විවිධ ප්‍රදේශවල ජීවත්වෙන පොදු මහජනතාව පීඩාවට පත් කරන ගැටලු පිළිබඳව දැවෙන ප්‍රශ්න ඔස්සේ අපි කතා කලෙමු. ඔබගේ ප්‍රදේශයේත් මෙවැනි පොදු ගැටලු ඇත්නම් දේශය අප ප්‍රදේශීය වාර්තාකරුවන් අමතන්න.
| රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
බලන්ගොඩ සිට කිලෝමීටර තිහක් දුරින් පිහිටි වැළිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑගලයාය ගොවි ගම්මානයට තවමත් විදුලිය, පානීය ජලය සහ පොදු පහසුකම් නොමැත.
ඉත්තෑගලයාය ගොවි සංවිධානයේ ලේකම් කේ.ඒ. චන්ද්‍රසිරි මහතා ගමේ ප්‍රශ්න ගැන මෙසේ පැවසීය.
ඉත්තෑගලයාය ගමේ වසර හැටක සිට මිනිස්සු පදිංචිව සිටිනවා. මහවලතැන්න වලව්වට එවක තිබූ ඉඩම් අපේ මුතුන් මිත්තන්ට ලබාදුන්නා. ඒත් 1972 වසරේදී මේ ගමත් තවත් ගම් රුසකුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත්තා. අපි ගමේම පදිංචිව ඉන්නවා. ගොවිතැන් සිදුකරනවා. ගමේ පවුල් 60ක් පමණ විදුලිය හෝ පානීය ජලය නොමැතිව පීඩා විඳිනවා. ජලය නම් පා ගමනින් ඇළට ඇවිත් ගන්නවා. වනජීවී දෙපාර්තමේන්තුවට මේ ඉඩම් අයිති බව කියමින් අපට කිසිදු රජයකින් විදුලිය දුන්නේ නැහැ. විදුලි බලය කියන්නේ මානුෂික අයිතියක්. මේ ගමත් එක්ක වනජීවියට ගත් අනෙක් ගම්වලට ජලය විදුලිය ලබාදී තිබෙනවා. විදුලිය නැති වුණාට වන අලින්ගෙන් ගමට හානි වෙයි කියලා අලි වැටක් ඉදිකර ගම වෙන්කර තිබෙනවා.
ලංකාවේ දෙවැනි විශාලතම ජල විදුලි බලාගාරය වන සමනල වැව බලාගාරය පේනතෙක් මානයේ පිහිටි අපිට විදුලිය නැහැ. ඒ බලාගාරය නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට රුගෙන යන්නේ අපේ ගම උඩින්. අවුරුදු 45කට කලින් ගම වනජීවියට ගත්තද වෙනත් ප්‍රදේශයකින් ඉඩම් දුන්නේ නැහැ පදිංචියට. ඒ නිසා ගමේ අය පාරම්පරිකව මෙහි ජීවත් වෙනවා.
| වන්නි රොමේෂ් මධුෂංඛ
යුද සමයේදී පැවති යුදමය වාතාවරණය හමුවේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන වෙතට දිවයන අවස්ථාවන්වලදී බෝම්බ හා වෙඩි උණ්ඩවලට මැදිව තුවාල වූ උතුරේ වැසියන් විශාල ප්‍රමාණයක් මේ වනවිට නැවත පදිංචිව සිටිති.
නමුත් බෝම්බ හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල වූ වැසියන් අතරින් අදටත් වේදනා විඳින පිරිසක් උතුරු ප්‍රදේශයේ ජීවත්වන අතර ඔවුන්ගේ ආර්ථික අපහසුතා හේතුවෙන් ශල්‍යකර්ම සිදුකර ගැනීමට නොහැකිව ජීවත්වීමද මීට හේතුව වී ඇත.
වවුනියාවේ සාස්ත්‍රීකුලම් ගම්මානයට ගිය විටදී එහි සත්‍යතාවය පෙනී ගියේය. එම ගම්මානයේ වෙසෙන කාන්තාවක් වූ පී.සාරිතා,
මගේ එක ඇසක් පේන්නේ නැහැ. ඒ මුලතිව්වල ඉන්නකොට මෝටාර් බෝම්බයක් පත්තුවෙච්ච වෙලාවේ මම ළඟ හිටියා. ඒ වෙලාවේ මගේ ඇසත් අහිමි වෙලා මට හොඳටම තුවාල වුණා. මේ වෙනකොට අපි නැවත පදිංචියට වව්නියාවේ ඉන්නේ. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මගේ ඇස අසලත් කකුල්වල හා බෙල්ලේත් මෝටාර් උණ්ඩ කැබලි හතක් තියෙනවා කියලා රෝහලට ගියාම දොස්තරල මට කිව්වා. නමුත් ඒ බෝම්බ කෑලි ඉවත්කරන්න ආණ්ඩුවේ රෝහල්වල පහසුකම් නැහැලු. පෞද්ගලික රෝහලකින් තමයි ශල්‍යකර්මයක් මාර්ගයෙන් මේ බෝම්බ කෑලි ගන්න වෙලා තියෙන්නේ. මට මගේ දරුවන්ටත් කන්න එදාවේල හොයාගන්නේ බොහොම අමාරුවෙන්. පෞද්ගලික රෝහලකදී ඇස අසල ඇති මෝටාර් කැබැල්ල ඉවත් කිරීමට රුපියල් පනස්දහසක් යනවා. බෙහෙත් සඳහා තවත් වෙනම මුදලක් අවශ්‍ය වෙනවා. ඉතිං මේ මුදල අපිට නැති නිසා මේ බෝම්බ කෑලි ඇඟ ඇතුලෙම තියන් පුළුවන් කාලයක් ජීවත් වෙනවා* යැයි පැවසුවාය.
මෙලෙස උතුරු ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශයන්හි අපහසුතාවන් නිසාවෙන් බෝම්බ කෑලි හා වෙඩි උණ්ඩ ඇඟ තුළම තබාගෙන යුද්ධයේ අමිහිරි මතකයන් මකා දැමීමට නොහැකිව වේදනාවෙන් යුතුව අදටත් ජීවත් වෙමින් සිටීම සියල්ලන්ටම වේදනාවක් බව කිව යුතුය.
| රෝවන් පෙරේරා - පුත්තලම
දිනෙන් දින ඉහළ යන වන අලි ගැටලුව හේතුවෙන් කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම, ආණමඩුව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක ගම්මාන රැසක ජනයා දැඩි ලෙස පීඩාවට පත් වී සිටිති.
වනඅලි ප්‍රහාරවලින් මිනිස් ජීවිත අහිමි වීම සහ වගාවන් දේපළ විනාශ වීම දිගින් දිගටම සිදුවෙයි. ඒ අතර වන අලින්ගේ ජීවිතද විනාශ වෙමින් පවතී. ආසන්නතම සිද්ධිය වන්නේ 31 වැනි දින පොහෝදා බෝධි පූජාවට ගිය වයස අවුරුදු තුනක කුඩා දරුවෙක් ඇතෙකුගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීමයි.
දේපළ වගාබිම් රැසක් විනාශ කරමින් ජනතාවට විශාල තර්ජනයක් වූ ආණමඩුව මාවතෑව ගම්මානයේ ජනතාව පවසන්නේ මේ ගැටලුව කිසිදිනක නොවිසඳෙන ගැටලුවක් බවයි. පවුල් 150 පමණ ජීවත්වන මේ ගම්මානයේ නිවෙසක් කඩාබිඳ දැමූ අලි වගාවන් රැසක්ද විනාශ කර ඇත.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ආර්.එම්. නිලන්ති මහත්මිය.
අපි ඉස්සර අලි බලන්න ගියෙ පින්නවල නැත්නම් දෙහිවල සත්තු වත්තට. දැන් අලි ගෙවල්වලට ඇවිත් පෙනී සිටිනවා. ඡන්දය කාලෙට එන දේශපාලනඥයන් දෙන පොරොන්දු එකක්වත් ඉටු කරන්නෙ නැහැ. බොරු පොරොන්දු විතරයි.
මේ අලියා ඇවිත් ගේ කඩනකොට මගෙ අම්ම විතරයි හිටියෙ. හරි අමාරුවෙන් තමයි පණ බේරාගෙන තිබුණෙ. කාලයක පටන් පවතින වන අලි ගැටලුවට විසඳුම් දීමට කිසිම රජයකට බැරිවෙලා තිබෙනවා.
මේක නිකම් හිඟන්නගෙ තුවාලය වගේ අපි හැමදාමත් කියනවා අහන්න කෙනෙක් නැහැ. ගෙවල් කඩනවා. වගා විනාශ කරනවා. මිනිස්සු මරනවා. බලධාරීන් නිහඬව ඉන්නවා. අපිට දැන් මේ ගම් අතහැරලා යන තත්ත්වයට පත්වෙලා. අපි රජයට කියන්නෙ ඉක්මනට මේ ගැටලුවට විසඳුම් සොයන්න කියලා.
| ගල්ගමුව නිහාල් ජයවීර
2020 ජනවාරි මාසෙ සිට දැන් මාස දහයක් අපි වතුර බිංදුවක්වත් ලබාගන්නෙ නැතිව ජල සම්පාදන මණ්ඩලයට බිල් ගෙවනවා.
ගල්ගමුව නගරය හා තදාසන්න ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්නයක් ගැන අප සමග සාකච්ඡා කිරීමට එසේ එක්වූයේ ගල්ගමුව, ගොජරාගම පදිංචි ඩබ්ලිව්.එම්.පී. වාසල මහතාය.
ගල්ගමුව නගරය, බස් නැවතුම්පොළ ඉහළ කොටස, අරසන්වැව ඉහළ කොටස, ගෙවල් 25 කොටස, වාලසේන, මොන්නම්කුලම, දිවුල්ලෑව, ගල්ගමුව පහළ නගර කොටස, ගොජරාගම, දේවගිරිපුර, ආදී ප්‍රදේශවලට පානීය ජලය සපයන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය මගිනි. මේ ප්‍රදේශවලින් ඇතැම් ගම්වලට ගත වූ මාස කිහිපයේ ජල බිඳුවක් හෝ සපයා නැති බව ජල පාරිභෝගිකයෝ කියති. ඇතැම් කොටස්වලට සතියකට දිනයක් පමණක් ජලය ලැබෙන බව ජනතාව කියති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩබ්ලිව් එම්.පී. වාසල මහතා මෙසේද කියයි.
මී ඔය ජල පවිත්‍රාගාරයෙන් තමයි අපේ නගරයට හා තදාසන්න ප්‍රදේශවලට ජලය සපයන්නේ. මී ඔය හිඳෙන කාලයට වතුර නෑ. අනික ජල පාරිභෝගික සංඛ්‍යාව වැඩියි. මේ වනවිට ජල පාරිභෝගිකයන් 3500කට වඩා ඉන්නවා. ඒ සංඛ්‍යාවට ප්‍රමාණවත් තරම් ජලය සපයන්න ධාරිතාවක් මේ පවිත්‍රාගාරයට නෑ.
මේ අවුරුද්දේ ගත වූ මාස දහයේ අපේ ගෙදරට නම් ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර බිංදුවක්වත් ලබාදුන්නේ නෑ. ගමේ අනෙක් නිවාසවලටත් එහෙම තමයි. ඒ ස්ථාවර ගාස්තු කියලා මාසයකට රුපියල් 60ක් අය කරනවා.
ගල්ගමුව නගරයට සතියකට දිනයක් දෙක තුනක් වතුර සපයනවා. ඒ වතුර මඩ සහිතයි. බොන්න තියා ගේදොර වැඩකටවත් ගන්න බෑ. ජල පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත්වෙලා ඉන්නවා. නගරයේ හෝටල් හිමියන් හා ව්‍යාපාරිකයන් කුලී දීලා පිටින් වතුර ගේනවා.
මේ ප්‍රශ්නය හැමදාම එන ප්‍රශ්නයක්. මේකට විසඳුමක් ලෙස මහගල්ගමුව වැවෙන් හෝ උස්ගල සියඹලන්ගමුව වැවෙන් ස්ථිර ජල සැපයුමක් ලබා ගැනීමට පුළුවන්. මේ ප්‍රශ්නය අපි දැන් කාලෙක සිට වගකිවයුත්තන්ට කියනවා. ඒත් විසඳුමක් නෑ.
| ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
සේරුනුවර අල්ල ගොවි ජනපදයට ජලය සැපයෙන මාවිල්ආරු අමුණේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති නිසා අක්කර 22,000ක ගොයම අවදානමේ පවතින බව ගොවියෝ පවසති. මාවිල්ආරු අමුණෙන් එන ජලය වම් ඉවුර හා දකුණු ඉවුරට බෙදී යන අතර ජල මට්ටම අඩු නිසා එකවර ඉවුරු දෙකටම ජලය දීමට නොහැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සේරුනුවර මහින්දපුර ගොවි සංවිධානයේ උප ලේකම් සුගත් විජේකුමාර මහතා මෙසේ පැවසීය.
මේ වෙනකොට අපිට වතුර දෙන්නේ වම්ඉවුර වහලා දකුණු ඉවුරටත් දකුණු ඉවුර වහලා වම් ඉවුරටත් පියවරෙන් පියවරට. ඉස්සරහට ගොයම පීදෙනකොට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ ජල ප්‍රමාණය දකුණු ඉවුර වහලා වම් ඉවුරටත් වම් ඉවුර වහලා දකුණු ඉවුරටත් දීම සාර්ථක වෙන්නේ නැහැ. එහෙම වුණොත් අක්කර 22,000 ගොයම අවදානමකයි තියෙන්නේ. වෘත්තියෙන් ගොවිතැනින් ජීවත්වෙන මිනිස්සු අමාරුවේ වැටෙනවා විතරක් නෙවෙයි. ඉදිරි මහා කන්නය සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත් යල කන්නය සඳහා බිත්තර වී ප්‍රශ්නත් මතු වෙනවා. ඒ නිසා ගොයම බේරගන්න නම් විකල්පයකට යන්න වෙනවා. ඒ කියන්නේ මොරගහකන්දෙන් හරි වෙන ජලාශයකින් හරි මාවිල්ආරුවට වතුර ගේන එක තමයි කරන්න තියෙන්නේ.
අල්ල ගොවිජනපද ව්‍යාපාරයේ කන්න රැස්වීමේදී මෙවැනි අවදානමක් නොතිබුණු අවස්ථාවක ගොවින් අක්කර 22,000ම අස්වද්දා තිබියදී මෙම අවදානම මතුව තිබේ.