිය.

“පසුගිය රජය ණයබරතාව දැඩි අර්බුදයක් බවට පත්කරගනු ලැබුවේ ප්‍රධාන කරුණු දෙකක් මත. පළමුවැන්න පොලී අනුපාතය දෙගුණ කර ගැනීම. පොලී අනුපාතය දෙගුණ වීමෙන් ණය ගෙවන්නාට සිදුවන දෙය ජනතාවට තේරුම් ගැනීම අපහසු නෑ. දෙවැන්න අපේ රටේ ණය ප්‍රමාණ රුපියල් වලින් බැහැරව ගිහින් විදෙස් මුදල් ලබා ගැනීමට පහුගිය රජය පෙළඹුණා. විදෙස් මුදල් ලබාගැනීම හරහා රුපියලේ අගය පවත්වාගෙන යාමට නොහැකි වුණොත් ණය තොගයේ වටිනාකම වැඩිවෙනවා. ණය ගෙවීම අපහසු වෙනවා. අපි රට භාරගන්නකොට පසුගිය රජය මේ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය කරලා තිබුණේ. කොහොම වුණත් අපි දැන් පොලී අනුපාතය අඩු කරගෙන තිබෙනවා. රුපියලේ අගය පාලනය කරගෙන තිබෙනවා තවදුරටත් අවප්‍රමාණය නොවන ආකාරයට.”

කබ්රාල් මහතා පෙන්වා දෙන ආකාරයට මෙම මූලික සිද්ධාන්ත සම්පූර්ණ කරගැනීමට රජය මේ වනවිටත් සමත්ව සිටියි. එසේම අලුතින් ණය ලබාගැනීමේදී විශාල සැලකිල්ලකින් විනයකින් යුතුව කටයුතු කිරීම අවශ්‍ය පදනම නිර්මාණය කර තිබේ. තවද ණය ගෙවීමද මනා විශ්ලේෂණයක් යටතේ සිදුවේ. ණය සම්බන්ධව ඇති අවදානම සහ පීඩනය අවම කරගැනීමට මේ සමඟ රජයට අවකාශ උදාවෙයි. ඒ අනුව රටේ ණයබර තාවය ස්ථායී මට්ටමකට ඉදිරියේදී පත්වනු ඇත.

අප සංවාදය අවසන් අදියරේ කොවිඩ් වසංගතය හමුවේ ලෝක ආර්ථික බිඳවැටීම පිළිබඳ පොදු සංවාදයක් ඇතිකර ගතිමු. ණය අර්බුදය ජනතා සහන සැලසීම සෞඛ්‍ය වියදම් ආදිය පිළිබඳ ඇතිවී ඇති ගැටලු මුළුමහත් ලෝකයටම පොදුය. ඒ නිසාවෙන් ඊට අවශ්‍ය වන්නේ පොදු විසඳුම්ය. එම නිසාම මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා සංවාද මෙසේ නිමා කළෙමු.

“මීට කලියෙන් ලෝකය දැවැන්ත අර්බුදවලට ලක්වෙන විට ලෝක මට්ටමින් වගකිවයුතු අය තීන්දු තීරණ ගත්තා. ඒත් කොවිඩ් වසංගතය හමුවේ වැනි තීරණය තවම අරගෙන නෑ. එකින් එක කරුණුවලට අවධානය යොමුකරනවා මිසක සමස්තයක් ලෙස පොදුවේ කටයුතු කිරීමක් නෑ. අපේ බලාපොරොත්තුවක් තිබෙනවා, අපි ප්‍රාර්ථනා කරනවා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධනය බැංකුව වගේ ආයතන පොදුවේ තීරණ ගැනීම වෙනුවෙන් යොමුවෙයි කියලා.”

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා