කටුනායක ප්‍රදේශයේ ජනතාවට ප්‍රධාන වශයෙන් ආර්ථික සවිය ලබාදෙන මූලාශ්‍ර දෙකක් තිබේ. ඉන් පළමුවැන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. එහෙත් ඊටත් වඩා ප්‍රදේශයට වඩාත් බලවත් ආර්ථික සැපයුම් මාර්ගය වී ඇත්තේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයයි. 1977 දී පත් වූ ජේ.ආර්. ජයවර්ධන රජයෙන් ආරම්භ වූ මෙම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ එවකට කර්මාන්තශාලා 125 කට අධික සංඛ්‍යාවක් තිබූ අතර, එම කර්මාන්තශාලා තුළ 140,000 කට අධික සේවක පිරිසක් සේවයේ යෙදී සිටියහ.
එවකට කටුනායක ප්‍රදේශය මෙතරම් දියුණු වී නොතිබුණද, එම කර්මාන්තශාලා තම සේවා මුරය ආරම්භ කරන උදෑසනත්, සේවා මුරය නිමාකරන සවසත් ප්‍රදේශයේ මහ පාරවල් සේවිකාවන්ගෙන් පිරී යන්නේ වෙනත් කිසිදු රථ වාහනයක් ගමන් කිරීමට ඉඩක් නොතබාය. එවිට එම රථ වාහන ගමනාගමනය සඳහා ඉතිරිව ඇත්තේ එම මහ පාරවල් තුළ මැද ඇති ඉතා කුඩා කොටසක් පමණි. එය සමාන වන්නේ ජපානයේ ටොයෝටා කර්මාන්තශාලාව පිහිටි ටොයෝටා සිටි නගරයේ වීදි සිය සේවා මුරය ආරම්භයේදී සහ අවසන් වීමෙන් පසුව එම සේවකයන්ගේන් පිරී යන්නාක් මෙනි.
එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී ගොස් දැනට මෙම කලාපය තුළ සේවකයන් 38,000ක් සේවයෙහි යෙදී සිටින කර්මාන්තශාලා 88ක් පමණක් ඉතිරි වී තිබේ. මෙම කර්මාන්තශාලා තම සේවිකාවන් තවදුරටත් තමන් වෙත රඳවාගැනීම සඳහා විශේෂ පහසුකම් රාශියක් ඒවායේ සේවය කරන සේවිකාවන් වෙත ලබාදෙන අතර, ඒවායින් එක් ප්‍රධාන පහසුකමක් වන්නේ දුර බැහැර ප්‍රදේශවල සිට මෙම කර්මාන්තශාලා වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමයි.
තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලේ වෙලී යත්දී සමාජ දුරස්ථභාවය, පොදු ප්‍රවාහන සේවා අඩාල වී යාම සහ කටුනායක ප්‍රදේශයට නීරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් මෙන්ම ප්‍රදේශවාසීහුද දැඩි ප්‍රශ්න වැලක එතෙන්නට වූහ.
ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වූයේ ඉකුත් ඔක්තෝබර් මස 09 දින සීදුව, රාජපක්ෂපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඇඟලුම් සේවිකාවක් වශයෙනි. ඒ සමඟම බොහෝ කර්මාන්තශාලා තම සේවකයන් සීමා කරන්නට විය. ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක පිරිසක් තම පෞද්ගලික වාහනවලින්, සේවයට පැමිණෙන මුවාවෙන් පැමිණ වෙනත් ප්‍රදේශ වෙත ගොස් සිටියදී ආරක්ෂක අංශ වෙත කොටුවීමෙන් පසුව, 2020.10.19 දින සිට නිදහස් වෙළෙඳ කලාප සේවකයන් තම පෞද්ගලික වාහනවලින් සේවය සඳහා පැමිණීම තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම පියවරත් සමඟ ගැටලු ඇතිවීම ආරම්භ විය.
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සහ අවට ප්‍රදේශයේත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හමුවන්නට විය. මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ඇති කර්මාන්තශාලා 25ක සේවය කරන සේවිකාවන් 425 දෙනෙකුට පමණ මෙම වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ. මේ පසුබිම තුළ මෙම නිදහස් වෙළෙඳ කලාපය අවට ප්‍රදේශයේ නේවාසිකාගාර සහ පදිංචිකරුවන් මෙම කර්මාන්තශාලා විසින් සේවය සඳහා භාර නොගන්නා තත්ත්වයක් ඇති වී තිබුණි. දහස් ගණන් සේවකයෝ නේවාසිකාගාර තුළ කල් ගෙවන්නට වූහ. ඒ අතර දිනපතා වැටුප් ලබන, තාවකාලික පදනමින් රුකියා කරන &මෑන් පවර්* සේවකයන් විශාල පිරිසක්ද සිටියහ. ඔවුන්ට වගකිවයුතු, ස්ථිර කර්මාන්තශාලාවක් නොමැති නිසා මෙම පිරිස් බලවත් සේ අසරණ තත්ත්වයට ඇද වැටෙන්නට වී තිබුණි.
ඒ අතර මොවුන් රැඳී සිටින නේවාසිකාගාර අතරද මෙම වෛරසය පැතිර යෑමෙන්, ඒවා තුළින්ද කොරෝනා ආසාදිතයෝ මතු වන්නට වූහ. මේ නිසා කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ, අමන්දොළුව හල්ගස්තොට ප්‍රදේශයේ, ජයවර්ධනපුර ප්‍රදේශයේ නේවාසිකාගාර විශාල ප්‍රමාණයක නැවතී සිටි සේවිකාවන් මෙන්ම ඒවායේ හිමිකරුවන්ද නීරෝධායනය සඳහා ආරක්ෂක අංශ විසින් රැගෙන යනු ලැබූහ. මෙසේ ඔවුන් තම නේවාසිකාගාර, නිවාස හැරයත්දී මෙතෙක් ඔවුන් ආදරයෙන් ඇති දැඩි කළ වටිනා මිල අධික බල්ලන්, බළලුන් ඇතුළු සුරතල් සතුන්, රුක බලාගන්නට අයකු තවදුරටත් එම පරිසරයේ ඉතිරි වී නොමැති නිසා අත්හැර දමා යන්නට වූයේ කෙසේ හෝ ආහාර ස්වල්පයක් සොයාගෙන ඔවුන් තම ජීවිතය රැකගනී යන අපේක්ෂාවෙනි.
මේ නිසා මෙම ප්‍රදේශ මේ වනවිට විශාලා මහනුවර බවට පත් වී තිබේ. අමන්දොළුව ජයවර්ධනපුර ප්‍රදේශයේ මේ ආකාරයට තම නිවෙස සමීපයෙහි නේවාසිකාගාරයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙක් විය. ඔහුගේ නේවාසිකාගාරයේ එක් විවාහක කාන්තාවකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ අතර, ඇයගේ ස්වාමිපුරුෂයාට එම වෛරසය ආසාදනය වී නොතිබුණි. එහෙත් ආරක්ෂක හමුදා පැමිණ මෙම නේවාසිකාගාරයේ සිටි සියලුම දෙනා නීරෝධායනය සඳහා රුගෙන යාමට පියවර ගෙන තිබුණි.
මේ අතර අසල්වැසි කිසියම් පුද්ගලයෙකු මෙම නේවාසිකාගාරය හිමි අයිතිකරු පිළිබඳවද එම ආරක්ෂක අංශ වෙත තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර, පසුදින රාත්‍රියේ ඔවුන් පැමිණ මෙම දරු පවුලද නීරෝධායනය සඳහා බලහත්කාරයෙන්ම රුගෙන ගියේ තම 84 වැනි වියේ පසුවන පියාද සමඟිනි. ඔවුන් තම වයෝවෘද්ධ පියා රැගෙන නොයන ලෙස ඇවිටිලි කළද, එය නොතැකූ එම ආරක්ෂක අංශ ඔවුන් රැගෙන ගොස් මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ නීරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඇතුළු කර තිබිණි.
ඒ අතර ඊට පසුදින රාත්‍රී කාලයේ මෙම නේවාසිකාගාරය සහ නිවෙස වෙත පැමිණි සොරුන් පිරිසක් ඒවායේ දොරවල් කඩා, ඒවාට ඇතුළු වී එහි තිබූ වටිනා දෑ සොරාගෙන ගොස් තිබිණි.
තවත් මෙවැනි සිදු වීමක් කටුනායක ඇවරිවත්ත ආසන්නව ඇති රූපලාවණ්‍යාගාරයකින් වාර්තා වී තිබුණි. මෙය හිමිකාර කාන්තාව මිනුවන්ගොඩ බ්රුන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවක් ඇතුළු තවත් තරුණියන් 20 දෙනෙකුට පමණ එක්දින වැඩමුළුවක් මෙම රෑපලාවන්‍යාගාරයේ පවත්වා තිබුණි. පෙර කී බ්රුන්ඩික්ස් සේවිකාවට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු, මෙම රූපලාවණ්‍යාගාරය හිමි කාන්තාවද නිවෙස තුළ නීරෝධායනය සඳහා යොමුකර තිබුණි. එහෙත් ඇගේ ස්වාමිපුරුෂයාට හෝ දරුවන්ට මෙම නීරෝධායනය අදාළ නොවූ අතර, ඔවුහු තම ව්‍යාපාරික කටයුතු සහ අනෙකුත් සාමාන්‍ය කටයුතුවල නිරත වී සිටියහ. එහෙත් මෙම පුවත සැළ වූ විගස කටුනායක කර්මාන්තශාලා හිමියෝ, මෙම රෑපලාවණ්යාගාරය අවට නේවාසිකව සිටින සියලු සේවිකාවන් සේවයට පැමිණීම දින 14ක කාලයකට අත්හිටුවීමට පියවර ගත්හ.
ඒ අනුව මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට ප්‍රදේශයේ නේවාසිකව සිටින සේවිකාවන් සහ ප්‍රදේශවාසීහු බලවත් සේ අසීරුවට සහ අපහසුතාවලට ලක් වී සිටිති. කටුනායක පොලීසිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව සහ ඇන්ටන් මාකස් මහතා නායකත්වය දරන වෘත්තීය සමිතිය මගින්ද සහන බඩු මලු බෙදාදීමක් සිදු කළද, එය මේ වනවිට ප්රශ්නය පවතින ස්වභාවය අනුව ප්‍රමාණවත් නොවේ.
කටුනායක තවත් නේවාසිකාගාරයකට දුරකථන ඇමතුමක් ලබාදුන් විට ඔවුන් පත් වී සිටින අසීරුතාවය මෙසේ ප්‍රකාශ කළේය.
අපේ බෝඩිමේ 22 දෙනෙකු සිටිනවා. ඒ අතර බබාලා ලැබීමට නියමිත අයත් සිටිනවා. කුඩා දරුවන්ද සිටිනවා. වැඩි පිරිසක් මෑන් පවර් ලෙස සේවය කරන පිරිසක් ඉන්නේ. අපේ බෝඩිම නීරෝධායනය මධ්‍යස්ථානයක් ලෙස සීල් කරලා. ඒ නිසා සල්ලි දීලා බඩු ගන්නත් වාහන මෙතෙනට එන්නේ නැහැ. නීරෝධායන පුවරුව දැක්කම ඔවුන් පළා යනවා. ස්ථිර කම්හලක සේවය නොකරන නිසා අපට ඔවුන් උදව් කරන්නෙත් නැහැ. මේ ඔවුන්ගේ මැසිවිල්ලයි.
කර්මාන්තශාලා මගින් සහන බඩු මලු බෙදාහැරීම සිදු කළද, ඒවා නිසියාකාරව, එම සේවිකාවන් අතර බෙදීයාමක් සිදු නොවන බවටද පැමිණිලි මතු වී තිබේ. ඒ නිසා මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට ඇති නේවාසිකාගාර සහ ඒවායේ හිමිකරුවන්ද, ප්‍රදේශවාසීන්ද කොරෝනා වෛරසයට ඇති බියෙන්ද, ආර්ථික සහ ආහාර පාන හිඟයෙන් මෙසේ බැටකමින් සිටිති.
I කටුනායක ටී.කේ.ජී. කපිල