2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

පට් පට් ගා කොවිඩ් හොයන අලුත් ටෙස්ට් එක

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

ලෝකය කැළඹීමට හේතුවූ නිශ්චිත හේතුවක් හඳුනා නොගත් අමුතු නිව්මෝනියා තත්ත්වයක් ගැන මුල්වතාවට චීනයෙන් වාර්තා වූයේ 2019 වසරේ දෙසැම්බර් 31දාය. ඒ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. 2020 ජනවාරිය වනවිට මෙය නව කොරෝනා වෛරස ආසාදනයක් බව හඳුනාගන්නා අවදිය වනවිටත් ලොව රටවල් 11කින් රෝගීන් 2798ක් වාර්තා වූ අතර මරණ 80ක් සිදුවී තිබුණි. ලංකාවට මේ රෝගයේ බලපෑම ආවේ මඳක් පමාවීය. මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27 වැනිදාය. ඇය චීන කතකි. මාර්තු මස වනවිට නව ලෝක වසංගත තත්ත්වයක් ලෙස මෙය ප්‍රකාශයට පත් විය. එතැන් සිට වුවද ලංකාව තුළ කිසියම් පාලනයකට නතුව තිබූ මේ වසංගතයේ දෙවැනි රැල්ල පසුගිය සැප්තැම්බරයේ සිට ඇරඹී ඇත්තේ භයානක ලෙසිනි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ආසාදනයෙන් මියගිය ගණන 29ක්ව තිබේ. තහවුරු කළ රෝගීන් ගණන 12570කි. දිනපතා වාර්තාවන රෝගීන් සංඛ්‍යාව කඩිනමින් ඉහළ යමිනි. දැන් එය අප සතු රෝගීන් හඳුනාගැනීමේ පීසීආර් ධාරිතාවද ඉක්මවා ගොසිනි.

මේ රෝගය ගැන කතාබහ ඇරඹුණු දින සිට නිතර අසන්නට ලැබුණු පොදු වචනයක් වූයේ පීසීආර් පරීක්ෂාවයි. ඒ අතර දැන් අලුතෙන්ම අපට අසන්නට ලැබී ඇත්තේ ප්‍රතිදේහ ජනක පරීක්ෂාව හෙවත් Antigen Test යන්නයි. පීසීආර් සමග හරිහරියට ඇන්ටිජන්ට් ටෙස්ට් අවශ්‍ය බවට වූ මතය දැඩිව සමාජගත වන්නට වූයේ අපට සිතා ගත නොහැකි මට්ටමට දිනපතා රෝගීන් වාර්තාවන්නට සිදුවීමත් සමගිනි. මේ නිසා දැන් කා තුළත් මේ කියන අමුතු පරීක්ෂණය ගැන අමුතු උනන්දුවක් ඇති වී හමාරය.
සාමාන්‍යයෙන් වෛරස ආශ්‍රිත රෝග හඳුනාගැනීමේදී භාවිතා වන ප්‍රධාන පෙළේ පරීක්ෂාවන් 03ක් පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස විද්‍යාඥ ජූඩ් ජයමහ පෙන්වා දෙයි. මූලිකවම වෛරස ජාන ප්‍රමාණය වර්ධනය කර හඳුනාගන්නා පීසීආර් ක්‍රමයයි. දෙවැනුව වෛරස මත ඇති ප්‍රතිදේහජනක  හඳුනාගන්නා පරීක්ෂාවයි. මේ හැර වෛරසය හේතුවෙන් සිරුර තුළ හටගන්නා ප්‍රතිදේහ හඳුනාගන්නා පරීක්ෂාවක්ද පවතී. මේ පරීක්ෂණ ආකාර 3ම වසංගතයකදී එහි ආසාදිතයන් හඳුනාගන්නට මෙන්ම එය පැතිර යන ආකාරයද සමාජය තුළ එයට එරෙහිව ගොඩනැඟී  ඇති ප්‍රතිශක්තිය කෙතරම්ද යන්න පිළිබඳව සොයාගන්නට ඉවහල්වන අතර රෝග මර්දන වැඩපිළිවෙළට මහඟු ලෙස ආධාරකාරී වෙයි.

දැන් අපේ රට තුළද දැඩි කතාබහට ලක්වී ඇති පීසීආර් පරීක්ෂාව රෝගීන් හඳුනා ගැනීමට දැනට  ඇති හොඳම තාක්ෂණය බව කියන්නේ පීසීආර් ධාරිතාව ඉහළ දමන්නට යැයි නිරන්තරව ඉල්ලා සිටින වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේය. නමුත් වෛරස විද්‍යාඥ ජූඩ් ජයමහද පෙන්වා දෙන පරිදි පීසීආර් තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිඵල ලබාගැනීමට ගතවන කාලය සාපේක්ෂව ඉහළය. මේ නිසා රෝගයක් දැඩි ලෙස සහ බහුල ලෙස පැතිර යන අවස්ථාවේදී එය ආශ්‍රිතව රෝගීන්  හඳුනාගැනීම් කඩිනම්  කිරීම සඳහා ප්‍රතිදේහ ජනක පරික්ෂාවද සාර්ථකව යොදා ගන්නා තාක්ෂණ උපක්‍රමයක් බව ඔවුහු පෙන්වා දෙති.

වෛද්‍ය හරිත අලුත්ගේ, වෛරස ජාන හඳුනා ගැනීම මගින් රෝගීන් නිසැකව හඳුනාගැනීමට දැනට ඇති දියුණුම සහ වඩාත් සංවේදී සාර්ථකම ජාත්‍යන්තර පිළිගැනීම ලත් තාක්ෂණය ලෙස පීසීආර් ගැන සඳහන් කරන නමුදු, ඔහුම පෙන්වා දෙන්නේ එය මිල අධික කාලය වැඩියෙන් ගතවන පරීක්ෂාවක් බවයි. ලංකාවේ මේ සඳහා අවම වශයෙන් රුපියල් 6000-9000ක් වත් වැය වේ. අඩු තරමේ පැය 6ක කාලයක්වත් මේ සඳහා ගතවේ. මේ නිසාම ලෝකය පුරා පීසීආර් ධාරිතාව හෙවත් දිනකට සිදුකෙරෙන පරීක්ෂාවන් ප්‍රමාණය සීමාවීම ගැන ගැටලු මතුව තිබේ. එහෙයින්ම එයට විකල්ප තාක්ෂණික ක්‍රම පර් යේෂණ ගැන ලෝකයේම අවධානය මේ වනවිට යොමුව හමාරය.

ඒ අනුව නව පර්යේෂණ 2ක් ගැන අවධානය යොමුව තිබේ. ඉන් එකක් දැන් අප රටේද භාවිතයට ගැනෙන ක්ෂණික ප්‍රතිදේහ ජනක - Rapid Antigen Test, පරීක්ෂාවයි. මේ පරීක්ෂාවේ ඇති වාසිදායක තත්ත්වයක් වන්නේ එය සඳහා ගතවන කාලය සහ මුදල් විශාල ලෙස අඩුවීමයි. සාමාන්‍යයෙන් රුපියල් 1000කට අඩු මුදලකටද කරගත හැකිය. එසේම මේ පරීක්ෂාව පුහුණු කාර්යය මණ්ඩලය ඇතිවිට රෝගීන් සිටින ස්ථානයේදීම  ක්ෂේත්‍රයේදී පහසුවෙන් සිදුකළ හැකිය. පර් යේෂණාගාර භාවිතය අනවශ්‍යය. එය සංකීර්ණ පරීක්ෂාවක්ද නොවේ. එනිසා විනාඩි 10-15ක් තුළ ප්‍රතිඵල ලබාගන්නටද හැකිය. ස්වොබ් කූර යොදා නාසයෙන් හෝ උගුරෙන් ලබාගන්නා ජෛව තරලයේ ඇති වෛරසවල පිටත ප්‍රෝටීන කොපුවෙහි ඇති විශේෂ ප්‍රතිදේහ ජනකය හඳුනාගැනීම මෙහිදී සිදුවෙයි. එය අතේ ගෙන යා හැකි තරමේ පුංචි කට්ටලයකි. සාම්පල ලබා ගැනීම, එයින් වෛරස වෙන්කර ද්‍රාවනයක් තැනීම සහ එම ද්‍රාවන බිඳක් පරීක්ෂකය මතට එක් කිරීම යන සරල පියවර ඔස්සේ විනාඩි 15ක පමණ කාලයකදී මෙයින් වෛරසය සිරුරු ගතව ඇති - නැති බව තහවුරු කර ගන්නට හැකිය.

නමුත් මෙහි අවාසිදායක පැත්තක් නැත්තේද නොවේ. මූලිකවම මේ පරීක්ෂාවේ ප්‍රතිඵල සාර්ථකව ලැබෙන්නේ ඉහළ වෛරස් සාන්ද්‍රණයක් රෝගියාගේ සිරැරැගතව ඇතිවිටය. ගොඩක් වෛරස ප්‍රමාණයක් ඇඟේ නැතිවිට මෙයින් රෝගියා නිශ්චිතව හඳුනාගන්නට හැකියාව නැත. වෛද්‍ය හරිත පෙන්වා දෙන්නේ පීසීආර් ක්‍රමයේදී ඉතා සුළු වෛරස ප්‍රමාණයක් තිබුණත් එය වර්ධනයකර සිදුකරන පරීක්ෂාවක් නිසා නිශ්චිතවම රෝගීන් වැඩිගණනක් හඳුනාගැනෙන බවයි. මේ නිසා රෝගීන් හඳුනාගැනීම සඳහා කෙරෙන පරීක්ෂාවක් හැටියට මෙය එතරම්ම සාර්ථක නොවේ.

නමුත් ක්ෂේත්‍රගතව වැඩි ජනගහනයක් යොදාගෙන සිදුකරන රෝගය බෝකළ හැකි දැඩි අවදානම් පිරිස එයින් වෙන්කර හඳුනාගැනීම සඳහා වූ පරීක්ෂාවක් ලෙස මෙය  සාර්ථක බව වෛද්‍ය ජූඩ් ජයමහ පෙන්වා දෙයි. සමාජගතව සිදුකරන ක්ෂණික අහඹු පරීක්ෂාවන්වලදී මෙම ක්‍රමය මගින් රෝගය වඩාත් ඉක්මණින් පැතිර විය හැකි අවදානම්  කණ්ඩායම් පහසුවෙන් හඳුනාගත හැකි බව වෛද්‍ය හරිත අලුත්ගේද පිළිගනියි. ඉතා ලාභ ඉතා පහසු ක්‍රමවේදයක් වන මෙය පීසීආර් ධාරිතාව පිළිබඳ ගැටලු මතුව ඇති මේ අවස්ථාවේ යොදාගත හැකි ක්ෂණික විකල්පයක් වුවද ඉතා සුළු වෛරස ප්‍රමාණයක් සිරුරු ගතව ඇති රෝග වාහකයන් හඳුනා ගැනීමට නම් සුදුසුම පීසීආර් ක්‍රමය බව මේ අයගේ අදහසයි. ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සමාජ නියැදි පරීක්ෂාව සඳහා පුළුල්ව යොදා ගැනීම සුදුසුද යන වග පිළිබඳව තත්ත්වය හැදැරීම මේ දිනවල සිදුවෙමින් පවති. ඒ සඳහා විශේෂඥයන්ගේ අදහස් සාකච්ඡාවට ගැනෙමින් ඇත. එය කෙතරම් සංවේදී ලෙස  ගැළපෙනවාද නැතිද යන්න පිළිබඳව Rapid Antigen Test, පිළිබඳ විශේෂඥ මතය ඉදිරි සතියේදී ලැබීමට නියමිතය.

මේ කාලයේ වරදවා වටහා ගැනීමෙන් යුතුව සාකච්ඡාවට ලක්ව ඇති ප්‍රතිදේහ පරීක්ෂාව - Antibody Test, මේ දෙකටම හාත්පසින්ම වෙනස් කාරණා සඳහා යොදාගන්නකි. වෛරසය ශරීර ගතවූ පසු වැළඳෙන රෝගය සමඟ සටනට එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙයි. මෙහිදී පරීක්ෂාවට ලක්වන්නේ එම ප්‍රතිදේහයන්ය. සාමාන්‍යයෙන් මෙසේ සිරුර තුළ ප්‍රතිදේහ නිපදවීම සඳහා කාලයක් ගතවෙයි. බොහෝවිට දින 10කට වැඩි කාලයක් ගතවෙයි. නමුත් එම කාලය තුළ වෛරස සිරුරු ගතව වැඩෙමින් බාහිරයට බෝ වෙමින් තිබෙන්නට හැකිය. මේ නිසා රෝගීන් හඳුනාගැනීම උදෙසා ප්‍රතිදේහ පරීක්ෂාව සුදුසු නැත. නමුත් මේ කාලයේ කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ඔප්පු කරන්නට උත්සාහ දරන රෝගය සමාජ ගතව පැතිරයමින් ඇතිදැයි සොයාගන්නට නම් මේ ක්‍රමය වාසිදායකය. ඒ මෙම පරීක්ෂණය පොසිටිව් වීම මගින් තහවුරු කරන්නේ කිසියම් පුද්ගලයෙකුට රෝගය වැළඳී සුව වී ඇති බව නිසාය. මේ නිසා රෝගය සමාජය තුළ කෙතෙක් දුරට ව්‍යාප්තව අත්දැයි සොයන්නට මෙය යොදාගත හැකිය. දැනටමත් මෙම පරීක්ෂාව යම් පමණකට සිදුකෙරේ. ඒ රෝගියා සුවය ලබා ඇත්දැයි තහවුරු කරන්නටය. බොහෝවිට එය රජයේ රෝහල්වලදී නිවසට යැවීමට පෙර සිදුකරනා පරීක්ෂාවකි. ක්ෂණික ප්‍රතිදේහ ජනක - Rapid Antigen Test, පරීක්ෂාවද පීසීආර් ක්‍රමවේදය මෙන්ම පුද්ගලයෙකුගේ දේහ ජෛව පටල පරීක්ෂාවෙන් සිදුකරන්නකි. නමුත් ප්‍රතිදේහ පරීක්ෂාව රුධිරගත පරීක්ෂාවකි. එය පොසිටිව් ලෙස වාර්තා වුවහොත් ඉන් අදහස් කෙරෙන්නේ තවදුරටත් ඒ තැනැත්තාගෙන් රෝගය තව අයෙකුට බෝ නොවන බවය. කෙනෙක් සුවය ලබා ඇති බව තහවුරු කරන මේ පරීක්ෂාව රෝගයේ ව්‍යාප්තිය වටහා ගන්නටද යොදාගන්නට හැකිය. නමුත් මේ මොහොතේ අපට අවශ්‍යව ඇත්තේ එය නොවේ.

 සුගත් පී. කුලතුංගආරච්චි